Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ සත්කාරක රටවල් 6ක්

මංගල පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 1930 වසරේ උරුගුවේ දේශයේ දී පැවැත්වුණා. එතැන් සිට ගෙවුණු වසර 92ක කාලය තුළ නිමාව දුටු පාපන්දු ලෝක කුසලාන තරගාවලි ගණන 21ක්.

එම පාපන්දු ලෝක කුසලාන තරගාවලි සඳහා උරුගුවේ, ඉතාලිය, ප්‍රංශය, බ්‍රසීලය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, චිලී, එංගලන්තය, මෙක්සිකෝව, ජර්මනිය, ආජන්ටිනාව, ස්පාඤ්ඤය, අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව, සහ රුසියාව යන රටවල් 17 සත්කාරකත්වය ලබා දුන්නා.

ඒ අතුරින් සත්කාරක රට ලෙසින් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබුණේ රටවල් 6කට පමණ යි. එම රටවල් ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව යි මෙම ලිපිය.

පාපන්දු ලෝක කුසලානය – gettyimages.com

1). උරුගුවේ- 1930 පාපන්දු ලෝක කුසලානය

1924 සහ 1928 ගිම්හාන ඔලිම්පික් උළෙලවල පාපන්දු රන් පදක්කම දිනා ගත්තේ උරුගුවේ කණ්ඩායම යි. එනිසා 1930 දී පැවති මංගල පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය උරුගුවේ රාජ්‍යයට හිමි වුණා. එයට විරෝධය දැක්වූ බොහෝ යුරෝපා රටවල් මංගල පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරගාවලිය සඳහා එක් වුණේ රටවල් 13ක් පමණ යි.

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ තරග වැදුණු උරුගුවේ කණ්ඩායම පේරු හමුවේ ගෝල 1-0ක් සහ රුමේනියාව හමුවේ ගෝල 4-0ක් ලෙස ජයග්‍රහණ ලබා ගනිමින් අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. අවසන් පූර්ව තරගයේ දී යුගෝස්ලෝවියාව හමුවේ ගෝල 6-1ක් ලෙස පහසු ජයක් හිමි කර ගත් උරුගුවේ කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් තරගයේ දී ගෝල 4-2ක් ලෙස ආජන්ටිනාව පරාජය කළ උරුගුවේ කණ්ඩායම මුල් ම වරට පාපන්දු ලෝක කුසලානය දිනා ගත් රට ලෙස ඉතිහාසගත වුණා. එවර තරගාවලියේ දී උරුගුවේ වෙනුවෙන් ගෝල 5ක් ලබා ගත් පෙඩ්‍රෝ සී තරගාවලියේ දෙවන වැඩි ම ගෝල ලාභියා බවට පත් වුණා. ඔහු යුගෝස්ලාවියාවට එරෙහි ව පැවති අවසන් පූර්ව තරගයේ දී ත්‍රිත්ව ගෝලයක් වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ උරුගුවේ කණ්ඩායම – gettyimages.com

2). ඉතාලිය- 1934 පාපන්දු ලෝක කුසලානය

ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී ලෝක පාපන්දු සම්මේලන නියෝජිතයන්ගේ සමුළුවක් 1932 ඔක්තෝබර් 9 වැනි දා පැවැත්වුණා. එහි දී 1934 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක රට ලෙස ඉතාලිය තෝරා ගැනුණා. රටවල් 16ක සහභාගිත්වයෙන් පැවති එවර තරගාවලිය ආරම්භයේ සිට ම පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය අනුව (Knockouts) පැවැත්වුණා.

එහි දී ඉතාලිය පළමු වටයේ දී අමෙරිකාව ගෝල 7-1 ලෙස ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී ස්පාඤ්ඤය ගෝල 1-0 ලෙස ද, අවසන් පූර්ව වටයේ දී ඔස්ට්‍රියාව ගෝල 1-0 ලෙස ද පරාජයට පත් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා. අවසන් තරගයේ දී චෙකොස්ලෝවැකියාව හමුවේ ගෝල 2-1ක ජයග්‍රහණයක් වාර්තා කළ ඉතාලිය මුල් ම වරට පාපන්දු ලෝක කුසලානය දිනා ගත්තා.

මුමෝ ඔර්සි සහ ඇන්ගෙලෝ ෂියාවියෝ අවසන් තරගයේ දී ඉතාලිය වෙනුවෙන් ගෝල වාර්තා කළා. සමස්ත තරගාවලිය තුළ ගෝල 4ක් වාර්තා කළ ෂියාවියෝ තරගාවලියේ දෙවන වැඩි ම ගෝල ලාභියා බවට පත් වුණා. එවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී කාගේත් කතා බහට ලක් වුණු ඉතාලියේ ගුසෙප් මීසා ගෝල 2ක් වාර්තා කළා. පසු කලෙක මුල් යුගයේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල දක්ෂත ම ක්‍රීඩකයන් නම් කළ අවස්ථාවේ 1934 තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා ලෙස ඉතාලියේ ගුසෙප් මීසා නම් කළා.

පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ඉතාලි කණ්ඩායම – gettyimages.com

3). එංගලන්තය- 1966 පාපන්දු ලෝක කුසලානය

එංගලන්තයට 1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමි වුණේ ඉතාලියේ රෝම නගරයේ 1960 අගෝස්තු 22 වැනි දින පැවති ලෝක පාපන්දු සම්මේලන නියෝජිතයන්ගේ සමුළුවේ දී යි. එහි දී බටහිර ජර්මනිය සහ ස්පාඤ්ඤය යන රටවල් අභිබවා පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි කර ගත්තේ එංගලන්තය යි.

රටවල් 16ක සහභාගිත්වයෙන් පැවති එවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ තරග බිමට පිවිසි එංගලන්තය, පළමු තරග වටයේ දී මෙක්සිකෝව සහ ප්‍රංශය යන කණ්ඩායම් හමුවේ ගෝල 2-0 ලෙසින් ජයග්‍රහණ වාර්තා කළා. ඒ වාගේ ම උරුගුවේ කණ්ඩායමට එරෙහි ව පැවති තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් කර ගෙන සිය කාණ්ඩයේ පළමුවෙනියා ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත් වුණා.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී ආජන්ටිනාව හමුවේ ගෝල 1-0ක ජයක් ලැබූ එංගලන්තය අවසන් පූර්ව තරග වටයේ දී සෝවියට් රුසියාව ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා. බටහිර ජර්මනිය සමඟ පැවති අවසන් තරගය ආරම්භයේ සිට තියුණු මුහුණුවරක් ගත් නිසා නියමිත කාලය අවසන් වෙද්දී දෙපිල ම ගෝල 2 බැගින් ලබා සිටියා.

ඉන් පසුව ක්‍රියාත්මක වුණු අතිරේක කාලයේ දී ජෙෆ් හර්ට්ස් එංගලන්තය වෙනුවෙන් ගෝල 2ක් වාර්තා කළා. එනිසා එංගලන්තයට ගෝල 4-2ක් ලෙසින් අවසන් තරගයේ ජයග්‍රහණය හිමි වුණා. එවර පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී එංගලන්ත ක්‍රීඩක ජෙෆ් හර්ට්ස් 18, 101 සහ 120 යන විනාඩිවල දී ගෝල වාර්තා කරමින් ත්‍රිත්ව ගෝලයක් සම්පූර්ණ කළා. එය පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයක දී වාර්තා වුණු එක ම ත්‍රිත්ව ගෝලය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

1966 පාපන්දු ලෝක කුසලානය දිනූ එංගලන්ත කණ්ඩායම – gettyimages.com

4). බටහිර ජර්මනිය- 1974 පාපන්දු ලෝක කුසලානය

ලන්ඩන් නුවර 1966 දී පැවති ලෝක පාපන්දු සම්මේලනයේ සමුළුවේ දී 1974, 1978 සහ 1982 යන පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල සත්කාරක රටවල් තෝරා ගත්තා. එහි දී ස්පාඤ්ඤයේ සහාය ලබා ගෙන 1974 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා ගැනීමට බටහිර ජර්මනියට හැකි වුණා. එයට ප්‍රතිඋපකාර දැක්වූ බටහිර ජර්මනිය 1982 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා ගැනීමට ස්පාඤ්ඤයට සිය සහාය ලබා දුන්නා.

එවර ද රටවල් 16ක සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වුණා. එහි දී මූලික වටයේ පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු බටහිර ජර්මානු කණ්ඩායම, ඕස්ට්‍රේලියාව හමුවේ ගෝල 3-0 සහ චිලී හමුවේ ගෝල 1-0 ලෙසින් ජයග්‍රහණ වාර්තා කළා. ඉතිරි තරගයේ දී ඔවුන් නැඟෙනහිර ජර්මනිය හමුවේ ගෝල 1-0ක පරාජයක් උරුම කර ගැනීම අමතක නොවන සිදුවීමක් වුණා.

1974 පාපන්දු තරගාවලිය පැවැත්වුණු ආකෘතියට අනුව මූලික තරග වටයෙන් පසුව ඉදිරියට ගිය කණ්ඩායම් 8 නැවතත් කාණ්ඩ දෙකකට බෙදී තරග වැදුණා. ඉන් පසුව එම කාණ්ඩ දෙකේ වැඩි ම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා. එම තරග වටයේ දී සුපුරුදු රිද්මයට පැමිණි බටහිර ජර්මානු ක්‍රීඩකයන් යුගෝස්ලාවියාව ගෝල 2-0ක්, ස්වීඩනය ගෝල 4-2ක්, පෝලන්තය ගෝල 1-0ක් ලෙස පරාජයට පත් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

නෙදර්ලන්තය සහ බටහිර ජර්මනිය අතර පැවති අවසන් තරගයේ 2 වන විනාඩිය අවසන් වෙද්දී නෙදර්ලන්ත කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පෙරමුණේ පසු වුණා. ඉන් පසු ව තරගයට අවතීර්ණ වුණු බටහිර ජර්මානුවන් 25 සහ 43 යන විනාඩිවල දී ගෝල වාර්තා කළා. එනිසා අවසානයේ දී ගෝල 2-1ක් ලෙස තරගයේ ජය හිමි වුණේ බටහිර ජර්මනියට යි. එම අවසන් තරගයේ දී බටහිර ජර්මානු ක්‍රීඩක ගර්ඩ් මුලර් ගෝලයක් වාර්තා කිරීමත් සමඟින් ඔහු පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියා බවට පත් වුණා. එහි දී ඔහු අභිබවා ගියේ ගෝල 13ක් ලබා ගෙන ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් තබා තිබුණු වාර්තාව යි.

බටහිර ජර්මානු නායක ෆ්රාන්ස් බෙකන්බවර් ජයග්‍රාහී කුසලානය සමඟ – gettyimages.com

5). ආජන්ටිනාව- 1978 පාපන්දු ලෝක කුසලානය

ආජන්ටිනාවේ පැවති 1978 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා ද රටවල් 16ක් සහභාගි වුණා. එහි දී පළමු කාණ්ඩය යටතේ තරග බිමට පිවිසි සත්කාරක ආජන්ටිනා කණ්ඩායම, මූලික තරග වටයේ දී ප්‍රංශය සහ හංගේරියාව හමුවේ ගෝල 2-1 ලෙසින් ජයග්‍රහණ වාර්තා කළා. ඉතිරි තරගයේ දී ඔවුන් ඉතාලිය හමුවේ ගෝල 1-0ක පරාජයක් උරුම කර ගත්තා.

1978 තරගාවලිය ද පැවැත්වුණේ 1974 තරග ආකෘතිය අනුව යි. පළමු තරග වටය අවසානයේ B කාණ්ඩයට එක් වුණු ආජන්ටිනා කණ්ඩායම එම තරග වටයේ දී බ්‍රසීලය, පෝලන්තය සහ පේරු යන කණ්ඩායම් සමඟින් තරග වැදුණා. එහි දී පේරු කණ්ඩායම හමුවේ ගෝල 6-0ක් සහ පෝලන්තය හමුවේ ගෝල 2-0ක් ලෙසින් ජයග්‍රහණ ලැබූ ආජන්ටිනා කණ්ඩායම බ්‍රසීලයට එරෙහි ව පැවති තරගය ගෝල 0-0 ලෙස ජය පැරදුමෙන් තොර ව අවසන් කර ගත්තා. එනිසා ආජන්ටිනාවට අවසන් තරගයට පිවිසීමට හැකි වුණා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර පැවති අවසන් තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී දෙපිල ම ගෝල 1 බැගින් ලබා ගෙන සිටියා. ඉන් පසුව ක්‍රියාත්මක වුණු අතිරේක කාලයේ දී ආජන්ටිනා ක්‍රීඩකයන් දක්ෂ ක්‍රීඩා රටාවක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 105 වන විනාඩියේ දී මාරියෝ කෙම්පස් ද, 115 වන විනාඩියේ දී ඩැනියල් බර්ටෝනි ද ආජන්ටිනාව වෙනුවෙන් ගෝල වාර්තා කළා. එනිසා ආජන්ටිනාවට ගෝල 3-1ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට හැකි වුණා.

තරගාවලිය පුරාවට සුපිරි දස්කම් දක්වමින් ගෝල 6ක් වාර්තා කළ ආජන්ටිනාවේ මාරියෝ කෙම්පස් තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා පමණක් නොව වටිනා ම ක්‍රීඩකයා බවට ද පත් වුණා.

ආජන්ටිනා ක්‍රීඩකයන් පාපන්දු ලෝක කුසලානය සමඟ – gettyimages.com

6). ප්‍රංශය- 1998 පාපන්දු ලෝක කුසලානය

1998 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ මොරොක්කෝව යන රටවල් 3 ඉදිරිපත් වුණා. ඒ සඳහා පැවති ඡන්ද විමසීමට පෙර ස්විට්සර්ලන්තය එම සටනින් ඉවත් වුණා. ඉන් පසුව ප්‍රංශය සහ මොරොක්කෝව අතර පැවති ඡන්ද විමසීමේ දී ඡන්ද 12-7ක් ලෙස පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය දිනා ගත්තේ ප්‍රංශය යි. එවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා මුල් ම වරට රටවල් 32ක් සහභාගි වීම විශේෂත්වයක් වුණා.

එවර තරගාවලියේ මූලික තරග වටයේ දී C කාණ්ඩය යටතේ තරග වැදුණු ප්‍රංශ කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ ගෝල 3-0ක්, සෞදි අරාබිය හමුවේ ගෝල 4-0ක්, සහ ඩෙන්මාර්කය හමුවේ ගෝල 2-1ක් ලෙසින් ජයග්‍රහණ වාර්තා කරමින් ඊළඟ වටයට සුදුසුකම් පහසුවෙන් ම ලබා ගත්තා. ඉන් පසුව පැවති කණ්ඩායම් 16 තරග වටයේ දී පැරගුවේ කණ්ඩායම හමුවේ ලබා ගත් ගෝල 1-0ක ජයග්‍රහණය නිසා තරගාවලියේ තවදුරටත් ඉදිරියට යාමට ප්‍රංශයට හැකි වුණා.

එම තරග වටයෙන් පසුව පැවති අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී ප්‍රංශය සහ උරෙනුර ගැටුණේ ඉතාලිය යි. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී දෙපිලට ම ගෝල වාර්තා කිරීමට හැකි වුණේ නැහැ. ඉන් පසුව දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයන් තේරූ අවස්ථාවේ දී දඬුවම් පහර 4-3ක් ලෙස තරගයේ ජය හිමි වුණේ ප්‍රංශයට යි. එම තරගයෙන් පසුව ක්‍රොයේෂියාව සමඟ පැවති අවසන් පූර්ව තරගය ගෝල 2-1 ලෙස ජයග්‍රහණය කළ ප්‍රංශය මුල් ම වරට පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත්තා.

එදා ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට එරෙහි ව පැවති අවසන් තරගයේ මුල සිට ම ප්‍රංශ ක්‍රීඩකයන් ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළා. එනිසා බ්‍රසීල ක්‍රිඩකයන් තරමක් පසුබෑමකට ලක් වුණා. එයින් උපරිම ප්‍රයෝජන ගත් ප්‍රංශ ක්‍රීඩක සිනේඩීන් සිඩෑන් 27 සහ 46 යන විනාඩිවල දී ගෝල වාර්තා කළා. ඉන් පසුව එම්මානුවෙල් පෙටිට් 93 වන විනාඩියේ දී යළි ගෝලයක් වාර්තා කළා.

ඒ අනුව තරගයෙන් ගෝල 3-0ක පහසු ජයක් හිමි වුණේ ප්‍රංශ කණ්ඩායමට යි. එවර තරගාවලියේ දී ප්‍රංශයේ වැඩි ම ගෝල ලාභියා වුණු තියරි හෙන්රි ගෝල 3ක් වාර්තා කළා. තරගාවලියේ හොඳ ම දැල් රකින්නාට පිරිනැමුණු ලෙව් යාෂින් සම්මානය ප්‍රංශ දැල් රකින්නා වුණු ෆේබියන් බාර්තෙස්ට හිමි වුණා.

පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ප්‍රංශ කණ්ඩායම – gettyimages.com





කවරයේ ඡායාරූපය- ආජන්ටිනාව 1978 පාපන්දු ලෝක කුසලානය ජයගත් මොහොත - gettyimages.com
මූලාශ්‍ර- fifa.com
goal.com
eurosport.com
twitter.com
youtube.com

Related Articles