Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සචින්ගේ එක්දින ක්‍රිකට් වාර්තා පසුපස හඹායන ඉන්දියානුවා

‘ක්‍රිකට් අපේ ආගම යි, සචින් අපේ දෙවියා යි’. මෙය 90 දශකයේ සිට ම ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් අතර ඉතාමත් ම ජනප්‍රිය වැකියක්. මෙලෙස ඔවුන් එම අවධියේ සචින් ගැන අභිමානයෙන් කතා කළේ, සචින් ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා අද්විතීය නිසා යි. ඔවුන් සචින් ව දෙවියෙකු ලෙස සැලකුවේ, එම වාර්තා කිසිදිනෙක කිසිවෙකුට බිඳ දැමිය නොහැකි බවට ඔවුන් තුළ වූ විශ්වාසය යි. නමුත් එදා ඉන්දියානුවන් දෙවියෙකු ලෙස සැලකූ සචින්ගේ එක්දින ක්‍රිකට් වාර්තාවලට අභියෝග කිරීමට ඉන්දියාවෙන් ම තවත් පිතිකරුවෙකු බිහි ව තිබෙනවා. වර්තමාන එක්දින ක්‍රිකට් පිටියේ ආකර්ෂණීය ම පිතිකරු බවට පත් ව ඇති ඔහු, අප කවුරුත් හොඳින් ම හඳුනන විරාට් කෝලි. ඇත්ත වශයෙන් ම කෝලිට, සචින්ව අභිබවා යාමට හැකිවෙයි ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට අපට ඇති හොඳම ක්‍රමය නම් ඔවුන්ගේ එක්දින තරග දිවියේ දත්ත විශ්ලේෂණය කර බැලීම යි. එසේ නම්, අපි දැන් මොවුන් දෙදෙනාගේ එක්දින ක්‍රිකට් දිවියේ දත්ත සංසන්දනය කර බලමු.

‘ක්‍රිකට් අපේ ආගම යි, සචින් අපේ දෙවියා යි’ පෝස්ටරය 2011 ලෝක කුසලාන තරගාවලිය තුළ මෙලෙස දක්නට ලැබුණි (cricketcountry.com)

මංගල එක්දින තරගය   

අවු: 16ක් තරම් කුඩා වයසක දී එක්දින වරම් දිනාගත් සචින්, මංගල එක්දින තරගයේ දී ම වකාර් යුනිස්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියා. සචින් සහභාගි වූ එම මංගල ටෙස්ට් තරගය 1989 වසරේ ඉන්දීය පිලේ පකිස්තානු සංචාරයේ එක්දින තරගාවලියට අයත් වූ තරගයක්. සචින් එලෙස අඩු ම වයසකින් එක්දින ක්‍රිකට් පිටියට පිවිසිය ද, විරාට් කෝලි එක්දින වරම් ලබාගන්නා විට ඔහුගේ වයස අවු: 19ක් වුණා. ශ්‍රී ලංකා පිල සමග 2008 වසරේ දඹුල්ලේ දී පැවති එම තරගයේ දී කෝලි ලකුණු 12කට දැවී ගියේ කුලසේකර එවූ පන්දුවක් හමුවේ.

කෝලි මංගල එක්දින තරගයේ දැවීයාමෙන් අනතුරුව (gettyimages)

මංගල එක්දින ශතකය ලබාගැනීමට සචින්ට බොහෝ කාලයක්  ගතවුණා

සචින්ට සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට ඉනිම් 79 ගත වූ අතර, ඔහු එම ශතකය වාර්තා කළේ 1994 වසරේ සිංගර් ලෝක ශූරතා තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේ දී ලකුණු 110ක් ලබාගනිමිනුයි. නමුත් කෝලි, සිය 14වන එක්දින ඉනිමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේ දී ලකුණු 107ක් වාර්තා කරමින් සිය මංගල එක්දින ශතකය වාර්තා කළා. කෝලි එක්දින ඉනිම් 79ක් වන විට ශතක 8ක් ලබා සිටි නිසා එක්දින ශතක වාර්තාව හඹා යාමේ දී මුල සිට ම වාසිය කෝලිට හිමිවුණා.

කෝලි මංගල එක්දින ශතකය ලබාගත් මොහොත (gettyimages)

එක්දින ලකුණු 5000 වාර්තා කරන විට කෝලි ඉදිරියෙන්

කෝලි එක්දින ඉනිම් 114ක් තුළ එක්දින ලකුණු 5000 වාර්තා කරගන්නා අවස්ථාව වන විට ඔහු ශතක 17ක් වාර්තා කර තිබූ අතර, ඒ වන විට කෝලිගේ වයස අවු: 25ක් වුණා. සචින්ට එක්දින ලකුණු 5000 වාර්තා කිරීමට ඉනිම් 138ක් ගත වූ අතර, එහි දී ඔහු, ශතක 11ක් වාර්තා කළා. නමුත් වයස අවු: 23ක දී සචින්, ලකුණු 5000 සීමාවට ළඟා වූයේ කෝලිට වඩා අඩු වයසක දී යි.

කෝලි අඩු ඉනිම් ගණනකින් ලකුණු 10,000 වාර්තා කරයි

සචින්ට  ලකුණු 5000 සිට 10,000 දක්වා යාමට වසර 4 දින 47ක්  ගත වූ අතර, එම කාලය තුළ ඔහු ඉනිම් 121ක් ක්‍රීඩා කළා. නමුත් කෝලිට ලකුණු 5000 සිට 10,000 දක්වා යාමට වසර 4 දින 334ක් ගත වූ අතර, එම කාලය තුළ කෝලි ක්‍රීඩාකර තිබුණේ ඉනිම් 91ක් පමණයි. මෙහි දී වැඩි කාලයක් ගත වී, අඩු ඉනිම් ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට කෝලිට සිදු වී ඇත්තේ බොහෝවිට වර්තමානයේ 20/20 තරග රටාව නිසා වෙන්න පුළුවන්. සචින් ක්‍රීඩා කළ එම යුගයේ 20/20 තරග නොතිබුණු නිසා සචින්ට තරමක් වැඩි එක්දින තරග ප්‍රමාණයක් කෝලිට වඩා ලැබුණා. ඒ අනුව එක්දින කෝලි වයස අවු: 29 දී ඉනිම් 213ක් තුළ ශතක 37ක් සමග ලකුණු 10,000 වාර්තා කරන විට, සචින් වයස: 27 දී ඉනිම් 266ක් තුළ ශතක 28ක් සමග ලකුණු 10,000 වාර්තා කළා.

සචින් එක්දින ලකුණු 10,000 වාර්තා කළ අවස්ථාව (gettyimages)
කෝලි ලකුණු 10,000 වාර්තා කළ අවස්ථාව (scroll.in)

සචින්ගේ එක්දින ශතක වාර්තාව බිඳ දැමීම කෝලිට අභියෝගයක් නොවේ

සචින් එක්දින ඉනිම් 452ක් ක්‍රීඩාකොට ලබාගත්තේ, එක්දින ශතක 49ක් පමණයි. නමුත් කෝලි, මේ වන විට ම ඉනිම් 208ක් තුළ ශතක 38ක් රැස්කර තිබෙනවා. ඒ අනුව කෝලිට සචින්ගේ එක්දින ශතක 49 වාර්තාව තව වසර කිහිපයකින් පහසුවෙන් ම බිඳදැමීමට පුළුවන්. ඉන් අනතුරුව ඔහු කිසිවෙකුටවත් ළඟා විය නොහැකි එක්දින ශතක වාර්තාවක් තබනු ඇතැ යි අපට අනුමාන කරන්න බැරි නෑ.

සචින්ගේ එක්දින ලකුණු වාර්තාව බිඳ දැමීමට කෝලිට කාලය හරස් වෙයි ද?

මේ වන විට කෝලිගේ වයස අවු: 30ක්. ඔහු මේ වන විට ඉනිම් 208ක් තුළ ලකුණු 10,232ක් ලබාගෙන තිබෙනවා. සචින්ගේ වයස වසර 30ක් වන විට ඔහු, එක්දින ඉනිම් 314ක් තුළ ලකුණු 12,219ක් ලබාගෙන යි හිටියේ. වයස අනුව සංසන්දනය කරන විට කෝලි, සචින්ට වඩා ලකුණු 2000ක් පමණ පසුපසිනුයි ඉන්නේ. නමුත් මෙහි ඇති ගැටලුව කෝලිගේ වයස නොව කෝලිට ඉදිරි කාලයේ එක්දින පිටියේ ක්‍රීඩා කිරීමට ලැබෙන තරග ප්‍රමාණය යි. එය ඔබට වටහා ගැනීම පහසුවීම සඳහා 1991 වසරේ 1සිට 2018 වසර දක්වා ඉන්දීය පිල ක්‍රීඩා කළ එක්දින තරග ප්‍රමාණය වසර 5න් 5ට පහතින් දක්වන්නම්.

1991-1995 දක්වා  කාලය තුළ එක්දින තරග 89 යි.

1996-2000 දක්වා කාලය තුළ එක්දින තරග 187 යි.

2001-2005 දක්වා  කාලය තුළ එක්දින තරග 245 යි.

2006-2010 දක්වා කාලය තුළ එක්දින තරග 153 යි.

2011-2015 දක්වා කාලය තුළ එක්දින තරග 131 යි.

2016-2018 නොවැම්බර් දක්වා කාලය තුළ එක්දින තරග 61 යි.

ඉහත දත්ත අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන ප්‍රධාන ම කරුණ වූයේ 20/20 තරග ජනප්‍රිය වීමත් සමග ම ඉන්දීය පිලට ලැබී ඇති එක්දින තරග ප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙමින් පවතින බව යි. 20/20 තරග රටාව අනාගතයේ තවදුරටත් ජනප්‍රිය වීම තුළින් වසර තුළ පැවැත්වෙන එක්දින තරග ප්‍රමාණය තවදුරටත් අඩු වෙන්න ඉඩ තියෙනවා. ලොව පුරා පැවැත්වෙන 20/20 ලීග් තරගාවලි නිසා ද වසරකට කණ්ඩායමකට ලැබෙන එක්දින තරග ප්‍රමාණය කප්පාදු වෙනවා. ඒ අනුව කෝලි තවත් වසර 10ක් පමණ එක්දින පිටියේ රැඳී සිටියහොත් ඔහු  ආබාධවලට ලක්වෙන තරග, ඔහු ව විවේක ගන්වන තරග ද සලකා බැලූ විට ඔහුට තරග 150ක් පමණ ක්‍රීඩා කිරීමට පුළුවන්. කෝලි මේ වන විට සචින්ගේ එක්දින සමස්ත ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 8194ක් පසුපසින්නුයි ඉන්නේ. ඒ අනුව කෝලිට සචින් ව පසුකර යාමට ඉදිරි කාලය තුළ පිතිකරණ සාමාන්‍ය 50 ඉක්මවා රඳවා ගත යුතු යි. කෝලි වර්තමානයේ එක්දින පිටිය තුළ දක්වන විශිෂ්ටතම දස්කම් නිසා, එම ඉලක්කය කෝලිට කජු කනවා වැනි අභියෝගයක්යැ යි ඔබට සිතෙනවා ඇති. නමුත්, යම් ක්‍රීඩකයෙකුගේ සැඳෑ සමය එළඹෙන විට ඔහුගේ දක්ෂතාවල යම් ගිලිහීමක් දක්නට ලැබෙන බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරනවා. නමුත්, කෝලි නම් අරුම පුදුම මිනිසාට මෙය බිඳ දැමිය නොහැකි කඩයිමක් ද නොවෙයි. එම නිසා අපි මේ සියල්ල ම අනාගතයට බාර කරමු. ඔහු යම් දිනෙක සචින්ගේ සියලුම වාර්තා බිඳ දැමුවහොත්, “ක්‍රිකට් අපේ ආගම යි කෝලි අපේ දෙවියා යි” ලෙස ඉන්දියානුවන් පවසාවි.

 

කවරයේ ඡායාරූපයේ: සචින් හා කෝලි පිතිකරණයේ යෙදෙන අවස්ථාවක් (gettyimages)

මූලාශ්‍රයයන්:

ක්‍රිකට් දත්ත ලබාගැනීම espncricinfo සහ Howstat

Related Articles