Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 35 වැනි තරගය චෙස්ටර් ලි ස්ට්‍රීට් නුවර රිවර්සයිඩ් පිටියේ දී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර යි. දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම අවස්ථාව වනවිට තරගාවලියෙන් ඉවත්ව සිටියත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත්. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම වසර 27කින් දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ලෝක කුසලාන තරගයක් ජයග්‍රහණය කර නැහැ. එම නිසාම මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම සටන් බිමට පිවිසෙන්නේ වසර 27ක් තිස්සේ බලා සිටි එම ජයග්‍රහණය ලබාගැනීමට යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී 5 වරක් එකිනෙකා හමුවී තිබෙනවා. එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණ 3ක් ලබාගන්නා විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට ලැබුණේ එක් තරගයක් පමණ යි. 

මෙම කණ්ඩායම් දෙක මුල්ම වරට ලෝක කුසලාන තරගයක දී හමුවුණේ 1992 ලෝක කුසලාන තරගාවලියේ දී යි. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවුණේ අර්ජුණ රණතුංග තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම් නිසා යි.

දකුණු අප්‍රිකාව – 195/10 (50)

ශ්‍රී ලංකාව – 198/7 (49.5)

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

1992 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති මූලික වටයේ තරගයක දී නැවත වරක් මෙම කණ්ඩායම් දෙක හමුවුණා. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වීම නිසා දකුණු අප්‍රිකානුවන්ට හිමිවුණේ පහසු ජයක්.

දකුණු අප්‍රිකාව – 199/9 (50)

ශ්‍රී ලංකාව – 110/10 (35.2)

දකුණු අප්‍රිකාවට ලකුණු 89ක ජයක් 

1999 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 ලෝක තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු තරගය ලකුණු සම වීමෙන් අවසන් වුණා. එහිදී දකුණු අප්‍රිකානු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මෙම තරගයේ දී මාවන් අතපත්තු ලබාගත් ලකුණු 124 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ලෝක කුසලාන තරගවල දී වාර්තා වුණු එකම ශතකය යි.

ශ්‍රී ලංකාව – 268/9 (50)

දකුණු අප්‍රිකාව – 229/6 (45)

තරගයේ ලකුණු සම වුණා (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව )

2003 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටය යටතේ පැවති තරගයක දී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුණා. නමුත් එහිදී ලසිත් මාලිංග පිට පිටම පන්දු 4කින් ලබාගත් කඩුලු 4 අමතක කරන්න බැහැ.

ශ්‍රී ලංකාව – 209/10 (49.3)

දකුණු අප්‍රිකාව – 212/9 (48.2)

දකුණු අප්‍රිකාවට කඩුලු 1ක ජයක් 

 මාලිංග මකායා එන්ටිනිව දවාගත් අවස්ථාව (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන තරගයක දී හමුවුණේ 2015 තරගාවලියේ දී යි. එහිදී පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට උරුම වුණේ දරුණු පරාජයක්. එම තරගයේ දී ජීන් පෝල් ඩුමිනි ලබාගත් කඩුලු ත්‍රිත්වය පිළිබඳවත් මෙහිදී සිහිපත් කළ යුතු යි.

ශ්‍රී ලංකාව – 133/10 (37.2)

දකුණු අප්‍රිකාව – 134/1 (18)

දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක් 

2015 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

රිවර්සයිඩ්  පිටිය පිළිබඳව දත්තයන් 

පසුගිය වසර 7 ඇතුළත මෙම පිටියේ පවත්වා ඇති දිවා එක්දින තරග ප්‍රමාණය 4ක්. එහිදී මෙම තණතීරුව බොහෝ අවස්ථාවන්වල හැසිරී ඇත්තේ පිතිකරුවන්ට යෝග්‍ය අයුරින්. එම නිසාම මෙම පිටියේ පැවති එම තරග 4 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 262ක්. 

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

රිවර්සයිඩ් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 4 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ අවසන් වරට පැවති දිවා එක්දින තරග හතරෙන් 3ක දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කර තිබෙනවා. එසේම මෙම පිටියේ ලකුණු හඹා ගිය කණ්ඩායම එම තරග 4න් 3ක් ජයග්‍රහණය කළා. එම නිසාම කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩියි.

රිවර්සයිඩ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

මෙම පිටියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම සහභාගි වන මුල්ම තරගය මෙය යි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම පිටියේ දී සහභාගි වුණු තරග 2ම එංගලන්ත කණ්ඩායම හමුවේ ජයග්‍රහණය කර තිබෙනවා. 2006 වසරේ සිට එංගලන්තය මෙම පිටියේ දී පරාජය ලබා ඇත්තේ එම තරග 2ක පමණ යි.

2006 නැට්වෙස්ට් තරගාවලිය යටතේ පැවති තරගය 

එංගලන්තය – 261/7 (50)

ඉයන් බෙල් – 77 (114)

මාකස් ට්‍රෙස්කොතික් – 36 (39)

චමින්ද වාස් – 38/2 (10)

ලසිත් මාලිංග – 50/2 (10)

ශ්‍රී ලංකාව – 265/2 (42.2)

මහේල ජයවර්ධන – 126 (127)*

කුමාර් සංගක්කාර – 58 (76)*

ජේම්ස් ඩැල්රිම්පල් – 40/1 (9)

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා – මහේල ජයවර්ධන

2014 නැට්වෙස්ට් තරගාවලිය යටතේ පැවති තරගය 

ශ්‍රී ලංකාව – 256/8 (50)

තිලකරත්න දිල්ෂාන් – 88 (101)

අෂාන් ප්‍රියන්ජන් – 43 (33)

හැරී ගර්නි – 59/3 (10)

ජේම්ස් ඇන්ඩර්සන් – 38/2 (10)

එංගලන්තය – 99/10 (26.1)

ඔයින් මෝගන් – 40 (58)

සචිත්‍ර සේනානායක – 13/4 (7.1)

නුවන් කුලසේකර – 15/3 (6)

ශ්‍රී ලංකාවට ලකුණු 157ක ජයක් 

තරගයේ වීරයා – තිලකරත්න දිල්ෂාන් 

2006 වසරේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

අද පැවැත්වෙන ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරගය පිළිබඳව

අවසන් වරට 2019 වසරේ දී මෙම කණ්ඩායම් දෙක අතර පැවති එක්දින තරගාවලිය 5-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකාව යි. නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්තයට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. එම නිසාම මෙම තරගයත් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමේ මාර්ගය සකසා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කරනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles