Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රීඩකයන්ට හුස්ම ගන්නත් බැරි බොලීවියාවේ ක්‍රීඩාංගණය

ඔබ ක්‍රීඩාවට උනන්දු අයෙක් වේවා හෝ නැතිවේවා ලොව පවතින ප්‍රසිද්ධ ක්‍රීඩාංගණ පිළිබඳ ව යම්තාක් හෝ දැනෙගෙන සිටිනවා කිවහොත් නිවැරදියි. ඒ අතරට විවිධ ඉතිහාසගත වටිනාකමක් සහිත ක්‍රීඩාංගණ මෙන් ම නොයෙක් හේතූ නිසා ජනප්‍රිය වන ක්‍රීඩාංගණ ද ඇතුළත් වනවා. මේ අතරින් අද දින ලිපියෙන් අවධානය යොමු කරන්නේ අමුතුම හේතුවක් නිසා ලොව ජනප්‍රිය වී ඇති ක්‍රීඩාංගණයක් ගැන යි. ඒ බොලීවියාවේ එස්ටඩියෝ හර්නන්ඩෝ සයිල්ස් ක්‍රීඩාංගණයයි (Estadio Hernando Siles). 

බොලිවීයාවේ ලා පාස් (La Paz) නගරයේ පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණය පාපන්දු තරග ක්‍රීඩා කිරීමට වැඩි වශයෙන් යොදා ගන්නවා. බොලිවීයා ජාතික පාපන්දු කණ්ඩායමත් තමන්ගේ රටේ පවතින පාපන්දු තරග ක්‍රීඩා කිරීමට වැඩි වශයෙන් මෙම ක්‍රීඩාංගණය යොදා ගන්නවා. මෙම ක්‍රීඩාංගණයේ ඇති විශේෂත්වය වන්නේ එය මුහුදු මට්ටමේ සිට මීටර් 3637ක ඉහළින් පිහිටා තිබීම යි. මේ නිසා එස්ටඩියෝ හර්නන්ඩෝ සයිල්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන විට ක්‍රීඩකයන් ඉක්මනින් වෙහෙසට පත් වනවා. එය බොලිවීයා ජාතික පාපන්දු කණ්ඩායමට නම් වෙස්වලා ගත් ආශිර්වාදයක් කිවහොත් නිවැරදි යි.

ලා පාස් නගර මධ්‍යයේ ඇති ක්‍රීඩාංගනය පෙනෙන ආකාරය
ලා පාස් නගර මධ්‍යයේ ඇති ක්‍රීඩාංගණය පෙනෙන ආකාරය – www.theguardian.com

ක්‍රීඩාංගණයේ ආරම්භය සහ ඉතිහාසය

1930 වසරේ ජනවාරි මස 16 වැනි දා මෙම ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීම නිල වශයෙන් ආරම්භ කළා. ඉන් අනතුරුව 1977 වර්ෂයේ දී හර්නන්ඩෝ සයිල්ස් ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීමට බොලිවීයාව තිරණය කළා. මේ වන විට මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 41 143ක් සඳහා තරග නැරඹීමට පහසුකම් සලසනවා. 1930 සිට 2007 වර්ෂය දක්වා ම කිසිදු ගැටලුවකින් තොර ව මෙම ක්‍රීඩාංගණයේ තරඟ පැවැත්වුණා. 2007 වර්ෂයේදී ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේෂණය (FIFA) ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමේ අපහසුතා නිසා මුහුදු මට්ටමේ සිට මීටර 2500කට ඉහළින් ඇති ක්‍රීඩාංගණවල තරග පැවැත්වීම තහනම් කළා.

මෙම හේතුව නිසා මීටර 3637ක් ඉහළින් පිහිටා ඇති හර්නන්ඩෝ සයිල්ස් ක්‍රීඩාංගණයේත් තරග පැවැත්වීම තහනමට ලක් වුණා. මෙම තීරණයට විරුද්ධ වන බොලිවීයා පාපන්දු බලධාරීන් මෙම තීරණය අභියාචනයට ලක් කළා. මේ ක්‍රීඩාංගණයේ ඇති ඉතිහාසගත වටිනාකම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක දියේගෝ මැරඩෝනා පවා බොලිවීයාව සමඟින් එක් වී තහනම ඉවත් කර ගැනීමට සටන් කළා. එයට බොලිවීයා ජනාධිපතිවරයාත් එක් වුණා.

ප්‍රේක්ෂකයන් පිරී ගිය හෙර්නන්ඩෝ සයිල්ස්
ප්‍රේක්ෂකයන් පිරී ගිය හෙර්නන්ඩෝ සයිල්ස් – www.as.com/English

මෙම අභියාචනා නිසා ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේෂණය තමන් ගෙනා නීතිය සංශෝධනය කරමින් මුහුදු මට්ටමේ සිට මිටර් 2500 නොව පාපන්දු ක්‍රීඩා කිරීම සඳහා උපරිම සීමාව ලෙසින් මීටර් 3000 ක සීමාවක් නැවත පැනවූවා. නව නීතිය අනුවත් හර්නන්ඩෝ සයිල්ස් ක්‍රීඩාංගණය පාපන්දු ක්‍රීඩා කිරීමට නුසුදුසු වුණා. ඉන්පසුව එය සැලකිල්ලට ගනිමින් එස්ටඩියෝ හර්නන්ඩෝ සයිල්ස් ක්‍රීඩාංගණයේ පාපන්දු ක්‍රීඩා කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දීමට ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේෂණය කටයුතු කළා. ඒ අනුව දැනටත් මෙම ක්‍රීඩාංගණයේ පාපන්දු තරග පැවැත්වෙන්නේ එම විශේෂ අවසරය මත යි.

බොලිවීයා පාපන්දු ඉතිහාසය හා හර්නන්ඩෝ සයිල්ස්

බොලිවීයා ජාතික පාපන්දු කණ්ඩායම සහ හර්නන්ඩෝ සයිල්ස් ක්‍රීඩාංගණය අතර ඇත්තේ ගහට පොත්ත මෙන් බැඳුණු සම්බන්ධයක් කිවහොත් නිවැරදි යි. සාමානයෙන් දකුණු අමෙරිකානු කලාපයේ පාපන්දු කණ්ඩායම් අතරින් ප්‍රබල කණ්ඩායමක් ලෙසින් බොලීවියාව හැඳින්වීමට අපහසුයි . සෑම අවස්ථාවක ම පාහේ ඔවුන්ට දකුණු අමෙරිකානු පාපන්දු දැවැන්තයන් වන බ්‍රසීලය, ආජන්ටිනාව, උරුගුවේ, කොලොම්බියාව, පේරු, චිලී, ඉක්වදෝරය වැනි රටවල් හමුවේ ක්‍රීඩා කිරීමට සිදු වීම නිසා යි.

 මෙම ප්‍රබල රටවල් සියල්ලට ම පාහේ සුවිශේෂී අභියෝගයක් ලබා දීමට තම මව්බිම තුළ දී බොලිවියාවට හැකි වුණා. එයට හර්නන්ඩෝ සයිල්ස් ක්‍රීඩාංගණය විශාල දායකත්වයක් සැපයූවා. මෙතරම් ඉහළ මුහුදු මට්ටමක ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ට අපහසු වීම යි. නමුත් සැමදා තමන්ට හුරුපුරුදු ක්‍රීඩාංගණයේ බොලිවියානු ක්‍රීඩකයන් කිසිදු අපහසුවකින් තොර ව ක්‍රීඩා කළා.

බොලිවීයා ජාතික පාපන්දු කණ්ඩායම හෙර්නන්ඩෝ සයිල්ස් හි තරඟයක් ක්‍රීඩා කිරීමට ප්‍රථමව
බොලිවීයා ජාතික පාපන්දු කණ්ඩායම හෙර්නන්ඩෝ සයිල්ස් හි තරඟයක් ක්‍රීඩා කිරීමට ප්‍රථම – www.as.com/English

1963 වර්ෂයේ ප්‍රබල දකුණු අමෙරිකානු රටවල් සියල්ල ම අභිබවා යමින් කොපා අමෙරිකා ශූරතාව ජයග්‍රහණය කිරීමට බොලිවියාවට හැකියාව ලැබුණා. එය අදටත් බොලිවියා පාපන්දු ඉතිහාසයේ විශාලත ම පාපන්දු ජයග්‍රහණය වන අතර ම එම තරගාවලිය බොලිවියාවේ පැවැත්වුණා. ඔවුන් 1994 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවල දී බ්‍රසීලය ගෝල 2-0ක් ලෙසින් හර්නන්ඩෝ සයිල්ස් හී දි පරාජයට පත් කළා. එය බ්‍රසීලය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවල දී පරාජයක් ලැබුවේ වසර 40 කට පසුව වීමත් විශේෂත්වයක් වුණා. ඒ වගේ ම වෙනිසියුලාව ගෝල 7-0ක් ලෙසින් ද පරාජයට පත් කරමින් 1994 ලෝක කුසලානයට පවා සුදුසුකම් ලබා ගැනීමට බොලිවීයාවට හැකි වීම පාපන්දු ලෝකයේ ම විමතියට තුඩු දුන් කාරණයක් බවට පත් වුණා.

මෑතකාලීන ව 2009 වර්ෂයේ දී ආජන්ටිනාවට එරෙහි ව ඉතිහාසගත ගෝල 6-1 ක ජයක් බොලිවීයාව හිමිකර ගත්තා. එය වසර 60 කට පසු ව ආජන්ටිනාව පාපන්දු තරගයක දී ලැබූ විශාලත ම පරාජය ලෙසින් ද සටහන් වුණා. එම ජයග්‍රහණය ලබා මාස 6 කට පසු ව නැවතත් ප්‍රබල බ්‍රසීලය ගෝල 2-1ක් ලෙසින් හර්නන්ඩෝ සයිල්ස් හී දි පරාජය ලැබුවා. මේ හේතු නිසා බොලිවියා ජාතික පාපන්දු කණ්ඩායමට මෙම ක්‍රීඩාංගණය සුවිශේෂී ඉතිහාසයක් මෙන් ම සුවිශේෂී වාසියක් ද රැගෙන එන ක්‍රීඩාංගණයක් ලෙසින් සැලකෙනවා.

ක්‍රීඩකයන්ට ඔක්සිජන්!

පෙර සඳහන් කළ ආකාරයට ම බොලිවියාවට පිටින් පැමිණෙන කණ්ඩායම් සඳහා හර්නන්ඩෝ සයිල්ස් හී ක්‍රීඩා කිරීම අතිශයින් ම අපහසු යි. මේ හේතුව නිසා  ඇතැම් තරගවල දී තරගයේ අර්ධයක් නිමා වීමෙන් පසු ව දෙවන අර්ධය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ක්‍රීඩකයන් ඔක්සිජන් පවා ලබා ගන්නා ආකාරය ප්‍රසිද්ධ වුණා.

ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ඈන්හෙල් ඩි මරියා ඔක්සිජන් ලබා ගන්නා ඡායාරූපයක් විටෙක පාපන්දු ප්‍රේක්ෂකයන් අතර හුවමාරු වෙද්දී ඉන් පසු ව බ්‍රසීල සුපිරි ක්‍රීඩක නෙයිමාර්, හර්නන්ඩෝ සයිල්ස් හි ක්‍රීඩා කොට දෙවන අර්ධය ආරම්භ වීමට පෙර ක්‍රීඩක විවේකාගාරයේ දී බ්‍රසීල ක්‍රීඩකයන් ඔක්සිජන් ලබා ගන්නා ඡායාරූප සමාජ මාධ්‍ය වෙතට මුදා හැර තිබුණා. බොලිවියා ක්‍රීඩකයන්ට මෙය අවශ්‍ය නොවුණත් පිටින් පැමිණෙන ක්‍රීඩකයන් මෙහි බොහෝ අපහසුතාවට පත් වනවා.

නෙයිමාර් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බ්‍රසීල ක්‍රීඩකයන් තරඟය අතරතුර ඔක්සිජන් ලබා ගන්නා ඡායාරූපයක්
නෙයිමාර් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බ්‍රසීල ක්‍රීඩකයන් තරඟය අතරතුර ඔක්සිජන් ලබා ගන්නා ඡායාරූපයක් – www.skysports.com

කෙසේ වුවත් මෙම තත්ත්වය මත තවදුරත් බොලිවියාව හර්නන්ඩෝ සයිස්ල් ක්‍රීඩාංගණයේ වාසිය උකහා ගනිමින් සිටිනවා. 2022 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටවල දී ද බොලිවියාව ජයග්‍රහණ 4ක් ලබා ගෙන සිටින අතර එම ජයග්‍රහණයන් සියල්ල ම මෙම ක්‍රීඩාංගණයේ ලැබූ ජයග්‍රහණ වනවා. ඒ අතරට උරුගුවේ පරදවමින් ලැබූ ගෝල 3-0ක ජයග්‍රහණයත් අයත්. ඉතිහාසයේ මෙන් ම අනාගතයේත් හර්නන්ඩෝ සයිල්ස් ක්‍රීඩාංගණයේ වාසිය බොලිවීයාව ලබාගනු ඇති බවට සක්සුදක් සේ විශ්වාස කළ හැකි යි.

කවරයේ ඡායාරූපය - www.readersdigest.co.uk

මූලාශ්‍ර :

www.dailymail.co.uk

www.stadiumguide.com

www.transfermarkt.com

www.besoccer.com

 

Related Articles