Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව ක්‍රීඩා ජයග්‍රහණ කිහිපයක් ලද සතියක නිමාව

16 වන ගිම්හාන පැරාඔලිම්පික් තරගාවලිය සැප්තැම්බර් 5 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර දී නිමාව දුටුවා. එහි දී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකාව රටවල් 162ක් අතුරින් 57 වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. එය ශ්‍රී ලංකාව පැරාඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ පෙන්වූ ඉහළ ම දක්ෂතාව ලෙසින් සටහන් වුණා. එම තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ දෙස් විදෙස් කෙළිබිමේ අපූරු තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

චීනය පිට පිට ම පස්වන වරටත් පැරා ඔලිම්පික් උළෙල ජයගනියි 

16 වන ගිම්හාන පැරාඔලිම්පික් උළෙලේ සියළුම තරග සැප්තැම්බර් 5 වැනිදා නිමාවට පත්වුණා. දින 13ක් පුරාවට පැවති මෙවර පැරාඔලිම්පික් උළෙලේ ශූරතාව චීනයට හිමි වුණා. එහි දී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් 96ක්, රිදී 60ක් සහ ලෝකඩ 51ක් සමඟින් සමස්ත පදක්කම් 207ක් දිනාගෙන විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අනුව 2004 වසරේ සිට මේ දක්වා අඛණ්ඩ ව පැවති පැරාඔලිම්පික් උළෙල පහේ ම ශූරතාව චීනය දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක්. චීනය පැරා ඔලිම්පික් උළෙලේ ශූරතාව හිමි කර ගනිද්දී මහා බ්‍රිතාන්‍ය, අමෙරිකාව, රුසියාව සහ නෙදර්ලන්තය පිළිවෙළින් 2, 3, 4, සහ 5 යන ස්ථාන දිනා ගත්තා. 

මෙවර පැරා ඔලිම්පික් තරගාවලියේ අවසන් පදක්කම් සටහන – olympic.org

 

මෙවර පැරා ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනකු සහභාගි වුණා. ඒ අතුරින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් දිනේෂ් ප්‍රියන්ත F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් ද සමඟින් රන් පදක්කමක් දිනා ගත්තා. එහි දී දිනේෂ් මීටර් 67.79ක් තරම් දුරකට හෙල්ලය විසිකිරීමට සමත් වුණා. එය පැරාඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් මුල් ම රන් පදක්කම ලෙසින් සටහන් වුණා.

එදින ම F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ තරගයට සහභාගි වුණු සමිත දුලාන් මීටර් 65.61ක් තරම් දුරකට හෙල්ලය විසිකරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. ඒ අයුරින් දිනේෂ් සහ සමිත දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 57 වන ස්ථානය හිමි වුණා. එය පැරාඔලිම්පික් ඉතිහාසයේ අප රට දැක්වූ ඉහළ ම දක්ෂතාවට ලෙසින් සටහන් වුණා.

අවසන් පදක්කම් සටහනේ ශ්‍රී ලංකා නාමය සටහන් වුණු ආකාරය – olympic.org

 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව කරට කර සටනක 

මේ දිනවල ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය නිසා දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් වී තිබෙනවා. එම තරගාවලිය යටතේ පැවැත්වුණු පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී පසුගිය සැප්තැම්බර් 2 වැනිදා ක්‍රියාත්මක වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දුවට මුලින් ම පහර දීමට තීරණය කළා. සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තා.

එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 115කින් අගනා ලකුණු 118ක් වාර්තා කළා. එය ශ්‍රී ලාංකීය පිතිකරුවකු ලක්බිමේ දී දකුණු අප්‍රිකානුවන් හමුවේ වසර 8කට පසු ලබා ගත් එක ම එක්දින ශතකය ලෙසින් සටහන් වුණා. ඒ අයුරින් අවිශ්කගේ පිත්ත ක්‍රියාත්මක වෙද්දී ඔහුට උපරිම සහායක් ලබාදුන් චරිත් අසලංක පන්දු 62කින් වේගවත් ලකුණු 72ක් වාර්තා කළා. 

ශතකය ලබාගත් අවිශ්කට සුබ පතන අසලංක – cricinfo

 

විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ලකුණු 301ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් මැනවින් පන්දුවට පහර දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 30.5ක් අවසන් වන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 166/1 ලෙසින් දිස්වුණා. එම අවස්ථාවේ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ වනිඳු හසරංග රැක ගත් විශිෂ්ට උඩපන්දුව නිසා ලකුණු 96ක් ලබාගෙන සිටි ඒඩන් මාර්ක්‍රම් දැවී ගියා.

ඉන් පසුව ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළා. නමුත් ඉන් නොසැලුණු රාසි වෑන් ඩර් ඩූසන් ලකුණු 59ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ දී දකුණු අප්‍රිකානු ඉනිම  286/6 ලෙසින් නිමාව දැකීමත් සමඟම ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයක් හිමිවුණා. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 300/9 (50), (අවිශ්ක- 118, අසලංක- 72, මහරාජ්- 30/2, රබාඩා- 66/2)

දකුණු අප්‍රිකාව- 286/6 (50), (මාර්ක්‍රම්- 96, වෑන් ඩර් ඩූසන්- 59, අකිල- 65/2, චාමික- 18/1)

ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයක් 

තරගයේ වීරයා- අවිශ්ක ප්‍රනාන්දු 

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ – getty images

 

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ දෙවන තරගය ආර් ප්‍රේමදාස පිටියේ දී  පසුගිය සැප්තැම්බර් 4 වැනිදා පැවැත්වුණා. පළමු එක්දින තරගය අතරතුර දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා අනතුරකට ලක්වීම හේතුවෙන් කේශව් මහරාජ් මෙම තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා. වර්ෂාව හේතුවෙන් පන්දුවාර 47කට සීමාවුණු තරගයේ මුලින් ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබාගත්තා.

එහි දී දකුණු අප්‍රිකානු ඉනිම වර්ණවත් කළ ආරම්භක පිතිකරු යනමන් මලාන් ලකුණු 121ක් ලබාගෙන සිය එක්දින ක්‍රිකට් දිවියේ තෙවන ශතකය වාර්තා කළා. පන්දු 135කින් වැය වුණු එම ඉනිමට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. ඊට අමතර ව රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 51ක් ලබාගෙන දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිඳ දැමුවා.

 යනමන් මලාන් ශතකය ලබාගත් මොහොත – getty images

 

ලකුණු 284ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම රබාඩාගේ සහ මල්ඩර්ගේ දක්ෂ වේග පන්දු යැවීම ඉදිරියේ අසරණ තත්ත්වයකට පත්වුණා. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 19ක් තුළ බිඳ වැටුණා. ඉන් නොසැලුණු  ශ්‍රී ලංකා පිතිකරුවන් ඉවසීමෙන් පන්දුවට පහර දුන් නිසා 25 වන පන්දුවාරය අවසන් වෙද්දී  ශ්‍රී ලංකා ලකුණු පුවරුව 114/4 ලෙසින් දිස්වුණා. එම අවස්ථාවේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය මඳකට නතර කළා.

ඉන් පසුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 41කින් ලකුණු 265ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වුණා. එහි දී අසලංක සහ චාමික පිළිවෙළින් ලකුණු 77ක් සහ 36ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළත් ෂම්සිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එය සාර්ථක වුණේ නැහැ. අවසානයේ දී ෂම්සි ලකුණු 49කට කඩුලු 5ක් දවා ගැනීමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 197කට නිමාව දුටුවා. 

ෂම්සි කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – getty images

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකාව- 283/6 (47), (මලාන්- 121, හෙන්ඩ්‍රික්ස්- 51, චාමික- 24/2, චමීර- 52/2)

ශ්‍රී ලංකාව- 197/10 (36.4), (අසලංක- 77, චාමික- 36, ෂම්සි- 49/5, රබාඩා- 16/2)

දකුණු අප්‍රිකාවට ලකුණු 67ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව) 

තරගයේ වීරයා- යනමන් මලාන් 

 

තරගාවලියේ තීරණාත්මක තෙවන එක්දින තරගය හෙට දිනයේ  ආර් ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිත යි.

ඔෂිනි ගුණවර්ධන සහ අකිල කාවින්ද – Dinamina

ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් චෙස් ක්‍රීඩිකාව 

පසුගිය දිනවල ෆිඩේ ලෝක අධිවේගී චෙස් ශූරතාවලිය පැවැත්වුණා. ඔන්ලයින් ක්‍රමයට පැවති එම  තරගාවලියේ කාන්තා අවුරුදු 10න් පහළ තරග ඉසව්ව සඳහා සහභාගි වුණු රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයේ ඔෂිනි ගුණවර්ධන දියණිය රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. රටවල් 13ක ක්‍රීඩිකාවන් 16ක් සහභාගි වුණු එම තරගාවලියේ එක් එක් තරගවටවල දී ඔෂිනි හමුවේ පරාජය වුණු ක්‍රීඩිකාවන් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

  1. පළමු වටය- ඇනස්ටේසියා (ජෝර්ජියාව) 
  2. දෙවන වටය- ඇසචෙන්කෝ (රුසියාව)
  3. අවසන් පූර්ව තරගය- ඩියානා ප්‍රෙබාසන්කා (රුසියාව)
  4. අවසන් තරගය- මේගන් පරාගුවා (අමෙරිකාව)

ෆිඩේ ලෝක ශ්‍රේණිගතකිරීම් ලකුණු 1373ක් හිමිකරගෙන සිටින ඔෂිනි අවසන් පූර්ව තරගයේ දී ෆිඩේ ලෝක ශ්‍රේණිගතකිරීම් ලකුණු 1697ක් හිමිකරගෙන සිටි රුසියාවේ ඩියානා පරාජය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අයුරින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් උරුමකර දුන් ඔෂිනිගේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන්නේ කිහිප වරක් ජාතික චෙස් කණ්ඩායම නියෝජනය කළ අකිල කාවින්ද යි. 

2008දී රොනාල්ඩෝ මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ක්‍රීඩා කරමින් (gettyimages)

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යළිත් පරණ නවාතැනට 

වර්තමාන පාපන්දු පිටියේ සිටින සුපිරිත ම තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යළිත් වරක් මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එක් වුණු බව පසුගිය දිනක නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. මුල් ම වරට 2003 වසරේ දී මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එක් වුණු රොනාල්ඩෝ 2009 වසර වන තුරු එම කණ්ඩායම නියෝජනය කළා.

එම කාලය තුළ ඔහු තරග 196කදී මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කරමින් ගෝල 84ක් ලබා ගත්තා. ඉන් පසුව 2009-2018 කාල සමයේ ස්පාඤ්ඤයේ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමට ක්‍රීඩා කළ රොනාල්ඩෝ අවසන් වසර තුනේ දී ඉතාලියේ යුවෙන්ටස් කණ්ඩායම නියෝජනය කළා. ඒ අයුරින් ප්‍රබල ක්‍රීඩා සමාජ කිහිපයක් වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යළි මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමඟ එකතු වීම එහි ක්‍රීඩා ලෝලීන්ට සුබදායී ආරංචියක් වනු ඇති. 

කවරයේ ඡායාරූපය- පළමු එක්දින තරගයේ දී අවිශ්කගේ සහ අසලංකගේ සබඳතාවය (gettyimages)

මූලාශ්‍ර-

olympic.com

Cricinfo.com

chessresults.com

Related Articles