Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා-බංගලාදේශ තරගයේ පෙර විමසුම

මෙවර ලෝක කුසලාන තරගාවලියේ 16 වන තරගය බ්‍රිස්ටල් නුවර දී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර යි. අතීතයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් දරුණු ලෝක කුසලාන තරග පරාජයන් ලබා සිටින බංගලාදේශ කණ්ඩායම මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව සිටියි. එම නිසාම මෙවර තරගාවලියේ බංගලාදේශ-ශ්‍රී ලංකා තරගය තියුණු මුහුණුවරක් ගනු ඇති බවට විචාරකයන් දැනටමත් මත පළකර අවසන්. එසේ නම් එම තරගයට පෙර ඉදිරිපත් කෙරෙන පෙර විමසුම කියවා බලමු.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා-බංගලාදේශ ගැටුම්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම මුල්ම වරට ලෝක කුසලාන තරගයක දී මුණගැසුනේ 2003 තරගාවලියේ දී යි. එක්දින ක්‍රිකට් වාර්තා රැසක් බිහිවුණු එම තරගයෙන් බංගලාදේශ කණ්ඩායමට උරුම වුණේ දරුණු පරාජයක්. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 3ම පළමු පන්දුවාරයේ පළමු පන්දු 3න්ම ලබාගෙන විරල ගණයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට චමින්ද වාස්ට හැකිවුණා. ඊට අමතරව එම පන්දුවාරයේ තවත් කඩුල්ලක් ලබාගත් වාස් එක්දින තරගයක පන්දුවාරයක දී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා බවටත් පත්වුණා. එදා ලකුණු 25කට කඩුලු 6ක් ලබාගත් වාස්ගේ එම පන්දු යැවීම අදටත් ලෝක කුසලාන තරගයක දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වනවා.

බංගලාදේශය- 124/10 (31.1)

ශ්‍රී ලංකාව- 126/0 (21.1)

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

චමින්ද වාස් කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාව (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් 2ක තරග වැදුනු අවස්ථාවේ සනත් ජයසූරිය හයේ පහර 7ක් සමගින් ලබාගත් ලකුණු 109 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක් ලැබුණා. එදා සනත් එල්ල කළ හයේ පහර 7 ලෝක කුසලාන තරගයක දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු එල්ල කළ ඉහළම හයේ පහර ප්‍රමාණය යි. එදා සනත් අතින් බිඳ වැටුණේ 1996 ලෝක කුසලාන තරගාවලියේ දී අසංක ගුරුසිංහ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එල්ල කළ හයේ පහර 6යේ වාර්තාව යි.

ශ්‍රී ලංකාව- 318/4 (50)

බංගලාදේශය- 112/10 (37)

ශ්‍රී ලංකාවට ලකුණු 198ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

ජයසූරියගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක හමුවුණු 2015 ලෝක කුසලාන තරගාවලියේ දී දිල්ෂාන් සහ සංගක්කාර වාර්තා කළ ශතක නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක් හිමිවුණා. එහිදී නොදැවී ලකුණු 161ක් ලබාගත් දිල්ෂාන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කළා.

ශ්‍රී ලංකාව- 332/1 (50)

බංගලාදේශය- 240/10 (47)

ශ්‍රී ලංකාවට ලකුණු 92ක ජයක්

දිල්ෂාන්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

බ්‍රිස්ටල් පිටිය පිළිබඳව දත්තයන්

අවසන් වසර 10 තුළ බ්‍රිස්ටල් පිටියේ දී පවත්වා ඇත්තේ දිවා තරග 5ක් පමණ යි. ඉන් අවසන් වරට පැවති තරගයේ දී සහ පුහුණු තරගයේ දී මෙම තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය එකක් වුණා. නමුත් මිට වසර කිහිපයකට පෙර මෙම පිටිය පන්දු යවන්නන්ට හිතකර එකක් වුණු නිසා ඉහත සඳහන් කළ තරග 5 දී මුලින්ම පන්දුවට කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය අගය 215ක් වුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ පැවති අවසන් දිවා තරග 5 දී කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය ජයග්‍රහණය කළ කණ්ඩායම ජයගෙන තිබෙන්නේ එක් තරගයකින් පමණ යි. එමනිසා මෙම පිටියේ දී  කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් නොවනු ඇත.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වසර 10 තුළ මෙම පිටියේ දී පැවති දිවා තරග 5න් අවස්ථාවන් 4ක දීම කාසියේ වාසිය දිනූ කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් තණ තීරුවේ විශේෂ වෙනස්කමක් සිදු නොවුණොත් එලෙසම කාසියේ වාසිය දිනාගත් නායකයා කටයුතු කිරීමට ඇති ඉඩ වැඩියි.

බ්‍රිස්ටල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

ශ්‍රී ලංකාව පසුගිය වසර 10 ඇතුලත් බ්‍රිස්ටල් පිටියේ දී එක් තරගයක් ක්‍රීඩා කළා. නමුත් එම තරගය අවසානයේ දී නිමාව දුටුවේ ප්‍රතිඵලයක් රහිතව යි. නමුත් 2010 වසරේ මෙම පිටියේ දී එංගලන්තය පරාජය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණේ තියුණු තරගයකින් පසුවයි.

බංගලාදේශය- 236/7 (50)

ඉම්රුල් කයිස්- 76 (111)

ජහුරුල් ඉස්ලාම්- 40 (53)

අජ්මාල් ෂසාඩ්- 41/3 (10)

එංගලන්තය- 231/10 (49.3)

ජොනතත් ට්‍රොට්- 94 (130)

ෂෆියුල් ඉස්ලාම්- 38/2 (9.3)

ශකිබ් අල් හසන්- 40/2 (10)

බංගලාදේශ-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

අද පැවැත්වෙන ශ්‍රී ලංකා-බංගලාදේශ තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක තරග වැදුණේ 2018 ආසියානු කුසලාන තරගාවලියේ දී යි. එදා බංගලාදේශ කණ්ඩායම හමුවේ පරාජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණත් එම වසර මුල පැවති බංගලාදේශ තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එම නිසාම මෙවර පැවැත්වෙන තරගය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගැනීමට ඇති ඉඩ වැඩියි. විශේෂයෙන්ම බංගලාදේශ කණ්ඩායමේ සිටින සුපිරි ක්‍රීඩකයා වන ශකීබ් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල තර්ජනයක් වීමට ඇති ඉඩ වැඩියි. නමුත් අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් රැසක් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීම බංගලාදේශයට ලෙහෙසි පහසු වැඩක් නොවනු ඇති. එලෙසම අද තරගයට දිනය පුරාම වර්ෂාවෙන් බාධා එල්ල වීමට ඉඩ ඇති නිසා කෙටි තරගයක් පැවත්වීමට ඉඩ තිබෙනවා.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles