Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ බිඳ වැටුණු ලෝක කුසලාන බලාපොරොත්තු


2023 කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී මේ දිනවල පැවැත්වෙනවා. එම තරගාවලියේ මූලික තරග වටයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරග 2ක් පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම්වලට එරෙහිව යි.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් එම තරග දෙකෙන් එකක ජයග්‍රහණය අවශ්‍ය වුණා. එවැනි වටපිටාවක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය හමුවේ දරුණු පරාජයන් ලැබුවා. එනිසා ශ්‍රී ලංකා පිලට මෙවර කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට පිවිසීමට තිබුණු අවස්ථාව අහිමි ව ගියා.

ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් – gettyimages,com

කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ තොරතුරු

මෙවර කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය යටතේ පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගය ශාන්ත ජෝර්ජ්ස් පාක් පිටියේ දී පසුගිය බ්‍රහස්පතින්දා (16) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන්නේ ශ්‍රී ලංකාව යි. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉනිමේ මුල් භාගයේ දී කඩුලු අතැතිව ඉනිම ගොඩ නැඟුවා.

එනිසා ඉනිමේ 13 වන පන්දු වාරය නිමා වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 68/1ක් ලෙසින් දිස් වුණා. එම අවස්ථාවේ දී තරගයට අවතීර්ණ වුණු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් කඩුලු 2ක් ඉක්මනින් දවා ගත්තා. එතැන් සිට ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට නියමිත පන්දු වාර 20 දී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 112ක් පමණ යි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages,com

ඉන් පසු ලකුණු 113ක පහසු ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඇලීසා හීලි සහ බෙත් මූනි ඉනිම ආරම්භ කළා. එහි දී එම පිතිකාරිණියන් දෙදෙනාට තර්ජනයක් එල්ල කිරීමට කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නියකට හැකියාව ලැබුණේ නැහැ. එනිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 15.5ක දී කිසිවෙක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

එහි දී මූනි පන්දු 53කින් නොදැවී ලකුණු 56ක් වාර්තා කරද්දී හීලි පන්දු 43කින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා. එම තරගයෙන් ඕස්ට්‍රේලියානු පිලට කඩුලු 10ක පහසු ජයක් හිමි වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව- 112/8 (20), (හර්ෂිතා සමරවික්‍රම- 34, මේගන් ෂට්- 24/4, ග්‍රේස් හැරිස්- 7/2)
ඕස්ට්‍රේලියාව- 113/0 (15/5), (බෙත් මූනි- 56*, ඇලීසා හීලි- 54*)
ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්
තරගයේ වීරයා- ඇලීසා හීලි

ඕස්ට්‍රේලියාව තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages,com

ඕස්ට්‍රේලියාව හමුවේ දරුණු පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා නවසීලන්තයට එරෙහි ව පැවති තරගය ජය ගැනීම අනිවාර්ය වුණා. එම තරගය පාල් නුවර බෝලන්ඩ් පාක් පිටියේ දී ඊයේ (19) දිනයේ පැවැත්වුණා. එහි දී කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පන්දුවට මුලින්ම පහර දුන්නා.

තරග ආරම්භයේ සිට ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දු වාර 20 අවසන් වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා. එහි දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අමෙලියා කර් පන්දු 48කින් ලකුණු 66ක් ලබා ගනිද්දී ඇයට අනගි සහායක් ලබා දුන් සුසී බේට්ස් පන්දු 49කින් ලකුණු 56ක් රැස් කළා.

අමෙලියා කර් සහ සුසී බේට්ස් පන්දුවට පහර දෙමින් – gettyimages,com

ඉන් පසුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට ඉනිම ආරම්භයේ සිටම හිස එසවීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නවසීලන්ත පන්දු යවන්නියන් ඉතාමත් හොඳින් පන්දු යැවූ නිසා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 6 ලකුණු 40ක දී බිඳ වැටුණා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනැඟීමට කිසිදු ශ්‍රී ලංකා පිතිකාරිණියන් යුගළයකට හැකි වුණේ නැහැ. එනිසා ශ්‍රී ලංකා පිලේ සියලු ම පිතිකාරිණියන් පන්දු වාර 15.5ක දී ලකුණු 60කට දැවී ගියා. එහි දී අමෙලියා කර් සහ ලී ටහුහු නවසීලන්තය වෙනුවෙන් කඩුලු 2 බැගින් දවා ගත්තා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන නවසීලන්ත ක්‍රීඩිකාවෝ- gettyimages,com

කෙටි ලකුණු පුවරුව
නවසීලන්තය- 162/3 (20), (අමෙලියා කර්- 66, සුසී බේට්ස්- 56, අචිනි කෞශල්‍යා- 14/1)
ශ්‍රී ලංකාව- 60/10 (15.5), (චමරි අතපත්තු- 19, අමෙලියා කර්- 7/2, ලී ටහුහු- 12/2)
නවසීලන්තයට ලකුණු 102ක ජයක්
තරගයේ වීරයා- අමෙලියා කර්

ආසනල් කණ්ඩායම එංගලන්ත ප්‍රිමියර් ලීග් සටනේ යළි පෙරමුණට

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ 24 වන සතියේ තරග ඊයේ (19) දිනයේ දී නිමාව දුටුවා. එහි දී ආසනල්, මැන්චෙස්ටර් යුනයිටඩ්, ටොටෙන්හැම් හොට්ස්පර්, සවුත්හැම්ප්ටන්, ෆුල්හැම්, එවර්ටන්, බෝර්න්මවුත් සහ ලිවර්පූල් යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා. එහි දී ආසනල් කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යළි හැකි වුණා.

ඒ අනුව මේ වන විට ආසනල් කණ්ඩායම ලකුණු 54ක් ද, මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ලකුණු 52ක්ද ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පළමු සහ දෙවන ස්ථානවල රැඳී සිටිනවා. එම කණ්ඩායම් දෙකට ප්‍රබල සටනක් ලබා දෙමින් සිටින මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ලකුණු 49ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසු වෙනවා.

ආසනල් කණ්ඩායම එංගලන්ත ප්‍රිමියර් ලීග් තරග බිමේ දස්කම් දක්වමින් – gettyimages,com

ඉන්දියාවට සහ එංගලන්තයට ලැබුණු සුපිරි ටෙස්ට් ජයග්‍රහණ

බෝඩර්-ගවස්කාර් කුසලානය වෙනුවෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය දිල්ලියේ දී ඊයේ (19) දිනයේ නිමා වුණා. දඟපන්දු පන්දු යවන්නන්ට වඩාත් හිතකර අයුරින් සකසා තිබුණු තණතීරුවක දෙපිලේ ම පිතිකරුවන් අසීරු තත්ත්වයට පත් වුණා.

එනිසා සමස්ත ටෙස්ට් තරගය පුරාවට වාර්තා වුණේ ලකුණු 756ක් පමණ යි. එහි දී ඉන්දීය ප්‍රධාන දඟ පන්දු යවන්නන් යුගළය වුණු රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් සමස්ත තරගය පුරාවට කඩුලු 16ක් දවා ගත්තා. එනිසා එම තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක් හිමි වුණා. මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 263/10, (කවාජා- 81, හෑන්ඩ්ස්කොම්බ්- 72*, ෂමී- 60/4, අශ්වින් 60/3)
ඉන්දීය පළමු ඉනිම- 262/10, (අක්සාර්- 74, කෝලි- 44, ලයන්- 67/5, මර්ෆි- 53/2)
ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 113/10, (හෙඩ්- 43, ලබුෂේන්- 35, ජඩේජා- 42/7, අශ්වින්- 59/3)
ඉන්දීය දෙවන ඉනිම- 118/4, (පුජාරා- 31*, රෝහිත්- 31, භරත්- 23*, ලයන්- 49/2)
ඉන්දියාවට කඩුලු 6ක ජයක්
තරගයේ වීරයා- රවීන්ද්‍ර ජඩේජා (68/3 සහ 42/7)

තරගය පුරාවට පන්දුවෙන් දස්කම් පෑ රවීන්ද්‍ර ජඩේජා – gettyimages,com

තරග දෙකකින් සමන්විත එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නවසීලන්තයේ මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් පිටියේ දී ඊයේ (19) දිනයේ නිමාවට පත් වුණා. එම තරගයෙන් එංගලන්ත පිලට ලකුණු 267ක දැවැන්ත ජයක් හිමි වුණා. එහි දී එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් නව ටෙස්ට් වාර්තාවක් සිය නම ඉදිරියේ ලියා ගත්තා.

ඒ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම හයේ පහර ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා බවට පත් වෙමින්. ඒ අනුව මේ වන විට ස්ටෝක්ස් එල්ල කර තිබෙන හයේ පහර ප්‍රමාණය 109ක්. එහි දී ඔහු අභිබවා ගියේ වර්තමාන එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු වන නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් හයේ පහර 107ක් එල්ල කරමින් තබා තිබුණු වාර්තාව යි.

බෙන් ස්ටෝක්ස් එංගලන්ත-නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දී – gettyimages,com

එලෙස ස්ටෝක්ස් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක හිමිකරුවෙක් වෙද්දී එංගලන්ත පිලේ ම ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන් තවත් ටෙස්ට් ක්‍රිකට් වාර්තාවකට හිමිකම් කීවා. ඒ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එකට එකතු වී වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් යුගළය බවට පත් වෙමින්.

එහි දී ඔවුන් දෙදෙනා අභිබවා ගියේ ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන් සහ ග්ලේන් මැග්‍රාත් කඩුලු 1001ක් ලබා ගෙන තබා තිබුණු වාර්තාව යි. ඒ අනුව එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති එම ටෙස්ට් තරගය නිමා වුණේ නව ටෙස්ට් ක්‍රිකට් වාර්තා 2ක් බිහි කරමින්. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් – gettyimages,com

කෙටි ලකුණු පුවරුව
එංගලන්ත පළමු ඉනිම- 325/9, (බෘක්- 89, ඩකට්- 84, පෝප්- 42, වැගනර්- 82/4, සවුති- 71/2)
නවසීලන්ත පළමු ඉනිම- 306/10, (බ්ලන්ඩල්- 138, කොන්වේ- 77, රොබින්සන්- 54/4, ඇන්ඩර්සන්- 36/3)
එංගලන්ත දෙවන ඉනිම- 374/10, (රූට්- 57, බෘක්- 54, ෆෝක්ස්- 51, ටික්නර්- 55/3, බ්‍රේස්වෙල්- 68/3)
නවසීලන්ත දෙවන ඉනිම- 126/10, (මිචෙල්- 57*, ඇන්ඩර්සන්- 18/4, බ්‍රෝඩ්- 49/4)
එංගලන්තයට ලකුණු 267ක ජයක්
තරගයේ වීරයා- හැරී බෘක් (89 සහ 54)

ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායම – gettyimages,com

තුර්කි භූමිකම්පාවෙන් හිටපු ඝානා පාපන්දු ක්‍රීඩකයෙක් මරුට

2023 පෙබරවාරි 6 වැනිදා තුර්කිය සහ සිරියාව ආශ්‍රිත ව ඇති වුණු භූමිකම්පාවලින් මිය ගිය ප්‍රමාණය මේ වන විට 46,000ක් ඉක්මවා තිබෙනවා. එම ප්‍රදේශ ආශ්‍රිත ව මෙහෙයුම්වල නිරත වෙමින් සිටින ආරක්ෂක අංශ තවමත් සුන්බුන් ඉවත් කරමින් මළ සිරුරු සෙවීමේ කාර්යයේ යෙදෙනවා.

එසේ රාජකාරිවල නිරත ව සිටින ආරක්ෂක අංශවලට පසුගිය සතියේ දී භූමිකම්පාවෙන් පසු ව අතුරුදහන් වී සිටි ඝානා පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සුගේ නිසල සිරුර හමු වුණා. 2012-2019 යුගයේ ජාත්‍යන්තර තරග 65කදී ඝානාව නියෝජනය කළ අට්සු එහි දී වාර්තා කළ ගෝල ප්‍රමාණය 9ක්. මෙම ඝානා පාපන්දු ක්‍රීඩකයා 2022 සැප්තැම්බර් මාසයේ දී තුර්කියේ හටායාස්පොර් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟින් එකතු වුණා. එම කණ්ඩායම සමඟින් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිය දී ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා.

ක්‍රිස්ටියන් අට්සු – gettyimages,com

ග්බි ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

2023 රග්බි ලෝක කුසලාන තරගාවලිය ප්‍රංශයේ දී එළඹෙන සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත යි. එම තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන වෙබ් එලිස් කුසලානය මේ දිනවල ලෝකයේ විවිධ රටවල්වල ප්‍රදර්ශනය කරනවා. එම කුසලානය අලුයම පැරීසියේ සිට ශ්‍රී ලංකාවට පසුගිය සිකුරාදා (18) රැගෙන ආවා.

ශ්‍රී ලංකාවට රැගෙන ආ රග්බි ලෝක කුසලානය – gettyimages,com

එය පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා. එසේ ශ්‍රී ලංකාවට රැගෙන ආ කුසලානය පසුගිය සති අන්තයේ කොළඹ තුරඟ තරග පිටියේ දී සහ කොළඹ CR & FC පිටියේ දී මහජන ප්‍රදර්ශනය සඳහා තැබුවා. ඉන් අනතුරු ව මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටිය වෙත රැගෙන යන එම කුසලානය පෙබරවාරි 22 වැනි දා උදෑසන 10.00 සිට දහවල් 2.00 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට නියමිත යි.

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages,com)

මූලාශ්‍ර- espncricinfo.com
howstat.com
premierleague.com
adaderana.lk
cnn.com

Related Articles