Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2023 වර්ෂයට එළි දැක්වූ නවත ම ෆෝමියුලා වන් රථ 10ක්

2023 ෆෝමියුලා වන් ලෝක ශූරතාව බහරේනයේ දී පසුගිය දා ආරම්භ වුණා. මේ වන විට එහි අදියර දෙකක් පවත්වා අවසන්. එම අදියර ද්විත්වයේ ජයග්‍රහණය පිළිවෙළින් රෙඩ්බුල් ධාවකයන් දෙපළ වන මැක්ස් වර්ස්ටාපන් සහ සර්ජියෝ පෙරෙස් දිනා ගත්තා.

බහරේන අදියරේ ජයග්‍රහණය මැක්ස් වර්ස්ටාපන් සතු වූ අතර දෙවන ස්ථානය සර්ජියෝ පෙරෙස්ට සහ තෙවන ස්ථානය ෆර්නැන්ඩෝ ඇලොන්සෝට හිමි වුණා.

2023 වර්ෂයේ ධාවනයේ නිරත වන ධාවකයෝ – Beata Zawrzel/NurPhoto via www.Getty Images.com

සෞදි අරාබි අදියරේ දී එයට සමාන ම ප්‍රතිඵලයක් ලැබෙමින් ජයග්‍රහණය සර්ජියෝ පෙරෙස් දිනා ගත්තා. එවර දෙවන ස්ථානය මැක්ස් වර්ස්ටාපන්ට හිමි වෙද්දී ෆර්නැන්ඩෝ ඇලොන්සෝ නැවතත් තෙවන ස්ථානයට පත් වුණා. වේගවත් ම තරග වටයක් නිමා කිරීම හේතුවෙන් මැක්ස් වර්ස්ටාපන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් ම පසු වනවා. මීළඟ අදියර අප්‍රේල් මස 02 වන දා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත යි.

සුපුරුදු පරිදි කණ්ඩායම් 10 ක් නියෝජනය කරමින් තරග වදින ධාවකයන් සංඛ්‍යාව 20 ක්. ඔවුන් වෙනුවෙන් නිර්මාණය වූ මෝටර් රථ තරගවාරය ආරම්භයට ප්‍රථමයෙන් එළි දැක්වුණා. මෙම ලිපියෙන් ඒ මෝටර් රථ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.

2023 ඇල්ෆා රොමේයෝ රථය එළි දැක්වුණ අවස්ථාව – www.f1.com

1. ඇල්ෆා රොමේයෝ

C43 චැසියක් සහ ෆෙරාරි 066/10 එන්ජිමකින් සමන්විත ඇල්ෆා රොමේයෝ රථය මෙවර එළි දැක්වූ ෆෝමියුලා වන් රථවලින් එකක්. චීන ජාතික ජෝ ග්වැන්‍යූ සහ ෆින්ලන්ත ජාතික වල්ටෙරි බොටාස් යන දෙපළ ඇල්ෆා රොමේයෝ වෙනුවෙන් තරග බිමට පිවිසෙනවා.

තරගකාරිත්වය අතින් මෙවර ඇල්ෆා රොමේයෝ රථය යම්තාක් පසුපසින් සිටින බවට විශ්වාස කළ හැකි යි. ඔවුන් තරගවාරයේ තවමත් සාර්ථක ප්‍රතිඵල අත්‍කර ගත්තේ නෑ.

ධාවන පථයට පිවිසි ඇල්ෆා රොමේයෝ රථය – Eric Alonso/www.Getty Images.com

2. ඇල්ෆා ටවුරි

ජපාන ජාතික යුකී සුනෝඩා සහ නෙදර්ලන්තයේ නික් ඩි ව්‍රීස් මෙවර ඇල්ෆා ටවුරි වෙනුවෙන් තරග බිමට පිවිස තිබෙනවා. මේ අතරින් නික් සහභාගී වන්නේ තම මංගල ෆෝමියුලා වන් තරග වාරයට යි. ඔහු පසුගිය වර්ෂයේ විලියම්ස් සමඟ එක් අදියරක ධාවනයේ නිරත වුණා. AT04 චැසිය සහ හොන්ඩා සමාගම නිශ්පාදනය කරන හොන්ඩා RBPTH001 එන්ජිමකින් ඇල්ෆා ටවුරි රථය සමන්විත යි.

ඇල්පාටවුරි රථය සමඟ යුකී ට්සුනෝඩා සහ නික් ඩි ව්‍රීස් – www.alphatauri.com

3. ඇල්පීන්

පසුගිය තරග වාරයේ කණ්ඩායම් අදියරේ සිව්වන ස්ථානය දිනා ගත් ඇල්පීන් කණ්ඩායම මෙවර A523 නමින් හැඳින්වෙන චැසියක් සහ රෙනෝල්ට් E-Tech RE23 එන්ජිමක් භාවිත කරනවා. ප්‍රංශ ජාතිකයන් දෙපළක් වන එස්ටෙබාන් ඔකෝන් සහ පියර් ගැස්ලි මෙවර ඇල්පීන් සමග ධාවන පථයට පිවිසෙනවා.

බහරේන අදියරේ දී ඇල්පීන් වෙනුවෙන් සුවිශේෂී ධාවනයක නිරත වීමට පියර් ගැස්ලි සමත් වුණා. ඔහු එහිදී 20 වන ස්ථානයේ සිට 9 වන ස්ථානය දක්වා පැමිණීම ද විශේෂත්වයක්.

ඇල්පීන් රථය එළි දැක්වූ අවස්ථාව – www.racingnews365.com
ධාවකයන් දෙදෙනා සහ රථය – www.lerepubblica.com

4. ඇස්ටන් මාර්ටින්

2023 වර්ෂයේ ෆෝමියුලා වන් තරගවාරය තුළ වැඩි ම අවධානයක් දිනා ගත් කණ්ඩායම බවට ඇස්ටන් මාර්ටින් දැනට ම ලැයිස්තු ගත වී අවසන්. එයට හේතුව වන්නේ ඔවුන් මෙවර පැවති පළමු අදියර ද්විත්වයෙන් විශිෂ්ට දස්කම් දැක්වීම යි. ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සහ කැනඩාවේ ලාන්ස් ස්ට්‍රෝල් ඇස්ටන් මාර්ටින් වෙනුවෙන් ධාවන පථයට පිවිසෙනවා.

2023 පෙරළිකාර ඇස්‍ටන් මාර්ටින් රථය – www.autosport.com

AMR-23 චැසිය සහ මර්සිඩීස් AMG F1 M14 එන්ජිමකින් ඇස්ටන් මාර්ටින් රථය සවිමත්. මෙම මෝටර් රථය රෙඩ්බුල් රථයේ ම කාබන් කොපියක් බවට චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් පැවති තරග ද්විත්වයේ දී ම තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් වුණා.

ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සහ ලාන්ස් ස්ට්‍රෝල් රථය සමඟ – www.skysports.com

5. ෆෙරාරි

පසුගිය තරගවාරය තුළ ෆෙරාරි කණ්ඩායම මෝටර් රථයේ සිදු වූ දෝෂ හේතුවෙන් අවස්ථා ගණනාවක් ම හරිහැටි තරග අවසන් කළේ නෑ. මෙවර ඔවුන් එම අඩුපාඩු නිවැරැදි කරගත් බව ප්‍රකාශ කළත් බහරේන අදියරේ දී ම මෝටර් රථයේ දෝෂයක් නැවතත් ඇති වුණා.

අලංකාර ෆෙරාරි ෆෝමියුලා වන් රථය – www.motorsportsmagazine.com

මොනාකෝ ජාතික ශෝල් ලෙක්රෙක් සහ ස්පාඤ්ඤ ජාතික කාලෝස් සයින්ස් දෙපළ ෆෙරාරි කණ්ඩායමේ තරග වදිනවා. SF-23 අංකය දරණ චැසිය සහ ෆෙරාරි 066/10 එන්ජිමක් මෙම මෝටර් රථයට අයත්. ෆෙරාරි කණ්ඩායම තවමත් 2023 වර්ෂයේ බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක්වූයේ නෑ.

ධාවනයට එක් කළ පසු – www.autosports.com

6. හාස්

VF-23 චැසියක් සහ ෆෙරාරි මෝටර් රථයේ ම එන්ජිම වන ෆෙරාරි 066/10 වර්ගයේ එන්ජිමක් හාස් භාවිත කිරීම විශේෂත්වයක්. තරගවාරයේ සිටින එකම අමෙරිකානු කණ්ඩායම වන්නේ ද හාස් කණ්ඩායම යි.

2023 වර්ෂයේ ධාවනය වන හාස් රථය – www.skysports.com

ඩෙන්මාර්කයේ කෙවින් මැග්නසන් සහ ජර්මනියේ නිකෝ හල්කන්බර්ග් යන දෙදෙනා හාස් වෙනුවෙන් තරග බිමට පිවිසෙනවා. ඔවුන් තවමත් විශාල දස්කම් දැක්වීමට අපොහොසත් වුණා.

ඉදිරි තරගවලදී දක්ෂතා අතරට පැමිණීමේ අරමුණින් හාස් කණ්ඩායම මේ වන විට කටයුතු කරනවා.

කෙවින් මැග්නසන් සහ නිකෝ හල්කන්බර්ග් හාස් රථය සමඟ – wwwgpblog.com

7. මැක්ලරන්

බලාපොරොත්තු වූවාට වඩා දැඩි අසාර්ථකත්වයක් පෙන්වීම හේතුවෙන් මැක්ලරන් රථයේ ඉංජිනේරුවන් වෙනස් කිරීමේ සූදානමක් පවතින බවට ද පසුගියදා වාර්තා වුණා. බ්‍රිතාන්‍යයේ ලැන්ඩෝ නොරිස් සහ ඕස්ට්‍රේලියාවේ ඔස්කාර් පියෙස්ට්‍රි යන දෙපළ ම පැවති තරග ද්විත්වයේ ම පළමු 10 අතරට පැමිණියේ හෝ නෑ. මේ හේතුවෙන් මැක්ලරන් දැඩි අර්බුදයක සිරවී සිටිනවා.

මැක්ලරන් 2023 රථය – www.planetf1.com

MCL 60 නමින් හැඳින්වෙන චැසියක් සහ මර්සිඩීස් AMG F1 M14 එන්ජිම මැක්ලරන් මෝටර් රථය සතු යි. මේ වර්ගයේ එන්ජින් භාවිත කරන කණ්ඩායම් සංඛ්‍යාව 4 ක්.

මෝටර් රථයේ පවතින අඩුපාඩු නිවැරැදි කර ගනිමින් නැවත දස්කම් අතරට පිවිසීම මැක්ලරන් බලාපොරොත්තුව වී තිබෙනවා.

ධාවකයන් දෙපළ නව රථය සමඟ – www.motorsports.com

8. මර්සිඩීස්

7 වතාවක් ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනා ඇති බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් හැමිල්ටන් සහ බ්‍රිතාන්‍යයේ ම ජෝර්ජ් රසල්, මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරනවා. වසර 8 ක් එකදිගට කණ්ඩායම් ශූරතාව ජයග්‍රහණය කළත් මේ වන විට මර්සිඩීස් සිටින්නේ යම් පසුබෑමක බව ප්‍රකාශ කිරීම නිවැරැදි යි.

2023 මර්සිඩීස් කණ්ඩායමේ රථය – www.skysports.com

ඔවුන් මේ වසරේ ද තවමත් බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක්වූයේ නෑ. චැසිය F1 W14 සහ අනෙක් කණ්ඩායම් භාවිත කරන මර්සිඩීස් AMG F1 M14 එන්ජිම ඔවුන් ද භාවිත කරනවා. පවතින තත්ත්වය මත ඉක්මන් වෙනස් වීමක් ඔස්සේ නැවත ජයග්‍රහණය සොයා යාම මර්සිඩීස් අරමුණ බවට පත්ව තිබෙනවා.

ධාවකයන් සහ කණ්ඩායම් ප්‍රධානියා – www.planetf1.com

9. රෙඩ්බුල්

පසුගිය වසරේ කණ්ඩායම් ශූරතාව ජයග්‍රහණය කළ රෙඩ්බුල් වෙනුවෙන් පිට පිට ම දෙවතාවක් ලෝක ශූරතාව දිනා ඇති නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටාපන් සහ මෙක්සිකෝවේ සර්ජියෝ පෙරෙස් දෙපළ සුපුරුදු රිද්මයෙන් තරග බිමට අවතීර්ණ වුණා. ඔවුන් දෙපළ පළමු අදියර ද්විත්වය ම ජයග්‍රහණය කළා.

මෙවරත් සාර්ථක වන රෙඩ්බුල් රථය – www.skysports.com

2023 වර්ෂයේ ද හොඳ ම මෝටර් රථය තමන් සතු බවට රෙඩ්බුල් මේ වන විට ඔප්පු කරමින් සිටිනවා. RB19 චැසියට නැවත වතාවක් හොන්ඩා සමඟ ඇති කර ගත් එකඟතාව හේතුවෙන් හොන්ඩා RBPTH001 එන්ජිම එකතු කර තිබෙනවා. ඇල්පා ටවුරි රථයද භාවිත කරන්නේ මේ වර්ගයේ එන්ජිමක්. රෙඩ්බුල් මෙවරත් ලෝක ශූරතාව වෙනුවෙන් ගමන් කරන බවට පළමු අදියරවලින් ම ඉඟි පළ කොට අවසන්.

රථය එළි දැක්වූ අවස්ථාව – www.racingnews365.com

10. විලියම්ස්

කලක් ෆෝමියුලා වන් පිටිය අතික්‍රමණය කළ විලියම්ස් කණ්ඩායම මෑතකාලීන ව විශාල පසුබෑමකට ලක් වුණා. ඔවුන් 2022 වර්ෂයේ ද ලබා ගත්තේ අවසන් ස්ථානය යි. තායිලන්තයේ ඇලෙක්ස් ඇල්බොන් සහ නවක ධාවකයෙක් වන අමෙරිකාවේ ලොගාන් සාර්ජන්ට් විලියම්ස් නියෝජනය කරනවා.

2023 විලියම්ස් රථය – www.planetf1.com

ඔවුන් තවමත් මේ වසරේ ද සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේ නෑ. FW45 දරන චැසියක් සහ මර්සිඩීස් AMG F1 M14 දරන එන්ජිම විලියම්ස් සතු යි. පෙර සඳහන් කළ ආකාරයට ම එම එන්ජිම භාවිත කරන සිව්වන කණ්ඩායම වන්නේ ද ඔවුන්.

විලියම්ස් ධාවනයේ නිරත වෙමින් – www.speedcafe.com

කවරයේ ඡායාරූපය - 2023 බහරේන අදියර ආරම්භ කළ අවස්ථාව - Beata Zawrzel/NurPhoto via www.Getty Images.com
මූලාශ්‍ර -
www.f1.com
www.skysports.com
www.autosport.com

Related Articles