Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි ක්‍රිකට් තරු 9ක්

8 වන වතාවටත් ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් මස 16 වනදා පැවති ශ්‍රී ලංකා නැමිබියා සුදුසුකම් ලැබීමේ වටයේ තරගයෙන් ආරම්භ වුණා. කෙසේ වෙතත් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය විවිධ හේතු නිසා අහිමි තරු ගණනාවක්ම  සිටිනවා. සමහර ක්‍රීඩකයන්ට ආබාධ නිසා ද, සමහර ක්‍රීඩකයන්ගේ පවතින රිද්මයේ ගැටලු නිසා ද මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වුණා.

මෙම ලිපියෙන් මෙවර ලෝක කුසලානයට සහභාගී වීම මඟ හැරී ගිය ක්‍රීඩකයන් 9 දෙනෙක් සම්බන්ධයෙන් කතාබහ කෙරෙනවා.

1. ජැස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)

ඉන්දියානු වේග පන්දු යැවීමේ බළ ඇණියේ ප්‍රධානත ම තුරුම්පුව වන ජැස්ප්‍රිට් බුම්රාට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන වරම් අහිමි වුණා. ඒ ඔහුගේ පිට කොන්දේ ඇති වූ ආබාධ තත්වයක් හේතුවෙනු යි. පසුගිය එංගලන්ත සංචාරයේ දී මෙම ආබාධයට ගොදුරු වුණු බුම්රා මේ නිසා නිමා වූ ආසියා කුසලානය ද ක්‍රීඩා කළේ නෑ. ඉන් අනතුරු ව පැවති ඕස්ට්‍රේලියා තරගාවලියට ඔහු පැමිණිය ද ආබාධයට ලක් වීමට නැවත සිදු වුණා. මේ නිසා ජැස්ප්‍රිට් බුම්රාට 2022 විස්සයි විස්ස ලෝක කුසලානය මඟහැරෙන බවට ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

බුම්රා නොමැති වීම මෙවර ඉන්දියානුවන්ට විශාල පාඩුවක් වීමට නියමිතයි
බුම්රා නොමැති වීම මෙවර ඉන්දියානුවන්ට විශාල පාඩුවක් – www.theeconomictime.com

විස්සයි විස්ස පිටියේ අත්දැකීම් බහුල මෙම දකුණත් වේග පන්දු යවන්නා ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ තරග 60ක් ක්‍රීඩා කොට කඩුලු 70ක් දවා ගැනීමට සමත් ව සිටිනවා. කලක් ලොව අංක 1 විස්සයි විස්ස පන්දු යවන්නා ලෙසින් ද ජැස්ප්‍රිට් බුම්රා ගේ නම වැජඹුණා. පසුගිය ආසියා කුසලානයේ දී මෙන්ම එළඹෙන ලෝක කුසලානයේ දී ත් බුම්රා නොමැති වීමේ පාඩුව ඉන්දියාවට දැඩි ව බලපානු ඇතැයි කල්තබා ම අනුමාන කළ හැකි යි.

2. රවීන්ද්‍ර ජඩේජා (ඉන්දියාව)

ලෝක කුසලානය සඳහා සහභාගී වන ඉන්දියාවට මඟහැරී ගිය මීළඟ ක්‍රීඩකයා වන්නේ රවීන්ද්‍ර ජඩේජා යි. වත්මන් විස්සයි විස්ස පිටියේ සිටිනා අත්දැකීම් බහුල ම තුන් ඉරියව් ක්‍රීඩකයන් ලැයිස්තුවේ ඉහළින් ම ජඩේජා රැඳී සිටිනවා. අවශ්‍ය මොහොතේ දී දඟ පන්දුවෙන්, පිත්තෙන් මෙන් ම සුපිරි පන්දු රැකීමෙන්ද දස්කම් දක්වන රවීන්ද්‍ර ජඩේජා නොමැති වීම ඉන්දීය කණ්ඩායමට මරු පහරක් වී තිබෙනවා. පාදයේ ඇති ව තිබෙන ආබාධ තත්ත්වයක් නිසා ඔහුට මෙලෙස ඉන්දීය සංචිතයේ තම ස්ථානය අහිමි වුණා. 

ජඩේජා යනු ඉන්දියාවට සිටිනා හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්
ජඩේජා යනු ඉන්දියාවට සිටිනා හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් – www.news18.com

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තරග 64 ක් තුළ ඉනිම 34 ක් ක්‍රීඩා කරමින් ඔහු ලකුණු 467 ක් රැස්කර ගෙන සිටිනවා. එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 24.05ක්. පන්දු යැවීමෙන් මෙම තරගවලදී කඩුලු 51ක් ලබා ගැනීමට ද ජඩේජා සමත් වුණා. පසුගිය ආසියා කුසලාන තරගාවලියේ දී හොංකොං සමඟ පැවති තරගයේ දී රවීන්ද්‍ර ජඩේජා මෙම අවාසනාවන්ත ආබාධ තත්ත්වයට මුහුණ දුන්නා.

3. ජොනී බෙයාස්ටෝ (එංගලන්තය)

වත්මන් එංගලන්ත කණ්ඩායම සතු ප්‍රබල ප්‍රහාරක පිතිකරු මෙන් ම 2019 ලෝක ක්‍රිකට් ශූරතාව දිනූ එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙක් ද වූ ජොනී බෙයාස්ටෝ හට ද පාදයේ ආබාධයක් නිසා 2022 විස්සයි විස්ස ලෝක කුසලානය මඟ හැරී ගොස් තිබෙනවා. බෙයාස්ටෝ මෙම සිදුවීමට මුහුණ දුන්නේ පසුගිය දා පැවති එංගලන්ත – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අතරතුර දී යි.

ආබාධය නිසාවෙන් ජොනී බෙයාස්ටෝ හට ලෝක කුසලාන වරම් අහිමි වුණා
ආබාධය නිසාවෙන් ජොනී බෙයාස්ටෝට ලෝක කුසලාන වරම් අහිමි වුණා – www.theindianexpress.com

මේ වසරේ හොඳ රිද්මයක් පවත්වාගෙන යමින් බෙයාස්ටෝ ක්‍රීඩා කළා. ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ එංගලන්තය නියෝජනය කරමින් තරග 66 ක දී ලකුණු 1337 ක් රැස් කිරීමට ඔහු සමත් ව තිබෙනවා. එහි ඉනිමක සාමාන්‍ය 27.85 ක් සහ ප්‍රහාරක වේගය 136.43 ක අගයක් ද ගන්නවා. එංගලන්තය සතු ව සෑහෙන තරම් ප්‍රහාරක ක්‍රීඩකයන් සිටිය ද අත්දැකීම් බහුල බෙයාස්ටෝ නොමැතී විම විශාල පාඩුවක් වනවා නොඅනුමාන යි.

4. ජේසන් රෝයි (එංගලන්තය)

ජොනී බෙයාස්ටෝ සමඟින් එංගලන්ත එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ ජොස් බට්ලර් සමඟ විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ ජේසන් රෝයි ද එංගලන්ත සංචිතයෙන් හැලී ගොස් තිබෙනවා. මේ දිනවල රෝයි පවත්වාගෙන යන දුර්වල පිතිකරණ රටාව එයට ප්‍රධාන හේතුව වුණා. 2019 ලෝක ක්‍රිකට් ලෝක ශූරතාව දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී දැකීමට නොලැබීම ද සුවිශේෂී කාරණයක්.

ජේසන් රෝයිගේ මෑත කාලීන අසාර්ථකත්වය නිසා ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා
ජේසන් රෝයිගේ මෑත කාලීන අසාර්ථකත්වය නිසා ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා
– www.theshillongtime.com

එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරඟ 64ක් ක්‍රීඩා කළ දකුණත් පිතිකරුවා එහිදී ප්‍රහා‍රක වේගය 137.61 ක අගයක පවත්වාගෙන ලකුණු 1522 ක් රැස් කළා. රෝයි මේ වසරේ පැවති තරගවල දී දිගින් දිගට ම අසාර්ථක වූ අතර ඉන් පසු ව පැවති ද හන්ඩ්‍රඩ් (The Hundred) ෆ්‍රැන්චයිස් තරගාවලියේ දී ද සාර්ථක වුණේ නෑ. මේ නිසා ඔහු වෙනුවට වසර ගණනාවකට පසුව ඇලෙක්ස් හේල්ස් සංචිතයට කැඳවීමට එරට බලධාරීන් කටයුතු කළා. ජේසන් රෝයිට ඉක්මනින් ම නැවත තමන්ගේ රිද්මයට පැමිණීමට අවස්ථාව ලැබෙනු ඇති බවට අවසන් එංගලන්ත සංචිතය නිකුත් කිරීමෙන් පසු කෙවින් පීටර්සන් පවසා සිටියා.

5. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)

2014 වර්ෂයේ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කිරුළ දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන සාධකයක් බවට පත්ව සිටි මැතිව්ස් මෙවර ලෝක කුසලානය ද නියෝජනය කරන්නේ නෑ. 35 හැවිරිදි මැතිව්ස් පසුගිය වසරේ ඩුබායි හී දි පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ද ක්‍රීඩා නොකිරීම විශේෂත්වයක්. විවිධ ආබාධ මධ්‍යයේ සිටි ඔහු මෑත කාලීන ව ටෙස්ට් තරග පමණක් ක්‍රීඩා කරනවා. මැතිව්ස් අවසන් වතාවට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහි ව 2021 වර්ෂයේ මාර්තු මාසයේ දී ක්‍රීඩා කිරීමෙන් පසු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළේ නෑ. 

ඇන්ජලෝ මැතිව්ස් යනු විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟ තුනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්
ඇන්ජලෝ මැතිව්ස් යනු විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟ තුනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් – www.thestateman.com

විස්සයි විස්ස තරඟ 78 ක ඉනිම 63ක දී ඔහු ලකුණු 1148 ක් ලබා සිටින්නේ ඉනිමක සාමාන්‍ය 25.51 ක අගයක් රඳවා ගනිමින්.  ඉහත තරගවල පන්දු යැවීමෙන් ද කඩුලු 38 ක් දවා ගැනීමට මැතිව්ස් සමත් වුණා. 2009 සහ 2012 අනුශූරතාව සහ 2014 විස්සයි විස්ස ලෝක ශූරතාව දිනූ කණ්ඩායම් ද මැතිව්ස් නියෝජනය කළා. කෙසේ වුවත් මෑත කාලීන ව සීමිත පන්දුවාර පිටියේ දී ඔහු දකින්නට නොමැති වීම නිසා අනාගතයේ විස්සයි විස්ස ලෝක කුසලානයක දී හෝ මැතිව්ස් දකින්නට ලැබීම අනපේක්ෂිත කාරණයක්.

6. ඉමාඩ් වසීම් (පාකිස්තානය)

පාකිස්තාන කණ්ඩායමේ සිටිනා විස්සයි විස්ස පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන ඉමාඩ් වසීම් මෙවර ලෝක කුසලානයේ පාකිස්තාන සංචිතයට ඇතුළත් වන්නේ නෑ. එයට හේතු පැහැදිලි කළ පාකිස්තාන තේරීම් කමිටු සභාපති මොහොමඩ් වසීම් ප්‍රකාශ කර සිටින්නේ වත්මන් පාකිස්තාන සංචිතයට ඇතුළත් කළ ශාරීරික යෝග්‍යතා සීමාවලට ඔහු ඇතුළත් නොවන බව යි. මෙම ප්‍රශ්නය නිසා පසුගිය ලෝක කුසලානයෙන් පසු ව ඉමාඩ් වසීම් ක්‍රීඩා කළේ නෑ.

ශාරීරික යෝග්‍යතා ගැටලු නිසා ඉමාඩ් වසීම් ට කණ්ඩායමට එක් වීමට හැකි වුණේ නෑ
ශාරීරික යෝග්‍යතා ගැටලු නිසා ඉමාඩ් වසීම් ට කණ්ඩායමට එක් වීමට හැකි වුණේ නෑ – www.cricketaddictor.com

පාකිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස තරග 58ක දී ලකුණු 339ක් ලබා ගෙන කඩුලු 55ක් දවා ගැනීමට ඉමාඩ් වසීම් සමත් වුණා. පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා අපරාජිත ව පැමිණි පාකිස්තානය වෙනුවෙන් ඔහු සෑහෙන වැඩ කොටසක් ඉටු කළා. පළමුවන පන්දුවාර 6 දී අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින් පන්දු යැවීමට හැකි පන්දු යවන්නෙක් ලෙසින් ඉමාඩ් වසීම් ප්‍රකට යි.

7. ශිම්රන් හෙට්මයර් (බටහිර ඉන්දීය කොදෙව්)

නොසැලකිල්ල නිසා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මඟ හැර ගත් ක්‍රීඩකයෙක් ලෙසින් කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ශිම්රන් හෙට්මයර් හඳුන්වා දිය හැකි යි. ලෝක කුසලානයට ප්‍රථම ඕස්ට්‍රේලියාව සමඟ විස්සයි විස්ස තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට කොදෙව්වන් සූදානම් වූ අතර ම එයට සහභාගී වන සංචිතය සමඟ තමන්ට පැමිණීමට නොහැකි බවට හෙට්මයර් දැනුම් දුන්නා. එයට හේතුව වූයේ තමන්ගේ පවුලේ පෞද්ගලික ගැටලුවක් බවට ද ඔහු ප්‍රකාශ කළා. මේ නිසා ඕස්ට්‍රේලියාව බලා යාමට හෙට්මයර්ට ඉන් දින තුනකට පසු ගුවන් යානයක ටිකට්පතක් වෙන් කිරීමට කොදෙව් බලධාරීන් කටයුතු කළා.

  නොසැලකිල්ල නිසා ලෝක කුසලාන වරම් අහිමිකරගත් හෙට්මයර්
නොසැලකිල්ල නිසා ලෝක කුසලාන වරම් අහිමිකරගත් හෙට්මයර් – www.hindustantimes.com

 එදින ගුවන්තොටුපොළට පැමිණීමට ප්‍රමාද වීම නිසා හෙට්මයර්ට අදාල ගුවන් යානය මඟ හැරුණා. එම නොසැලකිල්ල නිසා වහා ම ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියා තරග සංචාරයෙන් හා විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ශිම්රන් හෙට්මයර් ගේ නම ඉවත් කිරීමට කටයුතු යෙදුණා. කොදෙව් දූපත් වෙනුවෙන් විස්සයි විස්ස තරඟ 50ක් ක්‍රීඩා කරමින් ලකුණු 797ක් රැස් කළ හෙට්මයර් වෙනුවට ශැම්රන් බෲක්ස් කණ්ඩායමට ඇතුළත් කළ බවට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් පසුව නිවේදනය කළා.

8. ඇන්ඩ්‍රෙ රසල් (බටහිර ඉන්දීය කොදෙව්)

2012 සහ 2016 විස්සයි විස්ස ලෝක ශූරතාව දිනූ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රෙ රසල් මෙවර ලෝක කුසලානය ක්‍රීඩා කරන්නේ නෑ. රසල් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ කොදෙව් තේරීම් කමිටු සභාපති ඩෙස්මන් හේන්ස් ප්‍රකාශ කළේ මෑතකාලීන ව රසල් සෑහෙන මට්ටමේ දක්ෂතා අතර නොසිටීම මෙම තීරණය ගැනීමට හේතු වූ බව යි. 

රසල්ව කණ්ඩායමට එක් කර ගැනීමට ඔහුගේ වත්මන් රිද්මය ගැටලුවක් වුණා
රසල්ව කණ්ඩායමට එක් කර ගැනීමට ඔහුගේ වත්මන් රිද්මය ගැටලුවක් වුණා – www.westindiescricket.com

34 හැවිරිදි රසල් කොදෙව් දූපත් වෙනුවෙන් විස්සයි විස්ස තරග 67ක දී ලකුණු 741 ක් ලබා සිටින්නේ 156.0 ක ප්‍රහාරක වේගයක් රඳවා ගෙන යි. මීට අමතරව රසල් පන්දු යැවීමෙන් කඩුලු 39ක් ද දවා ගැනීමට සමත් වුණා. ලොව පුරා ලීග් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ඇන්ඩ්‍රෙ රසල් යනු විස්සයි විස්ස පිටියේ අතිශය ජනප්‍රිය ක්‍රීඩකයෙක්. අවසන් වතාවට පසුගිය වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියා තරගයෙන් අනතුරුව ඇන්ඩ්‍රෙ රසල් කොදෙව්වන් වෙනුවෙන් ක්‍රීඩා කළේ නෑ.

9. රසී වැන්ඩර් ඩුසන් (දකුණු අප්‍රිකාව)

පසුගිය වසර කිහිපයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් සෑහෙන තරම් වැඩ කොටසක් සිදු කළ දකුණත් පිතිකරුවා රසී වැන්ඩර් ඩුසන්, පසුගිය එංගලන්ත ටෙස්ට් තරඟාවලියේදී ඇඟිල්ලක ඇති වූ ආබාධ තත්ත්වයක් නිසා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කරන්නේ නෑ. ඔහු වෙනුවට දකුණු අප්‍රිකාව වෙනුවෙන් රයිලි රුසෝව් ක්‍රීඩා කිරීමට නියමිත වනවා.

වැන්ඩර් ඩුසන්ගේ ඇඟිල්ලේ ආබාධය නිසා ඔහුට ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වීමට සිදු වුණා
වැන්ඩර් ඩුසන්ගේ ඇඟිල්ලේ ආබාධය නිසා ඔහුට ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වීමට සිදු වුණා – www.espncricinfo.com

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 41ක් ක්‍රීඩා කොට ඇති ඔහු එහිදී ඉනිමක සාමාන්‍ය 36 ක අගයක් තබා ගනිමින් සමස්ත ලකුණු 1044 ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා. එහි ප්‍රහාරක අගය ද 128.73 ක් වනවා. දකුණු අප්‍රිකානු මැද පෙළ සවිමත් කරමින් පසුගිය කාලයේ දී ක්‍රීඩා කළ වැන්ඩර් ඩුසෙන් නොමැති වීම ඔවුන්ට විශාල පාඩුවක් බව සඳහන් කිරීම ද වරදක් නොවෙයි.

කවරයේ ඡායාරූපය - ඇන්ජලෝ මැතිව්ස් - www.news18.com
 මූලාශ්‍ර :

www.espncricinfo.com

www.icccricket.com

Related Articles