Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1992 පාකිස්ථානු ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි සෙවණැල්ල: මියැන්ඩාඩ්

පාකිස්ථානු ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් ලබාගත් දැවැන්තම ජයග්‍රහණය වුණු 1992 ලෝක කුසලාන ජයග්‍රහණය පිළිබඳව පාකිස්ථානු ක්‍රිකට් රසිකයන් අදටත් කතා කරන්නේ මහත් ආඩම්බරයෙන්. එදා එම තරගාවලිය තුළ  ඉතාමත් අසීරු ගමනක නිරතවුණු පාකිස්ථානුවන් අවසානයේ දී සමස්ත ක්‍රිකට් ලෝකයම මවිත කරමින් ලබාගත් ජයග්‍රහණය පිටුපස දැවැන්ත පිතිකරුවෙකු සිටියා. සමස්ත තරගාවලිය පුරාම තීරණාත්මක අවස්ථාවල දී තම යුතුකම මනාව ඉටු කළ ඔහු තරගාවලිය තුළ දෙවනියට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවටත් පත්වුණා. එසේනම් මෙම ලිපිය වෙන්වන්නේ ජාවෙඩ් මියැන්ඩාඩ් නම් එම සුපිරි පිතිකරුවා 1992 ලෝක කුසලාන තරගාවලියේ දී දැක්වූ දස්කම් පිළිබඳව ඔබගේ මතකය අලුත් කිරීමට යි.

පළමු තරග 2කේ දීම මියැන්ඩාඩ්ගේ පිත්ත කතා කරයි 

ලීග් ක්‍රමයට පැවති මෙම තරගාවලිය තුළ සෑම කණ්ඩායමකටම පළමු වටය තුළ දී තරග 8කට සහභාගි වීමට සිදුවුණා. ඒ අනුව පාකිස්ථානු කණ්ඩායමට මුල්ම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවුණේ මෙල්බර්න් පිටියේ දී යි. 

 පාකිස්ථානු තරගය ඇරඹීමට පෙර කොදෙව්වන් සමූහ ඡායාරූපයයකට පෙනී සිටිමින් (ESPNcricinfo)

එදා කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානුවන් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් ඉදිරියේ අපහසුවෙන් ලකුණු රැස්කළා. එම නිසාම 30 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට ඔවුන්ගේ  කණ්ඩායමේ 2 වැනි කඩුල්ල ලෙසින් ඉන්සාමාම් දැවීගියේ පාකිස්ථානු ලකුණු පුවරුව 97/2ක් බවට පත් කරමින්. එම අසීරු අවස්ථාවේ පිටියට පිවිසි ජාවෙඩ් මියැන්ඩාඩ් සතු වගකීම වුණේ වේගයෙන් ලකුණු රැස් කරමින් කණ්ඩායමට සවියක් වීම යි. එදා ඔහුට පැවරුණු එම වගකීම මනාව ඉටුකළ මියැන්ඩාඩ් පන්දු 61කින් නොදැවී ලකුණු 57ක් ලබාගෙන නියමිත පන්දුවාර 50 අවසානයේ දී පාකිස්ථානු ලකුණු පුවරුව 220/2 බවට පත්කළා. මියැන්ඩාඩ් එලෙස පිත්තෙන් දස්කම් දැක්වුවත් අවසානයේ දී පකිස්තානුවන්ට කඩුලු 10ක පරාජයක් උරුම වුණේ බ්‍රයන් ලාරා සහ ඩෙස්මන්ඩ් හේන්ස්ගේ දක්ෂ පිතිහරඹය නිසා යි.

බ්‍රයන් ලාරා ( gettyimages)

තරගාවලිය තුළ පාකිස්ථානු කණ්ඩායම සහභාගි වුණු 2 වැනි තරගය හෝබාට් නුවර බෙලරීව් ඕවල් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ පාකිස්ථානු කණ්ඩායම යි. එහිදී ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 63ක් ලබා සිටි අවස්ථාවේ පිටියට පිවිසි මියැන්ඩාඩ්, අමීර් සොහේල් සමග එක්ව ලකුණු 145ක සබඳතාවය පැවැත්වූයේ නියමිත පන්දුවාර 50 අවසානයේ දී පාකිස්ථානු ඉනිම 254/4 බවට පත් කරමින්. එහිදී හොඳ ඉනිමක් ක්‍රීඩාකල මියැන්ඩාඩ් පන්දු 94කින් ලබාගත් ලකුණු 89 ඔහු තරගාවලිය තුළ ලබාගත් 2 වැනි  අර්ධ ශතකය බවට පත්වුණා.

පාකිස්ථානු කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමේ අවදානමක් 

පාකිස්ථානු කණ්ඩායම තරගාවලියේ පළමු තරග 2න් 1ක් ජයග්‍රහණය කර තිබුණු අවස්ථාවක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඇඩිලේඩ් ඕවල් පිටියේ දී තරගයකට සහභාගි වුණා. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 40.2කදී සියලු දෙනා දැවී ලකුණු 74ක් ලබාගන්නා විට මියැන්ඩාඩ් ලබාගත්තේ ලකුණු 3ක් පමණ යි. නමුත් එදා පාකිස්ථානු කණ්ඩායමේ පිහිටට පැමිණි වර්ෂාව එංගලන්ත ඉනිමේ 8 වැනි  පන්දුවාරය අවසානයේ දී ඇඳ වැටුණේ තීරණයක් රහිතව තරගය අවසන් කරමින්. එම තරගයෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමට එරෙහිව සිඩ්නි පිටියේ දී තරග කිරීමට පාකිස්ථානු කණ්ඩායමට සිදුවුණා. එහිදී ලකුණු 217ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් ජාවෙඩ් මියැන්ඩාඩ් ලකුණු 40ක් ලබාගත්තත් එය පාකිස්ථානු ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ. මෙම තරගය මියැන්ඩාඩ්ට අමතක නොවන තරගයක් වුණේ ඔහු ඉන්දීය කඩුලු රකින්නෙකු වුණු කිරාන් මෝරේ සමග ඇතිකරගත් ගැටුම නිසා යි. ඉන්දීය තරගය පරාජය වීමෙන් අනතුරුව අසනීප වීම නිසා මියැන්ඩාඩ්ට දකුණු අප්‍රිකා තරගය ගිලිහී ගිය අතර එම තරගය පාකිස්ථානු කණ්ඩායම පරාජය වීමත් සමගම ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඉතිරි තරග 3ම ජයගැනීම අනිවාර්ය වුණා.

මෝරේ සමග බහින්බස් වීමෙන් අනතුරුව මියැන්ඩාඩ් ඔහුට ප්‍රතිචාර දැක්වූ ආකාරය (gettyimages)

තීරණාත්මක තරග තුනේදී මියැන්ඩාඩ්ගෙන් ඉවසිලිවන්ත ඉනිම් 3ක් 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පර්ත් නුවර වැකා පිටියේ පැවති තීරණාත්මක තරගයේ දී පන්දු 75කින් ලකුණු 46ක් ලබාගත් මියැන්ඩාඩ් පාකිස්ථානු ජයග්‍රහණය සඳහා සවියක් වුණේ අමිර් සොහේල් සමග තෙවන කඩුල්ල සඳහා ලකුණු 77ක සබඳතාවයක් ගොඩනගමින්. එදා පාකිස්ථානු කණ්ඩායම ලකුණු 220ක් කරා රැගෙන ගිය එම සබඳතාවය නොතිබුණේ නම් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියේ පාකිස්ථානු ඉනිම බිඳ වැටීමට තිබුණු ඉඩකඩ වැඩියි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ලබාගත් ජයග්‍රහණයෙන් අනතුරුව වැකා පිටියේ දීම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 57ක් ලබාගත් මියැන්ඩාඩ් පාකිස්ථානු කණ්ඩායම ලකුණු 216ක් හඹාගිය ගමනේ නියමුවා වුණා. එලෙස පිට පිටම තරග 2ක් ජයගත් පාකිස්ථානු කණ්ඩායමට ඉන්පසුව ලැබුණු ලොකුම අභියෝගය වුණේ සහභාගි වුණු තරග 7ම ජයග්‍රහණය කර සිටි නවසීලන්තයට එරෙහිව තරග වැදීම යි. ක්‍රයිස්චර්ච් හි පැවති එම තීරණාත්මක තරගයේ දී කාසියේ වාසිය දිනූ පාකිස්ථානු නායක ඉම්රාන් ඛාන් වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳුවුණු ක්‍රයිස්චර්ච් තණතීරුවේ මුලින්ම පන්දු යැවීමට තිරණය කළා. එදා සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටුකළ වසීම් අක්‍රම් ලකුණු 32කට කඩුලු 4ක් දවාගනිමින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා නවසීලන්ත ඉනිම ලකුණු 166කට සීමාවුණේ පන්දුවාර 48.2ක් තුළ යි. ඉන් පසුව ලකුණු 167ක ඉලක්කයක් හඹාගිය පකිස්තානු ඉනිමේ පළමු කඩුලු 2ම ලකුණු 9ක් තුළ දැවීගියා. නමුත් එම අවස්ථාවේ පිටියට පිවිසි මියැන්ඩාඩ් පන්දු 85කින් ලකුණු 30ක් ලබාගෙන රමීස් රාජා සමග ලකුණු 115ක සබඳතාවයක් ගොඩනැගුවේ පාකිස්ථානු ලබාගත් කඩුලු 7ක ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වෙමින්.

අවසන් පූර්ව තරගයේදී මියැන්ඩාඩ්ගෙන් වටිනා ඉනිමක් 

ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාක් පිටියේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී ලකුණු 263ක ඉලක්කයක් හඹායමින් සිටි පාකිස්ථානු කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 140කට දැවීගියේ 35 වැනි පන්දුවාරය තුළ යි. එම අවස්ථාවේ ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 8කට ආසන්න වේගයක් අවශ්‍ය වුණා. එලෙස පාකිස්ථානු කණ්ඩායම අසීරු අඩියකට වැටුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු මියැන්ඩාඩ් සහ ඉන්සාමාම් ගොඩනැගූ ලකුණු 87ක සබඳතාවය නිසා පාකිස්ථානය නැවතත් තරගයට අවතීර්ණ වුණා. එහිදී  පන්දු 37කින් ලකුණු 60ක් ලබා සිටි ඉන්සාමාම් එම අවස්ථාවේ දැවීගියත් තම වගකීම මැනවින් ඉටුකළ මියැන්ඩාඩ් පන්දු 69කින් නොදැවී ලකුණු 57ක් ලබාගත්තේ පාකිස්ථානුවන් අවසන් තරගයට රැගෙන යමින්.

පාකිස්ථානය  අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ පසු උද්දාමයට පත්වූ මියැන්ඩාඩ් (gettyimages)

අවසන් තරගයේදී තැනේ හැටියට ඇණේ ගැසූ මියැන්ඩාඩ් 

එංගලන්තය සමග මෙල්බර්න් ක්‍රිකට් පිටියේ පැවති අවසන් තරගයේ දී ඩෙරික් ප්‍රිංගල්ගේ මනරම් පන්දු යැවීම ඉදිරියේ පාකිස්ථානු මුල් කඩුලු 2ම ලකුණු 24කට දැවීගියා. නමුත් එම අවස්ථාවේ ඉම්රාන් ඛාන් සමග එක්වුණු ජාවෙඩ් මියැන්ඩාඩ් පන්දු 98කින් ලකුණු 58ක් ලබාගනිමින් නායකයා සමග එක්ව ලකුණු 139ක සබඳතාවයක් ගොඩනැගුවා. එලෙස ඔවුන් දෙදෙනා හොඳින් පන්දුවට පහරදුන් නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී පාකිස්ථානු ලකුණු පුවරුව 249/6 බවට පත්වුණා. එදා ලකුණු 22කින් එංගලන්තය පරාජය කරමින් ලබාගත්  ජයග්‍රහණයේ දී තීරණාත්මක සාධකය වුණේ ඉහත සබඳතාවය යි.

මියැන්ඩාඩ් අවසන් තරගයේදී පන්දුවට පහරදෙමින් (gettyimages)

තරගාවලිය තුළ මියැන්ඩාඩ්ගේ පිතිකරණ දත්ත වාර්තාව 

ඉනිම් – 9

ලකුණු – 437

පිතිකරණ සාමාන්‍ය – 62.43

ප්‍රහාරාත්මක වේගය – 62.61

අර්ධ ශතක – 5

හොඳම ඉනිම – 89 සිම්බාබ්වේට එරෙහිව 

කවරයේ ඡායාරූපය - අවසන් තරගයේදී මියැන්ඩාඩ් පන්දුවට පහරදෙමින් (gettyimages)

Related Articles