Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆෝමියුලා වන් යුද පිටියක් වූ රාජකීය ගුවන් හමුදා ධාවන පථය

ෆෝමියුලා වන් මෙන් ම සමස්ත මෝටර් රථ ධාවන ඉතිහාසය පිළිබඳ ව සැලකූ විට ඇතැම් ධාවන පථ සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. එයට හේතුව වන්නේ එම ධාවන පථ බොහෝ කාලයක් තිස්සේ භාවිත කිරීමත්, වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වීමත් යන කරුණු හේතුවෙන්.

එලෙස වසරේ ෆෝමියුලා වන් කැලැන්ඩරයේ වඩාත් ම සුවිශේෂී තරගයක් පැවැත්වෙන ධාවන පථයක් ලෙසින් සිල්වර්ස්ටෝන් ධාවන පථය හැඳින්විය හැකි යි.

සිල්වර්ස්ටෝන් ධාවන පථය – www.thenewyorktimes.com

මහා බ්‍රිතාන්‍යයේ නොර්තම්ප්ටොන්ශෙයර්හි මේ සිල්වර්ස්ටෝන් ධාවන පථය පිහිටලා තිබෙනවා. 1948 දී විවෘත කළ ධාවන පථයට දැනට වසර 75 ක පමණ ඉතිහාසයක් හිමි යි. මේ වන විට ෆෝමියුලා වන් තරග සඳහා භාවිත වන ධාවන පථය කිලෝමීටර් 5.891 ක දිගින් යුක්ත වනවා. එහි ඇති වංගු සංඛ්‍යාව 18 ක්. ෆෝමියුලා වන් ධාවනයට අමතර ව තවත් මෝටර් සයිකල් සහ මෝටර් රථ ධාවන ඉසව් සඳහා ද මෙම සිල්වර්ස්ටෝන් ධාවන පථය යොදා ගන්නවා.

මෙම ලිපියෙන් ෆෝමියුලා වන් තරග සඳහා සිල්වර්ස්ටෝන් භාවිතා වන ආකාරය පිළිබඳ ව අවධානය යොමු කෙරෙනු ඇති.

සිල්වර්ස්ටෝන් ඉතිහාසය 

මෙම ධාවන පථය ප්‍රථමයෙන් ම භාවිත කළේ ධාවන තරග සඳහා නොවේ. 1943 සිට 1946 කාලය දක්වා මෙහි රාජකීය ගුවන් හමුදා ධාවන පථයක් පැවතියා. විශේෂයෙන් ම දෙවන ලෝක යුද සමයේ දී බෝම්බ දැමීම සඳහා පිටත් වන ගුවන් යානා ධාවන පථයක් වශයෙන් මෙය පැවතීම ද විශේෂත්වයක්. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරු ව සිල්වර්ස්ටෝන් ධාවන පථය මෝටර් රථ ධාවනය වෙනුවෙන් වෙන් කෙරුණා. 1946 සිට ම සුළු වශයෙන් මෙහි ධාවන තරග පැවැත්වුණත් ප්‍රධාන මට්ටමේ තරග සඳහා සිල්වර්ස්ටෝන් විවෘත වන්නේ 1948 වසරේදී යි.

1948 දී RAC (Royal Automobile Club) සභාපති ධූරය දැරූ විල්ෆ්‍රඩ් ඇන්ඩෲස් මෙම ධාවන පථයේ ගෝන් ප්‍රී තරග පැවැත්විය හැකි බවට යෝජනා කළා. එම යෝජනාව නිසා වෙනදා පැවැත්වෙන අන්දමට අධිවේගී මාර්ග වසා අතිරේක පරිශ්‍රමයක් දැරීමට අවශ්‍ය නොවන බව ද ඔහු පෙන්වා දුන්නා. ඒ අනුව 1927 සිට බෲක්ලන්ඩ් හි ඩොනින්ටන් පාක්හි ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී අදියර සිල්වර්ස්ටෝන් වෙතර රැගෙන ඒමට කටයුතු සිදු වුණා. 

1950 පැවති පළමු සිල්වර්ස්ටෝන් අදියරේ අවස්ථාවක් – www.f1.com

මෙහි පළමු ගෝන් ප්‍රී අදියර පැවැත්වීමට 1930 සැප්තැම්බර් මස 30 වනදා සියලු කටයුතු සූදානම් වී තිබුණා. එදින තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය පැවැත්වීමට හැකියාව ලැබුණේ නෑ. මේ හේතුවෙන් සිල්වර්ස්ටෝන්හි පළමු ගෝන් ප්‍රී තරගය පැවැත්වුණු දිනය 1948 ඔක්තෝබර් මස 02 ලෙසින් සටහන් වුණා. මසරාටි 4CLT/48s රථයක් ධාවනය කළ ලුයිජි විලෝරෙසි පළමු ගෝන් ප්‍රී තරගය ජයග්‍රහණය කළා. කෙසේ වෙතත් ඉතිහාසයේ සටහන් වන පරිදි ප්‍රධාන ලෝක ශූරතාව වෙනුවෙන් සිල්වර්ස්ටෝන් වෙන් වන්නේ 1950 වසරේදී යි. 

1950 සිට ඉදිරියට

පළමු වතාවට ලෝක ශූරතාවය වෙනුවෙන් නිල බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී අදියර 1950 වර්ෂයේ දී පැවැත්වුණා. එම තරගයේ සමාරම්භක අවස්ථාව වෙනුවෙන් හයවන ජෝර්ජ් රජතුමන් සහ එලිසබෙත් රැජන ද සහභාගී වීම විශේෂත්වයක්. බ්‍රිතාන්‍ය තේජවන්ත බව ලොවට විදහා පාමින් මෙම තරගය සිල්වර්ස්ටෝන් හී දි නිල වශයෙන් ආරම්භ වුණා. කිලෝමීටර් 330 ක සමස්ත දුරකින් සමන්විත වූ තරගයේ ජයග්‍රහණය ඇල්ෆා රෝමියෝ කණ්ඩායම නියෝජනය කළ ඉතාලි ජාතික ගියුසෙපේ ෆරීනාට හිමි වුණා. 

1951 වර්ෂයේ දී ඇල්ෆා රොමේරෝ කණ්ඩායමට පිට පිටම දෙවන වතාවට ජයග්‍රහණය කිරීමට ෆෙරාරි කණ්ඩායම නියෝජනය කළ ආජන්ටිනා ජාතික ෆ්‍රොයිලන් ගොන්සාලෙස් ඉඩ ලබා දුන්නේ නෑ. ඔහු 1951 සිල්වර්ස්ටෝන් අදියර ජයග්‍රහණය කළා. 1951 වර්ෂය වන විට දී බ්‍රිතාන්‍ය මෝටර් ධාවන තරග රියදුරන්ගේ සංගමය (British Racing Driver’s Club) සිල්වර්ස්ටෝන් අදියර සම්බන්ධයෙන් තම අවධානය යොමු කිරීමට සූදානම් වුණා. 

පළමු සිල්වර්ස්ටෝන් අදියර ජයග්‍රහණය කළ ගියුසෙපේ ෆරීනා – www.motorsportmagazine.com

මෙතෙක් කල් RAC මඟින් ක්‍රියාත්මක වූ සිල්වර්ස්ටෝන් අදියර පැවැත්වීමට බ්‍රිතාන්‍ය මෝටර් රථ රියදුරන් ගේ සංගමය එක් වීම යම් නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට සමත් වුණා. ජේම්ස් බ්‍රවුන් තවදුරටත් ධාවන පථයේ කළමනාකරු වශයෙන් කටයුතු කළා. කෙසේ වුවත් 1952 සහ 1953 යන වර්ෂවල දී ෆෝමියුලා ටූ තරග පැවැත්වීම හැරෙන්නට නිල අදියරක් සිල්වර්ස්ටෝන් හි ක්‍රියාත්මක වූයේ නෑ. නැවතත් 1954 දී සිල්වර්ස්ටෝන් අදියර සුපුරුදු පරිදි ආරම්භ වුණා. 

වසර දෙකෙන් දෙකට ෆෝමියුලා වන් බ්‍රිතාන්‍ය අදියරක්

1954 සාර්ථක ගෝන් ප්‍රී අදියරක් පැවැත්වීමෙන් අනතුරුව සෑම වසර දෙකකට වරක් ම තරගය සිල්වර්ස්ටෝන්හි පැවැත්වීමට තීරණය වුණා. සෑම වසරක ම බ්‍රිතාන්‍ය අදියරක් ක්‍රියාත්මක වුවත් එය ධාවන පථ ද්විත්වයක පැවැත්වීමට කටයුතු යෙදීම විශේෂත්වයක්. අයින්ට්‍රී (Aintree) ධාවන පථයේ සහ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ සෑම වසරක ම මාරුවෙන් මාරුවට ෆෝමියුලා වන් ලෝක ශූරතාවේ අදියරක් 1964 වර්ෂය දක්වා ක්‍රියාත්මක වුණා.

1964 දී අයින්ට්‍රී ධාවන පථය වාර්ෂික ගෝන් ප්‍රී තරග සංවිධානයෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට බ්‍රෑන්ඩ්ස් හැච් (Brands Hatch) ධාවන පථය එම අවස්ථාව හිමි කර ගත්තා. ඔවුන් 1964 සිට සිල්වර්ස්ටෝන් සමඟ වසරක් ඇර වසරක් වාර්ෂික බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී අදියර සංවිධානය කළා.

1963 සිට 1987 වනතෙක් සෑම වසර දෙකකට වරක් ම සිල්වර්ස්ටෝන් ධාවන පථයේ ක්‍රියාත්මක වූ ෆෝමියුලා වන් අදියර සංඛ්‍යාව 13 ක්. 1988 සිට මේ දක්වා බ්‍රිතාන්‍ය අදියර පැවැත්වීමේ වාර්ෂික වගකීම සිල්වර්ස්ටෝන් සතු වුණා. 

80 දශකයේ පැවති ෆෝමියුලා වන් තරගයක අවස්ථාවක් – www.speedcafe.com

1988 සිට තවමත් මහා බ්‍රිතාන්‍යයේ ෆෝමියුලා වන් ලෝක ශූරතා අදියර සංවිධානය වන්නේ සිල්වර්ස්ටෝන් ධාවන පථය තුළ යි. මේ හේතුවෙන් එරට ප්‍රේක්ෂකයන් ගේ සුවිශේෂී අවධානයක් මෙම ධාවන පථයට හිමි වී තිබෙනවා. එපමණක් නොව මෙහි තරගයක් ජයග්‍රහණය කිරීමෙන් සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට ඕනෑම රියදුරකුට අවස්ථාව හිමි වීම ද විශේෂත්වයක්. 1988 සිට 2022 දක්වා නොකඩවා ෆෝමියුලා වන් අදියර 36 ක් ක්‍රියාත්මක වුණා. 

ජයග්‍රාහකයෝ 

පෙර සඳහන් කළ ආකාරයට ම කිලෝමීටර් 5.891 ක දිගකින් සිල්වර්ස්ටෝන් ධාවන පථය සමන්විත වනවා. එය සටහන් වන්නේ වසරේ පැවැත්වෙන ෆෝමියුලා වන් අදියර අතරේ තෙවැනියට වැඩි ම දුරකින් සමන්විත ධාවන පථය ලෙසින්. වර්තමානයේදී එහි ෆෝමියුලා වන් අදියරක් සඳහා තරග වට 52 ක් ඇතුළත් වනවා. එය සමස්තයක් වශයෙන් කිලෝමීටර් 306.198 ක දුරක්. මෙහි වේගවත් ම තරග වටය වාර්තාව වත්මන් ලෝක ශූර මැක්ස් වර්ස්ටාපන්ට හිමි යි. ඔහු විනාඩි 1 තත්ත්පර 27.097 ක කාලයක් තුළ එක් වටයක් අවසන් කළා.

8 වතාවක් සිල්වර්ස්ටෝන් ධාවන පථයේ ජයග්‍රහණයන් ලැබූ ලුවිස් හැමිල්ටන් – www.cnn.com

සිල්වර්ස්ටෝන් ධාවන පථයේ වැඩිම ජයග්‍රහණ ලැබීමේ වාර්තාව බ්‍රිතාන්‍ය ධාවක ලුවිස් හැමිල්ටන් සතු වනවා. ඔහු 8 වතාවක් සිල්වර්ස්ටෝන් අදියර ජයග්‍රහණය කළා. හැමිල්ටන් 2014 සිට 2017 දක්වා පිට පිට සිව් වතාවක් ම ෆෝමියුලා වන් බ්‍රිතාන්‍ය අදියර ජයග්‍රහණය කිරීම ද විශේෂ යි. සමස්තයක් වශයෙන් බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩකයන් 23 වතාවක් ගෝන් ප්‍රී ජයග්‍රහණය සිල්වර්ස්ටෝන් හී දි ලබා ගෙන තිබෙනවා.

හැමිල්ටන්ට අමතර ව තවත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන නයිජල් මැන්සෙල් සිව් වතාවක් සිල්වර්ස්ටෝන් අදියර ජයග්‍රහණය කළා. බ්‍රිතාන්‍ය ජාතිකයන් ගෙන් පිට වැඩි ම සාර්ථකත්වයක් පෙන්වූ ප්‍රංශ සම්භවයකින් යුතු ඇලන් ප්‍රොස්ට් මෙම අදියර 5 වතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ලුවිස් හැමිල්ටන් ගෙන් පසුව වැඩිම වතාවක් සිල්වර්ස්ටෝන් ජයග්‍රහණයන් ලබා සිටින්නේ ඔහු වීම ද විශේෂත්වයක්. ආජන්ටිනා ජාතික හෝසේ ෆ්‍රොයිලන් ගොන්සාලෙස් 1951 සහ 1954 ජයග්‍රහණය ලබා ගනිමින් සිල්වර්ස්ටෝන් ධාවන පථයේ ජයග්‍රහණ දෙකක් ලැබූ පළමු ධාවකය බවට වාර්තා වුණා. 

2022 බ්‍රිතාන්‍ය අදියර ජයග්‍රහණය කළ ෆෙරාරි ධාවක කාලෝස් සයින්ස් – www.hindustantimes.com

ෆෝමියුලා වන් ඉතිහාසයේ බිහි වූ සුපිරිත ම ධාවකයන් වන අයර්ටන් සෙනා, මයිකල් ශූමාකර්, ෆර්නැන්ඩෝ ඇලොන්සෝ, සෙබස්තියන් වෙටල් වැනි ධාවකයන් ද මෙම අදියර ජයග්‍රහණය කළ ධාවක නාමයන්ට අයත්. වත්මන් ලෝක ශූරයා වන මැක්ස් වර්ස්ටාපන් 2020 වර්ෂයේ දී සිල්වර්ස්ටෝන් අදියර ජයග්‍රහණය කළා. එතැන් පටන් ඔහුට තවමත් එහි ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව ලැබුණේ නෑ. 2022 වසරේ අවසන් වතාවට පැවති සිල්වර්ස්ටෝන් අදියරේ ජයග්‍රහණය ෆෙරාරි කණ්ඩායම නියෝජනය කළ ස්පාඤ්ඤ ජාතික කාලෝස් සයින්ස් සතු වුණා. 

සිල්වර්ස්ටෝන් හි අමතක නොවන මතක

1973 වර්ෂයේ පැවති සිල්වර්ස්ටෝන් ගෝන් ප්‍රී අදියරේ රියදුරන් 29 දෙනෙක් තරගයට සහභාගී වුණා. සිදුවූ අනතුරු හේතුවෙන් තරගය අවසන් කිරීමට සමත් වූයේ ධාවකයන් 13 දෙනෙක් පමණ යි. තරගය ආරම්භ වූ විගස ම මැක්ලරන් ධාවක ජෝඩි ශෙක්ටර් ගේ අනතුරින් පසුව මෝටර් රථ ගණනාවක් එකිනෙක ගැටීම මෙම අනතුරට හේතු වුණා. වාසනාවකට මෙන් එකී අනතුරෙන් කිසිවකුටත් ජීවිත හානියක් සිදු වූයේ නෑ. 

1973 සිල්වර්ස්ටෝන් අදියරේ දරුණු අනතුර සිදු වූ අවස්ථාව – www.autosport.com

1991 වර්ෂයේ ෆෝමියුලා වන් ලෝක ශූරතාව අතරතුර නයිජල් මැන්සල් සහ අයර්ටන් සෙනා අතරේ ශූරතාව වෙනුවෙන් දරුණු සටනක් නිර්මාණය වී තිබුණා. එම සටනේ අතිශය උණුසුම් අදියරක් බවට පත් වූ සිල්වර්ස්ටෝන් අදියර ජයග්‍රහණය කිරීමට බ්‍රිතාන්‍ය ජාතික නයිජල් මැන්සල් සමත් වුණා.

මෙම අදියරේ අවසන් භාගයේ දී අයර්ටන් සෙනාට තරගය අවසන් කිරීමට සිදු වූයේ මෝටර් රථයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන්. තරගය අවසන් වීමෙන් අනතුරු ව නයිජල් මැන්සල් තමන්ගේ විලියම්ස් රථයේ පසෙක අයර්ටන් සෙනා නංවාගෙන නැවත තරග ආරම්භක ස්ථානය වෙතට පැමිණීම අතිශය සුන්දර දර්ශනයක් වූවා. 

1998 වර්ෂයේ සිල්වර්ස්ටෝන් හි පැවති ෆෝමියුලා වන් ලෝක ශූරතා අදියර අතරතුර දී අනතුරක් සිදු වීම නිසා ආරක්ෂිත මෝටර් රථයක් (Safety Car) යෙදවීමට කටයුතු යෙදුණා. එම ආරක්ෂිත මෝටර් රථය යටතේ ධාවනය කරමින් මයිකල් ශූමාකර් ඇලෙක්සැන්ඩර් වුර්ස් පසු කිරීමට කටයුතු කළා. (මෙම තත්ත්වය යටතේ පෙර අවසරයකින් තොරව කිසිදු මෝටර් රථයක් පසු කිරීම කළ නොහැකියි.)

මේ නිසා ශූමාකර් තත්ත්පර 10 ක දඬුවම් කාලයකට යටත් කෙරුණා. තම කණ්ඩායම සිටින ස්ථානයට පැමිණි ශූමාකර් තත්ත්පර 10 ක් මෝටර් රථය නවතාගෙන සිට ඉන් අනතුරු ව තරගයට පිවිස එය ජයග්‍රහණය කළා. දඬුවම් කාලය ද ගත කර පැමිණ ශූමාකර් ලබා ගත් සිල්වර්ස්ටෝන් ජයග්‍රහණය අදටත් ඓතිහාසික යි. 

නයිජල් මැන්සෙල් අයර්ටන් සෙනා තම රථයේ නංවාගෙන ගමන් කළ අවස්ථාව – www.topgear.com

මේ ආකාරයෙන් සුන්දර මතක ගණනාවක් හිමි සිල්වර්ස්ටෝන් ධාවන පථයේ 2023 වර්ෂයේ ෆෝමියුලා වන් තරගයක් පැවැත්වීමට ද සියලු කටයුතු සූදානම් වී තිබෙනවා. 2023 ලෝක ශූරතාවේ 11 වන අදියර වන මෙය ලබන ජූලි 9 වැනි දා පැවැත්වීමට නියමිත යි.

බ්‍රිතාන්‍ය මෝටර් රථ ධාවන තරග රියදුරන්ගේ සංගමය 2023 ෆෝමියුලා වන් අදියර සංවිධානය කරනවා. 150, 000 ක පමණ පිරිසකට නැරඹීමට පහසුකම් සහිත සිල්වර්ස්ටෝන් ධාවන පථයේ ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් මේ වසරේ දීත් කණ්ඩායම් 10 ක රියදුරන් 20 දෙනෙක් සූදානමින් පසු වනවා. 

Related Articles