Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

13 වැනි යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 17 වැනි දා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත යි. මෙවර කණ්ඩායම් 16ක් තරග වදින මෙම තරගාවලිය ආරම්භ වුණේ 1988 වසරේ දී යි. එදා සිට අඛණ්ඩව සෑම යොවුන් ලෝක කුසලාන තරගාවලියකටම සහභාගි වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එහි දී කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙනවා. මෙම ලිපිය ලියවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යොවුන් ක්‍රිකට්  ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ දක්වා ඇති දස්කම් පිළිබඳව සිහිපත් කිරීමට යි.

ප්‍රදීප් හේවගේ – ලකුණු 316 (1998 තරගාවලිය)

1998 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ප්‍රදීප් හේවගේ නම් ක්‍රීඩකයා යි. එම යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ හේවගේ ලකුණු 316ක් ලබාගත්තේ 105.33ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එහි දී හේවගේ දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළ ලකුණු 83ත් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 80ත් නිසා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණ දෙකක් හිමි වුණා. එම ඉනිම් 2කට අමතරව ඔහු පාකිස්ථානය හමුවේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 168කට දැවී යන විට නොදැවී ලකුණු 80ක් ලබාගනිමින්. මෙම පිතිකරුවා යොවුන් ලෝක කුසලාන තරගාවලිය තුළ සුපිරි දස්කම් දැක්වුවත් ඔහුට කිසිදු දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට නොහැකි වුණු බව මෙහි දී කණගාටුවෙන් සිහිපත් කළ යුතු යි.

මාලිංග බණ්ඩාර – කඩුලු 14 (1988 තරගාවලිය)

1998 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් ඉහළම දස්කම් දැක්වීමට සමත් වුණේ මාලිංග බණ්ඩාර නම් පාදඟ පන්දු යවන්නා යි. එහි දී තරග 6ක් තුළ පන්දුවාර 53ක් යැවූ බණ්ඩාර ලකුණු 185ක් පමණක් ලබා දී කඩුලු 14ක් ලබාගත්තා. එලෙස කඩුලු ලබාගැනීමේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 20කට ලබාගත් කඩුලු 4 ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වුණා. එදා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් මාලිංග බණ්ඩාර දැක්වූ සුපිරි දස්කම් නිසාම ඔහුට එම වසරේ දී ටෙස්ට් වරම් ලැබීම සුවිශේෂී සිදුවීමක් වුණා.

මාලිංග බණ්ඩාර (gettyimages)

ඉයන් ඩැනියල් – ලකුණු 299 (2000 තරගාවලිය)

2000 වසරේ දී යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ ශ්‍රී ලංකාව යි. එම තරගාවලිය තුළ සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අනු ශූරතාවය දිනාගත්තේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ අවසන් තරගයේ දී පරාජය ලබමින්. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගය කරා රැගෙන යාමට පිත්තෙන් විශාල මෙහෙවරක් කළ ඉයන් ඩැනියල් අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 299ක් ලබාගත්තේ 74.75ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එම අවදියේ දී යොවුන් පිතිකරුවෙකු ලෙස ඩැනියල් දැක්වූ දස්කම් නිසාම ඔහු ජාතික පිලට සුදුසුකම් ලබනු ඇතැ යි බොහෝ දෙනෙකු විශ්වාස කළා. නමුත් ඩැනියල්ට කිසිදු දිනෙක ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නොහැකි වීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. 

ජීවන් මෙන්ඩිස් – ලකුණු 260 සහ කඩුලු 11 (2002 තරගාවලිය)

2002 වසරේ නවසීලන්තයේ දී පැවති යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ජීවන් මෙන්ඩිස්ට අමතක නොවන එකක් වුණා. තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වූ ජීවන් අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 260ක් ලබාගත්තේ 52ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එහි දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 64ක් ලබාගත් ජීවන් සිම්බාබ්වේ සහ නැම්බියාව යන කණ්ඩායම් හමුවේ ලකුණු 57 බැගින් ලබාගත්තා. එලෙස පිත්තෙන් දස්කම් දැක්වූ ජීවන් පන්දුවාර 31.1ක් යවමින් ලකුණු 128ක් ලබා දී කඩුලු 11ක් දවාගත්තේ පන්දුවෙන් ද දස්කම් දක්වමින්. එහි දී ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 7ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම එම අවධියේ යොවුන් ලෝක කුසලාන තරගයක වාර්තා වුණු හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. එලෙස යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ ජීවන්ට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා වසර 8ක් බලා සිටීමට සිදු වුණු බවත් අවසන් වශයෙන් සිහිපත් කළ යුතු යි.

ජීවන් මෙන්ඩිස් (gettyimages)

ෆර්වීස් මහරුෆ් – කඩුලු 14 (2004 තරගාවලිය)

2004 වසරේ බංගලිදේශයේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ෆර්වීස් මහරුෆ් නම් ක්‍රීඩකයා යි. එම තරගාවලිය පුරාම දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මහරුෆ් තරග 6ක් තුළ පන්දුවාර 54.3ක් යවමින් ලකුණු 233ක් පමණක් ලබා දී කඩුලු 14ක් ලබාගත්තා. එහි දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 28කට ලබාගත් කඩුලු 4 ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වුණා. එලෙස තරගාවලිය තුළ මහරුෆ් දැක්වූ දස්කම් නිසාම ඔහුට 2004 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුණා.

ෆර්වීස් මහරුෆ් (gettyimages)

සචිත් පතිරණ – ලකුණු 229 සහ කඩුලු 10 (2008 තරගාවලිය)

2008 වසරේ මලයාසියාවේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී සචිත් පතිරණ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී තරග 5ක් ක්‍රීඩා කළ සචිත් ලකුණු 229ක් ලබාගත්තේ 109.66ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එංගලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 91කින් නොදැවී ලබාගත් ලකුණු 97 ඔහු තරගාවලිය තුළ ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වුණා. පිත්තට අමතරව පන්දුවෙන් ද දස්කම් දැක්වීමට සමත් වුණු සචිත් පන්දුවාර 48.1ක් යවමින් ලකුණු 176ක් පමණක් ලබා දී කඩුලු 10ක් දවාගත්තා. එහි දී නැම්බියාවට එරෙහිව ලකුණු 31කට දවාගත් කඩුලු 4 සචිත්ගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වුණා.

සචිත් පතිරණ (gettyimages)

භානුක රාජපක්ෂ – ලකුණු 245 (2010 තරගාවලිය)

2010 වසරේ නවසීලන්තයේ දී පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සිව්වන ස්ථානය දිනාගත්තේ ශ්‍රී ලංකාව යි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ භානුක ලකුණු 245ක් ලබාගත්තේ 81.66ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එහි දී දකුණු අප්‍රිකාවට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලබාගත් ලකුණු 79 භානුකගේ පිත්තෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණා.

භානුක දකුණු අප්‍රිකා තරගයේ දී (gettyimages)

ලහිරු මදුසංක – කඩුලු 15 (2012 තරගාවලිය)

2012 වසරේ ඕස්ට්‍රේලියානු බිමේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් ඉහළම දස්කම් දැක්වීමට සමත් වුණේ ලහිරු මදුසංක නම් පන්දු යවන්නා යි. එහි දී තරග 6ක් තුළ පන්දුවාර 36.5ක් යැවූ මදුසංක ලකුණු 130ක් පමණක් ලබා දී කඩුලු 15ක් ලබාගත්තා. එලෙස කඩුලු ලබාගැනීමේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 24කට ලබාගත් කඩුලු 6 ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වුණා. එදා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ මදුසංක 2017 වසරේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබාගත්තා.

ලහිරු මදුසංක (gettyimages)

සදීර සමරවික්‍රම – ලකුණු 266 (2014 තරගාවලිය)

2014 වසරේ දී යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි. එම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සදීර අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 266ක් ලබාගත්තේ 41.33ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එහි දී සදීර නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව, සහ පාකිස්ථානය යන ප්‍රබල රටවල් 4ටම එරෙහිව අර්ධ ශතක වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් ලෝක කුසලාන තරගාවලියක දී වැඩිම අර්ධ ශතක ලබාගත් ක්‍රීඩකයා ලෙසින් වාර්තා අතරට එක්වීමට සදීරට වාසනාව ලැබුණා.

සදීර සමරවික්‍රම පාකිස්ථානු තරගයේ දී (gettyimages)

අනුක් ප්‍රනාන්දු – කඩුලු 15 (2014 තරගාවලිය)

2014 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණේ අනුක් ප්‍රනාන්දු නම් ශ්‍රී ලංකා පන්දු යවන්නා යි. එහි දී පන්දුවාර 54ක් යවා ලකුණු 325ක් ලබාදුන් අනුක් කඩුලු 15ක් ලබාගැනීමට සමත් වුණා. ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 50කට ලබාගත් කඩුලු 4 අනුක්ගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. එසේම ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු යොවුන් ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලාභියා වුණු එකම අවස්ථාව ලෙසින් මෙය වාර්තා අතරට එක් වුණා.

අනුක් එංගලන්ත තරගයේදී කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

චරිත් අසලංක – ලකුණු 276 (2016 තරගාවලිය)

2016 වසරේ බංගලිදේශයේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ චරිත් අසලංක නම් ක්‍රීඩකයා යි. එම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අසලංක අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 276ක් ලබාගත්තේ 44ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එහි දී අසලංක කැනඩාව සහ බංග්ලාදේශය යන කණ්ඩායම් හමුවේ ලකුණු 76 බැගින් ලබාගැනීමට සමත් වුණා.

චරිත් අසලංක (gettyimages)

හසිත බෝයගොඩ – ලකුණු 307 (2018 තරගාවලිය)

2018 වසරේ යොවුන් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ නවසීලන්තයේ දී යි. එම තරගාවලියේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ හසිත ලකුණු 307ක් ලබාගත්තේ 76.75ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එහි දී හසිත කෙන්යාවට එරෙහිව ලකුණු 191ක් ලබාගත්තේ යොවුන් ලෝක කුසලාන තරගයක පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තාකරමින්. එසේම 2018 යොවුන් තරගාවලිය තුළ ශතක 2ක් වාර්තා කරගත් හසිත එලෙස තනි යොවුන් ලෝක කුසලාන තරගාවලියක් තුළ ශතක 2ක් ලබාගත් මුල්ම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වුණා.

හසිත කොදෙව් තරගයේ දී ශතකය වාර්තා කළ මොහොත (gettyimages)

කවරයේ ඡායාරූපය- හසිත බෝයගොඩ (gettyimages)

Related Articles