Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරුණ ක්‍රීඩකයින් පිරිවරා මෙවර ලෝක කුසලානයට එන ප්‍රංශය

“Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය යටතේ මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් පිලිබඳ ලිපි මාලාවක් අප විසින් සකසාගෙන යන අතර මේ එහි දෙවැනි ලිපියයි. අද ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ ප්‍රංශ කණ්ඩායම පිළිබඳවයි. තරුණ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ප්‍රංශ කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්වනු නොඅනුමානයි.

අතීතයේ දක්ෂතා

“සිනෙඩින් සිඩෑන් සහ තියරි හෙන්රි” (dailypost.ng)

මෙවර ලෝක කුසලානය සහභාගී වන ප්‍රංශ කණ්ඩායම පිලිබඳ විමසීමට ප්‍රථම, මීට පෙර පැවති පාපන්දු ලෝක කුසලාන වලදී ප්‍රංශය දැක්වූ දක්ෂතා සහ ප්‍රංශයේ පාපන්දු ක්‍රීඩාව පිලිබඳ තතු කිහිපයක් විමසා සිටිමු.

ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රථම වරට ක්‍රීඩා කර තිබෙන්නේ 1904 වසරේ දීය. ඒ බෙල්ජියමට එරෙහිවයි. තරඟය 3-3 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමවී ඇත.

ප්‍රංශ පාපන්දු සංගමය හැඳින්වෙන්නේ FFF (French Football Federation) යන නමිනි. එය පිහිටුවා තිබෙන්නේ 1919 වසරේ දීය.

නමුත් ප්‍රංශ පාපන්දු සංගමය පිහිටුවීමට වසර 12 ට ප්‍රථම, 1907 වසරේ දී ප්‍රංශය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය හිමිකරගෙන ඇත.

1930 වසරේ පැවති පළමු පාපන්දු ලෝක කුසලානය නියෝජනය කල යුරෝපීය රටවල් හතර අතුරින් එක් රටකි ප්‍රංශය.

1938 සහ 1998 වසර වලදී පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ප්‍රංශය විසින් දරන ලදී.

මේ දක්වා පාපන්දු ලෝක කුසලාන තරඟාවලි 20 ක් පවත්වා තිබෙන අතර ඉන් 14 ට සුදුසුකම් ලබාගැනීමට ප්‍රංශයට හැකිවී තිබේ.

1998 වසරේ පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් ජයග්‍රහණය කරන ලදී.

පාපන්දු ලෝක කුසලාන වලදී 2006 වසරේ අනුශූරතාවත්, 1958 සහ 1986 වසරවල තෙවැනි ස්ථානයත්, 1982 වසරේ දී සිව්වැනි ස්ථානයත් දිනාගැනීමට ප්‍රංශයට හැකිවී තිබේ.

පාපන්දු ලෝක කුසලාන වලදී ප්‍රංශය මේ දක්වා තරඟ 59 ට මුහුණ දී ඇති අතර ඉන් තරඟ 28 ක් ජයග්‍රහණය කිරීමට සමත්වී ඇත.

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියෙහි හොඳම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දුව (Golden Ball) දිනාගැනීමට 2006 වසරේ දී සිනෙඩින් සිඩෑන්ට හැකිවිය. ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ගෝල ලාභියාට පිරිනමන රන් පාවහන (Golden Boot) 1958 වසරේ දී හිමිකරගැනීමට ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන්ට හැකිවී තිබේ. එයට අමතරව 1998 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ දී හොඳම දැල් රකින්නාට හිමි රන් අත් වැසුම (Golden Glove) හිමිකරගැනීමට ෆැබියන් බර්තෙස් සමත්විය.

පාපන්දු ලෝක කුසලාන තරඟවල දී ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කර තිබෙන්නේ ජස්ට් ෆොන්ටේන් ය. ඒ ගෝල 13 කි. (ඔහු 1958 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ දී මෙම ගෝල 13 ම වාර්තා කර තිබේ. මේ අනුව එක් ලෝක කුසලාන තරඟාවලියක වැඩිම ගෝල ලාභියා සඳහා වන වාර්තාව ද හිමි වන්නේ ඔහුට ය​.)

ප්‍රංශය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබෙන්නේ ෆැබියන් බර්තෙස් සහ තියරි හෙන්රි ය. ඒ තරඟ 17 බැගින් ය.

සුදුසුකම් ලබාගත් ආකාරය

“ඔලිවියර් ජිරූ” (skysports.com)

මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ප්‍රංශය ක්‍රීඩා කරන ලද්දේ යුරෝපීය (UEFA) කලාපයෙනි. A කාණ්ඩය යටතේ සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ක්‍රීඩා කරන ලද ප්‍රංශය සමඟ A කාණ්ඩයෙන් නෙදර්ලන්තය, ස්වීඩනය වැනි ප්‍රබල කණ්ඩායම් ද ක්‍රීඩා කල නමුත් එම සියලුම කණ්ඩායම් අභිබවා A කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගැනීමට ප්‍රංශයට හැකිවිය. සුදුසුකම් ලැබීමේ තරඟ 10 කට සහභාගී වූ ප්‍රංශය ඉන් තරඟ 7 කම ජය හිමිකරගැනීමට සමත්විය. සුදුසුකම් ලැබීමේ තරඟ වලදී ඔලිවියර් ජිරූ (Olivier Giroud) සහ ඇන්ටොයින් ග්‍රීස්මන් (Antoine Griezmann) ප්‍රංශය වෙනුවෙන් ගෝල 4 බැගින් රැස් කිරීමට සමත් වූහ.

මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වන ප්‍රංශ කණ්ඩායම

මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වන ප්‍රංශ සංචිතය පසුගිය 17 වැනිදා ප්‍රංශ පුහුණුකරු ඩිඩියර් ඩෙශෑම්ප්ස් විසින් නම් කරන ලදී. කෙසේනමුත් මෙම සංචිතය පිළිබඳ​ බොහෝ විවේචන එල්ල වන අතර මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රීඩා ලෝලීන් විසින් විශ්වාස කල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙවර ප්‍රංශ සංචිතයට ඇතුලත් වී නොතිබීම එයට හේතුවයි. ආර්සනල් කණ්ඩායම නියෝජනය කරන ඇලෙක්සැන්ඩර් ලකාසෙට් (Alexandre Lacazette), මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ඇන්තනී මාර්ශියාල් (Anthony Martial), PSG කණ්ඩායම නියෝජනය කරන අද්‍රියන් රැබියොට් (Adrien Rabiot) සහ සෙවීයා කණ්ඩායමේ බෙන් යෙදෙර් (Ben Yedder) වැනි ක්‍රීඩකයින් ප්‍රංශ සංචිතයේ නොමැති වීම තරමක් පුදුම සහගත කරුණකි.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් තෝරාගත් කණ්ඩායම ප්‍රංශයේ නිල මුහුණු පොතේ පිටුවෙහි සඳහන් කර තිබෙන අතර එයට ලැබී තිබෙන සමස්ත ප්‍රතිචාර 76 000 (Reactions) අතුරින් 3 000 ට ආසන්න ප්‍රතිචාර සංඛ්‍යාවක් තරහ (Angry) ප්‍රතිචාර දක්වා තිබීම ද කැපී පෙනෙයි. ඉහත සඳහන් ක්‍රීඩකයින්ට අමතරව බයර්න් මියුනික් කණ්ඩායම නියෝජනය කරන කිංග්ස්ලි කොමාන් (Kingsley Coman), ආර්සනල් කණ්ඩායමේ ලෝරන්ට් කොස්සියෙල්නි (Laurent Koscielny) සහ මාර්සේ කණ්ඩායමේ ඩිමිට්‍රි පායෙට් (Dimitri Payet) වැනි ක්‍රීඩකයින්ට ආබාධ හේතුවෙන් මෙවර ප්‍රංශය නියෝජනය කිරීමේ වරම් අහිමි වී තිබේ.

මෙතරම් දක්ෂ ක්‍රීඩකයින් පිරිසක් නොමැති වූවත් මෙවර ප්‍රංශ කණ්ඩායම ඉතාම ශක්තිමත් කණ්ඩායමකි. අනෙක් අතින් මින් විදහා දැක්වෙන්නේ ප්‍රංශ කණ්ඩායමේ ශක්තියයි. ප්‍රංශය සතුව වයස 25 ට අඩු ඉතා දක්ෂ ක්‍රීඩකයින් රැසක් සිටින අතර තවත් වසර ගණනාවක් මෙම ප්‍රංශ කණ්ඩායම පාපන්දු ලෝකයේ ඉහලින්ම වැජඹෙනු ඇත. මෙවර ප්‍රංශය 4-2-3-1 ක්‍රීඩක සැකැස්ම​ යටතේ ක්‍රීඩා කරනු ඇත. ඉහත රූප සටහනේ සිටින ක්‍රීඩකයින්, ඔවුන් ක්‍රීඩා කරන ස්ථාන වෙනස් වීමට ඉඩ තිබේ. නමුත් ප්‍රංශ කණ්ඩායම පිළිබඳ ඔබට යම් අවබෝධයක් ලබා දීමට පමණක් එම රූප සටහන ඉදිරිපත් කර ඇත.

ඉදිරිපෙළ සහ මැදපෙළ

“කිලියන් එම්බාපේ”(fourfourtwo.com)

මෙවර ප්‍රංශය 4-2-3-1 ආකාරයට ක්‍රීඩා කළහොත් ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩකයා වන CF (Centre Forward) ලෙසින් චෙල්සි කණ්ඩායමේ ඔලිවියර් ජිරූ ක්‍රීඩා කරනු ඇත. ප්‍රහාරක ක්‍රීඩකයාගේ ප්‍රධාන වගකීම වන්නේ ගෝල වාර්තා කිරීමයි. ඔහුට පිටුපසින් ක්‍රීඩකයින් තිදෙනෙකු ක්‍රීඩා කරනු ඇත. AM (Attacking Midfield) ස්ථානයේ ඇට්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමේ ඇන්ටොයින් ග්‍රීස්මන් ක්‍රීඩා කරනු ඇත. ග්‍රීස්මන් මෙවර ප්‍රංශ කණ්ඩායමේ සිටින සුපිරි තරුවයි. ග්‍රීස්මන් ගෙන් බොහෝ දෑ ප්‍රංශ කණ්ඩායම අපේක්ෂා කරයි. ඔහු දෙවැනි ප්‍රහාරක ක්‍රීඩකයා (Second Striker) ලෙසින් ක්‍රීඩා කරනු ඇත. AM හි ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ දෙපසින් PSG කණ්ඩායමේ කිලියන් එම්බාපේ RW (Right Wing) ස්ථානයේ ද මොනකෝ කණ්ඩායමේ තෝමස් ලෙමාර් LW (Left Wing) ස්ථානයේ ද ක්‍රීඩා කරනු ඇත.

ඔවුන්ට පිටුපසින් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ පෝල් පොග්බා (Paul Pogba) සහ චෙල්සි කණ්ඩායමේ න්’ගෝලෝ කන්තේ (N’Golo Kante) DM (Defensive Midfield) ස්ථානයේ ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. කන්තේ පසුගිය වසර කිහිපයේ දීම විශිෂ්ට මට්ටමෙන් ක්‍රීඩා කල ක්‍රීඩකයෙකි.

ආරක්ෂක පෙළ

“රෆායෙල් වරාන්” (squawka.com)

LB (Left Back) ස්ථානය සඳහා මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ බෙන්ජමින් මෙන්දි ක්‍රීඩා කරනු ඇත. RB (Right Back) ස්ථානය සඳහා මොනකෝ කණ්ඩායමේ ජිබ්‍රිල් සිඩිබේ (Djibril Sidibe) යොදාගනු ඇත. කණ්ඩායමේ ප්‍රධානම ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් දෙපල වන CB (Centre Back) ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ බාසිලෝනා කණ්ඩායමේ සැමුවෙල් උම්ටිටි සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ රෆායෙල් වරාන් දෙදෙනායි. ඔවුන් දෙදෙනාම ක්‍රීඩා සමාජ මට්ටමෙන් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින අතර ලෝක කුසලානයේදීත් දක්ෂතා දක්වනු ඇතැයි ප්‍රංශ ක්‍රීඩා ලෝලීයෝ විශ්වාස කරති.

ප්‍රංශ කණ්ඩායමේ නායකත්වය දරමින් කණ්ඩායමේ දැල් රකින්නා ලෙසින් කටයුතු කරන්නේ ටොටන්හැම් හොට්ස්පර් කණ්ඩායමේ හියුගෝ ලෝරිස් ය.

මෙවර ලෝක කුසලානයේ ප්‍රංශයේ ගමන් මඟ

“ඇන්ටොයින් ග්‍රීස්මන්” (Getty Images)

 මෙම කණ්ඩායමත් සමඟින් ප්‍රංශය මෙවර පාපන්දු ලෝක කුසලානයේ බොහෝ දුරක් ගමන් කල යුතුය. අර්ධ අවසන් පූර්ව වටය හෝ අවසන් පූර්ව වටය මෙම ප්‍රංශ කණ්ඩායම යා යුතු අවම දුර වේ. එය එසේ නොවුනහොත් කණ්ඩායමේ පුහුණුකරු දෙසට සියලුම දෝෂාරෝපණ එල්ල වනු ඇත. මෙවර ලෝක කුසලානයේ දී ප්‍රංශය ක්‍රීඩා කරන්නේ C කාණ්ඩයෙනි. C කාණ්ඩයෙන් ප්‍රංශය සමඟ ඕස්ට්‍රේලියාව, පේරු දේශය සහ ඩෙන්මාකය තරඟ වදිනු ඇත. ඒ අනුව ප්‍රංශයට C කාණ්ඩයේ පළමු වැනි ස්ථානය හිමිකරගැනීම එතරම් අපහසු නොවනු ඇත.

ප්‍රංශයට C කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකිවූවහොත් අවසාන 16 දෙනාගේ වටයේ දී සහ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ මට්ටමට වඩා පහල සිටින කණ්ඩායම් දෙකක් මුණගැසීමට බොහෝ ඉඩ තිබේ. ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා ස්ථානයක් වෙන් කරවාගැනීමට ප්‍රංශයට අපහසු නොවනු ඇත. ඒ පිළිබඳව තරඟාවලිය ගලාගෙන යනවිට අපට සාකච්ඡා කිරීමට හැකි වනු ඇත​.

Cover- “පොග්බා සහ ග්‍රීස්මන්” (AFP/Patrik Stollarz)

Related Articles