Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්පාඤ්ඤ – ජර්මනි ගැටුමට මැදි වූ පාපන්දු ලෝක කුසලානයේ E කාණ්ඩය

ලෝක පාපන්දු ලෝක කුසලානයේ කාණ්ඩ වශයෙන් කණ්ඩායම් හැඳින්වීමේ ලිපි පෙළක් අප රැගෙන එනවා. එහිදී මුලින් ම A, B, C සහ D කාණ්ඩය සම්බන්ධයෙන් අවධානය යොමු කළා. මෙම ලිපියෙන් කතාබහ කරන්නේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ E කාණ්ඩය පිළිබඳව යි.

1. ස්පාඤ්ඤය

පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් සුවිසල් ඉතිහාසයක් හිමි ස්පාඤ්ඤය මෑත අතීතයේ තමන්ගේ පාපන්දු ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය පසු කළා. මීට ප්‍රථමයෙන් 15 වතාවක් ලෝක කුසලානය නියෝජනය කළ ඔවුන් මෙවර 16 වෙනි ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා. පෙර සඳහන් කළ ආකාරයට මෑත ඉතිහාසයේ දී ස්පාඤ්ඤ පාපන්දුව ගමන් කළ ස්වර්ණමය යුගයේ දී ඔවුන් ලෝක ශූරතාවක් දිනා ගත්තා. ඒ 2010 වර්ෂයේදී යි. එය ස්පාඤ්ඤය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක දැක්වූ ඉහළත ම දක්ෂතාව වනවා.

මෑතකාලීන ව යුරෝපා පාපන්දු පිටියේ කැපී පෙනෙන ස්පාඤ්ඤය – www.sportingnews.com

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 7 වන ස්ථානයේ පසු වන ස්පාඤ්ඤය සතු ව සුපිරි ක්‍රීඩකයන් රාශියක් ම සිටිනවා. යුරෝපීය පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී B කාණ්ඩයෙන් ක්‍රීඩා කළ ඔවුන් එහි පෙරමුණ ගනිමින් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. යුරෝපය පුරා වසර ගණනාවක් සේවය කර ඇති 52 හැවිරිදි ලුවිස් එන්රිකේ එරට වත්මන් ප්‍රධාන පුහුණුකරු ධූරය දරනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

වසර ගණනාවක් පුරා ලොව විශිෂ්ටත ම මැද පෙළ ක්‍රීඩකයන් ස්පාඤ්ඤය සතු වුණා. එම මැද පෙළ ක්‍රීඩකයෙක් අතරේ නවත ම තරුව වී සිටින්නේ පෙද්රෝ ගොන්සාලෙස් ලෝපෙස් හෙවත් පෙද්රි යි. තවමත් 19 හැවිරිදි වියේ පසුවන ඔහු හොඳ ම නැඟී එන පාපන්දු ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝයි සම්මානය පවා ලබාගත් ක්‍රීඩකයෙක්. ස්පාඤ්ඤය වෙනුවෙන් මේ වන විට තරග 14ක් ක්‍රීඩා කළ ඔහු පසුගිය නේෂන්ස් ලීග් තරඟාවලියේ මෙන් ම යුරෝ තරගාවලියේ ද සුවිශේෂී දස්කම් දැක්වූවා. පෙද්රි ස්පාඤ්ඤයේ ම බාසිලෝනා සමගින් ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රීඩා කරනවා.

ගෝල්ඩන් බෝයි සම්මානයෙන් පවා පිදුම් ලැබූ 19 හැවිරිදි පෙද්රි – www.fcbarcelona.com

ස්පාඤ්ඤයේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් අතරින් ඇල්වාරෝ මොරාටා යනු අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. ඔහු බොහෝ විට ඉදිරි පෙළ ක්‍රීඩා කිරීමේ දී අසාර්ථක වන බවට ස්පාඤ්ඤ ප්‍රේක්ෂකයන් චෝදනා එල්ල කර සිටිනවා. මෑතකාලීන ව බොහෝ අවස්ථාවලදී ඔහු ස්පාඤ්ඤයේ ගැලවුම්කරු බවට පත් වුණා. ස්පාඤ්ඤයේ ම ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් සමඟ ක්‍රීඩා කරන ඔහු 2014 සිට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරමින් තරග 57 කදී ගෝල 27ක් ලබා ගත්තා.

ස්පාඤ්ඤයේ වියරියාල් ක්‍රීඩා සමාජය හා එක් ව ක්‍රීඩා කරනා පාවු ටොරෙස් එරට පසු පෙළ වඩාත් ප්‍රබල සාධකයක් බවට පත්ව සිටිනවා. ක්‍රීඩා සමාජය තුළ ඔහුගේ ක්‍රීඩා රටාව ප්‍රසංශනීය මට්ටමක තිබෙනවා. 25 හැවිරිදි පාවු ටොරෙස් පසුගිය ඔලිම්පික් තරගාවලියේ රිදී පදක්කම දිනා ගත් ස්පාඤ්ඤ කණ්ඩායමද නියෝජනය කළා. ඔහුට අමතර ව අත්දැකීම් බහුල සර්ජියෝ රාමෝස් ද ආබාධවලින් මිදී කණ්ඩායම හා එක් වුවහොත් එය ස්පාඤ්ඤ පසුපෙළට විශාල ශක්තියක් වනු ඇති.

ආබාධවලින් තොරව සුපුරුදු රිද්මයෙන් නැවත ලෝක කුසලාන නියෝජනයට සර්ජියෝ රාමෝස් පැමිණේ යැයි බොහෝ ප්‍රේක්ෂකයන් විශ්වාස කරනවා – www.beinsports.com

මීට අමතර ව සර්ජියෝ බුස්කෙට්ස්, රොද්රි, නිකෝ විලියම්ස්, ඩැනී කාවහාල්, ඌනායි සිමෝන්, ෆෙරාන් ටොරෙස් ඇතුළු දක්ෂ ක්‍රීඩකයන් රැසක් ස්පාඤ්ඤය සමඟින් 2022 ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා. ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් අතරට එක් වීම සඳහා වඩාත් ඉඩකඩක් සහිත කණ්ඩායමක් ලෙසින් ස්පාඤ්ඤය හඳුන්වා දිය හැකි යි.

මූලික වටයේ ස්පාඤ්ඤ තරග කාලසටහන

නොවැම්බර් 23 කොස්ටා රිකා සමඟ – 7 – 0 ක ජයක්

නොවැම්බර් 28 ජර්මනිය සමඟ – 1-1 ජය පරාජයෙන් තොරයි

දෙසැම්බර් 02 ජපානය සමග

2. කොස්ටා රිකා

උතුරු අමෙරිකානු කලාපය නියෝජනය කරමින් කොස්ටා රිකාව ලෝක කුසලානයට එක් වනවා. ඔවුන් මෙවර ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගත්තේ 6 වන වතාවට යි. 2014, 2018 සහ 2022 යන අවස්ථා තුනේ දී ම කොස්ටා රිකා ක්‍රීඩකයන් ලෝක කුසලාන වරම් ලබා ගත්තා. එලෙස පිට පිට ම තෙවතාවක් ඔවුන් ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්. 2014 වර්ෂයේ දී සුපිරි දක්ෂතා දක්වමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම ඔවුන් ලෝක කුසලානයක දැක්වූ ඉහළතම දක්ෂතාව යි.

පිට පිට තෙවන වතාවට ලෝක කුසලාන වරම් ලැබූ කොස්ටා රිකා – www.beinsports.com

උතුරු අමෙරිකානු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ දී කොස්ටා රිකාවට සිව්වන ස්ථානය දක්වා පසු බැසීමට සිදු වුණා. මේ නිසා Intercontinental Playoffs වටයට ගමන් කොට එහි දී නවසීලන්තය පරාජයට පත් කරමින් ඔවුන් ලෝක කුසලානයේ තම ස්ථානය තහවුරු කර ගත්තා. වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම් හි 31 වන ස්ථානයේ පසුවන කොස්ටා රිකා, 62 හැවිරිදි කොලොම්බියා ජාතික ලුයිස් සුආරෙස් ගේ පුහුණුකාරිත්වය යටතේ තරගාවලියට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

2011 වසරේ සිට කොස්ටා රිකා ජාතික කණ්ඩායම නියෝජනය කරනා අත්දැකීම් බහුල ජොයෙල් කැම්බෙල් මෙවර ලෝක කුසලානයට ද එක් වනවා. 30 හැවිරිදි වියේ පසුවන කැම්බෙල් කොස්ටා රිකා පාපන්දුවට සුවිශේෂී සේවාවක් කළ ක්‍රීඩකයෙක්. අවස්ථා ගණනාවක දී ම ගෝල ලබා ගනිමින් තම වටිනාකම පෙන්වූ ඔහු මේ වන විට එරට වෙනුවෙන් තරග 118 ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 25ක්.

2014 වර්ෂයේදී සුවිශේෂී දස්කම් දක්වමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබූ කොස්ටා රිකාවේ නායකත්වය දැරූ බ්‍රයන් රුයිස් මෙවර තම අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ සූදානමින් පසු වනවා. ඔහු 2014 දී ප්‍රබල ඉතාලිය පරාජය කිරීමට ජයග්‍රාහී ගෝලය ලබාගත් ක්‍රීඩකයා ද වුණා. මේ නිසා ඔහු එරට අතිශය ගරු බුහුමන් ලබන ක්‍රීඩකයෙක්. 2005 වර්ෂයේ සිට කොස්ටා රිකාව වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළ බ්‍රයන් රුයිස් තරග 145ක් ක්‍රීඩා කොට ගෝල 29 ක් රැස් කර ගෙන සිටිනවා.

වසර ගණනාවක සිට එරට නායකත්වය දරනා බ්‍රයන් රුයිස් – www.concacaf.com

ඉහත සඳහන් කළ 2014 ලෝක කුසලාන චාරිකාවේ තරුව බවට පත් වූ තැනැත්තා වන්නේ දැල් රකින ක්‍රීඩක කෙයිලොර් නවාස් බව පැවසීම නිවැරැදි යි. ඔහු තරගාවලිය පුරාවට ම කොස්ටා රිකා ගෝල දැල සුරක්ෂිත කරමින් සුවිශේෂී සේවයක් ලබා දුන්නා. ඉන් අනතුරුව ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් සමග ගිවිසුම් ගත වන ඔහු යුරෝපයේ ක්‍රීඩා සමාජ අතරේ අංක 1 දැල් රකින්නෙක් ලෙසින් වැජඹුණා. වර්තමානයේ දී ප්‍රංශයේ PSG සමඟ ක්‍රීඩා කරන ඔහු කොස්ටා රිකාව වෙනුවෙන් තරග 107 ක් ක්‍රීඩා කොට තිබෙනවා.

මූලික වටයේ කොස්ටා රිකා තරග කාලසටහන

නොවැම්බර් 23 ස්පාඤ්ඤය සමඟ – 7 – 0 ක පරාජයක්

නොවැම්බර් 27 ජපානය සමඟ – 0 – 1 ක ජයක්

දෙසැම්බර් 02 ජර්මනිය සමග

3. ජර්මනිය

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනියට වැඩි ම ලෝක ශූරතා ජයග්‍රහණය කළ මෙන් ම වැඩි ම වතාවක් අවසන් මහා තරග නියෝජනය කළ වාර්තාව හිමි වන්නේ ජර්මනියට යි. 20 වන වතාවට ලෝක කුසලානයක් සඳහා සුදුසුකම් ලබා ගත් ඔවුන් මීට ප්‍රථම 1954, 1974, 1990 සහ 2014 යන අවස්ථාවල ලෝක ශූරතාව දිනා ගත්තා. මීට අමතර ව 1966, 1982, 1986, 2002 යන අවස්ථා වල අනුශූරතාවෙන් සෑහීමකට පත් වුණා. ඒ අනුව ජර්මනිය නියෝජනය කළ සමස්ත ලෝක කුසලාන අවසන් මහා තරග සංඛ්‍යාව 8ක්. එය ඉතිහාසයේ වැඩි ම අවස්ථා ගණන යන වාර්තාව උසුලනවා.

කවදත් ලෝක කුසලානවල සාර්ථක වන ජර්මනිය – www.premiumtimesnigeria.com

වතමන් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනු ව 13 වන ස්ථානයේ පසුවන ඔවුන්, යුරෝපීය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ J කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මෙවර ලෝක කුසලානයට එක් වනවා. කවදත් තරු ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වන ජර්මානු කණ්ඩායමේ මෙවර පුහුණුකාරිත්වය 57 හැවිරිදි ජර්මන් ජාතික හන්සි ෆ්ලික් දරනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

2010 පාපන්දු ලෝක කුසලානයේ වැඩි ම ගෝල ලාභියාට හිමි රන් පාවහන දිනා ගත්, මේ වන විට ජර්මනියේ බයන් මියුනිච් සමඟ ක්‍රීඩා කරන තෝමස් මුලර් එරට ඉදිරි පෙළ විශාලත ම බලාපොරොත්තුව වනවා. මුලර්ට ගෝල ලබා ගැනීමට මෙන් ම පිටියේ පන්දුව සැකසීමටත් ඇත්තේ සුවිශේෂී හැකියාවක්. මේ නිසා ඔහු මෑත කාලීන ව යුරෝපීය ක්‍රීඩා සමාජ අතර ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් වුණා. 2010 සිට ජර්මනිය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කරන ඔහු තරග 118 ක දී ගෝල 44ක් ලබා සිටිනවා. මුලර් ලෝක කුසලාන තරගවල දී ගෝල 10ක් වාර්තා කර තිබීම ද විශේෂත්වයක්.

යුරෝපයේ ක්‍රීඩා කරන අත්දැකීම් බහුල ම මැද පෙළ ක්‍රීඩකයෙක් වන ටෝනි කෲස් – www.marca.com

ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් සමඟ ක්‍රීඩා කරමින් සිටිනා මැද පෙළ ක්‍රීඩක ටෝනි කෲස් යනු පාපන්දු පිටියේ සිටිනා අත්දැකීම් බහුල ම මැද පෙළ ක්‍රීඩකයෙක්. ඔහු වසර ගණනාවක් පුරා ජර්මන් ජාතික පාපන්දු කණ්ඩායමේද නිත්‍ය සාමාජිකයෙක් බවට පත් වී සිටිනවා. ටෝනි කෲස් හට මෙවර තම අත්දැකීම් භාවිත කරමින් ජර්මන් මැද පෙළ මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙනවා. 2014 ලෝක ශූරයන් වූ ජර්මන් කණ්ඩායමේ සමාජිකයෙක් ද වූ ඔහු මේ දක්වා තරග 106 ක දී ගෝල 17ක් ලබා ගෙන සිටිනවා.

2014 ලෝක ශූර කණ්ඩායමේ සිටි තවත් විරුවෙක් වූ මැනුවෙල් නෝයර් මෙවර තමන්ගේ අවසන් ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත යි. ඇතැමුන්ට අනුව 21 වන සියවසේ බිහි වූ විශිෂ්ටත ම දැල් රකින්නා ලෙස ද හඳුන්වන ඔහු මේ වන විට බයන් මියුනිච් සහ ජර්මනිය යන කණ්ඩායම් දෙකේ ම නායකත්වය දරනවා. 2014 පාපන්දු ලෝක කුසලානයේ විශිෂ්ටත ම දැල් රකින්නා සම්මානය ද දිනා ගත් 36 හැවිරිදි නෝයර් 2009 වසරේ සිට ජර්මනිය වෙනුවෙන් තරග 113 ක් ක්‍රීඩා කළා.

තම අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට සූදානම් වන 2014 ලෝක කුසලානයේ හොඳ ම දැල් රකින්නා වූ මැනුවෙල් නෝයර් – www.eurosport.com

මෙම ක්‍රීඩකයන්ට අමතර ව ජමායෙල් මූසියලා, රොබින් ගොසෙන්ස්, ඉල්කායි ගුන්ඩුවාන්, ජෝෂුවා කිමිච්, සර්ජ් ග්නැබ්රි, කායි හැවෙර්ට්ස්, ඇන්තනි රූඩිගාර් වැනි දක්ෂ තරු රැසක් ජර්මනිය සතු වනවා. කවදත් සාම්ප්‍රදායික ව ලෝක කුසලානවලදී දක්ෂතා අතරට පිවිසෙන ජර්මනිය මෙවර ද එම බලාපොරොත්තු සහිත ව තරගාවලියට අවතීර්ණ වනු ඇති.

මූලික වටයේ ජර්මන් තරග කාලසටහන

නොවැම්බර් 23 ජපානය සමඟ – 1 -2 ක පරාජයක්

නොවැම්බර් 28 ස්පාඤ්ඤය සමඟ – 1-1ලෙස ජය පරාජයෙන් තොරයි

දෙසැම්බර් 02 කොස්ටා රිකාව සමග

4. ජපානය

ආසියානු කලාපයේ පාපන්දු ක්‍රීඩාව සඳහා දක්ෂ කණ්ඩායම් අතලොස්සෙන් එකක් බවට ජපානය හැඳින්විය හැකි යි. 7 වෙනි වතාවට ලෝක කුසලාන තරගාවලියකට එක් වන ඔවුන් 1998 සිට අඛණ්ඩ ව පැවති සෑම ලෝක කුසලාන තරගාවලියක් ම නියෝජනය කළා. 2002 වර්ෂයේ සහ 2010 වර්ෂයේ පැවති තරගාවලින්හි අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම ඔවුන් දැක්වූ ඉහළත ම දක්ෂතාවය වනවා.

1998 සිට පැවති සියලු ම ලෝක කුසලානවලට සුදුසුකම් ලැබූ ජපානය – www.sportsbreif.com

ආසියානු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් අදියරේදී B කාණ්ඩයෙන් තරග වැදුණු ජපානය ජයග්‍රහණ 7ක් ජය පරාජයෙන් තොර 1ක් සහ පරාජයන් 2ක් සටහන් කළා. අවසන් ලකුණු සටහනට අනුව B කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වෙමින් ඔවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා. 54 හැවිරිදි ජපාන ජාතික පුහුණුකරු හජිමේ මොරියාසු යටතේ ලෝක කුසලානයට එක්වන ඔවුන් මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 24 වන තැන රැඳී සිටිනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී ජපානය වෙනුවෙන් වැඩි ම ගෝල සංඛ්‍යාවක් ලබා ගත් ටකුමි මිනමිනෝ එරට ඉදිරි පෙළ තීරණාත්මක සාධකය යි. මිනමිනෝ ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩාවේ සලකුණක් ලෙසින් නම් වුණේ ඔහු එංගලන්තයේ සුප්‍රකට ලිවර්පූල් ක්‍රීඩා සමාජය හා ගිවිසුම් ගත වීමෙන් අනතුරු ව යි. වර්තමානයේ දී මිනමිනෝ ප්‍රංශයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජයක් වන මොනාකෝ සමඟ ඔහු ක්‍රීඩා කරනවා. 27 හැවිරිදි ඔහු ජපානය වෙනුවෙන් තරග 43 ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 17ක්.

ආරක්ෂක මැද පෙළ ක්‍රීඩකයෙක් වශයෙන් ජර්මනියේ ස්ටුට්ගාර්ඩ් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන වටාරු එන්ඩෝ ගේ කරමත ජපාන මැදපෙළ පැට වී තිබෙනවා. ඔහු ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳින් ක්‍රීඩා කරන නිසා ම මැද පෙළ සමබරතාවට විශාල බලපෑමක් එල්ල කිරීමට හැකි අයෙක්. ඔහු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදීත් තම වටිනාකම විදහා දැක්වූවා. එන්ඩෝ 2015 සිට ජපානය නියෝජනය කරමින් තරග 43 කදී ගෝල 2ක් ලබා සිටිනවා.

2010 සිට ජපානය නියෝජනය කරන මායා යොශීඩා – www.thejapantimes.com

ජපානයේ මැද පෙළ ආරක්ෂාවට වටාරු එන්ඩෝ සිටිය දී පසු පෙළ නිවැරැදි ව පවත්වා ගැනීමේ වගකීම මායා යොශීඩා දරනවා. ඔහු යුරෝපයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජවලට වසර ගණනාවක් පුරා ක්‍රීඩා කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. යොශිඩා වර්තමානයේ දී ජර්මනිය ශෙල්කේ 04 ක්‍රීඩා සමාජය සමඟින් වෘත්තීයමය වශයෙන් ක්‍රීඩා කරනවා. 2010 සිට ජපන් ජර්සිය හඳිනා ඔහු තරග 121 කදී ගෝල 12 ක් ලබා ගැනීමට ද සමත් වුණා.

මූලික වටයේ ජපාන තරග කාලසටහන

නොවැම්බර් 23 ජර්මනිය සමඟ – 1 -2 ක ජයක්

නොවැම්බර් 27 කොස්ටා රිකාව සමඟ – – 0 – 1 ක පරාජයක්

දෙසැම්බර් 02 ස්පාඤ්ඤය සමඟ

කවරයේ ඡායාරූපය - ස්පාඤ්ඤයේ පෙද්රි, කොස්ටා රිකාවේ කෙයිලොර් නවාස්, ජර්මනියේ තෝමස් මුලර්, ජපානයේ ටකුමි මිනමිනෝ - www.marca.com, www.cnn.com, www.uefa.com, www.thejapantimes.com
මූලාශ්‍ර :
www.fifa.com
www.allfootball.com
www.qatar22.com

Related Articles