Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 ඔලිම්පික් උළෙලේ අමෙරිකා-චීන මහා සංග්‍රාමය

දින 16ක් පුරාවට පැවති 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අගෝස්තු 8 වැනිදා නිමාවට පත්වුණා. තරගාවලි ආරම්භයේ සිට කරට කර සටනක නිරත වුණු චීනය සහ අමෙරිකාව අවසන් දිනය තෙක් ම පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සටන් කළා. අවසානයේ දී චීනය අභිබවා ගිය අමෙරිකාව රන් පදක්කම් 39ක් ලබා ගනිමින් මෙවර ඔලිම්පික් උළෙලේ ජයග්‍රහාකයා බවට පත්වුණා. අමෙරිකානුවන්ට වඩා එක් රන් පදක්කමක් අඩුවෙන් ලබා ගත් චීනය පදක්කම් සටහනේ දෙවන ස්ථානය හිමි කර ගත්තා. ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ තියුණු ම අවසානයක් දක්නට ලැබුණු ඔලිම්පික් උළෙලවල් අතරට මෙවර ඔලිම්පික් උළෙල ද අයත් වුණා. පහත ලිපිය මෙවර ඔලිම්පික් උළෙලේ අමෙරිකාව සහ චීනය අතර පැවති සටන පිළිබඳව යි.

අමෙරිකාවට වැඩි ම පදක්කම් ප්‍රමාණයක් ලැබුණු ක්‍රීඩා 

ඔලිම්පික් ඉතිහාසයේ වඩාත් ම සාර්ථකත්වයට පත් ව ඇති රාජ්‍යය වන්නේ අමෙරිකා එක්සත් ජනපදය යි. ඔවුන් එතරම් සාර්ථකත්වයක් ලබාගත්තේ සෑම විට ම මලල ක්‍රීඩාවෙන් සහ පිහිනුම් ක්‍රීඩාවෙන් ලැබුණු වැඩි රන් පදක්කම් ප්‍රමාණය නිසා යි. සුපුරුදු පරිදි මෙවරත් අමෙරිකාවට පිහිනුම් සහ මලල ක්‍රීඩා ඉසව්වලින් වැඩි ම රන් පදක්කම් ගණනක් ලැබුණා. එම පදක්කම් ප්‍රමාණය ගියවර ඔලිම්පික් උළෙලට සාපේක්ෂව මෙවර විශාල වශයෙන් අඩු වුණා. ගියවර ඔලිම්පික් උළෙලේ දී මලල ක්‍රීඩා සහ පිහිනුම් යන ක්‍රීඩා ද්විත්වයෙන් රන් පදක්කම් 29ක් ලබා ගත් අමෙරිකාව මෙවර එම ක්‍රීඩා ද්විත්වයෙන් ලබාගත්තේ රන් පදක්කම් 18ක් පමණ යි. 

අමෙරිකාවට රන් පදක්කම් 5ක් දිනාදුන් පිහිනුම් ක්‍රීඩක ඩ්‍රෙසල් – getty images

2004-2016 කාල සමයේ මයිකල් පෙල්ප්ස් නම් සුපිරි පිහිනුම් ක්‍රීඩකයා ඔලිම්පික් තරග බිමේ දී අමෙරිකාව නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා 2012 සහ 2016 ඔලිම්පික් උළෙලවල දී පිහිනුම් ක්‍රීඩාවෙන් අමෙරිකානුවන්ට රන් පදක්කම් 16ක් හිමි වුණා. මෙවර ඔලිම්පික් උළෙලේ දී අනිකුත් රටවල්වලින් අමෙරිකානු පිහිනුම් ආධිපත්‍යයට ප්‍රබල අභියෝගක් එල්ල වුණා. එනිසා අමෙරිකාවට  මෙවර දිනාගැනීමට හැකි වුණේ පිහිනුම් රන් පදක්කම් 11ක් පමණ යි. එය 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලෙන් පසුව අමෙරිකානුවන් දිනා ගත් අඩුම රන් පදක්කම් ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

මෙවර අමෙරිකානුවන් මලල ක්‍රීඩාවෙන් ද විශාල පසුබෑමක් පෙන්නුම් කළා. එනිසා 2016 රියෝ ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා රන් පදක්කම් 13ක් දිනා ගත් අමෙරිකාවට මෙවර හිමි වුණේ රන් පදක්කම් 7ක් පමණ යි. එය 2008 බීජිං ඔලිම්පික් උළෙලෙන් පසු ව අමෙරිකානුවන්ට හිමිවුණු අඩු ම මලල ක්‍රීඩා රන් පදක්කම් ප්‍රමාණය බවට පත්වුණා. එලෙස අමෙරිකාවට මලල ක්‍රීඩාවෙන් සහ පිහිනුම් ක්‍රීඩාවෙන් ලැබුණු රන් පදක්කම් ප්‍රමාණය අඩුවිමේ වාසිය ලැබුණේ චීනයට යි. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ චීන-අමෙරිකා සංග්‍රාමයක් නිර්මාණය වීමට හේතුව වුණේත් එය යි. 

චීනයට වැඩි ම පදක්කම් ප්‍රමාණයක් ලැබුණු ක්‍රීඩා 

අමෙරිකාව පිහිනුම් සහ මලල ක්‍රීඩා ඉසව්වලින් සාර්ථකත්වයට පත්වෙද්දී චීනය කිමිදුම් සහ බර ඉසිලීමේ තරග ඉසව්වලින් වැඩි රන්  පදක්කම් ප්‍රමාණයක් දිනා ගත්තා. එහි දී ඔවුන් කිමිදුම් තරග ඉසව් යටතේ ප්‍රදානය කළ රන් පදක්කම් අටෙන් 7ක් ම දිනා ගත්තා. ඒ අනුව පිට පිට ම පැවති ඔලිම්පික් උළෙල දෙකක දී චීනයට කිමිදුම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් 7 බැගින් හිමි වීම විශේෂත්වයක්. 

මෙවර ඔලිම්පික් උළෙලේ දී චීනය වඩාත් සාර්ථකත්වයට පත්වීම සඳහා විශාල ම බලපෑමක් කළේ බර ඉසිලීමේ ක්‍රීඩාව යි. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බර ඉසිලීමේ තරග ඉසව් යටතේ පිරිනමන ලද රන් පදක්කම් 14න් 7ක් ජයග්‍රහණය කළේ චීනය යි. එය චීනය ඔලිම්පික් උළෙලක දී බර ඉසිලීමේ ක්‍රීඩාව යටතේ දිනාගත් වැඩි ම රන් පදක්කම් ප්‍රමාණය බවට පත්වුණා. චීනය ඊට අමතර ව සුපුරුදු පරිදි මේසපන්දු ක්‍රීඩාවෙන් ඉහළ දස්කම් දක්වමින් රන් පදක්කම් 4ක් දිනා ගත්තා.

චීන කිමිදුම් ක්‍රීඩිකාවන් දස්කම් දක්වමින් – getty images

 

අමෙරිකාව සහ චීනය අසාර්ථක වුණු ක්‍රීඩා

මලල ක්‍රීඩා සහ පිහිනුම් ක්‍රීඩාවට අමතර ව අමෙරිකානුවන් අසාර්ථක වුණු අනිත් ක්‍රීඩාව වුණේ ජිම්නාස්ටික්. සාමාන්‍යයෙන් ඔලිම්පික් තරග ඉතිහාසයේ දී අමෙරිකානුවන්ට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. පසුගිය ඔලිම්පික් උළෙලේ දී අමෙරිකාව ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4ක් දිනා ගත්තේ එවර වැඩි ම ජිම්නාස්ටික් ඔලිම්පික් රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගත් රට බවට පත්වෙමින්. මෙවර අමෙරිකානුවන්ට හිමි වුණේ ජිම්නාස්ටික් රන් පදක්කම් 2ක් පමණ යි. එම අසාර්ථකත්වයට සුමෝන් බයිල්ස් අසනීප වීම ද විශාල බලපෑමක් සිදු කළා.

චීනය මෙවර වැඩි ම පසුබෑමකට ලක් වුණේ ටයිකුන්ඩෝ තරග ඉසව්වල දී යි. ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී චීනයට ටයිකුන්ඩෝ ඉසව්වලින් එක ම එක රන් පදක්කමක්වත් දිනා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. එලෙස චීනයට ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් රන් පදක්කමක් අහිමි වුණේ 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලෙන් පසුව යි. පසුගිය වර මෙන් ම මෙවරත් චීනය බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් යම් කිසි පසුබෑමක් පෙන්නුම් කළා. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී බැඩ්මින්ටන් රන් පදක්කම් 5ක් දිනා ගත් චීනයට නිමා වුණු ඔලිම්පික් උළෙල ද්විත්වයේ දී බැඩ්මින්ටන් රන් පදක්කම් 2 බැගින් පමණක් හිමි වීම කනගාටුදායක සිදුවීමක් වුණා.

පසුබෑමකට ලක්වුණු අමෙරිකානු පිරිමි මීටර් 100 සහාය කණ්ඩායම – getty images

 

චීනයේ සාර්ථකත්වයේ රහස 

2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 26ක් දිනා ගත් චීනයට පදක්කම් සටහනේ හිමිවුණේ තෙවන ස්ථානය යි. නමුත් මෙවර රන් පදක්කම් 38ක් දිනාගත් චීනය සිය රන් පදක්කම් ප්‍රමාණය 12කින් වැඩිකර ගැනීමට සමත් ව තිබෙනවා. එහි දී චීනයේ සාර්ථකත්වයට බලපෑ හේතු කිහිපයක් තිබෙනවා. ඉන් ප්‍රධානත ම හේතුවක් වන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ලද රන් පදක්කම් 4යි. සාමාන්‍යයෙන් චීනය ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන රටක්. 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී චීනයට ජිම්නාස්ටික් රන් පදක්කම් හිමිවුණේ නැහැ. එම පසුබෑම මග හරවා ගත් චීනය මෙවර ඔලිම්පික් උළෙලේ වැඩිම ජිම්නාස්ටික් රන් පදක්කම් ගණන දිනා ගත් රට බවට පත්වුණා.

ඊට අමතරව චීනය ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4ක් දිනා ගත්තා. එය මෙවර යම් කිසි රටක් ඉලක්කයට වෙඩි තැබීමේ තරග ඉසව් යටතේ ලබා ගත් වැඩි ම රන් පදක්කම් ප්‍රමාණය යි. ඒ අනුව 2008 වසරෙන් පසු ව ඔවුන් ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වලින් වැඩි ම රන් පදක්කම් ප්‍රමාණයක් ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. චීනය 2008 වසරෙන් පසු ව ඔරු පැදීමේ ක්‍රීඩාවෙන් රන් පදක්කමක් හිමි කර ගැනීම අමතක නොවන සිදුවීමක් වුණා. ඒ අයුරින් චීනය ක්‍රීඩා කිහිපයකින් වැඩි සාර්ථකත්වයක් පෙන්වූ නිසා අමෙරිකානුවන්ට ප්‍රබල සටනක් ලබා දීමට හැකියාව ලැබුණා.

චීන ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් දස්කම් දක්වමින් – getty images

අමෙරිකානු ජයග්‍රහණය තහවුරු කළ ක්‍රීඩා හතර 

2016 ඔලිම්පික් උළෙලේ දී අමෙරිකානුවන් රන් පදක්කම් 46ක් දිනා ගත්තත් මෙවර ඔවුන්ට හිමි වුණේ රන් පදක්කම් 39ක් පමණ යි. ඒ අයුරින් ඔවුන්ට රන් පදක්කම් 7ක් අඩු වුණේ  මලල ක්‍රීඩා සහ පිහිනුම් තරග ඉසව් ආශ්‍රිත ව සිදුවුණු පසුබෑම නිසා යි. එලෙස අමෙරිකානුවන්ට ලැබෙන්නට තිබුණු රන් පදක්කම් අහිමි වුණු නිසා අවසන් දිනය වන තුරු ම චීනය අභිබවා යාමට හැකියාව ලැබුණේ නැහැ. අවසානයේ දී අමෙරිකානුවන් සුපුරුදු පරිදි ඔලිම්පික් උළෙලේ ජයග්‍රහණය හිමි කර ගත්තා. එම ජයග්‍රහණය ලබා ගැනීමට පහත දැක්වෙන ක්‍රීඩාවලින් ලැබුණු රන් පදක්කම් විශාල බලපෑමක් කළා.  

1904 ඔලිම්පික් උළෙලේ දී මුල් ම වරට ක්‍රියාත්මක වුණු ගොල්ෆ් ක්‍රීඩාව යළිත් වරක් ඔලිම්පික් උළෙලකට ඇතුළත් වුණේ 2016 වසරේ දීයි. එවර ඔලිම්පික් උළෙලේ දී අමෙරිකානුවන්ට ගොල්ෆ් ක්‍රීඩාවෙන් හිමි වුණේ ලෝකඩ පදක්කමක් පමණ යි. මෙවර ගොල්ෆ් තරග ඉසව්වල දී විශිෂ්ට දස්කම් පෑ අමෙරිකානුවන්ට, පිරිනැමූ ගොල්ෆ් රන් පදක්කම් ද්විත්වය ම දිනා ගැනීමට සමත් වුණා. එම රන් පදක්කම් ද්විත්වය අමෙරිකානු ජයග්‍රහණය සඳහා විශාල බලපෑමක් කළා.

ගොල්ෆ් පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගත් අමෙරිකානුවා – getty images

අමෙරිකාව මෙවර කැනෝයිං ක්‍රීඩාව යටතේ රන් පදක්කමක් දිනා ගත්තා. ඔවුන්ට කැනෝයිං ක්‍රීඩාවෙන් රන් පදක්කමක් හිමි වුණේ 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලෙන් පසුව යි. ඊට අමතර ව 2004 වසරෙන් පසු ව දිනා ගත් ටයිකොන්ඩෝ රන් පදක්කම ද, 2008 වසරෙන් පසුව දිනා ගත් කඩු හරඹ රන් පදක්කම ද මෙවර අමෙරිකානු ඔලිම්පික් ජයග්‍රහණයේ දී තීරණාත්මක සාධක බවට පත්වුණා. එලෙස චීනය සමඟ කරට කර සටනක නිරතවීමෙන් පසු ව අමෙරිකාව ලබාගත් ජයග්‍රහණය ඉතාමත් සුවිශේෂී එකක් වන්නේ කොරෝනා වසංගතයෙන් එල්ල වුණු අනේකවිධ බාධා මධ්‍යයේ වාර්තා කළ ජයග්‍රහණයක් වීම යි. එනිසා ටෝකියෝ ඔලිම්පික් ජයග්‍රහණය අමෙරිකානුවන්ගේ මතකයේ සැමදාමත් රැඳී තිබෙනු ඇති බවට සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- ඔලිම්පික් බිමේ හපන්කම් පෑ අමෙරිකානුවන් - getty images

මූලාශ්‍ර-

olympic.com 

Related Articles