Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1998 ශ්‍රීලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය

1992 වසරේ දී නවසීලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කර වසර 6ක් ගෙවුණු පසුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ඔවුන් නැවතත්  ලංකාවට පැමිණියා. එම කාල සමය වන විට එක්දින ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්ව සිටි ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළත් හිස ඔසවමින් සිටි නිසා කිවියන්ට මෙය පහසු තරගාවලියක් වුණේ නැහැ. නමුත් කිසිවෙකු නොසිතූ අයුරින් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගන්නා විට ශ්‍රී ලංකා අභිමානය රැකගැනීම සඳහා තරුණ ක්‍රීඩකයන් දෙදෙනෙකු සටන් වැදුණා. අවසානයේ දී ඔවුන් දෙදෙනාගේ එම උත්සාහය සාර්ථක වෙමින් ශ්‍රී ලංකාව එම තරගාවලිය ජයග්‍රහණය කළ ආකාරය මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරනවා.

පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට ලකුණු 167ක ජයක් 

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති මෙම තරගය නවසීලන්තය කණ්ඩායම ලකුණු 167කින් ජයග්‍රහණය කළා. මෙම ජයග්‍රහණය 1984 වසරෙන් පසුව නවසීලන්තය ශ්‍රී ලංකා බිමේ දී ලබාගත් එකම ටෙස්ට් තරග ජයග්‍රහණය බවට පත්වුණා.

පළමු දිනය 

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. පළමු දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 282ක් ලබාසිටියේ ස්ටීවන් ෆ්ලෙමිං සහ ඇඩම් පැරෝරේ ලබාගත් අර්ධ ශතක නිසා යි.

දෙවන දිනය 

දෙවන දිනය ආරම්භයේ දීම නවසීලන්ත කණ්ඩායමේ ඉතිරි කඩුලු 3ම ලකුණු 23ක් තුළ දැවීගියේ නවසීලන්ත ඉනිම ලකුණු 305කට සීමා කරමින්. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවුණු මුරලිදරන් ලකුණු 90කට කඩුලු 5ක් දවාගත්තා. ඉන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ජුණ සහ කලුවිතාරණ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 101ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 206/4 බවට පත්වුණා. නමුත් දිනයේ අවසන් පැය තුළ ඉක්මනින්ම කඩුලු 3ක් බිඳවැටුණු නිසා දිනය නිමාවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ 251/7ක් ලෙසින්.

මුත්තයියා මුරලිදරන් (gettyimages)

තෙවන දිනය 

තෙවන දිනය ආරම්භයේ දී ප්‍රමෝද්‍ය සහ බණ්ඩාරතිලක ඉවසීමෙන් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 284/7 බවට පත්කළා. නමුත් ශ්‍රී ලංකා අවසන් කඩුලු 3ම ලකුණු 1කට දැවීගිය නිසා ඔවුන්ට පළමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකිවුණේ ලකුණු 285ක් පමණ යි. ඉන් අනතුරුව සිය දෙවන ආරම්භ කළ කිවියන් දිනය නිමාවන විට 260/3 ලෙසින් ප්‍රබල ස්ථානයක පසුවුණේ ෆ්ලෙමිං සහ මැක්මිලන් සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුණු ලකුණු 100ක සබඳතාවය නිසා යි. දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ෆ්ලෙමිං සහ මැක්මිලන් පිළිවෙලින් ලකුණු 106ක් සහ 64ක් ලබා සිටියා.

ස්ටීවන් ෆ්ලෙමිං (gettyimages)

සිව්වන දිනය 

සිව්වන දිනය ආරම්භක සිටම මැක්මිලන් සහ ෆ්ලෙමිං ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ලකුණු පුවරුව 400/3 බවට පත්වුණා. නමුත් එම මොහොතේ මැක්මිලන් ලකුණු 142කට දැවීයාමත් සමගින් ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ අගනා ලකුණු 240ක සබඳතාවය බිඳවැටුණා. මැක්මිලන් දැවීගොස් ටික වේලාවකින් නවසීලන්තය 444/6 ලෙසින් ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට ලකුණු 465ක දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නා. එහිදී නවසීලන්තය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ෆ්ලෙමිං නොදැවී ලකුණු 174ක් ලබාගත්තා. ලකුණු 465ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජයසූරිය ලබාගත් ලකුණු 59 නිසා දිනය නිමාවන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 111ක් ලබා සිටියා.  

ක්‍රේග් මැක්මිලන් (gettyimages)

පස්වන දිනය 

තරගයේ අවසන් දිනය ආරම්භයේ දී අරවින්ද සහ මහේල ඉතාමත් හොඳින් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 194/2 බවට පත්කළා. නමුත් එම අවස්ථාවේ ලකුණු 22ක් තුළ කඩුලු 3ක් බිඳවැටීම නිසා ශ්‍රී ලංකා පරාජයට පාර කැපුවා. එහිදී සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකළ පෝල් වයිස්මන් ලකුණු 82කට දවාගත් කඩුලු 5 නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 297කට සීමාවුණා.

පෝල් වයිස්මන් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්ත පළමු ඉනිම – 305/10 (105.2) (ෆ්ලෙමිං – 78, පැරෝරේ – 67, මුරලිදරන් – 90/5)

ශ්‍රී ලංකා පළමු ඉනිම – 285/10 (90.2), (කලුවිතාරණ – 72, මහේල – 52, විටෝරි -56/3)

නවසීලන්ත දෙවන ඉනිම – 444/6 (123), (ෆ්ලෙමිං – 174*, මැක්මිලන් – 142, මුරලිදරන් -137/4)

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 297/10 (131.5), (අරවින්ද – 71, සනත් – 59, මහේල – 54, වයිස්මන් -82/5)

නවසීලන්තයට ලකුණු 167ක ජයක් 

තරගයේ වීරයා – ස්ටීවන් ෆ්ලෙමිං 

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 16ක ජයක් 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මුල්ම ටෙස්ට් තරගය මෙයයි. මහේල ජයවර්ධන සිය මංගල ටෙස්ට් ශතකය ලෙසින් ලබාගත් ලකුණු 167 සහ නිරෝෂන් බණ්ඩාරතිලකගේ දක්ෂ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය පහසුවෙන් ජයග්‍රහණය කළා. 

පළමු දින දෙක තුළ තරගයට වර්ෂාවෙන් බාධා 

පළමු දින 2ක තුළ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා යැවීමට හැකිවුණේ අඩු පන්දුවාර ප්‍රමාණයක්. එම නිසාම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 122ක් ලබා සිටියා.

තෙවන දිනය 

තෙවන දිනය ආරම්භයේ දීම ධර්මසේන සහ බණ්ඩාරතිලක ඉතාමත් හොඳින් පන්දු යවමින් නවසීලන්ත පළමු ඉනිම ලකුණු 193කට සීමාකළා. එහිදී ධර්මසේන ලකුණු 72කට කඩුලු 6ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් බණ්ඩාරතිලක ලකුණු 47කට දවාගත් කඩුලු ප්‍රමාණය 4ක්. නවසීලන්ත පළමු ඉනිම නිමාවීමෙන් අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 197ක් ලබාසිටියේ මහේල නොදැවී ලබාගත් ලකුණු 89 නිසා යි.

කුමාර් ධර්මසේන (gettyimages)

සිව්වන දිනය

සිව්වන දිනයේ දී මහේල අගනා ලකුණු 167ක් ලබාගනිමින් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා. පිතිකරුවන්ට පන්දුවට පහරදීමට අසීරු වුණු එම තණතීරුව මත මහේල දියත් කළ සුපිරි ඉනිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 323ක් ලබාගැනීමට හැකිවුණා. පළමු ඉනිමේ ලකුණු 130ක්  පසුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම දිනය නිමාවන විට 94/5ක් ලෙසින් අසීරු අඩියකට වැටී සිටියේ බණ්ඩාරතිලක පන්දුවෙන් දැක්වූ සුපිරි දස්කම් නිසා යි.

මහේල ජයවර්ධන (gettyimages)

පස්වන දිනය 

නිරෝෂන් බණ්ඩාරතිලක සහ මුත්තයියා මුරලිදරන් පස්වන දිනයේ උදෑසනින්ම කිවියන්ගේ ඉතිරි කඩුලු 5ම ලකුණු 20ක් තුළ දවාගැනීම නිසා නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 114කට සීමාවුණා. එහිදී මහේල සහ බණ්ඩාරතිලක යන යොවුන් ක්‍රීඩකයන් තරගය පුරාවටම දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 16ක පහසු ජයක් ලැබුණා.

නිරෝෂන් බණ්ඩාරතිලක (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්ත පළමු ඉනිම – 193/10 (101.2) (ඇස්ටල් – 53, ධර්මසේන – 72/6, බණ්ඩාරතිලක  – 47/4)

ශ්‍රී ලංකා පළමු ඉනිම – 323/10 (106.4), (මහේල  – 167, විටෝරි -88/4)

නවසීලන්ත දෙවන ඉනිම – 114/10 (55), (පැරෝරේ – 32*, බණ්ඩාරතිලක – 36/5, මුරලිදරන් -24/3)

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 16ක ජයක් 

තරගයේ වීරයා – මහේල ජයවර්ධන

තෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 164ක ජයක් 

සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරගය ආරම්භ වන විට තරගාවලිය 1-1ක් ලෙස පැවතුණු නිසා තරගය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකේම අරමුණ වුණා.

පළමු දිනය 

තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 8ක් දැවී ලකුණු 200ක් ලබා සිටියා. එහිදී කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු 50 සීමාව පසුකිරීමට හැකිවුණේ නැහැ.

දෙවන දිනය 

දෙවන දිනය ආරම්භයේ දීම ක්‍රිස් කෙයාන්ස් ලකුණු 62කට දවාගත් කඩුලු 5 නිසා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 206කට සීමාවුණා. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්තය කණ්ඩායම දෙවන දිනය තුළ ලකුණු 193කට දැවීගියා.

ක්‍රිස් කෙයාන්ස් (gettyimages)

තෙවන දිනය 

තෙවන දිනය සඳහා තරගය ආරම්භ වී සුළු මොහොතකින් විටෝරිගේ මනරම් දඟ පන්දු යැවීම ඉදිරියේ ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් අසරණ වුණු නිසාම ඔවුන්ගේ මුල් කඩුලු 4ම ලකුණු 36කට දැවීගියා. නමුත් එම අවස්ථාවේ කලුවිතාරණ, අර්ජුණ සහ හෂාන් වගකීමෙන් පන්දුවට පහරදුන් නිසා ශ්‍රී ලංකාව ලකුණු 282ක් ලබාගත්තේ කිවියන්ට ලකුණු 296ක ඉලක්කයක් ලබාදෙමින්. අනතුරුව තෙවන දිනය නිමාවීමට සුළු මොහොතකට පෙර සිය දෙවන ඉනිම ඇරඹූ කිවියන් දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 10ක් ලබා සිටියා.

රොමේෂ් කලුවිතාරණ (gettyimages)

සිව්වන දිනය 

සිව්වන දිනය ආරම්භයේ දී නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලය වුණු ස්පියර්මන් සහ යංග් නවසීලන්ත ලකුණු පුවරුව 44 දක්වා රැගෙන ගියා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු මුරලිදරන් සහ බණ්ඩාරතිලක දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් නවසීලන්ත ඉනිම ලකුණු 131කට සීමාකළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 164ක ජයක් උරුමකර දෙමින්.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම – 206/10 (88.4), (අතපත්තු – 48, කෙයාන්ස් – 62/5)

නවසීලන්ත පළමු ඉනිම – 193/10 (86.3), (ෆ්ලෙමිං – 78, අරවින්ද – 30/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 284/10 (84.5), (කලුවිතාරණ – 88, අර්ජුණ – 64, විටෝරි – 64/6)

නවසීලන්ත දෙවන ඉනිම – 131/10 (54.3), (යංග්- 24, මුරලිදරන් – 30/5, බණ්ඩාරතිලක – 52/4)

ශ්‍රී ලංකාවට ලකුණු 164ක ජයක්

තරගයේ වීරයා – රොමේෂ් කලුවිතාරණ 

තරගාවලියේ වීරයා – මුත්තයියා මුරලිදරන්

කවරයේ ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

Related Articles