Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්පාඤ්ඤයේ ක්‍රීඩා කළ මෙසී ආජන්ටිනාවට ගැනීමට සිදු කළ රහස් මෙහෙයුම

2022 වර්ෂයේ පැවති පාපන්දු ලෝක කුසලානය පසුගිය දෙසැම්බර් මස 18 වනදා නිමාව දුටුවේ ආජන්ටිනාව ලෝක පාපන්දු ශූරයන් බවට පත් කරමින්. වසර 36 කට පසුව ආජන්ටිනාව ලෝක ශූරතාව දිනා ගනිද්දී එහි නායක ලියොනල් මෙසී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වුණා.

මෙසී තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා සම්මානය දිනා ගත් මොහොත – www.goal.com

ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව ආජන්ටිනාවේ පමණක් නොව සමස්ත ලෝකය පුරා ම ලියොනල් මෙසීට සෑහෙන ප්‍රසංශා හිමි වුණා. ඔහු ආදරයට ගෞරවයට පාත්‍ර වුණා. උපතින් ආජන්ටිනා ජාතිකයෙක් වුවත් ලියොනල් මෙසී ආජන්ටිනා පාපන්දු කණ්ඩායම වෙතට ලබා ගැනීම පහසු කරුණක් වූයේ නෑ. එය විශාල මෙහෙයුමකින් පසු ලබා ගත් ජයග්‍රහණයක් වුණා. සත්‍ය වශයෙන් ම මෙසී ආජන්ටිනාවට ලබා ගැනීමට මෙතරම් අපහසු වූයේ ඇයි?

කුඩා කාලයේ දී ම බාසිලෝනා වෙත ගිය මෙසී

කුඩා ලියොනල් මෙසී ක්‍රීඩා කළේ ආජන්ටිනා පාපන්දු ක්‍රීඩා සමාජයක් වන නෙවෙල්ස් ඕල්ඩ් බෝයිස් ක්‍රීඩා සමාජයට යි. එම පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කරන කුඩා මෙසී දුටු ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායම වහා ම ඔහු තමන්ගේ පාපන්දු ඇකඩමියට බඳවා ගැනීමට කටයුතු කළා. එයට හේතුව වූයේ කුඩා මෙසී පාපන්දු ක්‍රීඩාව දැක්වූ දක්ෂතාව යි. වයස අවුරුදු 13 ක් වෙද්දී ස්පාඤ්ඤය බලා පියාසර කළ නිසා ලියොනල් මෙසී යනු කවුරුන්දැයි යන්න පිළිබඳ මතකය ජන්ටිනා පාපන්දුලෝලීන්ට අමතක ව ගියා.

මෙසී දිගට ම ස්පාඤ්ඤයේ රැඳී සිටිමින් ක්‍රීඩා කළා. කුඩා කල පටන් ම තිබුණු හෝමෝන ඌණතාව නිසා මෙසී ගේ ශරීරය වෙනත් ක්‍රීඩකයන් ගේ තරම් වර්ධනයන් පෙන්නුම් කළේ නෑ. (අදටත් ඔහු උසින් අඩු ක්‍රීඩකයෙක් වන්නේ මේ හේතුවෙන්.) එම ඌණතාවට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතරේ ම බාසිලෝනා ඇකඩමියේ සිටි කැපී පෙනෙන පාපන්දු තරුව බවට ලියොනල් මෙසී පත් ව සිටියා.

බාසිලෝනා සමඟින් ක්‍රීඩා කරන කුඩා මෙසී – www.thesun.com

මෙසී බාසිලෝනා සමඟ එක් වන්නේ 2000 වර්ෂයේදී යි. 2003 වයස අවුරුදු 17 න් පහළ පාපන්දු ලෝක කුසලානය ෆින්ලන්තයේ දී ක්‍රියාත්මක වුණා. එම තරගාවලිය සඳහා සහභාගී වූ ආජන්ටිනාව අවසන් පූර්ව වටයේ දී ස්පාඤ්ඤය හමුවේ පරාජයට පත් වුණා. තරගාවලියට පිටත් ව යාමට ප්‍රථමයෙන් පුහුණුකරු හියුගෝ ලොකටෙල්ලි අපූරු වීඩියෝ පටයක් නැරඹුවා. එම වීඩියෝ දර්ශනවල අඩංගු වූයේ කුඩා දරුවෙක් පාපන්දු ක්‍රීඩා කරන අන්දම යි.

කවුද මේ පොඩි ළමයා?

එම කුඩා දරුවා පාපන්දුව සමඟ දක්වන දස්කම් දුටු ලොකටෙල්ලි විස්මයට පත් වුණා. මේ කුඩා ක්‍රීඩකයා ආජන්ටිනා ජාතියෙක් බවට දැන ගැනීම ඔහුගේ විස්මය දෙගුණ කිරීමට සමත් වුණා. තරගාවලිය පරාජයට පත් වී නැවත මවුබිමට පැමිණි පසු ව ලොකටෙල්ලි පුන පුනා ප්‍රකාශ කළේ වීඩියෝ පටයේ සිටිනා ක්‍රීඩකයා තම පිලට ලබා ගන්නට හැකි නම් මීට වඩා ජයග්‍රහණයක් තම කණ්ඩායමට ලබා ගත හැකි බව යි.

ඔහු සිටින්නේ ස්පාඤ්ඤයේ බාසිලෝනාවල බව දැනගත් ආජන්ටිනා බලධාරීන් ප්‍රශ්න ගණනාවක සිර ව සිටියා. එයට ප්‍රධාන හේතුව බවට පත් වූයේ මේ වන විටත් එකී ක්‍රීඩකයා ලබා ගැනීමට ස්පාඤ්ඤය උත්සාහ කරන පුවත සැලවීමත් සමඟ යි. ස්පාඤ්ඤය මෙලෙස තමන්ගේ ලීග් ක්‍රීඩා කිරීමට පැමිණෙන වෙනත් රටවල දක්ෂ ක්‍රීඩකයන් තම ජාතික කණ්ඩායමට ගැනීම සාමාන්‍ය කරුණක්. ඉහත ක්‍රීඩකයාට එය වීමට ඉඩ ලබා නොදීමේ අරමුණින් ලොකටෙල්ලි ප්‍රමුඛ බලධාරීන් ක්‍රියාත්මක වුණා.

මෙසී බාසිලෝනා ඇකඩමියේ ක්‍රීඩා කරන සමයේ පටන් විශාල අවධානයක් දිනාගෙන තිබුණා – www.fcbarcelona.com

මෙම ක්‍රීඩකයා ස්පාඤ්ඤයට නොව ආජන්ටිනාවට ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන පුවත ආජන්ටිනා පාපන්දු බලධාරීන්ට යම් අස්වැසිල්ලක් ගෙන ආවා. 2003 වර්ෂය යනු වර්තමානයේ මෙන් සමාජ මාධ්‍ය රහිත ජංගම දුරකතනයක් හෝ කලාතුරකින් දකින්නට ලැබුණ සමයක්.

එකල ආජන්ටිනා ක්‍රීඩා සම්බන්ධීකාරක ධූරයක් දැරූ ඕමාර් සොවුටෝ මෙසී ගේ උපන් නගරය වූ රොසාරියෝ හී වසන සෑම මෙසී නමකට ම දුරකථන ඇමතුම් ලබා ගත්තා. අවසානයේ දී ලියොනල් මෙසී ගේ මිත්තණිය සම්බන්ධ කරගත් සොවුටෝ, බාසිලෝනා හි ඔහුගේ දුරකථන අංකය ලබා ගැනීමට සමත් වුණා.

මහ රෑ ජාමේ දුරකථන ඇමතුමක්

“හෙලෝ, මම කතා කරන්නේ ආජන්ටිනා පාපන්දු කණ්ඩායමෙන්. අපි කැමතියි ලියනාඩෝ මෙසී ආජන්ටිනාවත් සමග එකතු කරගන්න” ඕමාර් සොවුටෝ ගේ දුරකථන ඇමතුමට ලැබුණ ප්‍රතිචාරය වූයේ ලියනාඩෝ යනු කවුදැයි යනුවෙන්. ලියෝ ලියෝ යනුවෙන් සෑම විටෙක ම ඇසුණ නිසා ආජන්ටිනා බලධාරීන් සිතා සිටියේ ඔහුගේ නම ලියනාඩෝ බවට යි. පසු කාලීනව ඕමාර් සවුටෝ සිනහමුසු මුහුණෙන් එය මතක් කර සිටියා.

ඕමාර් සවුටෝ සමඟින් දුරකථන සංවාදයේ යෙදුණු ලියොනල් මෙසී ගේ පියා ප්‍රකාශ කළේ මෙසී කුඩා කාලයේ සිට ම ආජන්ටිනාව සමඟ ක්‍රීඩා කිරීමට දැඩි ආසාවකින් සිටි බව යි. නමුත් මෙතෙක් කලක් තමන් සම්බන්ධ කර ගැනීමට කිසිදු ආජන්ටිනා පාපන්දු බලධාරියෙක් උත්සාහ නොකළ බවට ද මෙසී ගේ පියා චෝදනා කළා. නමුත් දැන් මෙසී ලබා ගැනීම පහසු කරුණක් නොවන බවට ද මේ කතාවෙන් තහවුරු වුණා.

මෙසී ලබා ගැනීම්ට දැඩි වෙහෙසක් දැරූ ඕමාර් සවුටෝ (දකුණේ) ඇගයීමකට ලක් වූ අවස්ථාවක් – www.tycsport.com

ලියොනල් මෙසී කුඩා කාලයේ දී ම ස්පාඤ්ඤය වෙතට රැගෙන ගිය නිසා ආජන්ටිනාවට ඔහු මඟ හැරුණා. මේ වන විටත් ස්පාඤ්ඤය මෙසී ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියා. ඔහු බාසිලෝනා සමඟ ගිවිසුම්ගත ව තිබීම නිසා තරගයකට හෝ ආජන්ටිනාවට මෙසී රැගෙන ඒම සිතූ තරම් පහසු වූයේ නෑ. නමුත් ආජන්ටිනාව ලෙහෙසියෙන් අතහරින්නට සූදානම් වූයේ ද නෑ.

ගෝඩ්ෆාදර් ඔෆ් සවුත් අමෙරිකන් ෆුට්බෝල්

ආජන්ටිනා වයස අවුරුදු 20 පහළ පාපන්දු කණ්ඩායම ප්‍රදර්ශනාත්මක පාපන්දු තරගයක් ක්‍රීඩා කිරීමට සූදානම් වන බවත්, එයට ලියොනල් මෙසී ලබා ගැනීමට අවශ්‍ය බවත් දන්වා ආජන්ටිනාව, බාසිලෝනා වෙතට ෆැක්ස් පණිවිඩයක් යොමු කළා. හැරෙන තැපෑලෙන් එයට ලැබුණු පිළිතුර වූයේ ඔහුට ‘යූත් කොපා දෙල් රේ’ තරගාවලිය ක්‍රීඩා කිරීමට ඇති නිසා එයට එකඟ විය නොහැකි බව යි.

මෙම පිළිතුරෙන් පසු ආජන්ටිනා පාපන්දු බලධාරීන් තීරණය කළේ හූලියෝ ග්‍රොන්ඩෝනා ගේ සහාය ලබා ගැනීමට යි. හූලියෝ ග්‍රොන්ඩෝනා යනු එකල ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ දෙවැනියා ලෙස කටයුතු කළ තැනැත්තෙක්. ඔහු හැඳින්වුණේ “ගෝඩ්ෆාදර් ඔෆ් සවුත් අමරිකන් ෆුට්බෝල්” යන අන්වර්ථ නාමයෙන්. පාපන්දු ක්‍රීඩාවේ සැලකිය යුතු බලයක් හූලියෝ ග්‍රොන්ඩෝනා සතු වුණා.

හූලියෝ ග්‍රොන්ඩෝනා සහ මෙසී – www.sportsnet.com

ඔහු මේ සම්බන්ධයෙන් පෞද්ගලික ව විමසා බලමින් බාසිලෝනාවට නැවත ඉල්ලීමක් කළා. ග්‍රොන්ඩෝනා ගේ ඉල්ලීම අහක දැමීමට තරම් බලයක් බාසිලෝනා සතු වූයේ නෑ. මේ නිසා ලියොනල් මෙසී මෙම ප්‍රදර්ශන තරගය ක්‍රීඩා කිරීම සඳහා එවීමට බාසිලෝනා ක්‍රීඩා සමාජය තම එකඟතාව පළ කළා. ආජන්ටිනා පාපන්දු බලධාරීන් වහා ම ක්‍රියාත්මක වන පරිදි මෙසී මෙහෙයුම දියත් කිරීමට සූදානමින් පසු වුණා.

ප්‍රදර්ශනාත්මක තරගය

මේ තරගයට විශේෂ ඡායාරූප ශිල්පියෙක් කැඳවීමට ද කටයුතු කොට තිබුණා. ඔහු නමින් මාරියෝ ක්වින්ටේරෝස්. තරගය වැදගත් නොවන බවත් හැකි තරම් ලියොනල් මෙසී ගේ ඡායාරූප ගැනීමට කටයුතු කිරීම වැදගත් බවත් ක්වින්ටේරෝස්ට උපදෙස් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වන මාරියෝ ක්වින්ටේරෝස් හැකිතාක් ලියොනල් මෙසී හා ඔහුගේ ක්‍රීඩා විලාසය කැමරා කාචයට හසු කර ගත්තා.

මෙම තරගයේ දෙවන අර්ධයේ දී පිටියට පිවිසි මෙසී තත්ත්පර 6 ක් ඇතුළත ගෝලයක් වාර්තා කළා. මෙම දස්කම් අන්තර්ගත කොට ලබාගත් ඡායාරූප ද ඇතුළත් ව මෙසී සම්බන්ධයෙන් පසුදින පුවත්පත්වල පළ ව තිබුණා. එම පුවතින් අනතුරු ව ලියොනල් මෙසී කුණාටුව සමස්ත ආජන්ටිනාව පුරා ම හමා යෑම ආරම්භ වුණා. ඔහු ආජන්ටිනාවට ලබා ගැනීම එතැන් පටන් විශාල ගැටලුවක් වූයේ නෑ.

මෙසී 2005 වයස අවුරුදු 20 පහළ ලෝක කුසලානයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගත් මොහොත – www.fifa.com

වයස අවුරුදු 20 පහළ තරගයක් ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමත්, ලියොනල් මෙසී ගේ ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ කැමැත්තත් නිසා එතැන් පටන් ඔහු ආජන්ටිනා පාපන්දු ක්‍රීඩකයෙක් ලෙසින් ප්‍රසිද්ධ වුණා. යම් හෙයකින් හූලියන් ග්‍රාන්ඩානා ගේ මැදිහත් වීම නොවන්නට මෙසී ලබා ගැනීම ආජන්ටිනාවට සදාකාලික සිහිනයක් ම පමණක් වීමටත් ඉඩ තිබුණා.

අභිරහස් වීඩියෝ පටය

මෙම ලිපියේ මුලින් සඳහන් කළ අන්දමට ලියොනල් මෙසී ක්‍රීඩා කරන වීඩියෝ පටයක් නොදකින්නට ආජන්ටිනා පාපන්දු බලධාරීන් ඔහු සම්බන්ධයෙන් දැන ගන්නේ නෑ. එම වීඩියෝ පටය ලැබුණ ආකාරය පිළිබඳ ව ද ඉතා අපූරු කතා පුවතක් පවතිනවා. 2002 වර්ෂයේ දී එවකට ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු වූ මාසෙලෝ බියෙල්සා යුරෝපයේ සංචාරයක නිරත වුණා.

ඒ තම ආජන්ටිනා ක්‍රීඩකයන් ගේ ක්‍රීඩා රටාව පිළිබඳ විමසා බැලීමට යි. එමෙන් ම සැඟවී සිටිනා නවක ආ ජන්ටිනා ක්‍රීඩයන් ගැන අවධානය යොමු කිරීම ද එහි අරමුණක් වුණා. බියෙල්සා මෙම සංචාරය අතරතුර දී බාසිලෝනා හි නවාතැන් ගැනීමට කටයුතු කළා. එවිට සහාය පුහුණුකරු ග්ලාඩියෝ විවාස් දැනුම් දුන්නේ බියෙල්සා හමු වීමට පුද්ගලයෙක් පැමිණ සිටින බව යි.

මෙසී සහ ඔහුගේ පියා – www.orissapost.com

මෙම පුද්ගලයා ආජන්ටිනා කුඩා ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් ප්‍රකාශ කොට වීඩියෝ පටයක් ද ලබා දීමට කටයුතු කළා. නැවත බියෙල්සා ආජන්ටිනාව ට පැමිණි පසු පුහුණුකරුවන් විමතියට පත් වූයේ මෙම වීඩියෝ පටය නැරඹීමෙන්. එකී වීඩියෝ පටය ලියොනල් මෙසී සහ ආජන්ටිනාව අතර තිබුණ සම්බන්ධ යේ මූලික පදනම බවට ද පත් වුණා. එදින මෙසී සම්බන්ධ තොරතුරු සහ වීඩියෝ පටය මාසෙලෝ බියෙල්සා වෙතට ලබා දීමට කටයුතු කළේ ලියොනල් මෙසී ගේ පියා වන හෝර්හේ මෙසී වීම මෙම කතා පුවත තවත් සුන්දර කිරීමට සමත් වනවා.

කවරයේ ඡායාරූපය - ලෝක කුසලාන ජයග්‍රහණය සමරන මෙසී - www.cnn.com
මූලාශ්‍ර -
www.ohmygoal.com
www.goal.com

Related Articles