Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොදෙව්වන් හමුවේ ලක්බිමේ දී ලබාගත් මුල්ම එක්දින ජයග්‍රහණය

2020 වසරේ පෙබරවාරී මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ එක්දින සහ 20/20 තරගාවලිවලට සහභාගි වීම සඳහා යි. 1993 වසරේ දී මුල්මවරට ශ්‍රී ලංකාවේ සංචාරය කළ බටහිර ඉන්දීය කොදෙව්වන් එම අවධියේ ලෝක ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබල කණ්ඩායමක් වුණා. ලාරා, හේන්ස්, රිචඩ්සන්, හූපර් වැනි පිතිකරුවන්ගෙන් සමන්විත වුණු කොදෙව් කණ්ඩායමේ වොල්ෂ්, ඇම්බ්‍රෝස් සහ බිෂොප් වැනි පන්දු යවන්නන් ද සිටි නිසා ඔවුන් අනිත් කණ්ඩායම්වලට අභියෝගයක් වුණා. නමුත්, එදා ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පැවති එක්දින තරගාවලියේ දෙවන තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක් හිමි වුණේ අර්ජුණ සහ කල්පගේ දැක්වූ සුපිරි දස්කම් නිසා යි. 

කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් මුලින්ම පන්දුවට පහරදෙයි 

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී දිවා/ රාත්‍රී තරගයක් ලෙසින් පැවති මෙම එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක රිචඩ්සන් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඔහු එම තීරණය ගනු ලැබුවේ ඊට පෙර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වුණු ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරග 2 දී ම රාත්‍රී කාලයේ ලකුණු හඹාගිය කණ්ඩායම පරාජයට පත් වී තිබුණු නිසා යි. ඒ අනුව කොදෙව් ඉනිම ආරම්භ කළේ එම අවධියේ එක්දින පිටියේ සිටි සාර්ථක ආරම්භක පිතිකරු යුගලයක් වුණු හේන්ස් සහ ලාරා යි. තරග ආරම්භයේ සිටම ඉතාමත් සීරුවෙන් පිත්ත හැසිරවූ මෙම පිතිකරු යුගලයේ එකම අභිප්‍රාය වුණේ සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීම යි.

හේන්ස් සහ ලාරා විශිෂ්ට ආරම්භක සබඳතාවයක් ගොඩනගයි 

එදා ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් එල්ල කළ පන්දු මැනවින් තෝරා බේරාගත් ලාරා සහ හේන්ස් කිසිදු අපහසුවකින් තොරව ලකුණු රැස් කළා. එම නිසාම ශ්‍රී ලංකා නායක අර්ජුණ දඟ පන්දු යවන්නන් පන්දු යැවීම සඳහා කැඳවූයේ කඩුල්ලක් ලබාගැනීමේ අරමුණ ඇතිව යි. දඟ පන්දු යවන්නන්ගේ ආගමනයත් සමගම කොදෙව්වන්ගේ ලකුණු ලබාගැනීමේ වේගයෙහි යම් අඩුවීමක් දක්නට ලැබුණත්, කඩුල්ල්ලක් දවාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එම නිසාම පන්දුවාර 26ක් අවසන් වන විට කොදෙව් ලකුණු පුවරුව සටහන් වුණේ 128/0 ලෙස යි.

බ්‍රයන් ලාරා (gettyimages)

ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වෙයි 

ලාරා සහ හේන්ස් අර්ධ ශතක ලබාගෙන ඉතාමත් විශ්වාසයෙන් පන්දුවට පහරදෙමින් සිටි එම අවස්ථාවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සටන්කාමී අයුරින් පන්දු යවනු ලැබුවා. එම නිසාම හේන්ස් සහ ලාරා ඉක්මනින්ම දැවීගියේ අනුරසිරි සහ ජයසූරිය යැවූ පන්දු හමුවේ යි. නොසිතූ මොහොතක කඩුලු 2ක් බිඳවැටීමෙන් පසුව පිටියේ එක් වුණේ සිමන්ස් සහ අතර්ටන් යන පිතිකරුවන් දෙදෙනා යි. ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 19කට සීමා කළ කල්පගේ සිමන්ස්ව ලකුණු 10කට දවාගත්තේ කොදෙව් ලකුණු පුවරුව 155/3 බවට පත් කරමින්.

දොන් අනුරසිරි (gettyimages)

කොදෙව්වන් වැඩි ලකුණු ප්‍රමාණයකට යෑමේ සූදානමක්

සිමන්ස්ගේ නික්ම යාමෙන් පසුව පිටියට පිවිසුණු නායක රිචඩ්සන් අනිත් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි අතර්ටන් සමග එක්ව ඉක්මනින් ලකුණු රැස් කිරීමට උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස කොදෙව් ලකුණු පුවරුව 184/3 බවට පත් වුණේ යළි පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට දෝලනය වෙමින්. ඒ වන විට කඩුලු අතැතිව සිටි කොදෙව් පිතිකරුවන්ගේ සැලසුම වුණේ හැකි තරම් වේගයෙන් ලකුණු ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක් ලබාදීමට යි.

කල්පගේ කොදෙව් බලාපොරොත්තු සුන් කරයි 

එලෙස කොදෙව්වන් දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට සිහින මැව්වත් එම සිහිනය බොඳ වීම ආරම්භ වුණේ කල්පගේ එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා රිචඩ්සන් දැවීයාමත් සමග යි. ඉන් අනතුරුව පිටියට පිවිසි හූපර්ටත් වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩ ලබානොදුන් කල්පගේ, ඔහුගේ කඩුල්ල ලකුණු 4කට දවාගත්තේ කොදෙව් ලකුණු පුවරුව 194/5 බවට පත් කරමින්. තීරණාත්මක අවස්ථාවක කඩුලු 2ක් බිඳවැටීමෙන් පසුව පිටියට පිවිසි කමින්ස් ලකුණු 1කට දුවද්දී දැවීයාමෙන් අසරණ වුණු කොදෙව්වන් කබලෙන් ලිපට වැටුණේ ජිමී ඇඩම්ස් පළමු පන්දුවෙන්ම දැවීගිය නිසා යි. ඒ අනුව 184/3 ලෙස ස්ථාවරව පැවති කොදෙව් ඉනිම කල්පගේ විසින් සිදුකළ මනරම් පන්දු යැවීම ඉදිරියේ 195/7 දක්වා පසුබැසීමකට ලක් වුණා.

රුවන් කල්පගේ (gettyimages)

ශ්‍රී ලංකාවට ලකුණු 230ක ජයග්‍රාහී ඉලක්කයක්

අවශ්‍යම අවස්ථාවක කොදෙව්වන්ගේ කඩුලු ඉක්මනින්ම බිඳවැටුණත් සිය අන්තය ආරක්ෂා කරගත් අතර්ටන්, පන්දු 60කින් නොදැවී ලබාගත් ලකුණු 50 නිසා නියමිත පන්දුවාර 49 අවසානයේ දී කොදෙව් ලකුණු පුවරුව 229/8 ලෙසින් සටහන් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබුණු ලකුණු 230ක ජයග්‍රාහී ඉලක්කය එතරම් පහසු එකක් නොවුණේ රාත්‍රී කාලයේ දී ඇම්බ්‍රෝස් සහ වොල්ෂ්ට එරෙහිව පන්දුවට පහරදීමට තිබුණු අපහසුකම නිසා යි. එම නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තරගයේ ජයග්‍රහණය පිළිබඳව දෙගිඩියාවෙන් පසු වුණා.

කීත් අතර්ටන් (gettyimages)

ශ්‍රී ලංකාවෙන් අසාර්ථක ආරම්භයක් 

ලකුණු 230ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ මහානාම සහ ජයසූරිය යන පිතිකරු යුගලය යි. නමුත්, ඔවුන් දෙදෙනාට කොදෙව් වේගපන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එම නිසාම ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 40ක් එකතු වන විට ජයසූරියට සහ මහානාමට ක්‍රීඩාගාරය වෙත යාමට සිදුවුණේ තරගයේ වැඩි වාසිය කොදෙව්වන්ට හිමිකර දෙමින්.

තරගය කොදෙව්වන්ගෙන් ගිලිහී යයි 

ආරම්භක පිතිකරු යුගලය වේලාසනින්ම නික්ම යාමෙන් පසුව පිටියේ එකතු වුණු අරවින්ද සහ හෂාන්, ඉතාමත් සුපරීක්ෂාකාරීව පන්දුවට පහරදෙමින් හොඳ සබඳතාවයක් ගොඩනැගීම සඳහා අඩිතාලමක් දැමුවා. ඒ අනුව ඔවුන් යුගලය ගොඩනැගූ ලකුණු 80ක අගනා සබඳතාවය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 120/2 ලෙසින් දිස් වුණේ තරගය දෙපිලටම විවෘත කරමින්. නමුත් එම අවස්ථාවේ දී හෂාන් ලකුණු 26කට දැවීගියත්, අර්ජුණ සහ අරවින්ද එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 180/3 බවට පත් කළේ තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකර දෙමින්.

අර්ජුණ සහ අරවින්ද (gettyimages)

කමින්ස් තරගය කණපිට හරවයි 

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 180/3 ලෙසින් ස්ථාවරව පැවති අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඇන්ඩර්සන් කමින්ස්, අරවින්දව ලකුණු 51කට දවාගනු ලැබුවා. ඉන් නොනැවතුණු කමින්ස්, නැවතත් ක්‍රියාත්මක වෙමින් කල්පගේ සහ කළුවිතාරණ යන පිතිකරුවන්ගේ කඩුලු දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 189/6 බවට පත් කරමින්. නොසිතූ මොහොතක සිදුවුණු එම බිඳවැටීමෙන් පසුව පිටියට පිවිසි හේමන්ත වික්‍රමරත්නටත් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට හැකි වුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රමයෙන් 208/7 දක්වා පහත වැටුණේ කොදෙව්වන් යළි තරගයට අවතීර්ණ කරමින්.

ඇන්ඩර්සන් කමින්ස් (gettyimages)

අර්ජුණගේ සටන්කාමී ඉනිම ශ්‍රී ලංකා ජය තහවුරු කරයි 

එක් අන්තයකින් කඩුලු බිඳවැටෙන විට නොසැලෙමින් කඩුල්ලේ රැඳී සිටි අර්ජුණ, නව පිතිකරු දුලිප් ලියනගේ සමග එක්ව සිය සටන ඉදිරියට රැගෙන ගියා. එම නිසාම පන්දුවාර 47ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වුණේ 217/7 ලෙස යි. එලෙස තරගය තියුණු මුහුණුවරකට හැරී තිබුණු අවස්ථාවක 48 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා කැඳවනු ලැබුවේ කර්ට්ලි ඇම්බ්‍රෝස් නම් සුපිරි පන්දු යවන්නා යි.  එදා ඇම්බ්‍රෝස්ව තඹ දොයිතුවකට මායිම් නොකළ අර්ජුණ සහ දුලිප්, ඔහුගේ පන්දුවාරයට ලකුණු 12ක් ලබාගත්තේ තරගයේ ලකුණු සම කරමින්. ඉන් අනතුරුව ක්‍රියාත්මක වුණු අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේ දී ජයග්‍රහණය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට යොමු කළේ නායක අර්ජුණ රණතුංග යි. එහි දී මනරම් ඉනිමක් ක්‍රීඩා කළ අර්ජුණ, නොදැවී ලකුණු 66ක් ලබාගත්තේ පන්දු 78කට මුහුණදෙමින්. එදා ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගත්තේ කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ දෙවනි එක්දින තරග ජයග්‍රහණය යි. එසේම එය ලක්බිමේ දී කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ මුල්ම එක්දින තරග ජයග්‍රහණය ලෙසින් ඉතිහාසගත වුණු බවත් අවසන් වශයෙන් සිහිපත් කළ යුතු යි.

කෙටි ලකුණු පුවරුව 

බටහිර ඉන්දීය කොදෙව්- 229/8 (49), (ලාරා- 65, හේන්ස්- 51, අතර්ටන්- 50*, කල්පගේ- 45/4)

ශ්‍රී ලංකාව- 230/7 (48.1), (අර්ජුණ- 66*, අරවින්ද- 51, හෂාන්- 26, කමින්ස්- 33/4)

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්. 

තරගයේ වීරයා- අර්ජුණ රණතුංග 

කවරයේ ඡායාරූපය- අර්ජුණ රණතුංග (gettyimages)

Related Articles