Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1996 සිංගර් සිව්කොන් කුසලානය ශ්‍රී ලංකාවට දිනාදුන් සුපිරි පිතිකරුවා

1996 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කළ වසරක්. එම වසරේ පැවති විල්ස් ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමග ම ක්‍රිකට් ලොව හොඳම එක්දින කණ්ඩායම ලෙස අභිෂේක ලද ශ්‍රී ලංකා කණ්ඩායම, එම වසරේ දී ම ශ්‍රී ලංකාවේ පැවති සිංගර් ලෝක ශූරතා එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී, නැවතත් ඕස්ට්‍රේලියානුවන් ව පරාජය කර ඔවුන් නියම ලෝක ශූරයන් බව ඔප්පු කළා. එලෙස  ශ්‍රී ලංකා පිල ලබාගත් එම ජයග්‍රහණ ද්විත්වය ම ශ්‍රී ලංකාවට ලබාදීමට මූලිකත්වය ගත් සුපිරි පිතිකරුවෙකු එදා ශ්‍රී ලංකා පිලේ සිටි අතර, එම අවධියේ ඔහු ශ්‍රී ලංකා පිලට නැතුව ම බැරි පිතිකරුවෙකු බවට ද පත්ව තිබුණා. 1996 ලෝක කුසලාන තරගාවලියේ දී තරග 6ක් තුළ ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමග ලකුණු 448 ලබාගත් එම පිතිකරුවා, සිංගර් ලෝක ශූරතා තරගාවලියේ දීත් සිය පිත්තෙන් ප්‍රතිවාදී පන්දු යවන්නන් ව පහසුවෙන් දමනය කළ නිසා ම, සිංගර් ලෝක ශූරතා තරගාවලිය තුළ ශ්‍රී ලංකා පිල පරාජය වීමට තිබූ ඕස්ට්‍රේලියානු තරගයේ පවා  ප්‍රතිඵලය වෙනස් කිරීමට එම සුපිරි පිතිකරුවාට හැකි වුණා. ඒ අයුරින් එම අවධියේ දියත් කළ ඉනිම් නිසා ම ශ්‍රී ලංකා පිලේ විශ්වසනීය ම පිතිකරුවා බවට පත් වූ ඔහු නමින්, අරවින්ද ද සිල්වා වුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඔහු ව හැදින්වූයේ අරා යන සුරතල් නාමයෙන්. එසේ නම්, එදා අරවින්ද නම් සුපිරි පිතිකරුවා සිංගර් ලෝක ශූරතා තරගාවලියේ දැක්වූ සුපිරි දස්කම් පිළිබඳ ව අපි මෙම ලිපිය තුළින් කතා කරමු.

ඕස්ට්‍රේලියානුවන් කළ කෙනෙහිලිකම්වලට මව්බිමේ දී ම පාඩම් ඉගැන්වීමට සිංහයන්ට ලැබුණු අපූරු අවස්ථාව

1996 වසරේ අගෝස්තු මස අග භාගයේ දී ශ්‍රී ලංකාවේ පැවති සිංගර් ලෝක ශූරතා සිව්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, සහ සිම්බාබ්වේ යන රටවල් සහභාගී වුණා. ඒ අතුරින් 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සහභාගි වූ ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, සහ ඉන්දියාව යන රටවල් 3ම තරගාවලියට සහභාගි වීම තරගාවලියේ තියුණු බව වැඩි කළා. එලෙස ම 1995/ 1996 ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ඕස්ට්‍රේලියානුවන් විසින් ශ්‍රී ලංකා පිලට කළ කෙනෙහිලිකම්වලට ඕස්ට්‍රේලියානුවන්ට   පාඩමක් ඉගැන්වීමට ශ්‍රී ලංකා පිලට හොඳම අවස්ථාවක් ලැබී තිබුණු නිසා, මෙම තරගාවලිය තියුණු එකක් වනු ඇති බවට විචාරකයන් ද අනාවැකි පළ කළා.

1995/ 1996 බෙන්සන් සහ හෙජස් තරගාවලියේ දී ගැටුණු අර්ජුන සහ හීලි (sydney morning herald)

ඉන්දියාව පරාජය කරන්නට සනත්ට සහාය දුන් අරවින්ද

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී දිවා/ රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක සචින්, මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිලේ කඩුලු 2ක් ලකුණු 57කට දැවී ගොස් තිබුණු අවස්ථාවේ පිටියේ එක් වූ නායක සචින් සහ හිටපු නායක අසාරුඩීන් ගොඩනැඟූ අගනා ලකුණු 129ක සබඳතාවය නිසා ස්ථාවර වූ ඉන්දීය ඉනිම අවසානයේ දී නියමිත පන්දුවාර 50 තුළ 226/5 ලෙස නිමාව දුටුවේ ඉන්දීය පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කරමින්  සචින් පන්දු 138ක් තුළ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලබාගත් ලකුණු 110 නිසා යි. ඉන් අනතුරුව ලකුණු 227ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු යුගලය වූ සනා-කළූ සුසංයෝගය ඉන්දීය පන්දු යවන්නන් අසරණ කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 129ක සබඳතාවයක් ගොඩනඟනු ලැබුවා. එලෙස ගොඩනැඟුණු සබඳතාවය ඉන්දීය පිලට හිසරදයක් වූ අතර, එම අවස්ථාවේ කිසිදු ඉන්දීය පන්දු යවන්නෙකුට එම සබඳතාවය බිඳදැමිය නොහැකි වූ නිසා අවසානයේ දී නායක සචින් විසින් ම ඔවුන්ට එරෙහිව පන්දු යැවීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස කළුවිතාරණ ව ලකුණු 53කට දවාගැනීමට හැකි වුවත්, ඉන්පසුව පිටියේ එක් වූ සනා-අරා සුසංයෝගය පාලනය කිරීමට ඉන්දීය පිලට ඉතාමත් අපහසු වුණා. එදා ප්‍රේමදාස පිටියට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ව කුල්මත් කරමින් සනා-අරා යුගලය දැක්වූ දස්කම් 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය පිලට එරෙහිව ඔවුන් දැක්වූ දස්කම් නැවතත් ප්‍රේක්ෂකයන්ට මතක් කර දුන්නා. එලෙස ප්‍රේක්ෂකයන් පිනවූ සනා-අරා යුගලය අවසානයේ දී පන්දුවාර 44.2ක දී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන යන විට සනත්, පන්දු 128ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමග නොදැවී ලකුණු 120ක් ලබාසිටි අතර, ඔහුට ලකුණු 101ක සබඳතාවයක් පැවැත්වීමට අනගි සහායක් ලබාදුන් අරවින්දත් පන්දු 76ක දී නොදැවී ලකුණු 49ක් ලබා සිටියා. තරගාවලියේ ආරම්භක තරගයේ දී ම ශ්‍රී ලංකා පිතිකරුවන් එලෙස ලකුණු අතරට ඒම ශ්‍රී ලංකා පිලේ මානසිකත්වය ඉතාමත් ඉහළ නැංවූ අතර, එය ඔවුන්ට ඉදිරි තරග ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීමට සහායක් වුණා.

1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය පිලට එරෙහිව පන්දු 47කින් ලකුණු 66ක් ලබාගත් අරවින්ද අර්ධ ශතකය ලැබූ මොහොත (gettyimages)

කැංගරුවන්ට එරෙහිව අරවින්දගෙන් සුපිරි ඉනිමක්

නැවතත් ආර් ප්‍රේමදාස පිටියේ දී දිවා/ රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කැංගරු ඉනිම මාක් වෝ සහ බෙවන් යන පිතිකරුවන්ගේ අර්ධ ශතකවලින් අලංකාර වන විට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් වූ ධර්මසේන, මුරලි, සහ චන්දන පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 228/9 ලෙස සටහන් වුණා. එලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය රාජකාරිය සාර්ථක ව ඉටුකිරීමෙන් අනතුරුව ලකුණු 229ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සනා-කළූ යුගලය අතුරින් කළූ ඉක්මනින් ම දැවී ගිය ද, සනා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ව  තුට්ටුවකට මායිම් නොකර ගුරා සමග එක්ව ගොඩනැඟූ අගනා ලකුණු 56ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 78/1 ලෙස ඉහළ නැංවුණා. නමුත් සනා සහ ගුරා ගොඩනැඟූ එම වටිනා සබඳතාවය කිසිවෙකු නොසිතූ මොහොතක නිමාවුණේ කඩුලු අතර දිවිමේ දී ඇති වූ අනවබෝධය නිසා ගුරුසිංහගේ කඩුල්ල නිකරුණේ කැංගරුවන්ට පූජා කිරීමෙනුයි. නොසිතූ මොහොතක සිදු වූ ගුරාගේ එම නික්මයාමත් සමග ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ඩේමියන් ෆ්ලෙමිං ඊළඟ පන්දු වාරයේ සනත් ව ලකුණු 44කට දවා ගත්තේ හීලි රැකගත් අතිදක්ෂ උඩපන්දුව නිසා යි. නමුත් එම කඩුල්ල දවා ගැනීමෙන් සෑහීමකට පත් නොවූ ෆ්ලෙමිං, නායක රණතුංග සහ හෂාන් තිලකරත්න ව ද දවා ගනිමින් 78/1 ලෙස පැවති ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉක්මනින් ම 81/5 බවට පත්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අදහාගත නොහැකි සිදුවීමක් වුණා. එම නිසා ම ඉන් අනතුරුව පිටියේ එක් වූ අරවින්ද සහ මහානාමට පැවරුණු විශාලම වගකීම වූයේ ශ්‍රී ලංකාව නියම ලෝක ශූරයන් බව ඔප්පු කිරීම උදෙසා මෙම තරගය පරාජයෙන් බේරා ගැනීම යි. එදා ඔවුන් දෙදෙනාට පැවරුණු එම වගකීම මනාව ඉටුකළ මහානාම සහ අරවින්ද පන්දු 151කින් ශ්‍රීලංකා ලකුණු පුවරුවට එක් කළ ලකුණු 115 නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 196/5 බවට පත්වුණේ අරවින්ද සහ මහානාම දෙදෙනා ම අර්ධ ශතක ලබා ගැනීමෙන් අනතුරුව යි. ඒ වන විට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා පන්දු 63කින් ලකුණු 33ක් ලබා ගැනිමට අවශ්‍ය වුවත්, සටන අත්හැරීමට සූදානම් නොවූ මැග්‍රාත් පන්දු 78කින් ලකුණු 50ක් ලබා සිටි මහානාම ව දවා ගත්ත ද ඉන් නොසැලුණු අරවින්ද, උපුල් චන්දන සමග එක්ව ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේ 46 වන පන්දුවාරයේ දී යි. එලෙස ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 11ක් සමගින් පන්දු 95ක දී නොදැවී ලකුණු 83ක් ලබාගත් අරවින්ද, 1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී කැංගරුවන්ට කියාදුන් පාඩම නැවතත් ඔවුන්ට සිහිකර දුන්නා.

1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී අරවින්ද ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

සිම්බාබ්වේ පිලට එරෙහිව අරවින්දගෙන් විශිෂ්ට ශතකයක්

සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලේ මුල් කඩුලු 4 ම ලකුණු 66කට දැවී ගිය අවස්ථාවේ නායක කැම්බල් සහ ක්‍රේග් අර්වින් ගොඩනැඟූ වටිනා ලකුණු 114ක සබඳතාවය නිසා සිම්බාබ්වේ ලකුණු පුවරුව 180/4 බවට පත් වුණත් මුරලිදරන් ක්‍රියාත්මක වෙමින් කැම්බල් ව ලකුණු 54කට දවා ගැනීමත් සමග ම සිම්බාබ්වේ පිල තරමක් අසීරු තත්ත්වයකට පත්වුණා. නමුත් ඉන් නොසැලුණු අර්වින්, ගයි විට්ල් සමග එක්ව සිම්බාබ්වේ ලකුණු පුවරුවට එක් කළ අගනා ලකුණු 47 නිසා සිම්බාබ්වේ ඉනිම 227/5 ලෙස නිමාව දුටු අතර, එහි දී අර්වින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් පන්දු 105ක දී  නොදැවී ලබා ගත් ලකුණු 96 නිසා සිම්බාබ්වේ ඉනිම වඩාත් ශක්තිමත් වුණා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ලකුණු 25ක් වන විට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔලොන්ගා සමත් වුවත්, එම අවස්ථාවේ දී පිටියේ එක්වූ අරා-ගුරා යුගලය 1996 ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ තරගය නැවතත් සිහිගන්වමින් ලකුණු 75ක සබඳතාවයක් ගොඩනඟනු ලැබුවා. එහි දී අරවින්දගේ පිතිහරඹය ඉදිරියේ නරඹන්නෙකු වූ ගුරා අවසානයේ දී නැවතත් දුවද්දී දැවී ගියේ පන්දු 47කින් ලකුණු 15ක් ලබා සිටිය දී යි. ගුරාගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි අර්ජුන වේගවත් ලකුණු 20කට දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 129/4 බවට පත් වුවද අරවින්ද හෂාන් සමග එක්ව පන්දු 123කින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 127ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දුවාර 47ක් අවසානයේ දී යි.

1996 ලෝක කුසලාන තරගාවලියේ දී ද සිම්බාබ්වේ පිලට අරවින්ද මෙසේ බැට දුන්නේ ය (flicr.com)

අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානුවන්ගෙන් කළ මිහිරි පලිගැනීම

1996 ලෝක කුසලාන තරගාවලියේ දී මෙන්ම මෙම තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා පිලට ඕස්ට්‍රේලියානු පිල අවසන් තරගයේ දී හමුවුණා. වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පන්දුවාර 35කට සීමා වූ මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල, මුල සිට ම කැංගරුවන්ට කිසිදු ගරුසරුවකින් තොරව පහර එල්ල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 35 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 234ක් ලබා ගත්තා. එහි දී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැලුණු කළුවිතාරණ පන්දු 45කින් ලකුණු 58ක් ලබා ගත්තත් ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙණුනු ඉනිම දියත් කළේ පන්දු 64කින් නොදැවී ලකුණු 75ක් ලබාගත් අරවින්ද ද සිල්වා යි. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ එම සුපිරි පිතිහරඹයෙන් පසු  ආරම්භ වූ කැංගරු ඉනිම උපුල් චන්දන 35/4 ලෙස සිදුකළ දක්ෂ පන්දු යැවීම ඉදිරියේ පන්දුවාර 33ක් තුළ ලකුණු 184කට සීමා වූයේ ශ්‍රී ලංකා පිලට ලකුණු 50ක ජයක් උරුමකර දෙමිනුයි.

අරවින්ද තරගාවලියේ වීරයා විය

තරගාවලිය තුළ ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමගින් ඉනිම් 4 තුළ ම නොදැවී ක්‍රීඩා කරමින් ලබාගත් ලකුණු 334 නිසා අරවින්දට මෙම තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ ඔහු 1996 ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ සුපිරි දස්කම් නැවතත් ක්‍රිකට් ලෝලීන්ට මතක් කරමිනුයි.

කවරයේ ඡායාරූපය: අරවින්ද 1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී (gettyimages)

මූලාශ්‍රය:

ESPNcricinfo

Related Articles