Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දී හමුවන කඩුලු ත්‍රිත්ව

ඕනෑම පන්දු යවන්නෙකුගේ ක්‍රිකට් ජීවිතයේ තිබෙන එක් සිහිනයක් තමයි කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම. නමුත් එම සිහිනය ඉටුකර ගැනීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. එම නිසාම එක්දින ලෝක කුසලාන තරගවල දී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම යම් පන්දු යවන්නෙකු ඔහුගේ ක්‍රිකට් දිවිය තුළ ලබාගන්නා ඉහළම ගෞරවයක්. තම ක්‍රිකට් ජීවිතය තුළ එම දස්කම දැක්වූ පන්දු යවන්නන් සිටින්නේ 10 දෙනෙකු පමණ යි. එම නිසාම මෙම ලිපිය වෙන් වන්නේ ඔවුන්ගේ දස්කම් පිළිබඳව ඉදිරිපත් කිරීමට යි.

චේතන් ෂර්මා (ඉන්දියාව) නවසීලන්තයට එරෙහිව 1987 තරගාවලියේ දී

1987 ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වුණේ නාග්පූර්හි විදර්බා ක්‍රීඩා පිටියේ දී යි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා සිටියා. එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු චේතන් ෂර්මා පිට පිටම පන්දු 3ක දී කෙන් රදර්ෆඩ්, ඉයන් ස්මිත්, සහ එවැන් චැට්ෆීල්ඩ්ව දවාගනිමින් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් මුල්ම පන්දු යවන්නා බවට පත්වුණා. ෂර්මා ලබාගත් මෙම කඩුලු ත්‍රිත්වයේ දක්නට ඇති සුවිශේෂීම කරුණ වන්නේ මෙම පිතිකරුවන් තිදෙනාම දැවීගියේ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙනු යි.

චේතන් ෂර්මා පන්දු යවමින් (gettyimages)

සක්ලේන් මුෂ්ටාක් (පාකිස්ථානය) සිම්බාබ්වේට එරෙහිව 1999 තරගාවලියේ දී

1999 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්ථානු කණ්ඩායම අතර පැවති තරගය කෙනිංටන් ඕවල් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 123ක් ලබා සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු සක්ලේන් මුෂ්ටාක් හෙන්රි ඔලොන්ගා, ඇඩම් හක්ල්, සහ පොමී මබන්ග්වා යන පිතිකරුවන්  දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේ පාකිස්ථානු කණ්ඩායම අවසන් පූර්ව වටයට රැගෙන යමින්.

සක්ලේන් කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාව (icc cricket)

චමින්ද වාස් (ශ්‍රී ලංකාව) බංගලාදේශයට එරෙහිව 2003 තරගාවලියේ දී

2003 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර පළමු වටයේ තරගයක් පීටර්මැරිස්බර්ග් නුවර  සිටි ඕවල් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 3ම තරගයේ මුල්ම පන්දුවාරයේ පළමු පන්දු 3න් දවාගෙන ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ දක්නට ලැබුණු විරල ගණයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට චමින්ද වාස් සමත් වුණා. එහිදී වාස් කඩුලු ත්‍රිත්වය ලබාගත්තේ හනාන් සර්කාර්, මොහොමඩ් අෂ්‍රෆුල්, සහ එෂනුල් හක් යන පිතිකරුවන් තිදෙනා ඔහුගේ ගොදුරු බවට පත්කර ගනිමින්.

වාස් කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කිරීමේ ප්‍රීතිය සමරමින් (gettyimages)

බ්‍රෙට් ලී (ඕස්ට්‍රේලියාව) කෙන්යාවට එරෙහිව 2003 තරගාවලියේ දී

2003 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරගයක් ඩර්බන් නුවර කිංග්ස්මීඩ් පිටියේ දී පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ කෙන්යාව අතර යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කෙන්යානු කණ්ඩායමේ මුල් කඩුලු 3ම පිට පිට පන්දු 3ක දී දවාගෙන බ්‍රෙට් ලී කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තා. එහිදී කෙනඩි ඔටිනෝ, බ්‍රිජාල් පටෙල්, සහ ඩේවිඩ් ඔබූයා යන පිතිකරුවන් තිදෙනාම බ්‍රෙට් ලීගේ පන්දු හමුවේ දැවී ගියා.

බ්‍රෙට් ලී, ඩේවිඩ් ඔබූයා දවාගත් අවස්ථාව (gettyimages)

ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) ශ්‍රී ලංකාවට එරෙහිව 2007 තරගාවලියේ දී

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගය ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගයේදී ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 206ක් ලබාගෙන ජයග්‍රහණය අභියසට පැමිණ සිටියා. නමුත් එම  අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ලසිත් මාලිංග ෂෝන් පොලොක්, ඇන්ඩෘ හෝල්, ජැක් කලිස්, සහ මකායා එන්ටිනි යන පිතිකරුවන් දවාගනිමින් පන්දු 4කින් කඩුලු 4ක් ලබාගත්තේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විරල දස්කමක් දක්වමින්

මාලිංග 3වන කඩුල්ල ලෙසින්  කලිස්ව දවාගත් අවස්ථාව (cricket australia)

කිමා රෝච් (බටහිර ඉන්දීය කොදෙව් ) නෙදර්ලන්තයට එරෙහිව 2011 තරගාවලියේ දි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර 2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ දිල්ලි නුවර ෆෙරෝෂා කොට්ලා පිටියේ දී තරගයක් පැවැත්වුණා. එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වුණු කිමා රෝච් නෙදර්ලන්ත කණ්ඩායමේ පීටර් සීලර්, බර්නාඩ් ලූට්ස්, සහ බෙරෙන්ඩ් වෙස්ට්ඩිජ්ක් යන පිතිකරුවන් තිදෙනාම දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තා.

කිමා රෝච් කඩුලු ත්‍රිත්වය දවාගත් අවස්ථාව (abc.net.au)

ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) කෙන්යාවට එරෙහිව 2011 තරගාවලියේ දී

2011 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ කෙන්යානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ දී ලසිත් මාලිංග ටන්මේ මිශ්රා, පීටර් ඔන්ගොන්ඩෝ, සහ සෑම් එන්ගොචේ යන පිතිකරුවන් තිදෙනාව දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් දවාගත්තා. එහිදී එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලු ත්‍රිත්ව 2ක් දවාගත් එකම පන්දු යවන්නා ලෙසින් මාලිංග  ඉතිහාසයට එක්වුණා..

මාලිංග කඩුලු ත්‍රිත්වය දවාගැනීම නිසා උද්දාමයට පත්වූ අවස්ථාව (gettyimages)

ස්ටීවන් ෆින් (එංගලන්තය) ඕස්ට්‍රේලියාවට එරෙහිව 2015 තරගාවලියේ දී

2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මෙල්බර්න් ක්‍රිකට් පිටියේ දී තරගයක් පැවැත්වුණා. එහිදී එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටීවන් ෆින් විසින් බ්‍රැඩ් හැඩින්, ග්ලේන් මැක්ස්වෙල්, සහ මිචෙල් ජොන්සන් යන පිතිකරුවන් තිදෙනාව දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළා..

ෆින් කඩුල්ලක් දවාගැනීමෙන් සතුටට පත්වී (Euro sports)

ජීන් පෝල් ඩුමිනි (දකුණු අප්‍රිකාව) ශ්‍රී ලංකාවට එරෙහිව 2015 තරගාවලියේ දී

2015 ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග වැදුණේ සිඩ්නි ක්‍රීඩා පිටියේ දී යි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, සහ තරිඳු කෞෂාල් යන පිතිකරුවන් තිදෙනාව දවාගනිමින් ඩුමිනි කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා.

ඩුමිනි කෞෂාල්ව දවාගත් අවස්ථාව (Reuters)

මොහොමඩ් ෂමී (ඉන්දියාව) ඇෆ්ගනිස්ථානයට  එරෙහිව 2019 තරගාවලියේ දී

ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර 2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ රෝස් බෝල් පිටියේ දී තරගයක් පැවැත්වුණා. එහිදී ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වුණු මොහොමඩ් ෂමී  ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමේ මොහොමඩ් නබී, අෆ්ටාබ් අලාම්, සහ මුජීබ් රහමාන් යන පිතිකරුවන් තිදෙනාම දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළා.

ෂමී කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාව (gettyimages)

කවරයේ ඡායාරූපය - 2007 ලෝක කුසලාන තරගාවලියේදී ලසිත් මාලිංග එන්ටිනිව දවාගත් අවස්ථාව (gettyimages)

Related Articles