Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොදුරාජ්‍ය මණ්ඩලීය තරග බිමේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකා දස්කම්

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය එංගලන්තයේ බර්මින්හැම් හි දී පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වුණා. එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් සහභාගි වී සිටිනවා. එය එදා මෙදාතුර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියකට සහභාගි වුණු වැඩි ම ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය යි.

ඒ අයුරින් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා එකතු වුණු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් බර ඉසිලීමේ තරග ඉසව් සඳහා සහභාගි වුණු ක්‍රීඩකයන් මේ වන විට සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වී සිටිනවා. ඊට අමතර ව අපේ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සැලකිය යුතු තරම් දස්කම් දැක්වූවා. 

චින්තන පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම දිනාගත් මොහොත – gettyimages.com

බර ඉසිලීමේ කණ්ඩායම මෙවරත් පදක්කම් අතරට 

2006 වසරේ සිට මේ දක්වා පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිවල දී ශ්‍රී ලංකාවට වැඩි ම පදක්කම් ප්‍රමාණයක් බර ඉසිලීමේ ඉසව්වලින් හිමි වුණා. එහි දී ඔවුන් රන් පදක්කමක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගත්තා. ඒ අතුරින් චින්තන විදානගේ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගනිද්දී සුදේශ් පීරිස් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. 

 

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දීත් සිය යුතුකම ඉටු කළ බර ඉසිලීමේ කණ්ඩායම සිය රටට පළමු පදක්කම දිනා දුන්නා. ඒ කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය යටතේ තරග වැදුණු ඩිලංක ඉසුරු කුමාර යි. එහි දී ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 105ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 120ක් ලෙස සමස්ත බර කිලෝ ග්‍රෑම් 225ක් ඔසවමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

ඩිලංක ඉසුරු දිනාගත් ලෝකඩ පදක්කම සමඟින් – gettyimages.com

 

බැඩ්මින්ටන් කණ්ඩායම දැක්වූ දස්කම් 

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් තරග සඳහා නිලූක කරුණාරත්න, සචින් ඩයස්, තිළිණි හෙන්දහේවා, සුහස්නි විදානගේ, දුමිඳු අබේවික්‍රම යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වුණා.

එම කණ්ඩායම මූලික වටයේ තරගවල දී ඕස්ට්‍රේලියාව හමුවේ තරග 3-2ක් සහ පාකිස්තානය හමුවේ තරග 4-1 ලෙසින් ජයග්‍රහණ ලබද්දී, ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ තරග 5-0ක පරාජයක් ලැබුවා. ඒ අයුරින් පළමු වටයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානු තරගයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට සිදුවුණේ ප්‍රබල මැලේසියා කණ්ඩායම සමඟ යි. 2010 සහ 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය බැඩ්මින්ටන් කණ්ඩායම් රන් පදක්කම දිනා ගත් මැලේසියාව 2018 වසරේ දී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.

එවැනි ප්‍රබල කණ්ඩායමක් හමුවේ දස්කම් අතරට පිවිසීමට අසමත් වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරග වට 3-0ක පරාජයක් හිමි වුණා. 

ශ්‍රී ලංකා-මැලේසියා තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

ඕස්ට්‍රේලියා පදක්කම් සටහනේ පෙරමුණට 

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලි ඉතිහාසය තුළ වැඩි ම රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගෙන සිටින්නේ ඕස්ට්‍රේලියාව යි. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පළමු දින තුන යටතේ පැවති තරග ඉසව්වල දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුපුරුදු දස්කම් දක්වමින් රන් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වුණා.

එහි දී ඔවුන් පිහිනුම් සහ සයිකල් යන ක්‍රීඩාවලින් වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගත්තා. තරගාවලියේ තෙවන දිනයට නියමිත තරග අවසානයේ පදක්කම් සටහන යි මේ. 

තෙවන දිනය අවසන් වෙද්දී පදක්කම් සටහන – birmingham2022.com

 

ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අවසන් 

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය බ්‍රහස්පතින්දා නිමාවට පත් වුණා. එම තරගයෙන් ලකුණු 246ක ජයග්‍රහණයක් හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි.

එය එදා මෙදාතුර ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානය හමුවේ ලබාගත් ඉහළ ම ටෙස්ට් ජයග්‍රහණය (ලකුණුවලින්) ලෙස සටහන් වුණා. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ ලකුණු 209ක ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබා තිබුණේ 2012 වසරේ ගාල්ලේ දී පැවැත්වුණු ටෙස්ට් තරගයක දී යි. 

ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව – gettyimages.com

 

ඒ අයුරින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ටෙස්ට් තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය පිළිවෙළින් කඩුලු 9ක් සහ 8ක් දවා ගත්තා. පිත්තෙන් දස්කම් දැක්වූ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී අගනා ලකුණු 109ක් රැස් කළා.

ඊට අමතර ව දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල යන අය ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත්තා.

තරගය පුරාවට දැක්වූ රමේෂ් මෙන්ඩිස් – gettyimages.com

 

ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් එම ජයග්‍රහණයත් සමඟින් ටෙස්ට් තරගාවලිය තරග 1-1 ලෙස ජය පැරදුමෙන් තොර ව අවසන් වුණා. තරගාවලිය පුරා කඩුලු 17ක් දවා ගත් ප්‍රභාත් ජයසූරියට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා.

එසේ දවා ගත් කඩුලු 17ත් සමඟින් ප්‍රභාත් සිය ටෙස්ට් තරග දිවියේ තරග 3කදී කඩුලු 29ක් බිඳ දමා තිබෙනවා. එය දෙවනි වන්නේ ඉන්දියාවේ නරේන්ද්‍ර හිර්වානි සිය ටෙස්ට් තරග දිවියේ මුල් තරග තුනේ දී බිඳ දැමූ කඩුලු 31කට පමණ යි. 

ප්‍රභාත් ජයසූරිය – gettyimages.com

 

එසේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් 2021-23 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහළට යාමට ශ්‍රී ලංකාවට හැකිවුණා. මේ එම ටෙස්ට් තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 378/10, (චන්දිමාල්- 80, දික්වැල්ල- 51, ඕෂධ- 50, නසීම්- 58/3, යසීර්- 83/3)

පාකිස්තාන පළමු ඉනිම- 231/10, (සල්මන්- 62, ඉමාම්- 32, රමේෂ්- 47/5, ප්‍රභාත්- 80/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 360/8, (ධනංජය- 109, දිමුත්- 61, රමේෂ්- 45*, නසීම්- 44/2) 

පාකිස්තාන දෙවන ඉනිම- 261/10, (බාබර්- 81, ඉමාම්- 49, ප්‍රභාත්- 117/5, රමේෂ්- 101/4)

ශ්‍රී ලංකාවට ලකුණු 246ක ජයක් 

තරගයේ වීරයා- ධනංජය ද සිල්වා 

තරගාවලියේ වීරයා- ප්‍රභාත් ජයසූරිය 

ධනංජය සිය ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com 

44 වන ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ ශ්‍රී ලංකා දස්කම් 

44 වන ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි හි දී පසුගිය සිකුරාදා ආරම්භ වුණා. එය ඉන්දියාව ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියක් සඳහා සත්කාරකත්වය ලබාදෙන පළමු අවස්ථාව යි.

ලෝක චෙස් පිටියේ සිටින ප්‍රබලත ම රටවල් 2ක් වන රුසියාව සහ චීනය එයට සහභාගි නොවීම කාගේත් අවධානයට ලක් වුණු සිදුවීමක්. රුසියාව ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි නොවන්නේ 1976 වසරෙන් පසුව වීම විශේෂත්වයක්. 

තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක් – thehindu.com

 

මෙවර ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා කණ්ඩායම් සහභාගි වී සිටිනවා. එහි දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පළමු තරග වටයේ දී තරග වැදුණේ ප්‍රබල හංගේරියානු කණ්ඩායම සමඟ යි.

ග්‍රෑන්ඩ්මාස්ටර්වරුන් සිව්දෙනකුගෙන් සමන්විත වුණු එම කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජය වුණේ තරග 3-1ක් ලෙස යි. එහි දී 16 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකා ජාතික ශූර චෙස් සුසල් ද සිල්වා සහ 19 හැවිරිදි වියේ පසුවන රනිඳු ලියනගේ ඔවුන්ගේ තරග ජය පරාජයෙන් තොර ව අවසන් කර ගත්තා. 

සුසල් ද සිල්වා – facebook.com

 

සාමාන්‍යයෙන් ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලි ඉතිහාසයේ පළමු තරග වටයේ දී ශ්‍රී ලංකාවට තරග වැදීමට සිදුවන්නේ ප්‍රබල කණ්ඩායම් සමඟ යි. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව පළමු වටයේ දී හංගේරියාව හමුවේ ලබාගත් ලකුණු 1 ඉහළ ප්‍රතිපලයක්. ශ්‍රී ලංකාව මීට පෙර පැවති චෙස් ඔලිම්පියාඩ් තරගාවලිවල පළමු වටයේ දී ඉහළ ම ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙන්නේ 1984 දීයි.

එදා ඔවුන් චෙකොස්ලෝවැකියාව හමුවේ පරාජය වුණේ ලකුණු 2.5-1.5 ලෙස යි. එහි දී එවකට ජාතික චෙස් ශූරයෙක් වුණු හර්ෂ අතුරුපාන ග්‍රෑන්ඩ්මාස්ටර්වරයකු හමුවේ ජයග්‍රහණයක් වාර්තා කළා. 

 2014 තරගාවලියේ පළමු වටයේ දී රජීන්ද්‍ර කළුගම්පිටිය සහ ඉසුරු අලහකෝන් යන ක්‍රීඩකයන් ස්වීඩන් ග්‍රෑන්ඩ්මාස්ටවරුන් යුගළයක් හමුවේ තරග ජය පැරදුමෙන් තොරව අවසන් කළා. 

රජීන්ද්‍ර කළුගම්පිටිය – dailynews.lk

 

ඒ අයුරින් සාර්ථක ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දෙවන තරග වටයේ දී බහාමාස් රාජ්‍යය හමුවේ තරග 3.5-0.5ක් ලෙසින් පහසු ජයග්‍රහණයක් වාර්තා කළා. ඊළඟ වටයේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරග වැදුණේ ප්‍රබල උතුරු මැසිඩෝනියා කණ්ඩායම සමඟ යි.

එම තරග වටය ශ්‍රී ලංකාව 3-1ක් ලෙසින් පරාජය වුණා. එය චෙස් ඔලිම්පියාඩ් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් උතුරු මැසිඩෝනියාව හමුවේ ලබා තිබෙන ඉහළ ම ප්‍රතිඵලය යි. 

 ශ්‍රී ලංකා පිරිමි චෙස් කණ්ඩායම – facebook.com

 

ශ්‍රී ලංකා පිරිමි චෙස් කණ්ඩායම ඒ අයුරින් දස්කම් දක්වද්දී කාන්තා කණ්ඩායම පළමු වටයේ දී ප්‍රබල සර්බියා කණ්ඩායම හමුවේ තරග 4-0ක පරාජයක් ලැබුවා. ඊළඟ තරග වටයේ දී ටෝගෝ කණ්ඩායම හමුවේ තරග 4-0ක ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, තෙවන තරග වටයේ දී කැනඩාව හමුවේ තරග 3.5-0.5 ලෙසින් පරාජය ලැබුවා. තරගාවලියේ සිව්වන වටයේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සියරාලියොන් රාජ්‍යය සමඟ ද කාන්තා කණ්ඩායම අරුබා කණ්ඩායම සමඟ ද තරග වැදීමට නියමිත යි. 

ලිවර්පූල් කණ්ඩායමට 16 වසරකට පසුව සුපිරි පාපන්දු ජයග්‍රහණයක් 

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය සහ FA කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායම් අතර පැවැත්වෙන වාර්ෂික පාපන්දු තරගය FA Community Shield යන නමින් හැදින්වෙනවා. මෙවර එම තරගය සඳහා සහභාගි වුණේ මැන්චෙස්ටර් සිටි සහ ලිවර්පූල් යන කණ්ඩායම් දෙක යි.

ලෙස්ටර්ෂයර් හි කිංග් පවර් පිටියේ දී පසුගිය සෙනසුරාදා පැවති එම තරගයෙන් ගෝල 3-1ක ජයක් හිමි කර ගත්තේ ලිවර්පූල් කණ්ඩායම යි. එහි දී ජයග්‍රාහී ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් ඇලෙක්සැන්ඩර් ආනෝල්ඩ්,  මොහොමඩ් සලා සහ ඩාවින් රිබෙයිරෝ ගෝල වාර්තා කළා. එහි දී දක්නට ලැබුණු විශේෂ සිදුවීම වුණේ ලිවර්පූල් කණ්ඩායම වසර 16කට පසුව මෙම ශූරතාව දිනා ගැනීම යි. 

ශූරතාව දිනා ගත් ලිවර්පූල් කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය- පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කම දිනාගත් ඩිලංක - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

epl.com

chessresults.com

birmingham2022.com 

Related Articles