Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් ද්විත්ව ශතක වාර්තාව පසුපස හඹා ගිය ශ්‍රී ලාංකිකයා

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ අසිරිමත් ම පිතිකරුවා යන විරුදාවලිය ලබා ඇත්තේ, ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නම් සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරුවා යි. එලෙස ක්‍රිකට් පිටිය තුළ අද්වීතිය පිතිකරුවෙකු වූ බ්‍රැඩ්මන් 1928-1948 කාල පරාසය තුළ ඉනිම් 80ක දී 99.94ක පිතිකරණ සාමාන්‍යයක් සහිත ව ලකුණු 6,996ක් ලබා ගත්තේ ද්විත්ව ශතක 12ක් ද සමගින්.

එදා බ්‍රැඩ්මන් පිහිට වූ එම ටෙස්ට් ද්විත්ව ශතක 12ක වාර්තාව බිඳ දැමීමට විවිධ පිතිකරුවන් උත්සාහ කළ ද, එම වාර්තාව අසලට යාමට හැකි වූයේ එක ම එක පිතිකරුවෙකුට පමණයි.

එලෙස එම වාර්තාව අසලට ම පැමිණි ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ම පිතිකරුවෙකු වූ කුමාර් සංගක්කාරට අවස්ථාවන් 2ක දී අවාසනාවන්ත ලෙස ද්විත්ව ශතකය අහිමි නොවන්නට, බ්‍රැඩ්මන්ගේ වාර්තාව සංගාගේ නම ඉදිරියේ ලියවෙන්නට තිබූ ඉඩ වැඩි යි. නමුත්, එලෙස සංගාට එම වාර්තාව හිමි නොවුණත් ඔහු එදා ලබාගත් ද්විත්ව ශතක 11 පිළිබඳ ව අපි කතා කළ යුතු වන්නේ, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ එම වාර්තාවට අභියෝග කළ එක ම පිතිකරුවා ඔහු වූ නිසා යි.

2002 ආසියානු ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ දී වාර්තා වූ පළමු ද්විත්ව ශතකය

ලාහෝර් නුවර ගඩාෆි පිටියේ දී පැවති මෙම ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් පකිස්තානු පිල පළමු දිනයේ දී ම ලකුණු 234කට දැවී යාමෙන් අනතුරුව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ නැංගුරම වූ සංගක්කාර දෙවන කඩුල්ල වෙනුවෙන් ජයසූරිය සමග ලකුණු 203ක සබඳතාවයක්, සහ තෙවන කඩුල්ල වෙනුවෙන් මහේල සමග ලකුණු 173ක සබඳතාවයක් ගොඩනැඟුවා. එහි දී වකාර් යුනිස්, ෂොයිබ් අක්තාර්, අබ්දුල් රසාක්, මොහොමඩ් සාමි, සහ ෂයිඩ් අෆ්රිඩි වැනි පන්දු යවන්නන් ඉදිරියේ සුපිරි පිතිහරඹයක නියැළුණු සංගක්කාර පන්දු 327ක් තුළ දී හතරේ පහර 33ක් සහ හයේ පහර 3ක් සමගින් ලබා ගත් ලකුණු 230 ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකය වුණා.

පකිස්තානයට එරෙහිව සංගක්කාර ක්‍රීඩා කළ ඉනිමේ අවස්ථාවක් (Espncricinfo)

සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 270ක් ලැබූ සංගාගේ වාර්තාගත ඉනිම

2004 වසරේ පැවති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ 2 වන තරගය බුලවායෝ නුවර, ක්වීන්ස් පාක් ඕවල් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ලකුණු 228කට දැවීයාමෙන් පසුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දෙවන කඩුල්ල සඳහා සංගා සහ මාවන් එක්ව ලකුණු 438ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැඟුවා. ඉන් අනතුරුව, මාවන් ලකුණු 249කට දැවී ගියත් පන්දු 365ක් තුළ හතරේ පහර 36ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 270ක් ලැබූ සංගා, එම අවධියේ විදෙස් රටක දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමක  ලැබූ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කළේ 1991 වසරේ දී අරවින්ද නවසීලන්තයට එරෙහිව වාර්තා කර තිබූ ලකුණු 267ක වාර්තාව බිඳ දමමිනුයි.

සංගාගේ ඉනිමේ අවස්ථාවක් (Espncricinfo)

අප්‍රිකානුවන්ට එරෙහිව මව්බිමේ දී මුල්ම ද්විත්ව ශතකය වාර්තා කරයි

2004 වසරේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව සිංහල ක්‍රීඩා පිටියේ දී පැවති ටෙස්ට් තරගයේ දී පන්දු 357කින් හතරේ පහර 31ක් සහ හයේ පහරක් සමගින් ලබා ගත් ලකුණු 232, සංගා මව්බිමේ දී ලබා ගත් මුල්ම ද්විත්ව ශතකය බවට පත් වුණා.

සංගා අප්‍රිකානුවන්ට එරෙහිව පන්දුවට පහරදෙමින් (Espncricinfo)

මහේල සහ සංගා තැබූ ලෝක වාර්තාව

2006 වසරේ දී නැවතත් අප්‍රිකානුවන්ට ම එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති ටෙස්ට් තරගයේ දී පන්දු 457කින් හතරේ පහර 35ක් සමගින් ලකුණු 287ක් ලැබූ සංගා, මහේල සමග එක්ව ලකුණු 624ක සබඳතාවයක් ගොඩනැඟුවේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ටෙස්ට් තරගයක වාර්තා වූ ඉහළම සබඳතාවය ලෙස යි.

අප්‍රිකානුවන්ට බැටදුන් සංගා (Espncricinfo)

2007 වසරේ පැවති බංගලාදේශ ටෙස්ට් තරගාවලියේ දී වාර්තා වූ ද්විත්ව ශතක 2ක

2007 වසරේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගාවලියේ දී පිට පිටම ටෙස්ට් තරග 2ක දී ද්විත්ව ශතක ලැබූ සංගා, එහි දී පී සරා ඕවල් පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී පන්දු 325කින් හතරේ පහර 20ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 200ක් ලබා ගත් අතර, අනතුරුව අස්ගිරිය පිටියේ දී පැවති ටෙස්ට් තරගයේ දී ද පන්දු 277ක දී හතරේ පහර 28ක් සමගින් නොදැවී ලකුණු 222ක් වාර්තා කර ගනිමින් ඔහුගේ ද්විත්ව ශතක ප්‍රමාණය 6ක් දක්වා වැඩි කරගනු ලැබුවා.

බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 222ක් ලැබූ ඉනිමේ අවස්ථාවක් (Espncricinfo)

නායකයා ලෙස සිටිය දී ලබාගත් එකම ද්විත්ව ශතකය ඉන්දියාවට එරෙහිව

2010 වසරේ දී ඉන්දියාවට එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පන්දු 335කින් හතරේ පහර 29ක් සමගින් ලකුණු 219 ලැබූ සංගා නායකත්වය දරන අවදියේ ලබා ගත් එකම ද්විත්ව ශතකය එය යි.

සංගා ඉන්දියාවට එරෙහිව ලබා ගත් ලකුණු 219 ඉනිමේ අවස්ථාවක් (Express Tribune)

ශ්‍රී ලංකා පිල පරාජයෙන් බේරා ගත් ද්විත්ව ශතකය

2011 වසරේ දී පකිස්තානයට එරෙහිව අබුඩාබි නුවර දී පැවති ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේ පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිල පිටියට පිවිසියේ, පකිස්තානු පිලට වඩා ලකුණු 314ක් පිටුපසින් සිටිමින්. එම නිසා ම එම අවස්ථාවේ ශ්‍රී ලංකා පිල තරගය පරාජය වීමට වැඩි ඉඩක් තිබුණත්, සංගක්කාර පන්දු 431ක් තුළ හතරේ පහර 18ක් සමගින් ලබා ගත් ලකුණු 211 නිසා ශ්‍රී ලංකා පිලට පරාජයෙන් බේරීමට හැකි වුණා.

සංගා පකිස්තානයට එරෙහිව ද්විත්ව ලැබූ අවස්ථාව (cricketcountry.com)

බංග්ලාදේශයට එරෙහිව වාර්තා කළ සුපිරි ත්‍රිත්ව ශතකය

2014 වසරේ දී බංගලාදේශයට එරෙහිව චිතගොං හි දී පැවති ටෙස්ට් තරගයේ දී සංගක්කාර විසින් පන්දු 482ක දී හතරේ පහර 32ක් සහ හයේ පහර 8ක් සමගින් ලබා ගත් ලකුණු 319 ශ්‍රී ලංකා වාර්තා කිහිපයක් බිඳ හෙලූ ඉනිමක් වුණා. එහි දී මහේල විසින් විදෙස් රටක දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙස අහමදාබාද් ටෙස්ට් තරගයේ දී  ලකුණු 275ක් ලබා ගනිමින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙලූ සංගා, මෙම ඉනිමේ ලැබූ හයේ පහර 8 ශ්‍රී ලංකා පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමක ලැබූ ඉහළම හයේ පහර ප්‍රමාණය වුණා. එහි දී එම වාර්තාව 2002 වසරේ දී බංගලාදේශයට එරෙහිව හයේ පහර 6ක් එල්ල කළ සනත්ට අයත් ව තිබූ අතර, මෙය සංගාගේ හොඳම ටෙස්ට් ඉනිම ද වුණා.

බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කළ සංගාගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (sky sports)

මව්බිමේ දී අවසන් ද්විත්ව ශතකය පකිස්තානයට එරෙහිව වාර්තා කරයි

2014 වසරේ දී පකිස්තානු පිලට එරෙහිව පන්දු 425ක දී හතරේ පහර 24ක් සමගින් ලබා ගත් ලකුණු 221 සංගාගේ ටෙස්ට් දිවියේ 10 වන ද්විත්ව ශතකය වූ අතර, එහි දී ඔහු ද්විත්ව ශතක 9ක් ලබා සිටි ලාරා ව පසු කරමින් එම ලැයිස්තුවේ 2 වන ස්ථානයට පත් වීම සුවිශේෂී කරුණක් වුණා.

පකිස්තානයට එරෙහිව සංගා පන්දුවට පහර දෙමින් (Espncricinfo)

කිවි බිමේ දී දියත් කළ සුපිරි ඉනිම

2015 වසරේ දී නවසීලන්තයට එරෙහිව වෙලිංටන් හි දී පන්දු 306කින් හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමගින් සංගා ලබා ගත් ලකුණු 203ක ඉනිම ඉතාමත් සුපිරි ඉනිමක් බවට පත් වූයේ ශ්‍රී ලංකා පිල ලැබූ ලකුණු 356න් ලකුණු 203ක් ම ඔහු ලබා තිබීම යි. එමෙන්ම ශ්‍රී ලංකා පිල 78/5 ලෙස අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ඔහු දියත් කළ එම ඉනිම ඉතාමත් ම වටිනා ඉනිමක් වුණා.

සංගාට සුභ පතන නවසීලන්ත ක්‍රීඩකයන් (gettyimages)

සංගාට අහිමි වූ ටෙස්ට් ද්විත්ව ශතක

2007 වසරේ දී ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව හෝබාට් නුවර බෙලරීව් ඕවල් පිටියේ දී ලකුණු 192ක් ලබා සිටි අවස්ථාවේ දී විනිසුරු රූඩි කර්ස්ටන් ලබා දුන් වැරදි තීන්දුවක් නිසා ද්විත්ව ශතකය අහිමි කර ගත් සංගාට, 2012 වසරේ ගාලු ටෙස්ට් තරගයේ දී ලකුණු 199ක් ලබා නොදැවී සිටින්නට වීම ඉතාමත් අවාසනාවන්ත අවස්ථාවක් වුණා. එම අවස්ථාවන් 2ට අමතර ව, 2012 වසරේ දී පකිස්තානයට ම එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති ටෙස්ට් තරගයේ දී ලකුණු 192කට දැවී යාම සංගාට ද්විත්ව ශතකය අහිමි වූ තවත් අවස්ථාවක් වුණා.

යම් හෙයකින් සංගා මෙම අවස්ථාවන් 3න් 2ක දී ද්විත්ව ශතක ලබා ගත්තේ නම් බ්‍රැඩ්මන්ගේ එම අසිරිමත් වාර්තාවේ හිමිකරු වීමට සංගාට අවස්ථාව හිමි ව තිබුණ ද අවාසනාවන්ත අයුරින් ඔහුට එම වාර්තාව අහිමි වුණා.

කවරයේ ඡායාරූපය: නවසීලන්තයට එරෙහිව ද්විත්ව ශතකය ලබා ගත් අවස්ථාව (gettyimages)

Related Articles