Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුන්දර ප්‍රංශ සවාරියේ විශ්මිත තතු

පාපැදි ලෝකයේ ජනප්‍රියම ඉසව්ව වන්නේ ප්‍රංශ පාපැදි සවාරියයි. එපමණක්ද නොව සියලුම පාපැදි ක්‍රීඩකයින්ගේ සිහිනය වන්නේ ප්‍රංශ පාපැදි සවාරිය ජයග්‍රහණය කිරීමයි. මෙම වසරේ ප්‍රංශ පාපැදි සවාරිය ජූලි 7 වැනිදා ආරම්භ විය. එය ජූලි 29 දක්වා පැවැත්වෙන අතර මෙවර පැවැත්වෙන්නේ 105 වැනි ප්‍රංශ පාපැදි සවාරියයි. සුපුරුදු පරිදි මෙවර ද ප්‍රංශ පාපැදි සවාරියට අදියර 21 ක් ඇතුලත් වන අතර එම අදියර 21 ට තැනිතලා බිම්වල, සාමාන්‍ය කඳු සහිත මාර්ගවල, ඉතා දුෂ්කර කඳු සහිත මාර්ගවල පැවැත්වෙන අදියර ඇතුලත් වේ. එයට අමතරව කාලය මැනීමේ අදියර දෙකක් ද පැවැත්වේ. මෙවර ප්‍රංශ පාපැදි සවාරියේ මුළු දුර කිලෝමීටර් 3329 කි.

“ඉතා පටු මාර්ග වලදී ප්‍රංශ සවාරිය ඉදිරියට ඇදෙන විට” (Twitter/Alpe d’Huez)

ප්‍රංශ පාපැදි සවාරිය, ප්‍රංශ භාෂාවෙන් හැඳින්වෙන්නේ “Le tour de France” යනුවෙනුයි. එහි ඉංග්‍රීසි අර්ථය වන්නේ “The tour of France” යන්නයි. ප්‍රංශ සවාරියට අමතරව පාපැදි ලෝකයේ පැවැත්වෙන අනෙකුත් ප්‍රධාන පාපැදි සවාරි දෙක වන්නේ ඉතාලි පාපැදි සවාරිය සහ ස්පාඤ්ඤ පාපැදි සවාරියයි. එම පාපැදි සවාරි දෙකට ද අදියර 21 බැගින් තිබේ. සාමාන්‍යයෙන් වෘත්තීය පාපැදි ක්‍රීඩකයෙකු භාවිතා කරන පාපැදියක බර කිලෝග්‍රෑම් 6.75 – 7.8 දක්වා අගයක් ගනී.

ප්‍රංශ පාපැදි සවාරියේ ඉතිහාසය

“පළමු ප්‍රංශ පාපැදි සවාරියේ ජයග්‍රාහකයා මොරිස් ගැරින් සහ පළමු ප්‍රංශ පාපැදි සවාරිය පිලිබඳ L’Auto පුවත්පත වාර්තා කර තිබූ අන්දම” (thepandorasociety.com)

ප්‍රංශ පාපැදි සවාරිය මුල් වරට පවත්වා තිබෙන්නේ 1903 වසරේදී ය. ප්‍රංශයේ L’Auto නම් පුවත්පතෙහි (වර්තමානයේ දී එම පුවත්පත L’Equipe ලෙසින් හැඳින්වේ. එය දිනපතා පලවන පුවත්පතකි.) අලෙවිය​ වැඩි කරගැනීම සඳහා, එම පුවත්පතෙහි අනුග්‍රහයෙන්, ප්‍රංශ සවාරිය මුල් වරට සංවිධානය කර තිබේ. එතැන් පටන් මේ දක්වාම, ලෝක යුද්ධ දෙක පැවැත්වෙන කාලයන්වලදී හැර අනෙකුත් සියලුම වසර වලදී ප්‍රංශ පාපැදි සවාරිය පවත්වා තිබේ. ප්‍රංශයේ ජාක්ස් ඇන්කෙටිල් සහ බර්නාඩ් හිනෝ, ස්පාඤ්ඤයේ මිගෙල් ඉන්ඩියුරේන් සහ එතෙක් මෙතෙක් ලොව පහල වූ විශිෂ්ටතම පාපැදි ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන බෙල්ජියමේ එඩී මර්ක්ස් යන ක්‍රීඩකයින් සිව් දෙනාම මේ වනවිට ප්‍රංශ පාපැදි සවාරිය 5 වතාවක් බැගින් ජයග්‍රහණය කර තිබේ. ඇමෙරිකාවේ ලාන්ස් ආම්ස්ට්‍රෝන් පිට පිට 7 වතාවක් ප්‍රංශ පාපැදි සවාරිය ජයග්‍රහණය කලද, ආම්ස්ට්‍රෝන් විසින් තහනම් උත්තේජක භාවිතා කර ඇති බව පසුකලකදී අනාවරණය කරගත් නිසා ඔහුගේ එම සියලුම ජයග්‍රහණ අවලංගු කෙරිණි.

කණ්ඩායම්

“ප්‍රංශ සවාරිය ආරම්භ වීමට ප්‍රථම පැවැත්වෙන කණ්ඩායම් සහ ක්‍රීඩකයන් හඳුන්වාදීමේ අවස්තාව” (Time de Vaele/TDWsport.com)

මෙවැනි ආකාරයේ පාපැදි ඉසව් පැවැත්වෙන්නේ කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙනි. තරගකරුවන් තනි තනිව නොවේ. සාමාන්‍යයෙන් ප්‍රංශ සවාරියට කණ්ඩායම් 20-22 අතර ප්‍රමාණයක් සහභාගී වේ. පසුගිය වසර තෙක්ම එක් කණ්ඩායමකට සිටිය හැකි උපරිම පාපැදිකරුවන් සංඛ්‍යාව 9 ක් වූවත් මෙවර සිට එම සංඛ්‍යාව 8 දක්වා අඩු කරන්නට සංවිධායකයන් තීරණය කර තිබේ. ඒ අනුව මෙවර ප්‍රංශ පාපැදි සවාරියට කණ්ඩායම් 22 ක් නියෝජනය කරමින් තරගකරුවන් 176 දෙනෙක් සහභාගී වේ. බී.එම්.සී. රේසින් (BMC Racing), ස්කයි (Sky), මූවිස්ටාර් (Movistar), ටින්කොෆ් (Tinkoff) සහ අස්ටනා (Astana) මෙවර ප්‍රංශ පාපැදි සවාරියට සහභාගී වන ජනප්‍රිය පාපැදි කණ්ඩායම් කිහිපයක් වේ.

ප්‍රධාන ජර්සි

ප්‍රංශ පාපැදි සවාරියෙහි අංශ කිහිපයක් යටතේ ජයග්‍රාහකයින් තෝරා ඔවුන්ට ජර්සි පිරිනමයි. සෑම පාපැදි කණ්ඩායමකම මෙම එක් එක් අංශ වලට දක්ෂ තරගකරුවන් කිහිප දෙනෙකු සිටී.

කහ පැහැති ජර්සිය

“ක්‍රිස් ෆ්රූම්” (Bettini Photo)

ප්‍රංශ පාපැදි සවාරියේ අදියර 21 අඩුම කාලයකින් නිම කල තරගකරුවා එම වසරේ ප්‍රංශ පාපැදි සවාරියේ ජයග්‍රාහකයා බවට පත්වන අතර ඔහුට කහ පැහැති ජර්සිය පිරිනමයි. ප්‍රංශ පාපැදි සවාරියේ පිරිනමන වටිනාම ජර්සිය වන්නේ ද කහ පැහැති ජර්සියයි. ප්‍රංශ පාපැදි සවාරිය ජයග්‍රහණය කරන්නේ ඉතා දුෂ්කර සහ කඳු සහිත මාර්ග වල පැවැත්වෙන අදියර වලදී හොඳින් දස්කම් දක්වන තරගකරුවන් ය. එයට අමතරව තැනිතලා බිම්වල පැවැත්වෙන අදියර සහ කාලය මැනීමේ අදියර වලදීත් සැලකිව යුතු දස්කම් දැක්වීමට මෙම ක්‍රීඩකයින් සමත්විය යුතුය.

සාමාන්‍යයෙන් සෑම වසරකදී ම ජයග්‍රාහී ක්‍රීඩකයාට අදියර 21 අවසන් කිරීමට පැය 85-95 අතර කාලයක් ගත වේ. මෙම කාලය වසරින් වසර වෙනස් වන්නේ අදියර පැවැත්වෙන මාර්ග වල ස්වභාවය අනුවය. 2013,2015,2016 සහ 2017 ප්‍රංශ පාපැදි සවාරි වල ජය හිමිකරගත් ස්කයි කණ්ඩායම නියෝජනය කරන, මහා බ්‍රිතාන්‍යයේ, ක්‍රිස් ෆ්රූම් මෙවරද ප්‍රංශ පාපැදි සවාරිය ජයග්‍රහණය කිරීමට ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයාය. ෆ්රූම් හට විශාලතම අභියෝගය එල්ල වන්නේ මහා බ්‍රිතාන්‍යයේ ගැරන්ට් තෝමස් (ස්කයි), නෙදර්ලන්තයේ ටොම් ඩූමුලීන් (ටීම් සන්වෙබ්) සහ කොලොම්බියාවේ නයිරෝ ක්වීන්ටානා (මූවිස්ටාර්) ගෙනි.

කොළ පැහැති ජර්සිය

“තැනිතලා මාර්ග වලදී පැවැත්වෙන සෑම අදියරක්ම පාහේ ඉතා තියුණු අවසානයකින් යුක්තය. පීටර් සැගාන් (මැද), මයිකල් මැතිව්ස් (වමේ) සහ මාර්සෙල් කිට්ල් (දකුණේ)” (www.abc.net.au)

ප්‍රංශ පාපැදි සවාරියේ ජනප්‍රියතම ජර්සිය වන්නේ කොළ පැහැති ජර්සියයි. මෙම කොළ පැහැති ජර්සිය හිමිවන්නේ වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගත් ක්‍රීඩකයාටයි. තැනිතලා බිම්වලදී පැවැත්වෙන ඉසව් වලදී වැඩිම දස්කම් දක්වන ක්‍රීඩකයාට කොළ පැහැති ජර්සිය හිමිවේ. තැනිතලා බිම්වල පැවැත්වෙන ඉසව් වලදී අවසාන මීටර 100 ඇතුලත ඉතා හොඳ වේගවත් තරගයක් තිබේ. එහිදී සෑම කණ්ඩායමකම සිටින වේගවත් ක්‍රීඩකයින් (sprinters) අතරේ සටන පැවැත්වෙයි.

2012- 2016 දක්වාම ප්‍රංශ පාපැදි සවාරියේ කොළ පැහැති ජර්සිය දිනාගනු ලැබුවේ ස්ලෝවැකියාවේ පීටර් සැගාන් විසිනි. (මෙවර ඔහු නියෝජනය කරන්නේ බෝරා හෑන්ස්ග්‍රෝහා කණ්ඩායමයි.) මෙවර ද ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ සැගාන් වන අතර මෙවර ඔහුට අභියෝගයක් දීමට හෝ වෙනත් ක්‍රීඩකයෙකු නොමැත. (සැගාන් හට මෙවර අභියෝගයක් දීමට සිටි ෆර්නැන්ඩෝ ගැවීරියා, මාර්සෙල් කිට්ල්, මාක් කැවෙන්ඩිෂ් ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම විවිධ හේතු මත මෙවර ප්‍රංශ සවාරියෙන් ඉවත් කෙරිණි.) පසුගිය වසරෙහි ප්‍රංශ සවාරියේ සහ විවිධ පාපැදි සවාරි වල තැනිතලා බිම්වලදී පැවැත්වූ හොඳම අදියර 10 ක් ඇතුලත් වීඩියෝවක් පහත දැක්වේ. සාමාන්‍යයෙන් මෙවැනි අදියර ඉතා තියුණු මුහුණුවරක් ගනී.

රතු තිත් පැහැති ජර්සිය

Caption

කඳු සහිත මාර්ග වලදී වැඩිම දස්කම් දක්වන ක්‍රීඩකයාට රතු තිත් පැහැති ජර්සිය හිමිවේ. මෙවර ප්‍රංශ පාපැදි සවාරියේ රතු තිත් පැහැති ජර්සිය හිමිකරගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රංශයේම ක්‍රීඩකයින් දෙපලක් වන ජූලියන් අලෆිලීප් සහ වොරන් බාර්ගීල් ය.

මෙයට අමතරව හොඳම තරුණ ක්‍රීඩකයා, වඩාත්ම ආක්‍රමණශීලී තරගකරුවා සහ කණ්ඩායම් ජයග්‍රාහකයා යන අංශ ද ප්‍රංශ පාපැදි සවාරියට ඇතුලත්ය.

අදියරක් පැවැත්වෙන ආකාරය

“Peloton. මේ ආකාරයට ඉදිරියට යන විට ක්‍රීඩකයින් හට වෙහෙස දැනෙන්නේ ඉතා අඩුවෙනි.” (Getty images)

සාමාන්‍යයෙන් මෙවැනි ඉහලම තලයේ පාපැදි ඉසව්වල දක්නට ලැබෙන පොදු ලක්ෂණ කිහිපයක් ඇත. අදාළ ඉසව්වට සහභාගී වන දක්ෂතම ක්‍රීඩකයන් ඉසව්වේ පළමු කිලෝමීටරයේ සිටම ඉසව්වේ මුල් ස්ථාන කිහිපය අතරට පැමිණ ඉන්පසු ඉසව්ව අවසන් වන තෙක්ම ඉදිරියෙන් සිටින්නේ නැත. බොහෝ දක්ෂ ක්‍රීඩකයන් සහභාගී වන මෙවැනි පාපැදි ඉසව්වලදී සුළඟ වැනි කාරනා සමඟින් එය සිදු කිරීමට ඉතා අපහසු දෙයකි. ඉසව්ව ආරම්භ වූවාට පසු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉදිරියට පැමිණේ. එය හැඳින්වෙන්නේ “break away” ලෙසයි. අනෙක් සියලුම ක්‍රීඩකයන් පාහේ ඔවුන්ට පිටුපසින් සමූහයක් (Peloton) වශයෙන් පැමිණේ. ප්‍රධාන මට්ටමේ තරගකරුවන් සියල්ලන්ම සිටින්නේ මෙම සමූහයේය. ඉන්පසු ඉසව්ව ඉදිරියට ඇදෙන ආකාරය අනුව මෙම සමූහයේ ක්‍රීඩකයින් ඉදිරියටත්, පිටුපසටත් ගැලවී යාම දක්නට ලැබේ.

මෙවැනි ප්‍රධාන ඉසව්වලදී කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගේ සහාය ඉතා අවශ්‍ය දෙයකි. සුළඟ හේතුවෙන් ඉදිරියට ඇදීම ඉතා පහසු කටයුත්තකි. එවිට කණ්ඩායමේ සිටින අනෙකුත් ක්‍රීඩකයන් විසින් කණ්ඩායමේ සිටින ප්‍රධාන ක්‍රීඩකයන්ගේ ඉදිරියට පැමිණ ධාවනයෙහි යෙදෙන අතර ප්‍රධාන ක්‍රීඩකයන්ට සුළඟ සමඟ පොර බැදීමට ඉඩ ලබා නොදෙයි. එවිට ඉසව්වේ අවසාන භාගය සඳහා එම ප්‍රධාන ක්‍රීඩකයන්ගේ ශක්තිය ඉතිරි වේ.

සාමාන්‍යයෙන් එක් ඉසව්වක් අවසන් වීමට පැය 4 – 4.30 අතර කාලයක් ගතවේ. එක් අදියරක දුර ප්‍රමාණය මාර්ගය අනුව වෙනස් වන අතර සාමාන්‍යයෙන් එය කිලෝ මීටර 150-250 අතර දුරකි.

එක් වරක් හෝ ප්‍රංශ පාපැදි සවාරිය නැරඹිය යුතුයි

sbs.com.au

පාපැදි ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් තිබෙනවා නම් ප්‍රංශ පාපැදි සවාරිය නැරඹීම ඉතා වැදගත් කාරණයකි. දින 21 දී අදියර 21 ක් පුරාවට ප්‍රංශයේ විවිධ ගම්මාන, නගර, මුහුදු බඩ මාර්ග, කඳු සහිත මාර්ග, ගොවිබිම්, පැරණි රජ මාලිගා, පෞරාණික වටිනාකම් තිබෙන ස්ථාන අතරින්, ක්‍රීඩා ලෝලීන්ගේ ජය ඝෝෂා මධ්‍යයේ, ප්‍රංශ සවාරියේ පාපැදිකරුවන් ඉදිරියට ඇදෙන විට එය ඉතා මනස්කාන්ත දසුනකි.

“ප්‍රංශ සවාරිය කවදත් ප්‍රේක්ෂකයින්ගේ අපූරු ක්‍රියා වලින් සමන්විතය” (edition.cnn.com)

ගොඩබිම සිට පමණක් නොව ඉතා ඉහල වියදමක් දරා හෙලිකොප්ටර් කිහිපයක් ද ආධාර කරගනිමින් සියලුම අදියර සජීවීව ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට ප්‍රංශ සවාරියේ සංවිධායකයන් විසින් කටයුතු කරනු ලබයි. සාමාන්‍යයෙන් ප්‍රධාන පාපැදි සවාරි 3 ම (ප්‍රංශ, ඉතාලි, ස්පාඤ්ඤ) අදියර ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස​ 4-5 ත් අතරය. අදියරක් අවසන් වන්නේ රාත්‍රී 8.30-9.30 ත් අතරය. ප්‍රධාන පාපැදි සවාරි ඇතුළු බොහෝ පාපැදි සවාරි වල සියලුම අදියර මුල සිට අග දක්වාම, සජීවීව, සැටලයිට් නාලිකා තුලින් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ද දැන් නැරඹිය හැක.

Cover – “මෙවර ප්‍රංශ පාපැදි සවාරියේ පළමු වැනි අදියර ජයගත් කොලොම්බියාවේ ෆර්නැන්ඩෝ ගැවීරියා. පීටර් සැගාන් ද මහි සිටී.” (eurosport.co.uk)

මූලාශ්‍ර – Le Tour de France

Related Articles