Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාකිස්ථානු බිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් ටෙස්ට් ද්විත්ව ශතක

1982-2008 කාල සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානු බිමේ දී ටෙස්ට් තරග 21ක් ක්‍රීඩාකර තිබෙනවා. නමුත් 2002 වන තුරුම ශ්‍රී ලංකා පිතිකරුවෙකුට පාකිස්ථානයේ දී ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගැනීමට හැකි වුණේ නැහැ. නමුත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වුණු පාකිස්ථානු සංචාර යටතේ  පැවති ටෙස්ට් තරගවල දී ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙකුම ද්විත්ව ශතක වාර්තා කිරීමට සමත් වුණා. මෙම ලිපියෙහි අරමුණ පාකිස්ථානයේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන්ගේ දස්කම් පිළිබඳව කතා කිරීම යි.

සනත් ජයසූරිය – 253 (2004 වසරේ දී)

2004 වසරේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා-පාකිස්ථාන් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 243ක් ලබාගත්තේ තිලාන් සමරවීරගේ පිත්තෙන් වාර්තා වුණු සටන්කාමී ශතකය නිසා යි. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම ලකුණු 264කට දැවීගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 21ක් ඉදිරියෙන් සිටිමින්. එහි දී පාකිස්ථානු කණ්ඩායමේ අවසන් කඩුලු 5ම ලකුණු 37ක් තුළ දැවීයාම සුවිශේෂී සිදුවීමක් වුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමෙන් පසුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 216ක් ලබා සිටියේ සනත් ජයසූරිය ක්‍රීඩා කළ සුපිරි ඉනිම නිසා යි. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු පාකිස්ථානු පිතිකරුවන් ජයසූරියව එක් අන්තයක තනි කරමින් අනිත් අන්තයේ පිතිකරුවන්ව දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 337/8 බවට පත් කරමින්. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට පත්ව සිටි අවස්ථාවේ නොසැලෙමින් සිය පිත්ත ක්‍රියාත්මක කළ ජයසූරිය අග පෙළ පිතිකරු දිල්හාර ප්‍රනාන්දු සමග එක්ව ලකුණු 96ක සබඳතාවයක් ගොඩනැගුවා. එම වටිනා සබඳතාවය අවසන් කරමින් දිල්හාර ලකුණු 1කට දුවද්දී දැවීයාමෙන් පසුව ජයසූරිය ලකුණු 253කට දැවී ගියේ පාකිස්ථානයට ලකුණු 418ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමින්. එදා පන්දු 347කින් හතරේ පහර 33ක් සහ හයේ පහර 4ක් සමගින් ජයසූරිය වාර්තා කළ ලකුණු 253 ප්‍රේක්ෂකයන් පිනවූ ඉනිමක් බවට පත් වුණා. එසේම එම ඉනිම පාකිස්ථානු බිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් ඉහළම ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලෙසින් අදටත් වැජඹී පවතිනවා.

ජයසූරියගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

මහේල ජයවර්ධන – 240 (2009 වසරේ දී)

2009 වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා-පාකිස්ථාන් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 177කට දැවීගියා. එලෙස තරගය දෙපිලටම විවෘතව පැවති අවස්ථාවේ පිටියේ එක්වුණු මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර මැනවින් පන්දුවට පහරදුන්නා. එහි දී සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 437ක සබඳතාවයක් ගොඩනැගූ ඔවුන් දෙපල එම අවදියේ ටෙස්ට් තරගයක සිව්වන කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම සබඳතාවයේ හිමිකරුවන් වුණා. එලෙස ගොඩනැගුණු සබඳතාවය සඳහා වැඩි දායකත්වයක් ලබාදුන් මහේල පන්දු 424ක් තුළ හතරේ පහර 32ක් සමගින් ලකුණු 240ක් ලබාගත්තා. එදා මහේලගේ පිත්තෙන් වාර්තා වුණු එම ඉනිම පාකිස්ථානු බිමේ දී ශ්‍රී ලංකා නායකයෙකු වාර්තා කළ වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර පවතිනවා. එසේම එදා මහේල සහ තිලාන් සිව්වන කඩුල්ල වෙනුවෙන් තැබූ ලෝක වාර්තාව පසුකලෙක ඕස්ට්‍රේලියාවේ ඇඩම් වෝගස් සහ ෂෝන් මාෂ් අතින් බිඳ වැටුණා. ඔවුන් දෙදෙනා එම වාර්තාව බිඳ දැමුවේ 2015 වසරේ බෙලරීව් ඕවල් පිටියේ දී කොදෙව්වන්ට එරෙහිව පැවති ටෙස්ට් තරගයක දී ලකුණු 449ක සබඳතාවයක් ගොඩනගමින්.

මහේලගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තිලාන් සමරවීර – 231 (2009 වසරේ දී)

2009 වසරේ දී පාකිස්ථානයට එරෙහිව කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේ දී මහේල සමග ලකුණු 437ක වාර්තාගත සබඳතාවයක් ගොඩනැගූ තිලාන් සමරවීර අගනා ද්විත්ව ශතකයක් වාර්තා කළා. එහි දී සිය සුපුරුදු පිතිකරණ රටාව වෙනස් කළ තිලාන් වේගයෙන් පන්දුවට පහරදෙමින් අලංකාර හතරේ පහර 32ක් එල්ල කරමින් පන්දු 318ක් තුළ ලකුණු 231ක් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම එදා තිලාන් ක්‍රීඩාකළ මනරම් ඉනිම ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මුල්ම ද්විත්ව ශතකය මෙන්ම වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එකතු වුණා.

තිලාන් පහරක් එල්ල කරමින් (gettyimages)

කුමාර් සංගක්කාර – 230 (2002 වසරේ දී)

2001/02 ආසියානු කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර යි. එම තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 234කට සීමා වුණේ මුරලිදරන් සහ චරිත විසින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා යි. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 528ක් ලබාගත්තේ පාකිස්ථානු කණ්ඩායමට වඩා ලකුණු 294ක් ඉදිරියෙන් සිටිමින්. එහි දී දැකුම්කළු ඉනිමක් ක්‍රීඩාකළ කුමාර් සංගක්කාර පන්දු 327ක් තුළ හතරේ පහර 33ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 230ක් ලබාගැනීමට සමත් වුණා. එදා සංගක්කාරගේ පිත්තෙන් වාර්තා වුණු එම ද්විත්ව ශතකය පාකිස්ථානු බිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ මුල්ම ටෙස්ට් දිවිත්ව ශතකය බවට පත් වුණා. එසේම එය සංගක්කාරගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මුල්ම ද්විත්ව ශතකය ද වුණා.

සංගක්කාරගේ අගනා ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තිලාන් සමරවීර – 214 (2009 වසරේ දී)

2009 ශ්‍රී ලංකා-පාකිස්ථාන් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 96ක් තුළ දැවීගියේ උමාර් ගුල් විසින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා යි. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක් වුණු කුමාර් සංගක්කාර සහ තිලාන් සමරවීර සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 204ක වටිනා සබඳතාවයක් ගොඩනැගුවා. එලෙස වාර්තා වුණු වටිනා සබඳතාවය නිමාවට පත්කරමින් සංගක්කාර ලකුණු 104කට දැවීගියත් ඉන් නොසැලුණු තිලාන් පන්දු 338ක් තුළ හතරේ පහර 32ක් සමගින් ලකුණු 214ක් ලබාගත්තා. එහි දී තිලාන් ශ්‍රී ලංකා ටෙස්ට් වාර්තා පොත් අතර සිය නාමය රන් අකුරින් සටහන් කරගත්තේ පාකිස්ථානු බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතක 2ක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වෙමින්.

කවරයේ ඡායාරූපය- තිලාන් සමරවීර ද්විත්ව ශතකයක් සම්පූර්ණ කිරීමෙන් පසුව (gettyimages)

Related Articles