Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබන තරග උණුසුම

2022 පාපන්දු ලෝක කුසලාන තරග කටාර් රාජ්‍යයේ දී උත්කර්ෂවත් ලෙසින් නොවැම්බර් මස 21 වනදා ආරම්භ වීමට නියමිත වනවා. ඒ සඳහා වන සුදුසුකම් ලැබීමේ වට ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවතින අතරම ඒවා මේ වන විට අවසන් අදියර දක්වා කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් පවතිනවා. එවැනි තත්ත්වයක් මත පාපන්දු ලෝක කුසලානය සඳහා මේ වන විටත් කණ්ඩායම් 13ක් තමන්ගේ ස්ථානය වෙන්කර ගෙන අවසන්.

පාපන්දු ලෝක ශූරතාව සඳහා ලොව පුරා රටවල් 210 ක් අතරේ පවත්වන සුදුසුකම් ලැබීමේ තරග වට වලින් අනතුරුව කණ්ඩායම් 32ක් සුදුසුකම් ලැබීමට නියමිත යි. මෙම 32 අතරට මේ වන විටත් කණ්ඩායම් 13ක් සුදුසුකම් ලබා අවසන්. මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ මේ වන විටත් පාපන්දු ලෝක කුසලානයට තමන්ගේ පැමිණීම ස්ථිර කර ගත් කණ්ඩායම්වල ගමන් මාර්ගය පිළිබඳව යි. ඉදිරි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවල දී 2022 ලෝක කුසලානය මඟ හැරීමේ අවදානම තිබෙන ප්‍රබල කණ්ඩායම් පිළිබඳව ද ලිපිය අවසානයේ දී අවධානය යොමු කරනවා.

සත්කාරකයන් ලෙසින් තම මංගල පාපන්දු ලෝක කුසලානයට එක් වන කටාර් පාපන්දු කණ්ඩායම
සත්කාරකයන් ලෙසින් තම මංගල පාපන්දු ලෝක කුසලානයට එක් වන කටාර් පාපන්දු කණ්ඩායම
 – GettyImages.com 

1. දෝහා කටාරය

මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා මුලින් ම සුදුසුකම් ලබා ගත් රට වූයේ දෝහා කටාරය යි. ඒ 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රාජ්‍යය ලෙස නිතරගයෙන් ම සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුව යි. කටාරය 2022 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා ගැනීමෙන් අනතුරුව එම සත්කාරකත්වය ලබා ගත් පළමු සහ එක ම අරාබි රාජ්‍යය බවට ද පත් වුණා.

ආසියානු කලාපය පාපන්දු ලෝක කුසලානයක සත්කාරකත්වය දරන දෙවන අවස්ථාව ලෙසින් ද මෙය සටහන් වනවා. මීට ප්‍රථම ජපානය සහ දකුණු කොරියාව 2002 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරුවා.

කටාරය වර්තමාන පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 48 වන ස්ථානයේ රැඳී සිටිනවා. ඔවුන් ආසියානු කලාපයේ පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 5 වන ස්ථානයේ පසු වන පාපන්දු කණ්ඩායම ලෙසින් සඳහන් කිරීමට ද හැකි යි. කෙසේ වෙතත් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී තම සත්කාරක වාසියත් සමඟින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට හැකියාව ඇති කණ්ඩායමක් ලෙසින් කටාරය ඉඟි පළ කරමින් සිටිනවා.

යුරෝපීය සුදුසුකම් ලබා ගැනීම්

පාපන්දු ලෝක කුසලානය සඳහා වැඩි ම රටවල් ගණනක් යුරෝපා කලාපය නියෝජනය කරමින් සහභාගී වනවා. ඔවුන්ට පාපන්දු ලෝක කුසලානයේ ස්ථාන 13ක් වෙන් වී තිබෙනවා. එම ස්ථාන 13 සඳහා යුරෝපා කලාපයේ කණ්ඩයාම් 55ක් තරග බිමට පිවිසුණා. එහි මූලික අදියරේ තරග පසුගිය නොවැම්බර් මාසයේ දී අවසන් වූ අතර ම එයින් කණ්ඩායම් 10ක් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තා. මූලික කාණ්ඩවල වටයේ තරගවල දී දස්කම් දක්වමින් සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් පහත දැක්විය හැකියි.

1. සර්බියාව

මූලික වටයේ A කාණ්ඩයෙන් තරග බිමට පිවිසි සර්බියාව තමන් සහභාගී වූ තරග 8න් 6ක් ජයග්‍රහණය කළා. තරඟ 2ක් ජය පරාජයෙන් තොර ව නිමා කර ගත් ඔවුන් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක අවසන් කාණ්ඩ තරගය පෘතුගාලයට එරෙහි ව ගෝල 2-1 ක් ලෙස ජයග්‍රහණය කරමින් ලෝක කුසලානයේ තමන්ගේ ස්ථානය වෙන් කර ගැනීමට සමත් වුණා.

තීරණාත්මක අවසන් කාණ්ඩ තරඟයේ පෘතුගාලයට එරෙහිව ජයග්‍රහණය කළ සර්බියාව එම තරඟයේ ජයග්‍රාහී ගෝලය සමරමින්
තීරණාත්මක අවසන් කාණ්ඩ තරඟයේ පෘතුගාලයට එරෙහි ව ජයග්‍රහණය කළ සර්බියාව එම තරගයේ ජයග්‍රාහී ගෝලය සමරමින්
– www.managingmadrid.com 

පෘතුගාලයට අමතර ව සර්බියාව තම කාණ්ඩයේ අයර්ලන්තය, ලක්සම්බර්ග් සහ අසර්බයිජානය අභිබවා යමින් ලෝක කුසලානයේ තමන්ගේ ස්ථානය වෙන් කර ගත්තා. සර්බියාව වර්තමානයේ දී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 42 වන ස්ථානයේ රැඳී සිටිනවා.

2. ස්පාඤ්ඤය

යුරෝපීය පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ B කාණ්ඩයේ ප්‍රථමයා ලෙසින් ස්පාඤ්ඤය මෙවර ලෝක කුසලානය වෙතට එක් වනවා. 2010 වර්ෂයේ ලෝක පාපන්දු ශූරයන් වූ ඔවුන් දැනට 21 වන සියවසේ පැවති සියලු ම පාපන්දු ලෝක කුසලාන තරගාවලි නියෝජනය කිරීමට සමත් වුණා. සුදුසුකම් ලැබීමේ වටවලදී තමන් සහභාගී වූ තරග 8න් ජයග්‍රහණ 6ක්, පරාජය 1ක් සහ ජය පරාජයෙන් තොර තරග 1ක් ස්පාඤ්ඤය වාර්තා කළා.

වර්තමානයේ දී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 6 වන ස්ථානය හිමි ස්පාඤ්ඤය, සුදුසුකම් ලැබීමේ වටවලදී තම කාණ්ඩයේ සිටි ස්වීඩනය, ග්‍රීසිය, ජෝර්ජියාව සහ කොසෝවෝ රාජ්‍යය අභිබවා යමින් මෙම ජයග්‍රහණ වාර්තා කළා.

3. ස්විට්සර්ලන්තය

වත්මන් පාපන්දු පිටියේ තවත් ප්‍රබලයකු වන ස්විට්සර්ලන්තය යුරෝපීය සුදුසුකම් ලබා ගැනීමේ C කාණ්ඩයේ ප්‍රථමයා බවට පත් වෙමින් මෙම ජයග්‍රහණය වාර්තා කළා. එහි විශේෂත්වය වන්නේ සිවු වරක් පාපන්දු ලෝක ශූරයන් වූ ඉතාලිය දෙවන තැනට ඇද දැමීමට ස්විට්සර්ලන්තයට හැකි වීම යි. තමන් සහභාගී වූ තරග 8න් ජයග්‍රහණ 5ක් සහ ජය පරාජයෙන් තොර තරග 3ක් ස්විට්සර්ලන්තය වාර්තා කළා.

පෙරළිකාර ලෙසින් ඉතාලිය පසුකර ලෝක කුසලාන වරම් හිමිකරගත් ස්විට්සර්ලන්තය
පෙරළිකාර ලෙසින් ඉතාලිය පසුකර ලෝක කුසලාන වරම් හිමිකරගත් ස්විට්සර්ලන්තය – italy24News.com

වර්තමානයේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 13 වන ස්ථානයේ පසු වන ස්විට්සර්ලන්තය තම කාණ්ඩයේ දී ඉතාලියට අමතර ව උතුරු අයර්ලන්තය, බල්ගේරියාව සහ ලිතුවේනියාවට ඉහළින් රැඳී සිටීමට සමත් වුණා.

4. ප්‍රංශය

2018 වර්ෂයේ ලෝක පාපන්දු ශූරයන් ලෙසින් වැජඹෙන ප්‍රංශය 2022 ලෝක කුසලානය සඳහා ද අපහසුවකින් තොරවම සුදුසුකම් ලැබුවා. ඔවුන් තම සුදුසුකම් ලැබීමේ වටවලදී තර. 8ක් ක්‍රීඩා කරමින් එයින් 5ක් ජයග්‍රහණය කොට, තරග 3ක් ජය පරාජයෙන් තොර ව නිමා කර ගනිමින් අපරාජිතව ම ලෝක කුසලානයේ දොරටුව විවෘත කළා.

D කාණ්ඩයෙන් සුදුසුකම් ලැබූ ප්‍රංශය එම කාණ්ඩයේ තරග වැදි යුක්රේනය, ෆින්ලන්තය, බොස්නියා සහ හර්සගොවීනා සහ කසක්ස්ථානයට වඩා ඉදිරියෙන් සිටිමින් මෙම දස්කම දැක්වූවා. ප්‍රංශය වර්තමානයේ දී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 3 වන ස්ථානයේ පසු වනවා.

2018 අවසන් පාපන්දු ලෝක කුසලානයේ ශූරයන් වූ ප්‍රංශය
2018 අවසන් පාපන්දු ලෝක කුසලානයේ ශූරයන් වූ ප්‍රංශය – thenewdaily.com.au 

5. බෙල්ජියම

2017 වසරේ සිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි අංක 1 කණ්ඩායම ලෙසින් වැජඹෙන බෙල්ජියම 2018 පාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ද සමත් වුණා. E කාණ්ඩය යටතේ යුරෝපීය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වට ක්‍රීඩා කළ ඔවුන් පිළිවෙළින් වේල්සය, චෙක් ජනරජය, එස්තෝනියාව සහ බෙලරුස් අභිබවා යමින් ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා.

බෙල්ජියම තමන් ක්‍රීඩා කළ තරග 8න් 6ක් ජයග්‍රහණය කරමින් තරග 2ක් ජය පරාජයෙන් තොර ව අවසන් කර ගනිමින් ලොව අංක 1 පාපන්දු කණ්ඩායම ලෙසින් 2022 ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත යි.

වර්තමානයේ ලොව අංක 1 පාපන්දු කණ්ඩායම වන බෙල්ජියම
වර්තමානයේ ලොව අංක 1 පාපන්දු කණ්ඩායම වන බෙල්ජියම – theanalyst.com

6. ඩෙන්මාර්කය

F කාණ්ඩය යටතේ සුපිරි දස්කම් දැක්වූ ඩෙන්මාර්කය තමන් ක්‍රීඩා කළ තරග 10න් 9ක් ජයග්‍රහණය කරමින් එක් තරගයක් පරාජයට පත් වී ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා. වර්තමානයේ දී ලොව පෙරළිකාර පාපන්දු කණ්ඩායමක් ලෙසින් ප්‍රකට ඔවුන් පසුගිය යුරෝ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය තෙක් පැමිණීමට ද සමත් වුණා.

F කාණ්ඩයේ සිටි අනෙක් කණ්ඩායම් වන ස්කොට්ලන්තය, ඊශ්‍රායලය, ඔස්ට්‍රියාව, ෆාරෝ දූපත් සහ මෝල්දෝවා යන රටවල් සියල්ලට ඉහළින් ඩෙන්මාර්කය රැඳී සිටියා. ඔවුන් වර්තමානයේ පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 9 වන ස්ථානයේ රැඳී සිටිනවා.

7. නෙදර්ලන්තය

මෑත අතීතයේ පාපන්දු පිටියේ දක්ෂයන් ලෙසින් ක්‍රීඩා කරමින් සිටි නෙදර්ලන්තය 2010 පාපන්දු ලෝක කුසලාන අනුශුරතාව මෙන් ම 2014 පාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානය ද දිනා ගැනීමට සමත් වුණා. නමුත් 2018 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවලදී සිදු වූ අසාර්ථකත්වය නිසා ඔවුන්ට 2018 තරගාවලිය අහිමි වුණා. නැවත වතාවක් යුරෝපීය සුදුසුකම් ලබා ගැනීමේ වටවල G කාණ්ඩයේ ප්‍රථමයා ලෙසින් නෙදර්ලන්තය ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

ඔවුන් පිළිවෙලින් තම කාණ්ඩයේ සිටි අනෙක් කණ්ඩායම් වූ තුර්කිය, නෝර්වේ, මොන්ටෙනේග්‍රෝ, ලැට්වියාව සහ ගිබ්රාල්ටාර් යන කණ්ඩායම්වලට ඉහළින් රැඳී සිටීමට සමත් වුණා. සුදුසුකම් ලබා ගැනීමේ වටවලදී තරග 10ක් ක්‍රීඩා කළ නෙදර්ලන්තය එයින් ජයග්‍රහණ 7ක්, ජය පරාජයෙන් තොර තරග 2ක් සහ එක් පරාජයක් වාර්තා කළා. ඔවුන් මේ වන විට ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 10 වන ස්ථානයේ පසු වනවා.

8. ක්‍රොඒෂියාව

H කාණ්ඩයේ පළමුවැනියා ලෙසින් පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේ ක්‍රොඒෂියාව යි. ඔවුන් 2018 වසරේ පාපන්දු ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායම බවට පත් වෙමින් අනුශූරතාව දිනා ගැනීමටද සමත් වුණා. එය ලෝකයේ ම අවධානය දිනා ගත් සිදුවීමක්. ක්‍රොඒෂියාව මෙවර සුදුසුකම් ලැබීමේ වටවල දී තරග 10ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 7ක් ජය පරාජයෙන් තොර 2ක් සහ එක් පරාජයක් සටහන් කළා.

 

2018 ලෝක කුසලානයේ අනුශූරයන් වූ ක්‍රොඒෂියා පාපන්දු කණ්ඩායම
2018 ලෝක කුසලානයේ අනුශූරයන් වූ ක්‍රොඒෂියා පාපන්දු කණ්ඩායම – GettyImages.com 

ඔවුන් තම කාණ්ඩයේ සිටි රුසියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, සයිප්‍රස් සහ මෝල්ටා යන රාජ්‍යන්ට වඩා ඉදිරියෙන් සිටීමට ද සමත් වුණා. වර්තමානයේ දී පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ක්‍රොඒෂියාව පසු වන්නේ 15 වන ස්ථානයේ යි.

9. එංගලන්තය

වර්තමාන පාපන්දු පිටියේ සිටිනා තවත් දක්ෂයන් රැසක් සපිරි කණ්ඩායමක් මෙන් ම නිමා වූ යුරෝ කුසලාන තරගාවලියේ අනු ශූරතාව දිනා ගත් එංගලන්තය I කාණ්ඩයේ ප්‍රථමයා ලෙසින් ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා. ඔවුන් තම කාණ්ඩයේ සහභාගී වූ තරග 10න් 8ක් ජයග්‍රහණය කොට 2ක් ජය පරාජයෙන් තොර ව අවසන් කරගෙන අපරාජිත ව මෙම දස්කම දැක්වූවා.

වර්තමාන ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 4 වන ස්ථානයේ පසු වන එංගලන්තය තම කාණ්ඩයේ ක්‍රීඩා කළ පෝලන්තය, ඇල්බේනියාව, හංගේරියාව, ඇන්ඩෝරාව සහ සැන් මැරීනෝ යන රාජ්‍යයන්ට වඩා ඉහළින් රැඳී සිටීමට ද සමත් වුණා.

10. ජර්මනිය

2014 වසරේ ලෝක ශූරයන් මෙන් ම සිව් වතාවක් පාපන්දු ලෝක ශූරයන් ලෙසින් අභිසෙස් ලබා සිටිනා ජර්මනිය යුරෝපා සුදුසුකම් ලැබීමේ තරග වටවල දී J කාණ්ඩයේ ප්‍රථමයා වෙමින් ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා. තම කාණ්ඩයේ තරග 10ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 9ක් සහ එක් පරාජයක් ඔවුන් සටහන් කළා.

කවදත් ලෝක කුසලාන වල දස්කම් දක්වන ජර්මානු පාපන්දු කණ්ඩායම
කවදත් ලෝක කුසලාන වල දස්කම් දක්වන ජර්මානු පාපන්දු කණ්ඩායම
Image – Give Me Sport

මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 12 වන ස්ථානයේ පසුවන ඔවුන් J කාණ්ඩයේ සිටි උතුරු මැසිඩෝනියාව, රුමේනියාව, ආර්මේනියාව, අයිස්ලන්තය සහ ලෙයිස්ටෙන්ස්ටින් යන රාජ්‍යන් අභිබවා යමින් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

මේ ආකාරයෙන් යුරෝපීය ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ මූලික වට අවසන් වද්දී කණ්ඩායම් 10ක් එයට සුදුසුකම් ලබා ගත්තා. තවත් කණ්ඩායම් 3ක් සඳහා යුරෝපයෙන් අවස්ථාව ඇති අතර ම ඒ සඳහා පවතින Playoffs වටයේ තරග එළඹෙන පෙබරවාරි මස අග පැවත්වීමට නියමිත යි.

දකුණු අමෙරිකානු කලාපය

දකුණු අමෙරිකානු කලාපයේ පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටවලට කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරනවා. මෙම කණ්ඩායම් 10 අතරින් කණ්ඩායම් 4ක් සඳහා ලෝක කුසලාන වරම් සෘජුව ම හිමි වන අතර ම එක් කණ්ඩායමක් සඳහා සියලු ම කලාප නියෝජනය වන පරිදි පැවැත්වෙන Intercontinental Playoffs වටය ක්‍රීඩා කොට ලෝක කුසලානය සඳහා එක් වීමට ද හැකි වනවා.

මේ දක්වා පැවති ලීග් වටයේ තරග අවසන් වන විට කණ්ඩායම් 2ක් දැනටමත් තමන්ගේ ස්ථාන වෙන් කරගෙන අවසන්. ඒ කණ්ඩායම් දෙකට ම තවත් තරග 5 බැගින් ඉතිරි ව තිබිය දී වීම ද විශේෂත්වයක් ලෙසින් හඳුන්වා දීමට හැකි වනවා. එම කණ්ඩායම් වන්නේ,

දැනට පැවති සෑම ලෝක කුසලානයකටම සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම වන බ්‍රසීලය
දැනට පැවති සෑම ලෝක කුසලානයකටම සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම වන බ්‍රසීලය –  sportscrazy.com.au 

1. බ්‍රසීලය

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වැඩි ම ශූරතා ගණනක් දිනා ගෙන ඇති බ්‍රසීලය 5 වතාවක් ලෝක ශූරයන් ලෙසින් අබිසෙස් ලැබුවා. දැනට පැවති සියලු ම පාපන්දු ලෝක කුසලාන නියෝජනය කළ එකම කණ්ඩායම වන්නේ ද ඔවුනු යි. දකුණු අමෙරිකානු කලාපයෙන්ලෝක කුසලාන වරම් දිනා ගැනීමට බ්‍රසීලය මුලින් ම  සමත් වුණා.

ලීග් වටයේ තරගවල දී මේ වන විට තරග 13ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 11ක් සහ ජය පරාජයෙන් තොර 2ක් වශයෙන් වාර්තා කරගනිමින් බ්‍රසීලය ලෝක කුසලානයට සුදුසුකම් ලබාගෙන අවසන්. ඔවුන් මේ වන විටදී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව දෙවන ස්ථානයේ පසු වනවා.

2. ආර්ජන්ටිනාව

දකුණු අමෙරිකානු කලාපයෙන් දෙවනියට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේ ආර්ජන්ටිනාව යි. දෙවරක් පාපන්දු ලෝක ශූරතාව දිනා ගත් ඔවුන් 2014 වර්ෂයේදී අනුශූරතාව දිනා ගැනීමට ද සමත් වුණා. සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ගේ රට වන ආර්ජන්ටිනාව පසුගිය වසරේ දී වසර 28 කට පසුව තම පළමු ප්‍රධාන පෙළේ පාපන්දු ශූරතාව ලෙසින් කොපා අමෙරිකා තරගාවලිය ද ජයග්‍රහණය කළා.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවලදී මේ වන විට තරග 13ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 8ක් සහ ජය පරාජයෙන් තොර තරග 5ක් ලෙසින් ආර්ජන්ටිනාව තවදුරටත් අපරාජිතව පසු වනවා. ඔවුන් මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව 5 වන ස්ථානයේ පසු වනවා.

කොපා ඇමරිකා 2021 ශූරතාවය දිනාගත්, දකුණු ඇමරිකානු කලාපයෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ආර්ජන්ටිනාව
කොපා ඇමරිකා 2021 ශූරතාව දිනා ගත්, දකුණු අමෙරිකානු කලාපයෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ආර්ජන්ටිනාව – www.kickoff.com 

ඒ අනුව කටාරයට අමතර ව යුරෝපා කලාපයෙන් 10ක් සහ දකුණු අමෙරිකානු කලාපයෙන් 2ක් ලෙසින් සමස්ථ කණ්ඩායම් 13ක් 2018 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගෙන අවසන්. මෙහි ඉතිරි කණ්ඩායම් 19 ලෝක කුසලානයට තෝරා ගැනීම සඳහා වන සුදුසුකම් ලැබීමේ තරග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත යි. තවමත් අප්‍රිකානු, ආසියානු, උතුරු සහ මධ්‍යම ඇමරිකානු, ඕෂනියා යන කලාපවලලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග වට පැවැත්වෙනවා. ඉන් 2018 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායම් රැසක් තරග වදිනවා.

 අවදානමට පත්ව ඇති ප්‍රධාන කණ්ඩායම්

මේ වන විට පාපන්දු පිටියේ වඩාත් කතාබහට ලක්ව සිටින නැඟී එන තරුවක් ලෙසින් ප්‍රකට අර්ලින් හාලන්ඩ් නියෝජනය කරන නෝර්වේ රාජ්‍යට ලෝක කුසලානය අහිමි වී තිබෙනවා. වර්තමානයේ තවත් දක්ෂතා අතරේ පසුවන ක්‍රීඩකයෙක් වන රොබර්ට් ලෙවන්ඩොස්කි ක්‍රීඩා කරන පෝලන්තයට ද ලෝක කුසලානයට සෘජුව ම සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා. ඔවුන් මේ වන විට Playoffs වටය සඳහා සුදුසුකම් ලබා ගෙන සිටියත් එය ද අවදානම් කලාපයක පසු වනවා.

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරන පෘතුගාලයට ලෝක කුසලානයට සෘජුව ම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා. වර්තමාන යුරෝ ශූරයන් මෙන් ම සිව් වතාවක් ලෝක කුසලානය ජයග්‍රහණය කොට තිබෙන ඉතාලියට ද සෘජුව ම සුදුසුකම් ලබා ගැනීමේ වටය අහිමි වී තිබෙනවා. මේ නිසාවෙන් කණ්ඩායම් ද්විත්වය ම යුරෝපීය Playoffs වට ක්‍රීඩා කිරීමට නියමිත යි.

මෙම Playoffs වටයේ දී ඉතාලිය සහ පෘතුගාලය යන කණ්ඩායම් ද්විත්වය ම එක ම අදියරක ක්‍රීඩා කිරීම නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරී තිබෙනවා. මේ නිසාවෙන් අනිවාර්යයෙන් ම මෙම කණ්ඩායම් දෙකෙන් එකකට ලෝක කුසලානය නියෝජනය කිරීමට නොහැකි වනු ඇති. වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 6 වන ස්ථානයේ පසුවන ඉතාලියට හෝ 8 වන ස්ථානයේ පසුවන පෘතුගාලයට ලෝක කුසලාන වරම් අහිමි වී යාමට නියමිත යි.  2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 32ට එක් වීමට ශ්‍රේණිගත කිරීම් හි මුල් 10 සිටිනා එක් කණ්ඩායමකට අනිවාර්යයෙන් ම නොහැකි වනු ඇති.

ලෝක කුසලානය සඳහා කෙලින්ම සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
ලෝක කුසලානය සඳහා කෙලින්ම සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ – www.marca.com 

 දකුණු අමෙරිකානු කලාපයේ ක්‍රීඩා කරන, දෙවරක් ලෝක ශූරතාව දිනූ උරුගුවේ රාජ්‍යයට ද ලෝක කුසලානය අහිමි වී යාමේ අවදානමක් ඇති බව පෙනී යනවා. ඔවුන්ට තවත් තරග 4ක් ඉතිරිව ඇති අතර ම එම තරග වඩා තීරණාත්මක ස්වරූපයක් ගැනීමට නියමිත වනවා. උරුගුවේ සමඟින් ම තවත් දකුණු අමෙරිකානු ප්‍රබලයෙක් වන චිලී රාජ්‍යය ද සිටින්නේ 2022 ලෝක කුසලානය අහිමි වීමේ පසුබිමක යි. මේ තත්ත්වය උඩ ඉහත කණ්ඩායම් සඳහා ලෝක කුසලානය නියෝජනය අහිමි වී යාමේ අවදානමක් තිබෙනවා.

එළඹෙන පෙබරවාරි මස අවසන් වන විටදී යුරෝපා කලාපයේ මෙන් ම දකුණු අමෙරිකානු කලාපයේත් කණ්ඩායම් රැසක ඉරණම තීරණය වීමට නියමිත යි. මෙවර ලෝක කුසලානයේ ඉතිරි ව පවතින ස්ථාන 19 සඳහා තවදුරටත් ප්‍රබල සටනක් නිර්මාණය වනු ඇති බවට විශ්වාස කළ හැකි යි.

කවරයේ ඡායාරූපය - පාපන්දු ලෝක කුසලානය -  www.trtworld.com 
 මූලාශ්‍ර:

UEFA.com

ESPN.com

FIFA.com

Related Articles