Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් උළෙලත් සමඟ පිටිය උණුසුම් වුණේ මෙහෙමයි

පසුගිය ජූලි 23 වැනිදා 32 වන ගිම්හාන ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වුණා. මේ වන විට ලෝකයේ බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබෙන්නේ ඔලිම්පික් උළෙල දෙසට යි. ඒ අතරතුර දේශීය ක්‍රීඩා පිටිය දෙසත් බොහෝ දෙනකුගේ අවධානය යොමු ව තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට්  කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නිසා යි. ඒ විදිහට පසුගිය දින කිහිපයේ ක්‍රීඩා පිටිය ගොඩක් උණුසුම් වුණු නිසා මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ගෙවුණු සතියේ කෙළිබිමේ දී අසන්නට ලැබුණු විශේෂ සිදුවීම් පිළිබඳව යි.

ශ්‍රී ලංකාව වසර 9කට පසු  ලබා ගත් එක්දින ක්‍රිකට් ජයග්‍රහණය

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වුණු තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය ආර් ප්‍රේමදාස පිටියේ දී පසුගිය සිකුරාදා ක්‍රියාත්මක වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයා මුලින් ම පන්දුවට පහර දීමට තීරණය කළා. සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කළ ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් මැනවින් පන්දුවට පහරදෙමින් ඉන්දීය ලකුණු පුවරුව 102/1 දක්වා ඉහළ දැමුවා. එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් කඩුලු 2ක් ඉක්මනින් ම දවා ගෙන ඉන්දීය ඉනිම අඩපණ කළා. එදා  පන්දුවාර 23ක් අවසානයේ දී ඉන්දියානුවන් කඩුලු 3ක් දැවී ලකුණු 147ක් ලබා සිටි මොහොතේ ක්‍රීඩා පිටියට වර්ෂාව පතිත වුණා. එනිසා තරගය පන්දුවාර 47කට සීමා වුණා.

ඉන් අනතුරුව දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන් අන්දමන්ද කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 43.1ක දී ඉන්දීය ඉනිම ලකුණු 243කට සීමා වුණා. එහි දී ලකුණු 49ක් ලබාගත් ප්‍රිත්වි ෂෝව් ඉන්දියාව වෙනුවෙන් වැඩි ම ලකුණු ප්‍රමාණය වාර්තා කරද්දී මංගල එක්දින තරගය සඳහා ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 59කට කඩුලු 3කුත්, අකිල ධනංජය ලකුණු 44කට කඩුලු 3කුත් දවා ගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූවා. ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 227ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ විශිෂ්ට පිතිහරඹයක නිරත වුණා.

ප්‍රවීන් ජයවික්‍රම මංගල එක්දින කඩුල්ල දවාගත් මොහොත
ප්‍රවීන් ජයවික්‍රම මංගල එක්දින කඩුල්ල දවාගත් මොහොත – gettyimages

එහි දී ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 109ක සබඳතාව නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 144/1 ලෙසින් දිස්වුණා. ඒ මොහොතේ දී ලකුණු 65ක් ලබා සිටි භානුක දැවී ගිය ද ඉන් නොසැලුණු අවිශ්ක වගකීමෙන් පන්දුවට පහරදෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට  ගෙන ගියා. එහි දී අවිශ්කගේ පිත්තෙන් අගනා ලකුණු 76ක් වාර්තා වෙද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් අසලංක ලකුණු 24ක් ලබා ගත්තා. අවසන් භාගයේ දී ඉන්දියානුවන්ගෙන් ප්‍රබල පීඩනයක් එල්ල වුණත් ශ්‍රී ලංකාව පන්දුවර 39ක් අවසානයේ දී කඩුලු 7ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. 

ලකුණු 76ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු
ලකුණු 76ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු – gettyimages

එදා ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිස ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. මෙම ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 9කට පසු ඉන්දියාවට එරෙහි ව සිය මව්බිමේ දී ලබා ගත් එකම එක්දින තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වීම විශේෂත්වයක් වුණා. ඒ අයුරින් ශ්‍රී ලංකාව අවසන් එක්දින තරගය ජයග්‍රහණය කළත් තරගාවලියේ ජයග්‍රහණය 2-1ක් ලෙසින් ඉන්දියාවට හිමි වුණු බව මෙහි දී සිහිපත් කළ යුතුයි. 

ඉන්දීය නායක ධවාන් ජයග්‍රාහී කුසලානය සමඟ
ඉන්දීය නායක ධවාන් ජයග්‍රාහී කුසලානය සමඟ – gettyimages

ඔලිම්පික් බිමේ පළමු දිනයේ දී චීනය සිය අණසක පතුරවයි 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ තීරණාත්මක තරග ඉසව් රැසක් ජූලි 24 වැනිදා ක්‍රියාත්මක වුණා. එදින ක්‍රීඩා 7ක් යටතේ රන් පදක්කම් 11ක් පිරිනැමුණා.  කඩු හරඹ, ජූඩෝ, ඉලක්කයට වෙඩි තැබීම සහ ටයිකුන්ඩෝ යන ක්‍රීඩා යටතේ රන් පදක්කම් 2 බැගින් පිරිනමද්දි දුනු විදීම, සයිකල් ධාවන තරග සහ බර ඉසිලීම යන ක්‍රීඩාවන්ගෙන් රන් පදක්කම බැගින් ප්‍රදානය කළා. 

මෙවර ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණේ යැන්ග් චියෑන් නම් චීන ක්‍රීඩිකාව යි. ඒ ඉලක්කයට වෙඩි තැබීම ක්‍රීඩාව යටතේ මීටර් 10 වායු රයිෆල් තරග ඉසව්ව සඳහා සහභාගි වෙමින්. ඊට අමතර ව කාන්තා බර ඉසිලීම සහ කඩු හරඹ යන ක්‍රීඩාවලින් පළමු දිනයේ දී චීනයට තවත් රන් පදක්කම් 2ක් හිමි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජූලි 24 වැනිදා වන විට චීනය පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියා. එසේ නම් පහත දක්වා තිබෙන්නේ ජූලි 24 වැනිදා රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව යි.

කාන්තා මීටර් 10 වායු රයිෆල්- යෑන්ග් චියෑන් (චීනය)

කාන්තා කි.ග්‍රෑ 49 බර ඉසිලීම- හෝව් ෂීහොවේ (චීනය)

පිරිමි මීටර් 10 වායු පිස්ටල්- ජාවඩ් ෆෙරුගි (ඉරානය)

දුනු විදීම මිශ්‍ර කණ්ඩායම්- දකුණු කොරියාව 

පිරිමි පාපැදි (රට හරහා)- රිචඩ් කැරපාස් (ඉක්වදෝරය)

කාන්තා ජූඩෝ කි.ග්‍රෑ 48- ඩිස්ට්‍රියා ක්‍රාන්ස්නිකී (කොසෝවෝ)

පිරිමි  ජූඩෝ කි.ග්‍රෑ 60- නවෝහිසා ටකාටෝ (ජපානය)

කඩු හරඹ කාන්තා එපී ඒකල- සන් යිවෙන් (චීනය)

කඩු හරඹ පිරිමි සබ්‍රේ ඒකල- ඇරොන් සැයිලගායි (හංගේරියාව) 

ටයිකුන්ඩෝ කාන්තා කි.ග්‍රෑ 49- පැනිපැක් වොන්පැටනකිට් (තායිලන්තය)

ටයිකොන්ඩෝ පිරිමි කග්‍රෑ 60- විටෝ ඩෙල්ඇකියුලා (ඉතාලිය)

පළමු රන් පදක්කම දිනාගත් යෑන්ග් ක්‍රීඩිකාව
පළමු රන් පදක්කම දිනාගත් යෑන්ග් ක්‍රීඩිකාව – gettyimages

 ජූලි 24 වැනිදා වන විට ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලැබුණා. චීනය පළමු ස්ථානයේ පසුවෙද්දී ඉතාලිය සහ ජපානය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල රැඳී සිටියා. 

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් බිමේ දී පසු බසියි 

ජූලි 24 වැනිදා ඔලිම්පික් තරග බිමට මුලින් ම පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත්වුණේ ටෙහානි එගොඩවෙල යි. කාන්තා මීටර් 10 වායු රයිෆල් තරගයට සහභාගි වුණු ඇයට කැපී පෙනෙන දස්කම් දැක්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. එනිසා තරගකාරියන් 50ක් අතුරින් ඇයට හිමිවුණේ 49වන ස්ථානය යි. 

එදිනම සවස් යාමයේ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් මීටර් 100 සමනල ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වුණා. එහි දී ඇයට මූලික වටයේ තරගයෙන් දෙවන ස්ථානය හිමිවුණා. මූලික වටයේ අනිත් තරගවලට සහභාගි වුණු තරගකාරියන් ඉතාමත් ඉහළ කාලයක් වාර්තා කළා. එනිසා මූලික වටය සඳහා තරග කළ තරගකාරියන් 33 අතුරින් ඇයට හිමිවුණේ 32 වන ස්ථානය යි. 

නිලූක චීන තායිපේ ක්‍රීඩකයා සමඟ තරග වදිමින්
නිලූක චීන තායිපේ ක්‍රීඩකයා සමඟ තරග වදිමින්- (gettyimages

ශ්‍රී ලංකාවේ ජාතික බැඩ්මින්ටන් ශූරයා වන නිලූක කරුණාරත්න එදිනම සවස් වරුවේ  ඔලිම්පික් තරග බිමට පිවිසියා. එහි දී මූලික වටයේ F කාණ්ඩය යටතේ පැවති තරගයකට සහභාගි වුණු නිලූක ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 10 ස්ථානයේ රැඳී සිටින වෑන්ග් නම් චීන තායිපේ ක්‍රීඩකය සමඟ උරෙනුර ගැටුණා. එම සටනේ දී චීන තායිපේ ක්‍රීඩකයාගේ දක්ෂ ක්‍රීඩා විලාශය හමුවේ නිලූකට පසුබසින්නට සිදුවුණා. නමුත් සැලකිය යුතු තරම් සටනක් සිය ප්‍රතිවාදියාට ලබාදුන් නිලූක 21-12 සහ 21-15 ලෙසින් තරග වට දෙක පරාජයට පත්වුණා. 

 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල
2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල (gettyimages)

2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවට 

2032 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරට හිමි ව තිබෙනවා. ඒ අනුව 35 වන ගිම්හාන ඔලිම්පික් උළෙල 2032 ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙනු ඇති. මීට පෙර ඕස්ට්‍රේලියාව දෙවරක් ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය ලබා දුන්නා. 1956 වසරේ දී මෙල්බර්න් නුවර දීත්, 2000 වසරේ දී සිඩ්නි නුවර දීත් ඔලිම්පික් උළෙල පැවැත්වුණා. ඒ අනුව අමෙරිකාවට පසුව නගර 3ක් ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සඳහා තේරුණු එක ම රට ලෙසින් ඕස්ට්‍රේලියාව වාර්තා අතරට එක් වුණා.

ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායම
ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායම – gettyimages

පාකිස්තානය පරදවා එංගලන්තය ජය පැන් බොයි 

එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති තරග 3කින් සමන්විත 20/20 තරගාවලිය පසුගිය ජූලි 20 වැනිදා මැංචෙස්ටර් නුවර ඕල්ඩ්ට්‍රැෆර්ඩ් පිටියේ දී නිමාව දුටුවා. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ සත්කාරක එංගලන්ත කණ්ඩායම යි. පහත දක්වා තිබෙන්නේ එම තරගාවලියේ දී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් පිළිබඳ යි.

වැඩිම ලකුණු- මොහොමඩ් රිස්වාන් (පාකිස්ථානය)- ලකුණු 176

                    ලියාම් ලිවිංග්ස්ටෝන් (එංගලන්තය)- ලකුණු 147

වැඩිම කඩුලු- අඩිල් රෂීඩ් (එංගලන්තය)- කඩුලු 6 

                     ෂඩාබ් ඛාන් (පාකිස්ථානය)- කඩුලු 5

තරගාවලියේ වීරයා-  ලියාම් ලිවිංග්ස්ටෝන් 

චීනය තවමත් ඔලිම්පික් සටනේ ඉදිරියෙන් 

අද දිනයේ ඔලිම්පික් තරග බිමේ දී රන් පදක්කම් 18ක් පිරිනැමුණා. එනිසා බොහෝ රටවල්වලට පදක්කම් සටහනට එකතු වීමට අවස්ථාව ලැබුණා. ඔලිම්පික් ඉතිහාසයේ සුපිරි බලවතා වශයෙන් සැලකෙන අමෙරිකාව ද රන් පදක්කමකින් අද සිය පදක්කම් දඩයම ආරම්භ කළා.  ජපානය සහ චීනය ද අද දිනයේ දී රන් පදක්කම් කිහිපයක් ලබා ගත්තා. පහත දැක්වෙන්නේ අද දිනයේ දී එක් එක් රටවල් රන් පදක්කම් ලබාගත් ආකාරය පිළිබඳ යි.

ජපානය- 4 (ජූඩෝ- 2, ස්කේට්බෝඩිං- 1, පිහිනුම්- 1)

අමෙරිකාව- 4 (පිහිනුම්- 1, ඉලක්කයට වෙඩි තැබීම- 1, කඩු හරඹ- 1, ටයිකුන්ඩෝ- 1)

චීනය- 3 (කිමිදුම්- 1, බර ඉසිලීම- 2)

ඕස්ට්‍රේලියාව- 1 (පිහිනුම්- 1)

දකුණු කොරියාව- 1 (දුනු විදීම) 

රුසියානු ඔලිම්පික් සංගමය- 1 (ඉලක්කයට වෙඩි තැබීම- 1) 

ටියුනීසියාව- 1 (පිහිනුම්- 1)

ඔස්ට්‍රියාව- 1 (පිහිනුම්- 1) 

ප්‍රංශය- 1 (කඩු හරඹ- 1) 

උස්බෙකිස්තානය- 1 (ටයිකුන්ඩෝ- 1)

අද දිනය අවසන් වෙද්දී ඔලිම්පික් පදක්කම් සටහන
අද දිනය අවසන් වෙද්දී ඔලිම්පික් පදක්කම් සටහන olympic.com

කවරයේ ඡායාරූපය- ඔලිම්පික් සමාරම්භක උළෙලට සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම- gettyimages

මූලාශ්‍ර-

olympic.com

Related Articles