Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් බිම වර්ණවත් කළ ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරයා

ඔලිම්පික් ඉතිහාසය තුළ පැවැත්වුණු පිරිමි පිහිනුම් ඉසව්වල දී ඇමරිකානු පිහිනුම් ක්‍රීඩකයන් වැඩි දස්කම් දක්වනු ලැබුවේ අතීතයේ සිටම යි. එම නිසාම ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් දිනාගත් පිරිමි ක්‍රීඩකයන් 6 දෙනාගෙන් පළමු ස්ථාන 5ම දිනාගෙන ඇත්තේ ඇමරිකානු පිහිනුම් ශූරයන් විසිනුයි. එලෙස ඇමරිකානු ක්‍රීඩකයන් පිහිනුම් තරගවල දී සුපිරි දස්කම් දක්වන විට ඔවුන්ට අභියෝග කළ ඕස්ට්‍රේලියානු පිහිනුම් ක්‍රීඩකයෙකු සිටියා. ඉයන් තෝර්ප් නම් එම සුපිරි ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරයා ඇමරිකානු ක්‍රීඩකයන් 5දෙනාට පසුව වැඩිම ඔලිම්පික් පිහිනුම් රන් පදක්කම් ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා බවට පත් වුණා. එසේම ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයා වන්නේත් ඉයන් තෝර්ප් නම් එම සුපිරි ක්‍රීඩකයා යි.

2000 සිඩ්නි ඔලිම්පික් උළෙල තෝර්ප්ගේ ක්‍රීඩා දිවිය ආලෝකමත් කළා 

තෝර්ප් 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණේ 18 හැවිරිදි ක්‍රීඩකයෙකු ලෙස යි. නමුත් එම තරගාවලිය තුළ සුපිරි දස්කම් දැක්වූ තෝර්ප්, රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 2ක් දිනාගනු ලැබුවා. එය එම ඔලිම්පික් තරගාවලිය තුළ තනි ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම පිහිනුම් පදක්කම් පදක්කම් ප්‍රමාණය බවට පත් වුණා. එසේම, එම තරගාවලියට සහභාගි වුණු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් වඩාත්ම සාර්ථක ක්‍රීඩකයා බවට පත් වුණේත් ඔහුම යි.

නිදහස් ආර ඉසව්වලට ප්‍රිය කළ පිහිනුම් ශූරයා 

නිදහස් ආර ඉසව් සඳහා වඩාත්ම ප්‍රිය කළ තෝර්ප්, මෙම තරගාවලියේ දී මීටර් 200 සහ 400 නිදහස් ආර ඉසව් නියෝජනය කළේ තනි තරග ඉසව් ලෙසින්. එසේම, ඔහු කණ්ඩායම් තරග ඉසව් යටතේ තරග වැදුණේ 4×100 නිදහස් ආර, 4×200 නිදහස් ආර සහ 4×100 මෙඩ්ලි සහාය යන ඉසව් සඳහා යි.

මීටර් 400 නිදහස් ආර ඉසව්ව 

2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ මීටර් 400 නිදහස් ආර ඉසව්ව ආරම්භ වන විට එහි ලෝක වාර්තාවේ හිමිකරුවා වුණේ ඉයන් තෝර්ප් නම් යොවුන් ක්‍රීඩකයා යි. නමුත් එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව සතු වුණේ යැවොග්නි වික්ට්‍රොවිච් නම් රුසියානු පිහිනුම් ක්‍රීඩකයාට යි. ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණේ 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේ දී යි. එම නිසාම තෝර්ප් මෙම තරගාවලිය සඳහා අවතීර්ණ වුණේ මීටර් 400 නිදහස් ආර ඉසව්වේ ඔලිම්පික් වාර්තාව බිඳ දැමීමේ අරමුණෙන්. මූලික වටයේ 6 වැනි තරගය සඳහා සහභාගි වුණු තෝර්ප්, පළමුවැනියා ලෙසින් තරගය නිමාවට පත් කළේ විනාඩි 3:44:65ක කාලයක් වාර්තා කරමින්. එදා තෝර්ප් වාර්තා කළ කාලය අනුව එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාවත් තෝර්ප්ගේ නම් ඉදිරියෙන් සටහන් වුණා. ඉන් අනතුරුව පැවති අවසන් තරගයේ දී සුපිරි දස්කම් දැක්වූ තෝර්ප්, විනාඩි 3:40:59ක කාලයකින් තරගය නිමා කළේ ඔහුගේම ලෝක වාර්තා අලුත් කරමින්.

තෝර්ප් රන් පදක්කම දිනාගත් අවස්ථාව (gettyimages)

4×100 නිදහස් ආර ඉසව්ව 

1964 වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ දී මුල්මවරට මෙම ඉසව්ව පවත්වනු ලැබුවා. එම තරගාවලියේ සිට 1996 ඔලිම්පික් තරගාවලිය වන තුරුම මෙම ඉසව්ව ජයග්‍රහණය කළේ ඇමරිකානු කණ්ඩායම විසින්. එසේම, 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලිය ආරම්භ වන විට මෙම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව මෙන්ම ලෝක වාර්තාව හිමි කරගෙන සිටියේ ඇමරිකානු කණ්ඩායම යි. එම නිසාම මෙම ඉසව්වේ ජයග්‍රහණය සෙසු කණ්ඩායම්වලට සිහිනයක් වුණා. ඇමරිකානු කණ්ඩායම සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දීත් මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටියා. ඇන්තනී අර්වින් සහ ගැරී හෝල් ජූනියර් යන අත්දැකීම් බහුල ක්‍රීඩකයන් දෙදෙනා ඇමරිකානුවන් සතුව සිටීම අනිත් කණ්ඩායම්වලට අවාසියක් වුණා. නමුත්, අවසන් තරගයේ පළමු මීටර් 100 දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මයිකල් ක්ලිම් වාර්තාගත කාලයක් සටහන් කරමින් ලබාදුන් සාර්ථක ආරම්භය ඔස්සේ ඉදිරියට ගිය ඕස්ට්‍රේලියානුවන් තරගයේ මීටර් 300ක් අවසන් වන විට ඇමරිකානුවන්ට වඩා තත්පර 0.25ක් ඉදිරියෙන් සිටියා. ඒ වන විට තියුණු මුහුණුවරක් ගෙන තිබුණු තරගයේ අවසන් මීටර් 100 කණ්ඩායම් 2ටම තීරණාත්මක වුණා. එහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අවසන් මීටර් 100 වෙනුවෙන් ඉයන් තෝර්ප් තරගවදින විට ඇමරිකාව වෙනුවෙන් තරග කළේ, ගැරී හෝල් ජූනියර් නම් අත්දැකීම් සපිරි ක්‍රීඩකයා යි. එදා ගැරී හෝල් සමග කරට කර සටනක නිරත වුණු තෝර්ප්, තරගය නිමා කළේ ලෝක වාර්තාවක් සමග රන් පදක්කම සිය රටට හිමි කර දෙමින්.

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම (gettyimages)

4×200 නිදහස් ආර ඉසව්ව 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ 4×200 නිදහස් ආර ඉසව්ව සඳහා සහභාගි වුණේ එම ඉසව්වේ ලෝක ශූරයන් ලෙසින්. මෙම තරගාවලියේ මූලික වටයේ දෙවන තරගය සඳහා සහභාගි වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ස්ථානය ලබාගෙන අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඉන් අනතුරුව පැවති අවසන් තරගයේ දී තෝර්ප් ලබාදුන් සුපිරි ආරම්භය ඔස්සේ ඉදිරියට ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ඔවුන්ගේම ලෝක වාර්තාව අලුත් කරමිනුයි. එහි දී දෙවැනි ස්ථානය ලබාගත් ඇමරිකානු කණ්ඩායමට වඩා තත්පර 5.59ක් ඉදිරියෙන් සිටිමින් රන් පදක්කම ලබාගැනීමට හැකි වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

 ඕස්ට්‍රේලියානු කණ්ඩායම පදක්කම් සමගින් (gettyimages)

මීටර් 200 නිදහස් ආර ඉසව්ව 

මීටර් 200 නිදහස් ආර ඉසව්වේ ලෝක ශූරයා ලෙසින් වැජඹුණු තෝර්ප්, සිඩ්නි ඔලිම්පික් තරගාවලිය සඳහා අවතීර්ණ වුණේ රන් පදක්කම ලබාගැනීමේ අරමුණෙන්. මෙම තරගාවලියේ මූලික සහ අවසන් පූර්ව තරගවල දී සුපිරි දස්කම් දැක්වූ තෝර්ප්, පහසුවෙන්ම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. නමුත්, පීටර් හෝගන්බෑන්ඩ් නම් නෙදර්ලන්ත ක්‍රීඩකයා අවසන් පූර්ව වටයේ දී තෝර්ප්ගේ ලෝක වාර්තාව බිඳ දමා තිබුණා. එම නිසාම රන් පදක්කම වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර තියුණු සටනක් පැවතුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු අවසන් තරගයේ දී දක්ෂ තරග රටාවක නිරත වුණු හෝගන්බෑන්ඩ් ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගන්නා විට තෝර්ප්ට රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදුවුණා.

තෝර්ප් රිදී පදක්කම දිනාගනිමින් (gettyimages)

මෙම පදක්කම්වලට අමතරව 4×100 මෙඩ්ලි සහාය ඉසව්වෙන් තෝප්ට තවත් රිදී පදක්කමක් හිමි වුණා. එහි දී මූලික වටයේ තරගයට පමණක් සහභාගි වුණු තෝර්ප්, අවසන් තරගයට සහභාගි වුණේ නැහැ.

ඇතන්ස් ඔලිම්පික් තරගාවලියේ දී තවත් රන් පදක්කම් 2ක් හිමි කර ගනියි

ඉයන් තෝර්ප් 2004 ඇතැන්ස් ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 100,200 සහ 400 නිදහස් ආර යන ඒකල ඉසව්වලට සහභාගි වුණා. එසේම ඔහු 4×100 නිදහස් ආර සහ 4×200 නිදහස් ආර යන කණ්ඩායම් ඉසව් සඳහාත් සහභාගි වුණා. එහි දී රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට තෝර්ප් සමත් වුණා.

මීටර් 200 නිදහස් ආර ඉසව්ව 

මීටර් 200 නිදහස් ආර ඉසව්වේ ලෝක ශූරයා ලෙස වැජඹුණු තෝර්ප්, මෙම තරගාවලිය සඳහා අවතීර්ණ වුණේ සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී අහිමි වුණු රන් පදක්කම ලබාගැනීමට යි. නමුත්, නෙදර්ලන්ත ක්‍රීඩක පීටර් හෝගන්බෑන්ඩ් සහ ඇමරිකානු ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් එම ඉසව්ව සඳහා තරග කරනු ලැබුවා. එහි දී මූලික වටයේ තරගය සහ අවසන් පූර්ව තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වුණේ හොඳ කාලයන් වාර්තා කරමින්. එදා මීටර් 200 නිදහස් ආර අවසන් තරගයේ දී සුපිරි තරගයක යෙදුණු තෝර්ප් සිය ප්‍රතිවාදීන් දෙදෙනා වුණු හෝගන්බෑන්ඩ් සහ පෙල්ප්ස් පරාජයට පත් කරමින් රන් පදක්කම දිනාගත්තා. එහි දී තෝර්ප් හෝගන්බෑන්ඩ් සතුව තිබුණු ඔලිම්පික් වාර්තාවත් බිහි කරනු ලැබුවා.

තෝර්ප් රන් පදක්කම ලබාගත් මොහොත (gettyimages)

මීටර් 400 නිදහස් ආර ඉසව්ව 

මෙම ඉසව්වේ ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් වාර්තාව හිමි කරගෙන සිටි ඉයන් තෝර්ප්, මූලික වටයේ දී හොඳම කාලය වාර්තා කර ගනිමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. එහි දී තෝර්ප්ට අභියෝගයක් එල්ල කළේ ඔහුගේම රටින් බිහි වුණු ග්‍රාන්ට් හැකට් නම් ක්‍රීඩකයා යි. මූලික වටයේ දී මෙන්ම අවසන් තරගයේ දීත් හැකට් සහ තෝර්ප් කරට කර සටන් කරත්, ජයග්‍රහණය හිමි වුණේ ඉයන් තෝර්ප් නම් සුපිරි ක්‍රීඩකයාට යි.

තෝර්ප් තරගයට සහභාගි වෙමින් (gettyimages)

4×200 නිදහස් ආර ඉසව්ව 

මෙම ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් තියුණු තරගයක් පැවතුණේ ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව අතර යි. මූලික වටයේ තරග අවසන් වන විට හොඳම කාලයන් වාර්තා කර තිබුණේත් මෙම කණ්ඩායම් දෙක යි. නමුත්, අවසන් තරගයේ පළමු මීටර් 600 අවසන් වන විට ඇමරිකානු කණ්ඩායම තත්පර 1.35ක් ඉදිරියෙන් සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවැනි තැනට ඇඳ දමමින්. එලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට රන් පදක්කම අහිමි වෙමින් පැවතුණු අවස්ථාවේ තෝර්ප්, සුපිරි තරගයක නිරත වෙමින් රන් පදක්කම සිය රටට ලබාදීමට උත්සාහ කළා. නමුත්, තියුණු තරගයකින් පසුව ඇමරිකානුවන් රන් පදක්කම දිනාගනු ලැබුවේ තත්පර 0.13ක් ඉදිරියෙන් සිටිමින්.

මීටර් 100 නිදහස් ආර ඉසව්ව 

ඉයන් තෝර්ප්, 2004 ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 නිදහස් ආර ඉසව්ව සඳහා ඉදිරිපත් වුණත් එම ඉසව්වෙන් ඔහු විශේෂ දස්කම් දක්වා තිබුණේ නැහැ. එම නිසාම තෝර්ප් මෙම ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ඉතාමත් අසීරුවෙන්. එහි දී පළමු අවසන් පූර්ව තරගයෙන් 3 වැනි ස්ථානය දිනාගත් තෝර්ප්, අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ දුර්වල කාලයක් වාර්තා කරමින්. නමුත් අවසන් තරගයේ දී සිය සුපුරුදු රිද්මයට පැමිණි තෝර්ප්, ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේ සිය ඔලිම්පික් දිවියේ 9 වැනි පදක්කමත් ලබා ගනිමින්.

තෝර්ප් වසර 40ක් පැරණි ඕස්ට්‍රේලියානු වාර්තාවක් බිඳ දමයි 

එම කාල සමය වන විට ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක් ලබාගෙන තිබුණේ ඩෝන් ෆ්රේසර් නම් පිහිනුම් ක්‍රීඩිකාව යි. ඇය 1956-1964 කාල සමයේ දී රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කම් 4ක් සමගින් පදක්කම් 8ක් ලබාගෙන තිබුණා. එලෙස ෆ්රේසර් විසින් තබා තිබුණු වාර්තාව බිඳ දැමූ තෝර්ප්, සිය ඔලිම්පික් දිවිය තුළ රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 3ක්, සහ ලෝකඩ පදක්කමක් දිනාගත්තා.

 ඩෝන් ෆ්රේසර් (gettyimages)

2000 සහ 2004 ඔලිම්පික් තරගාවලිවල දී සුපිරි දස්කම් දක්වමින් සිය රටට ඉහළම ගෞරවය හිමි කර දුන් ඉයන් තෝර්ප් නම් සුපිරි ක්‍රීඩකයා, ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ඉතිහාසය තුළ අමරණීය ක්‍රීඩකයෙකු ලෙසින් සැමදා වැජඹෙනු ඇති.

කවරයේ ඡායාරූපය- ඉයන් තෝර්ප් ඇතන්ස් ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages)

Related Articles