Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර ලෝක කුසලානයේ ජයග්‍රාහකයා කවුද?

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායම පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පවසති. තේරීම් තරඟ ජයග්‍රහණය කරමින් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන කිසිදු කණ්ඩායමක් අවතක්සේරු කල නොහැකි අතර කිසිදු කණ්ඩායමක් ලෝක කුසලානයට සහභාගී වන්නේ පරාජය වීමට නොවේ. නමුත් මෙම කණ්ඩායම් අතුරින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙන කණ්ඩායම් කිහිපයක් තිබෙන අතර එම කණ්ඩායම්වලින් එකක් මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එසේනම් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් අද සාකාච්ඡා කරන්නේ මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින රටවල් 10 පිළිබඳවයි.

10. එංගලන්තය

“හැරී කේන් (වමේ) සහ ජැමී වාර්ඩි (දකුණේ)” (croydonadvertiser.co.uk)

මේ වනවිට එක් වරක් ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබෙන එංගලන්තයට මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හොඳ අවස්ථාවක් තිබේ. 2014 ලෝක කුසලනයේ මූලික වටයෙන් සහ 2016 යුරෝ ශූරතාවයේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට යාම නිසා එංගලන්තය පිලිබඳ බොහෝ ක්‍රීඩා ලෝලීන් සැක මතු කළ ද මෙවර එංගලන්ත සංචිතය ඉතාමත් සමබර එකකි. නායක හැරී කේන් (ටොටන්හැම් හොට්ස්පර්), ඩෙල්ලේ ඇලී (ටොටන්හැම් හොට්ස්පර්), එරික් ඩයර් (ටොටන්හැම් හොට්ස්පර්), මාක්ස් රැශ්ෆර්ඩ් (මැන්චෙස්ටර් යුනයිටඩ්), ජැමී වාර්ඩි (ලෙස්ටර් සිටි) වැනි ක්‍රීඩකයින් එංගලන්තයට සිටින හොඳම ක්‍රීඩකයින් ලෙසින් නම් කලහැක. මේ වනවිට ශ්‍රේණිගත කිරීම් වල 12 වැනි ස්ථානයේ පසුවන එංගලන්තය මූලික වටයේ දී ක්‍රීඩා කරන්නේ G කාණ්ඩයෙනි.

9. කොලොබියාව

“හැමස් රොද්‍රිගුවෙස් (වමේ) සහ රදමෙල් ෆල්කාඕ (දකුණේ)” (EFE)

පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ ලෝකයේ බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිකරගත් කණ්ඩායමකි කොලොම්බියාව. එම තරඟාවලියේ අර්ධ අවසන් පූර්වට වය දක්වාම පැමිණි කොලොම්බියාව මෙවර ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන්නේ ප්‍රබල කණ්ඩායමක් ලෙසිනි. මූලික වටයේ H කාණ්ඩයෙන් තරග​ වදින කොලොම්බියාව මේ වනවිට ශ්‍රේනිගත කිරීම් වල පසුවන්නේ 16 වැනි ස්ථානයේ ය. කොලොම්බියාවට සිටින අති දක්ෂ ප්‍රහාරකයෙක් වන මොනකෝ කණ්ඩායමේ රදමෙල් ෆල්කාඕ (මොනකෝ) ආබාධයක් නිසා පසුගියවර ලෝක කුසලානයට ක්‍රීඩා නොකළ නමුත් මෙවර කොලොම්බියාවේ නායකත්වය දරමින් කණ්ඩායම මෙහෙයවන්නේ ෆල්කාඕ ය. පසුගියවර ලෝක කුසලානයේ වැඩිම ගෝල ලාභියා බවට පත් වූ හැමස් රොද්‍රිගුවෙස් (බයර්න් මියුනික්) සහ හුවාන් කුවාඩ්‍රාඩෝ (යුවෙන්ටස්) ද මෙවර කොලොම්බියාවේ ප්‍රධාන බලාපොරොත්තු වේ.

8. උරුගුවේ දේශය

“සුආරෙස් (වමේ) සහ කවානි (දකුණේ)” (football.fr)

1930 වසරේ පැවති පළමු ලෝක කුසලානයේ සහ 1950 ලෝක කුසලානයේ ශූරයින් වූ උරුගුවේ දේශය ඉන්පසු ලෝක මට්ටමේ දී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කර තිබෙන්නේ අඩුවෙනි. නමුත් 2010 වසරේ දී නැවතත් සිය සුපුරුදු රටාවට අවතීර්ණ වූ උරුගුවේ දේශය එම තරගාවලියේදී සිව්වැනි ස්ථානය හිමිකරගැනීමට සමත්විය. මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් වල 14 වැනි ස්ථානයේ පසුවන උරුගුවේ දේශය දකුණු ඇමරිකානු සුදුසුකම් ලැබීමේ තරඟවලදී බ්‍රසීලයට පසු පහසුවෙන් සුදුසුකම් ලැබූ කණ්ඩායම ද වේ. දකුණු ඇමරිකානු සුදුසුකම් ලැබීමේ තරඟවලදී වැඩිම ගෝල ලාභියා වූ එඩින්සන් කවානි (PSG), ලුයිස් සුආරෙස් (බාර්සිලෝනා) සහ ආරක්ෂක පෙළ ක්‍රීඩක ඩියේගෝ ගොඩින් (ඇට්ලටිකෝ මැඩ්රිඩ්) මෙවර උරුගුවේ දේශයට සිටින දක්ෂ ක්‍රීඩකයින් වේ. උරුගුවේ දේශය මූලික වටයේ දී තරග​ වදින්නේ A කාණ්ඩයෙනි.

7. පෘතුගාලය

“අන්ද්‍රේ සිල්වා (වමේ) සහ රොනාල්ඩෝ (දකුණේ)” (ronaldocr7.com)

පෘතුගාලය ද මෙවර ලෝක කුසලානයට සහභාගී වන ප්‍රබල කණ්ඩායමකි. පසුගිය ලෝක කුසලාන තරඟාවලි ද්විත්වයේම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ පෘතුගාලය මෙවර ලෝක කුසලානයේ දී දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කලහැක. මෙවර මූලික වටයේ දී B කාණ්ඩයෙන් තරග වදින පෘතුගාලය සතුව සිටින සුපිරිම තරුව වන්නේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (රියල් මැඩ්රිඩ්) ය. ඔහුට අමතරව අන්ද්‍රේ සිල්වා (ඒසී මිලාන්) සහ රිකාඩෝ කරෙස්මා (බෙසික්ටාස්) ද පෘතුගාලයේ ප්‍රධාන බලාපොරොත්තු වේ. මෙවර ලෝක කුසලානයේ දී පෘතුගාලය හමුවේ විශාල අභියෝග තිබේ. මේ වනවිට ශ්‍රේණිගත කිරීම් වල පෘතුගාලය සිටින්නේ 4 වැනි ස්ථානයේදී ය.

වැඩිදුර කියවීමට​: ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායමේ ශක්තිය

6. බෙල්ජියම

“හසාර්ඩ් (දකුණේ) සහ ඩි බෘයින (වමේ)” (Getty Images)

මෙවර ලෝක කුසලානයේ දී G කාණ්ඩයෙන් තරඟ වදින බෙල්ජියම ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 3 වැනි ස්ථානයේ ය. ඒ බ්‍රසීලයට සහ ජර්මනියට පමණක් දෙවැනි වෙමිනි. සුදුසුකම් ලැබීමේ තරඟවලදී ද ඉතා හොද මට්ටමේ දස්කම් දැක්වූ බෙල්ජියම සතුව අති දක්ෂ ක්‍රීඩකයෝ රාශියක් සිටිති. ඊඩ්න් හසාර්ඩ් (චෙල්සි), කෙවින් ඩි බෘයින (මැන්චෙස්ටර් සිටි), රොමෙලු ලුකාකු (මැන්චෙස්ටර් යුනයිටඩ්) ඉන් ක්‍රීඩකයෝ කිහිප දෙනෙකි. මෙවර තරගාවලියේ මූලික වටයේ සිටම හොඳ මට්ටමේ කණ්ඩායම් වලට බෙල්ජියමට මුහුණදීමට සිදුවන අතර කණ්ඩායමක් ලෙසින් ක්‍රීඩා කළහොත් පළමු වරට ලෝක කුසලානයක් හිමිකරගැනීම සඳහා සියලුම අවස්ථා බෙල්ජියමට තිබේ. මෙය බෙල්ජියම් පාපන්දු ඉතිහාසයේ “ස්වර්ණමය යුගය” ලෙසින්ද හැඳින්විය හැක.

වැඩිදුර කියවීමට​: බෙල්ජියානු රතු යක්ෂයින්ගේ ලෝක කුසලාන සූදානම

5. ආර්ජෙන්ටිනාව

“මෙස්සි සහ ඩිබාලා” (si.com)

ශ්‍රේණිගත කිරීම් වල 5 වැනි ස්ථානයේ පසුවන ආර්ජෙන්ටිනාවට බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගය හිමිවේ. මෙවර ආර්ජෙන්ටිනාවේ නායකත්වය දරන ලියනල් මෙස්සි (බාර්සිලෝනා), සර්ජියෝ ඇග්වේරෝ (මැන්චෙස්ටර් සිටි), පාවුලෝ ඩිබාලා (යුවෙන්ටස්), ගොන්සාලෝ හිගුවේන් (යුවෙන්ටස්) වැනි සුපිරි ප්‍රහාරක ක්‍රීඩකයින්ගෙන් සමන්විත ආර්ජෙන්ටිනාව මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තේ අවසාන මොහොතේදී ය. එබැවින් එසේ ලබාගත් අවස්ථාවෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ගනු ඇත. මූලික වටයේ දී D කාණ්ඩය යටතේ තරග​ වදින ආර්ජෙන්ටිනාවට ද මූලික වටයේ සිටම බොහෝ හොඳ කණ්ඩායම් සමඟ තරග​ කිරීමට සිදුවේ. මෙස්සිගේ ලෝක කුසලානය සැබෑ කරගැනීමට ඔහුට ලැබෙන අවසාන අවස්ථාව ද මෙය වියහැක.

වැඩිදුර කියවීමට​: සුපිරි ප්‍රහාරකයින්ගෙන් සමන්විත ආර්ජෙන්ටිනාව

4. ස්පාඤ්ඤය

“ඉස්කෝ (වමේ) සහ ඉනියෙස්ටා (දකුණේ)” (soccerladuma.co.za)

ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය හිමිවන්නේ ස්පාඤ්ඤයටයි. පාපන්දු උන්මාදයෙන් පිරුනු තවත් එක් රටක් වන ස්පාඤ්ඤය මෙවර ලෝක කුසලානය තරගාවලියට සහභාගී වන්නේ ඉතා ශක්තිමත් කණ්ඩායමකින් සමන්විතවයි. ශ්‍රේණිගත කිරීම් වල මේ වනවිට 10 වැනි ස්ථානයේ පසුවූවත් ස්ථිර වශයෙන්ම එයට වඩා හොඳ කණ්ඩායමක් වන ස්පාඤ්ඤය මෙවර මෙහෙයවන්නේ සුපිරි ආරක්ෂක පෙළ ක්‍රීඩක සර්ජියෝ රාමෝස් (රියල් මැඩ්රිඩ්) විසිනි. ඔහුට අමතරව ඉස්කෝ (රියල් මැඩ්රිඩ්), අන්ද්‍රේස් ඉනියෙස්ටා (බාර්සිලෝනා), සර්ජියෝ බුස්කෙට්ස් (බාර්සිලෝනා) සහ ජෙරාඩ් පීකේ (බාර්සිලෝනා) ස්පාඤ්ඤයට සිටින දක්ෂ ක්‍රීඩකයින් ය. ස්පාඤ්ඤය මූලික වටයේ දී තරග​ වදින්නේ B කාණ්ඩයෙනි.

වැඩිදුර කියවීමට​: ස්පාඤ්ඤ රතු හමුදාවේ මෙවර ලෝක කුසලාන සිහිනය

3. ප්‍රංශය

“ග්‍රීස්මන් (වමේ) සහ එම්බප්පේ (දකුණේ)” (views.ng)

මෙම ලැයිස්තුවේ තුන්වැනි තැන හිමිවන්නේ ප්‍රංශයටයි. කවදත් හොඳ මට්ටමේ පාපන්දු ක්‍රීඩකයින් බිහිවන ප්‍රංශය මෙවර ලෝක කුසලානයට සහභාගී වන්නේ ඉතා ප්‍රබල කණ්ඩායමක් ලෙසින්ය. මේ වනවිට ප්‍රංශය සතුව කෙතරම් සුපිරි ක්‍රීඩකයින් සිටින්නේ ද යන්න පැහැදිලි කළහොත් මෙවර ලෝක කුසලානයට නම් කරන ලද ක්‍රීඩකයින් 23 දෙනාට ඇතුලත් නොවූ ක්‍රීඩකයින්ගෙන් තවත් සංචිතයක් නිර්මාණය කිරීමට හැකි අතර එම සංචිතයද මෙවර ලෝක කුසලානයට සහභාගී වන බොහෝ කණ්ඩායම් වලට වඩා ඉදිරියෙන් සිටිනු ඇත. දැල් රකින ක්‍රීඩක හියුගෝ ලෝරිස් (ටොටන්හැම් හොට්ස්පර්) ගේ නායකත්වයෙන් මෙවර ලෝක කුසලානයට සහභාගී වන ප්‍රංශයේ සිටින තවත් සුපිරි තරු කිහිපයක් වන්නේ ඇන්ටොයින් ග්‍රීස්මන් (ඇට්ලටිකෝ මැඩ්රිඩ්), කිලියන් එම්බප්පේ (PSG), න්’ගෝලෝ කන්තේ (චෙල්සි) සහ පෝල් පොග්බා (මැන්චෙස්ටර් යුනයිටඩ්) ය.

වැඩිදුර කියවීමට​: තරුණ ක්‍රීඩකයින් පිරිවරා මෙවර ලෝක කුසලානයට එන ප්‍රංශය

2. ජර්මනිය

“ටෝනි කෲස් (වමේ) සහ තෝමස් මුලර් (දකුණේ) “ (varzesh11.com)

මෙම ලිපියෙහි දෙවැනි ස්ථානය හිමිවන්නේ ලෝක ශූර ජර්මනියටයි. මේ වනවිට ලෝක කුසලානය පිට පිට දෙවරක් දිනා තිබෙන්නේ කණ්ඩායම් දෙකක් පමණි. (1934,1938 ඉතාලිය සහ 1954,1962 බ්‍රසීලය) ඒ අනුව වසර 56 ට පසු එම වාර්තාවට සිය නම එකතු කරගැනීමට මෙවර ජර්මනියට ඉතා වටිනා අවස්ථාවක් ලැබී තිබේ. පසුගිය ලෝක කුසලාන තරගමාලා කිහිපයේදී ම ශූරයින් වූ කණ්ඩායම එයට පසු තරගාවලියේදී ඉතා අඩු දස්කම් දක්වා ඇති නමුත් මෙවර ජර්මනිය විසින් අඩු දස්කම් නොදක්වනු ඇත. මෙවරද ඉතා ශක්තිමත් කණ්ඩායමක් සකසා ගැනීමට ජර්මනියේ පුහුණුකරු යොකිම් ලෝ හට හැකිවී තිබෙන අතර මේ වනවිට ජර්මනිය ශ්‍රේණිගත කිරීම් වල පළමුවැනි ස්ථානයේ තබන්නටත් ලෝ හට හැකිවී තිබේ. දැල් රකින ක්‍රීඩක මැනුවෙල් නෝයර් (බයර්න් මියුනික්) ගේ නායකත්වයෙන් මෙවර ලෝක කුසලානයට පැමිණෙන ජර්මනිය තෝමස් මුලර් (බයර්න් මියුනික්), ටෝනි කෲස් (රියල් මැඩ්රිඩ්), මෙසුට් ඕසිල් (ආර්සනල්) වැනි සුපිරි ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

වැඩිදුර කියවීමට​: ලෝක ශූර ජර්මනිය මෙවරත් කිරුළ හිමිකරගනී ද?

1. බ්‍රසීලය

“නේමාර් සහ කෞටීනියෝ” (Reuters)

මෙවර ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩිම අවස්තාව තිබෙන රට බ්‍රසීලයයි. මුල් පෙළ මැද පෙළ සහ ආරක්ෂක පෙළ යන සියලුම ස්ථාන වලට ඉතා හොඳ මට්ටමේ ක්‍රීඩකයින් සිටින බ්‍රසීලයේ සුපිරි තරුව වන්නේ නේමාර් (PSG) ය. ශ්‍රේණිගත කිරීම් වල මේ වනවිට 2 වැනි ස්ථානයේ පසුවන බ්‍රසීලය මෙවර ලෝක කුසලානය සඳහා කිසිඳු ආයාසයකින් තොරව සුදුසුකම් ලැබූ කණ්ඩායමකි. ගේබ්‍රියල් ජේසුස් (මැන්චෙස්ටර් සිටි), පිලිප් කෞටීනියෝ (බාර්සිලෝනා), මර්සෙලෝ (රියල් මැඩ්රිඩ්), තියාගෝ සිල්වා (PSG) මෙවර බ්‍රසීලය නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයින් ලෙසින් හැඳින්විය හැක. පාපන්දු ක්‍රීඩාව සහ බ්‍රසීලය යනු වෙන් කල නොහැකි මාතෘකා දෙකක් වන අතර මෙවර ලෝක කුසලානයට සහභාගී වන රටවල් අතුරින්, තරග​ නැරඹීම සඳහා, සත්කාරක රුසියාවට පසු වැඩිම ප්‍රවේශපත්‍ර ප්‍රමාණයක් මිලදීගෙන තිබෙන්නේ ද බ්‍රසීල ක්‍රීඩා ලෝලීන් විසිනි.

වැඩිදුර කියවීමට​: බ්‍රසීලයට මෙවර පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට හැකිවේද?

Cover – Matthias Hangst/Getty Images

Related Articles