Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රේස් පදින්න 42ත් වයසක් ද? – ෆර්නැන්ඩෝ ඇලොන්සෝ

2023 වර්ෂයේ මාර්තු මාසයේ දී නව ෆෝමියුලා වන් ලෝක ශූරතාව ආරම්භ වීමට නියමිත යි. මෙවරත් සුපුරුදු පරිදි කණ්ඩායම් 10 ක් නියෝජනය කරමින් ධාවකයන් 20 දෙනෙක් මෝටර් රථ ෆෝමියුලා වන් ලෝක ශූරතාව වෙනුවෙන් සටන් වැදීම ට නියමිත යි. එම ධාවකයන් 20 අතරට විවිධ වයස් කාණ්ඩවල විවිධ රටවල ධාවකයන් ඇතුළත් වනවා.

ෆර්නැන්ඩෝ ඇලොන්සෝ 2022 තරගවාරයේ තරග වදිමින් – www.marca.com

මේ අතර සිටිනා වැඩි ම වයසක් ඇති රියදුරා වන්නේ ස්පාඤ්ඤ ජාතික ෆර්නැන්ඩෝ ඇලොන්සෝ යි. ඇලොන්සෝ මේ වන විට 41 වන වියේ පසුවන අතර ම එළඹෙන ජූලි මස 29 වනදා ඔහු 42 වන වියට පාතබනවා. ඇස්ටන් මාර්ටින් සමඟින් නව කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ ඔහු මේ වසර පුරාවට ම ධාවනයේ නිරත වීමට සූදානම්. ඒ අනුව 42 වන වියට පාතැබූ පසුවත් ෆෝමියුලා වන් පිටියේ රැඳී සිටීමට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සූදානමින් පසු වනවා.

වසර 22 ක ෆෝමියුලා වන් අත්දැකීම්

2001 වර්ෂයේ ඕස්ට්‍රේලියා ගෝන් ප්‍රී අදියරෙන් තම වෘත්තියමය ෆෝමියුලා වන් දිවිය ආරම්භ කළ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ මේ වන විට වසර 22 ක පමණ කාලයක් ෆෝමියුලා වන් ධාවන පථයේ දස්කම් දැක්වීමට සමත් වුණා. එම කාලය තුළ දී ඔහු අමතක නොවන මතක රැසක් ම ප්‍රේක්ෂකයන්ට ලබා දීමට ද අමතක කළේ නෑ. වත්මන් ෆෝමියුලා වන් පිටිය තුළ සිටිනා අත්දැකීම් බහුල ම ධාවකයා වන්නේ ද ඔහු යි.

1981 ජූලි මස 29 වන දා උතුරු ස්පාඤ්ඤයේ උපත ලැබූ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ මුලින් ම මෝටර් රථ ධාවනයට අත්පොතේ තැබුවේ යන්තමින් වයස අවුරුදු 3 ක් සම්පූර්ණ වන විට දී වීම විශේෂත්වයක්. ප්‍රථමයෙන් ම ගෝ කාර්ට් හරහා ධාවන පථයට පිවිසි ඔහු ගෝ කාර්ටින් ප්‍රාදේශීය මට්ටමෙන්, ජාතික මට්ටමෙන් හා ජාත්‍යන්තර මට්ටමෙන් සැලකියයුතු දස්කම් දැක්වීම ට සමත් වුණා. ඔහු 1996 කාර්ටින් ලෝක ශූරතාව ද ජයග්‍රහණය කළා. මේ නිසා ම ෆර්නැන්ඩෝ ඇලොන්සෝට ජාත්‍යන්තර ධාවන පථයේ ඉඩකඩ ඉක්මනින් ම විවර වුණා.

ඇලොන්සෝ රෙනොල්ට් සමඟ – www.f1.com

1999 වර්ෂයේ දී මිනාර්ඩි කණ්ඩායමේ පරීක්ෂා රියදුරෙක් ලෙසින් ෆර්නැන්ඩෝ ඇලොන්සෝ කටයුතු කළා. ඔහුගේ සාර්ථකත්වය නිසා ම 2001 වර්ෂයේ ෆෝමියුලා වන් ලෝක ශූරතාවට මිනාර්ඩි සමඟින් ඔහු තරග වැදුණා.එම මෝටර් රථය තරගකාරී එකක් වූයේ නෑ. මේ නිසා තරගවාරය පුරාවට ම ඔහු එකදු ප්‍රසාද ලකුණක් හෝ ලබා ගැනීමට අපොහොසත් වුණා. ඔහු 2001 දී ජර්මන් අදියරේ 10 වන ස්ථානයට පත් වීම ලබාගත් ඉහළත ම ප්‍රතිඵලය යි. ෆර්නැන්ඩෝ ඇලොන්සෝ ගේ පළමු ෆෝමියුලා වන් තරගවාරය ම අසාර්ථක වී අවසන් වුණා.

රෙනොල්ට් සමඟ එක්වීම

මීළඟ වර්ෂයේ දී රෙනොල්ට් සමඟින් පරීක්ෂා රියදුරෙක් වන ඇලොන්සෝ සමස්ත තරගවාරයේ ම එලෙස කටයුතු කළා. මේ නිසා 2002 වර්ෂය ඔහු ගත කළේ ස්ථිර ආසනයක් නොමැතිව යි. 2003 නව තරග වාරය ආරම්භයේ දී ම ෆර්නැන්ඩෝ ඇලොන්සෝට රෙනොල්ට් කණ්ඩායමේ ස්ථිර ආසනයක් හිමි වුණා. ඔහු මෙවර ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට කටයුතු කළා.

තරගවාරයේ දෙවන තරගයේ දී ම කාල ගණන අදියරේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සමත් වුණා. එය සටහන් වූයේ එකල කාල ගණන අදියරක ප්‍රථම ස්ථානය දිනා ගත් ළාබාලත ම ධාවක වාර්තාව වශයෙන්. අනතුරුව 2003 හංගේරියා අදියර ජයග්‍රහණය කරමින් ෆෝමියුලා වන් තරගයක් ජයග්‍රහණය කළ ළෘබාලත ම ධාවකයා යන වාර්තාව ද තමන් සතු කර ගැනීමට ඇලොන්සෝ සමත් වුණා. ඔහු ප්‍රසාද ලකුණු 55 ක් ද සමඟ 2003 ලෝක ශූරතාවේ 6 වන ස්ථානය දිනා ගත්තා.

ඇලොන්සෝ රෙනොල්ට් සමඟ පැදවූ මෝටර් රථය – www.autosport.com

2004 තරග වාරයේ දී ඇලොන්සෝට ජයග්‍රහණයන් වාර්තා කිරීමට හැකියාව ලැබුණේ නෑ. තරගය නිමා කළ සෑම අවස්ථාවක ම පාහේ පළමු ස්ථාන 5 තුළ රැඳී සිටීමට ඔහු සමත් වුණා. මේ නිසා 2003ට වඩා සමස්ත සාර්ථක තරගවාරයක් නිමා කරමින් ප්‍රසාද ලකුණු 59 ක් ද සමඟ ලෝක ශූරතාවේ සිව්වන ස්ථානය දිනා ගැනීමට ෆර්නැන්ඩෝ ඇලොන්සෝට හැකියාව ලැබුණා. මේ දස්කම් නිසා එකල ෆෝමියුලා වන් පිටියේ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ යන නාමය ඒ වන විටත් කතාබහට ලක් වූවා. මීළඟ තරග වාරයේ දී ඔහුගෙන් බොහෝ දෙනා මීට වඩා දස්කම් අපේක්ෂා කළා.

ඉතිහාසගත ෆර්නැන්ඩෝ ඇලොන්සෝ

2005 නව තරග වාරය ආරම්භ වූයේ ධාවකයන් රැසකගේ බලාපොරොත්තු මුදුන්පත් කරමින්. මයිකල් ෂුමාකර්, කිමී රයිකිනන් වැනි තරගකාරී ධාවකයන් අතරේ විශිෂ්ට ධාවනයක නිරත වීමට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සමත් වුණා. ඇලොන්සෝ 2005 තරග වාරයේ පළමු තරගයේ තෙවන ස්ථානයට පත් වුණා. ඉන් අනතුරු ව පැවති මලයාසියා, බහරේන් සහ සැන් මැරීනෝ අදියර ත්‍රිත්වය ම ජයග්‍රහණය කළ ඔහු නැවතීම එතැන් පටන් පහසු කාර්යයක් වූයේ නෑ.

2005 වර්ෂයේ දී පළමු ස්ථාන 7ක්, දෙවන ස්ථාන 5ක් සහ තෙවන ස්ථාන 3ක් ද සමඟින් ප්‍රසාද ලකුණු 133 ක් ලබා ගැනීමට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ කටයුතු කළා. එය ඔහුට 2005 වර්ෂයේ ෆෝමියුලා වන් ලෝක ශූරයා බවට පත් කිරීමට ද ප්‍රමාණවත් වුණා. එවකට ෆෝමියුලා වන් ලෝක ශූරතාවක් ජයග්‍රහණය කළ ළා බාලත ම ධාවකයා යන ඉතිහාසගත වාර්තාව ද ෆර්නැන්ඩෝ ඇලොන්සෝ නමින් ලියැවුණා.

2005 දී ෆෝමියුලා වන් ලෝක ශූරයා වීමේ සතුට සමරමින් – www.f1.com

මැක්ලරන්, ෆෙරාරි වැනි සුපිරි කණ්ඩායම් රාශියක් අභිබවා යමින් රෙනොල්ට් සමග ධාවනයේ යෙදී එතරම් ළා බාල වයසක දී ෆෝමියුලා වන් ලෝක ශූරතාවක් ජයග්‍රහණය කිරීම ගැන ඔහුට අදටත් සුවිශේෂී වටිනාකමක් හිමි ව තිබෙනවා. 2005 ජයග්‍රහණය හුදු අහඹුවක් යැයි විශ්වාස කළ පුද්ගලයන්ට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ 2006 වර්ෂයේදී ද පිළිතුරු ලබා දුන්නා.

පිට පිට ම දෙවතාවක් ලෝක ශූරතාව දිනූ ළාබාලත ම ක්‍රීඩකයා

2006 ෆෝමියුලා වන් ලෝක ශූරතාවේ බහරේන පළමු අදියර වූ බහරේන අදියර ජයග්‍රහණය කරමින් ම ෆර්නැන්ඩෝ ඇලොන්සෝ නව වසර ආරම්භ කළා. පළමු අදියරේ සිට 9 වන අදියර වූ කැනඩා අදියර තෙක් ම ඔහු පළමු ස්ථාන 2 තුළ අනිවාර්යයෙන් ම රැඳී සිටීමට සමත් වීම ද විශේෂත්වයක්. මයිකල් ෂුමාකර් සහ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ 2006 ෆෝමියුලා වන් ලෝක ශූරතාව වෙනුවෙන් කරට කර සටනක නිරත වුණා.

7 වරක් ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනූ තම ජ්‍යෙෂ්ඨ ප්‍රතිවාදියාට අභියෝග කළ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ 2006 දී ලබා ගත් ගෝන් ප්‍රී ජයග්‍රහණ සංඛ්‍යාව 7ක්. ඔහු දෙවන ස්ථාන ද 7 ක් ලබා ගැනීමට සමත් වුණා. ෆර්නැන්ඩෝ ඇලොන්සෝ 2006 වර්ෂයේ දී ප්‍රසාද ලකුණු 134 ක් ලබා ගනිද්දී ඔහුගේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිවාදියා වූ මයිකල් ෂුමාකර් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු 121 ක් පමණ යි.

2006 ලෝක ශූරයා වීමේ සතුට – www.motorsportmagazine.com

ශූමාකර් දෙවන තැනට ඇද දැමූ නවක ෆර්නැන්ඩෝ ඇලොන්සෝ පිට පිට ම දෙවන වතාවටත් ෆෝමියුලා වන් ලෝක ශූරතාව ජයග්‍රහණය කළා. එවැනි දස්කමක් දැක්වූ ළාබාලත ම ධාවකයා යන වාර්තාව ද එකල ඔහු සතු වුණා. මෙලෙස ප්‍රබල ධාවකයන් රැසක් අභිබවා යමින් ෆර්නැන්ඩෝ ඇලොන්සෝ 2005 සහ 2006 වර්ෂවලදී රෙනොල්ට් සමඟින් ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීම ඓතිහාසික වටිනාකමක් සහිත සිදුවීමක්.

මැක්ලරන් සමඟ එකතු වෙයි

ජයග්‍රාහී ගමනකින් අනතුරු ව 2007 වර්ෂයේ සිට මැක්ලරන් සමඟින් ගිවිසුම්ගත වීමට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ තීරණය කළා. වර්තමානයේදී 7 වරක් ලෝක ශූරතාය දිනා සිටිනා ලුවිස් හැමිල්ටන් එවකට නවක ධාවකයෙක් ලෙසින් ෆර්නැන්ඩෝ ඇලොන්සෝ හා මැක්ලරන් සමඟ තරග කළා. ඔවුන් දෙදෙනා කණ්ඩායම් සගයන් බවට පත් වී තරග වැදුණත් එවර ෆෙරාරි දැක්වූ දක්ෂතා අභිබවා යාමට හැකියාව ලැබුණේ නෑ.

ෆර්නැන්ඩෝ ඇලොන්සෝ (වමේ) සහ මයිකල් ෂුමාකර් – www.planetf1.com

2007 දී ෆෙරාරි ධාවක කිමී රයිකිනන් ශූරතාව ජයග්‍රහණය කරද්දී ෆර්නැන්ඩෝ ඇලොන්සෝ තෙවන ස්ථානයට පත් වුණා. ඔහුගේ මැක්ලරන් සගයා වූ ලුවිස් හැමිල්ටන්ට හිමි වූයේ දෙවන ස්ථානය යි. 2008 දී මැක්ලරන් කණ්ඩායමෙන් ඉවත් වී රෙනොල්ට් සමඟින් නැවත එකතු වීමට ඇලොන්සෝ කටයුතු කළා. එවර ඔහුට සාර්ථක වීමට නොහැකි වූ අතර ම සමස්ත තරගවාරයේ 5 වන ස්ථානය දක්වා පසු බැසීමට සිදු වුණා.

වසර ගණනාවකට පසු දැඩි අසාර්ථක තරගවාරයක් 2009 දී සටහන් කළ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ ලබා ගත්තේ ප්‍රසාද ලකුණු 26 ක් පමණයි. ඒ වර්ෂයේ දී සිංගප්පූරු අදියරේ තෙවන ස්ථානය දිනා ගැනීම හැරෙන්නට වෙනත් දස්කමක් ඔහු වාර්තා කළේ නෑ. 2009 වර්ෂය අවසන් වෙද්දී ෆෝමියුලා වන් ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට ෆර්නැන්ඩෝ ඇලොන්සෝට සිදු වුණා.

පසුබෑමට පිළිතුරු සොයයි

තරගවාර ද්විත්වයක් පුරා දැක්වූ පසුබෑම නිසා එයට විකල්ප සෙවූ ඇලොන්සෝ කණ්ඩායම මාරු කිරීමට තීරණය කළා. ඔහු 2010 දී ෆෙරාරි සමඟින් ගිවිසුම් ගත වූයේ නව ගමනක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුව ඇතිව යි. සාර්ථක පිළිතුරු සොයාගත් ඔහු 2010 තරගවාරය තුළ ගෝන් ප්‍රී ජයග්‍රහණ 5 ක් වාර්තා කළා. සෙබස්තියන් වෙටල් සමඟින් කරට කර සටනක් නිර්මාණය කර ගත් ඇලොන්සෝ ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 252ක්.

ෆර්නැන්ඩෝ ඇලොන්සෝ ෆෙරාරි සමඟින් තරග වදිමින් – www.beyondtheflag.com

2010 තරග වාරයේ දී ප්‍රසාද ලකුණු 256 ක් ලබා ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට සෙබස්තියන් වෙටල් සමත් වුණා. ෆර්නැන්ඩෝ ඇලොන්සෝට සිදු වූයේ අනුශූරතාවෙන් සෑහීමකට පත් වන්නට යි. 2011 දී සිව්වන තැනට පත් වූ ඔහු 2012 දී නැවතත් සටනට ප්‍රවිෂ්ඨ වුණා. එවරද සෙබස්තියන් වෙටල් සහ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ දෙපළ ලෝක ශූරතාව වෙනුවෙන් ඇරඹුවේ ද්වන්ධ සටනක්.

2012 දී අදියර ජයග්‍රහණ 3ක්, දෙවන ස්ථාන 5 ක් සහ තෙවන ස්ථාන 5 ක් ද සමඟින් සාර්ථක තරග වාරයක් ඔහු නිමා කළා. අවසන් තරග දිනය දක්වා ම සෙබස්තියන් වෙටල් සහ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ ලෝක ශූරතාව වෙනුවෙන් සටන් වැදුණා. අවසානයේ දී ෆර්නැන්ඩෝ ඇලොන්සෝ ප්‍රසාද ලකුණු 278 ක් ලබා ගත්තා. ඔහුට වඩා ප්‍රසාද ලකුණු 3 ක් ඉදිරියෙන් සිටි සෙබස්තියන් වෙටල් නැවත වතාවක් ලෝක ශූරතාව දිනා ගත්තේ ඇලොන්සෝ දෙවන තැනට ඇද දමමින්.

2013 දී ද පළමු සහ දෙවන ස්ථාන අතර සටන වෙටල් – ඇලොන්සෝ අතරේ නිර්මාණය වුණා. එය පෙර වසරවල තරම් තියුණු සටනක් වූයේ නෑ. තරගවාරය පුරාවට ම තම ආධිපත්‍යය පතුරවාගත් සෙබස්තියන් වෙටල් ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 397 ක්. දෙවන ස්ථානය දිනා ගත් ෆර්නැන්ඩෝ ඇලොන්සෝ ගෝන් ප්‍රී ජයග්‍රහණ දෙකක් ද සමඟින් ප්‍රසාද ලකුණු 242 ක් ලබා ගත්තා.

ෆර්නැන්ඩෝ ඇලොන්සෝ (වමේ) සහ සෙබස්තියන් වෙටල් – www.autoweek.com

2014 න් පසු

2014 සිට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ පෙර පරිදි සුපිරි දස්කම් අතරට පැමිණියේ නෑ. නමුත් අවශ්‍ය විටක දී කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ධාවනයක නිරත වීමට ඔහු සමත් වුණා. 2014 දී සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයට පත් වූ ඇලොන්සෝ 2015 දී ෆෙරාරි හැර යමින් නැවතත් මැක්ලරන් සමඟ ගිවිසුම් ගත වුණා.

නව කණ්ඩායම සමඟින් ස්ථාවර ධාවනයක නිරත වීමට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සමත් වූයේ නෑ. තරගවාරය පුරා ප්‍රසාද ලකුණු 11 ක් පමණක් ලබාගත් ඔහු 17 වන ස්ථානය තෙක් පසුබැස ගියා. එය 2001 වර්ෂයේ ඔහු ධාවන පිටියට පිවිසි තරගවාරයෙන් අනතුරු ව ලැබූ පහළ ම ස්ථානය වීම ද විශේෂත්වයක්. 2016 දී පෙර වර්ෂයට වඩා සාර්ථක වුවත් ඔහුට හිමි වූයේ 10 වන ස්ථානය යි.

මැක්ලරන් සමඟ තරග වදිමින් – www.f1.com

මේ කාලයේ දී ලුවිස් හැමිල්ටන් ප්‍රමුඛ මර්සිඩීස් කණ්ඩායම ෆෝමියුලා වන් ධාවන පථයේ ජය කෙහෙළි නංවමින් සිටියා. ඇලොන්සෝ පැදවූ මැක්ලරන් මෝටර් රථයට ඔවුන් සමඟ කරට කර තරග වැදීමට හැකියාවක් තිබුණේ නෑ. 2017 දී ද මැක්ලරන් සමඟ සිටියත් නැවතත් 15 වන ස්ථානයට වැටීමට ඇලොන්සෝට සිදු වුණා. 2018 දී ද ඔහුට හිමි වූයේ 11 වන ස්ථානය යි.

ඇලොන්සෝ ෆෝමියුලා වන් ධාවනයෙන් ඉවත් වෙයි

දිගින් දිගට ම අසාර්ථක තරගවාර කිහිපයක් පසු කිරීම නිසා ෆෝමියුලා වන් පිටියෙන් ඉවත් වීමට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ තීරණය කළා. 2019 වර්ෂය වන විට ඔහුගේ වයස අවුරුදු 38 ක් වීම නිසා ප්‍රධාන කණ්ඩායමක ප්‍රධාන රියදුරෙක් වීමේ හැකියාව ද අවම වුණා. මේ නිසා 2019 වර්ෂයේ සිට ෆර්නැන්ඩෝ ඇලොන්සෝ වෙනත් මෝටර් රථ ධාවන තරග කෙරෙහි අවධානය යොමු කළා.

2019 දී ලෙ මාන්ස් පැය 24 ධාවන තරගයට එක්වූ ඔහු එය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉන්ඩිකාර් ධාවනයට ද ඇලොන්සෝ එක් වී තිබුණා. ඉන්ඩිකාර් ධාවනයෙන් එතරම් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාවක් නොලැබුණත් 2018/19 FIA World Endurance ශූරතාව වෙනුවෙන් තරග වදිමින් එය ජයග්‍රහණය කිරීමට ඔහු සමත්කම් දැක්වූවා.

ලෙ මාන්ස් පැය 24 තරග ජයග්‍රහණය සමරන ඇලොන්සෝ – www.eurosport.com

2020 දී නැවත වතාවක් ඉන්ඩිකාර් ධාවනයට හා ඩකාර් රැලි ධාවනයට ද ෆර්නැන්ඩෝ ඇලොන්සෝ කටයුතු කළා. ඔහු දිගින් දිගට ම ප්‍රකාශ කළේ මෝටර් රථ ධාවන තරග තුළින් තමන් ලබා ගන්නා තෘප්තිය නිසා විශ්‍රාම යෑමට අදහසක් නොමැති බව යි. 2021 වර්ෂය ආරම්භයේ දී ම ෆෝමියුලා වන් පිටියෙන් ෆර්නැන්ඩෝ ඇලොන්සෝට නැවත වතාවක් ආරාධනයක් හිමි වුණා.

ඇලොන්සෝ නැවතත් ෆෝමියුලා වන් ධාවනයට

2021 වර්ෂයේ සිට ෆෝමියුලා වන් පිටියට නවක කණ්ඩායමක් ලෙසින් පැමිණි ඇල්පීන් ෆර්නැන්ඩෝ ඇලොන්සෝට තම කණ්ඩායම හා එක්වන්නැයි ආරාධනා කළා. එම ආරාධනය පිළි ගත් ඇලොන්සෝ ඇල්පීන් සමඟ ගිවිසුම්ගත වුණා. 2021 ලෝක ශූරතාවේ 10 වන ස්ථානය ට පත් වූව ද කටාර් අදියරේ තෙවන ස්ථානය දිනා ගැනීමට ඇලොන්සෝ සමත් වුණා.

ඇල්පීන් තම ෆෝමියුලා වන් ඉතිහාසයේ ලබා ගත් පළමු ජයග්‍රහණය වූ 2021 හංගේරියා අදියරේ දී ෆර්නැන්ඩෝ ඇලොන්සෝ කැපී පෙනෙන ධාවනයක නිරත වුණා. එහිදී කණ්ඩායම් සගයා වූ එස්ටෙබාන් ඔකෝන් ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි සහාය ධාවනයක් ඇලොන්සෝ ලබා දුන්නා. මර්සිඩීස් ධාවක ලුවිස් හැමිල්ටන්ට තරග වට ගණනාවක් ඉදිරියට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඇලොන්සෝ ධාවනය කළා. එම ආරක්ෂිත පියවර නිසා ඇල්පීන් ධාවක එස්ටෙබාන් ඔකෝන් හංගේරියා අදියර ජයග්‍රහණය කළා.

2021 හංගේරියා අදියරේදී ලුවිස් හැමිල්ටන්ට ඉදිරියට පැමිණීමට ඇලොන්සෝ ඉඩ ලබා දුන්නේ නෑ – www.therace.com

2022 දී ද ඇල්පීන් සමඟ ධාවනයේ යෙදුණු ඇලොන්සෝ ප්‍රසාද ලකුණු 81 ක් ද සමඟ 9 වන ස්ථානය දිනා ගත්තා. ඒ වයස යනු හුදු ඉලක්කමක් පමණක් බව අනෙක් ධාවකයන්ට පසක් කරමින්. නවක ඇල්පීන් කණ්ඩායම සමස්ත කණ්ඩායම් ශූරතාවේ සිව්වන ස්ථානය ද දිනා ගත්තා. ඇලොන්සෝ 2023 නව තරග වාරයේ සිට ඇස්ටන් මාර්ටින් සමඟින් ගිවිසුම් ගත වුණා. වයස අවුරුදු 42 දී ත් ලොව හොඳ ම මෝටර් රථ ධාවන තරගයේ ප්‍රධාන ධාවකයෙක් ලෙසින් ඔහු කටයුතු කිරීමට නියමිත යි.

සමස්ත ෆෝමියුලා වන් තරග වාර්තාව

ෆෝමියුලා වන් ඉතිහාසයේ ම වැඩි ම ගෝන් ප්‍රී තරග සංඛ්‍යාවක් ආරම්භ කිරීමේ වාර්තාව ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සතු වනවා. ඔහු අදියර 358 ක් ධාවනයේ ‍යෙදී ඇති අතර ඉන් අදියර 355 ක් ම ආරම්භ කිරීමට ද සමත් වුණා. එම අදියර 358 දී ඔහු ලැබූ ජයග්‍රහණයන් සංඛ්‍යාව 32 ක්. එමෙන්ම පළමු ස්ථාන තුන ඇතුළත අවස්ථා 98 ක් වාර්තා කිරීමට ද සමත් වුණා.

කාල ගණන අදියරවලින් පළමු ස්ථාන 22 ක් සහ වේගවත් ම තරග වට 23 ක් ද ඇලොන්සෝ ගේ ෆෝමියුලා වන් වාර්තාවලට අයත්. සමස්ත ෆෝමියුලා වන් ඉතිහාසයේ ම වැඩි ම තරග ගණනක් ජයග්‍රහණය කළ ලැයිස්තුවේ 7 වන ස්ථානය ෆර්නැන්ඩෝ ඇලොන්සෝ ට හිමි ව තිබෙනවා. ස්පාඤ්ඤය බිහි කළ විශිෂ්ටත ම මෝටර් රථ ධාවකයා ඔහු බවට බොහෝ දෙනෙක් අවිවාදයෙන් සලකනවා.

ඇලොන්සෝ 2023 සිට ඇස්ටන් මාර්ටින් සමගින් ධාවනයට එක් වීමට නියමිතයි – www.planetf1.com

වසර 22 ක වෘත්තියමය දිවියේ ෆෝමියුලා වන් ලෝක ශූරතා ද්විත්වයක් මෙන් ම අනුශූරතා තුනක් ෆර්නැන්ඩෝ ඇලොන්සෝ ගේ වර්ණවත් ක්‍රීඩා දිවියට අයත්. තවදුරටත් තරග වැදීමට ප්‍රිය කරන බවට පවසමින් වසය අවුරුදු 42 ක් වුවත් නැවතීමට ඔහු සූදානම් වී නෑ. යුගයක ආධිපත්‍යය පැතිර වූ මෙම තරුව තවත් වසර කිහිපයක් වුවත් ධාවන පථය තුළ දැක ගන්නට ලැබුණහොත් එය විමතියට කරුණක් නොවෙනු ඇති.

කවරයේ ඡායාරූපය - ෆර්නැන්ඩෝ ඇලොන්සෝ ඇල්පීන් සමග තරග වදින සමය - www.cnn.com
මූලාශ්‍ර :
www.formula1.com
www.planetf1.com
www.motorsport.com

Related Articles