Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර IPL ක්‍රිකට් වෙන්දේසියේ වැඩි අවධානයක් යොමු වන ක්‍රීඩකයන්

සෑම වසරකම ඉන්දීයානු ප්‍රිමියර් ලීගය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන අතර සමහර වර්ෂ වලදී එම ක්‍රීඩක වෙන්දේසිය වඩාත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. 2008 වසරේ පැවති ප්‍රථම ක්‍රීඩක වෙන්දේසියෙන් අනතුරුව 2011, 2014 වසර වලදී පැවැත් වූ ක්‍රීඩක වෙන්දේසි වඩාත් උණුසුම් මුහුණුවරක් ගන්නා ලදී. එවැනි උණුසුම් ක්‍රීඩක වෙන්දේසියක් මෙවරත් පැවැත්වෙන අතර මෙවර ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ ජනවාරි 27, 28 යන දින දෙකේදී ය. ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති අතර ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ බැංගලෝර් හීදී ය.

පසුගිය වර ඒ ඒ කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයින් තිදෙනෙකු දක්වා මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර සිය කණ්ඩායම්වල රඳවා තබා ගැනීමට සියලුම කණ්ඩායම් වලට අවස්තාව ලැබුණි. ඒ අනුව වෙන්දේසියට ඉදිරිපත් නොකර කණ්ඩායම්වල තබාගත් ක්‍රීඩකයින් හැර වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන ක්‍රීඩකයින් අතුරින් ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම ඉල්ලුමක් පවතින, වැඩිම මුදලකට වෙන්දේසි වේ යැයි සැලකිය හැකි ක්‍රීඩකයින් 20 දෙනෙකු පිළිබඳව අපි මෙහිදී කතා කරමු. මෙතෙක් ඉන්දීය කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයින්, ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සහ විදෙස් ක්‍රීඩකයින් යන සියලුම අංශ නියෝජනය වන පරිදි ක්‍රීඩකයින් 20 දෙනෙකු අප විසින් තෝරාගත් අතර උණුසුම් ක්‍රීඩක වෙන්දේසියේදී වඩාත් උණුසුම් මුහුණුවරකින් වෙන්දේසි වනු ඇතැයි අනුමාන කළ හැකි එම ක්‍රීඩකයින් 20 දෙනා පිළිබඳව දැන් අපි විමසා බලමු.

  1. වොෂින්ටන් සුන්දර්

BCCI

තවමත් 18 හැවිරිදි ඉන්දීය දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සුන්දර් මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම මුදලකට වෙන්දේසි වනු ඇතැයි අපේක්ෂා කළ හැක. පසුගිය IPL තරඟාවලියේදී රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම නියෝජනය කළ සුන්දර් එහිදී තරඟ 11 ක් තුළ කඩුලු 8ක් බිඳහෙලීමට සමත් විය. අබාධ හේතුවෙන්  රවිචන්ද්‍රන් අශ්වින්ට  පසුගිය වසරේ දී පූනේ කණ්ඩායම වෙනුවෙන් එකදු තරඟයක් හෝ ක්‍රීඩාකළ නොහැකි වූ අතර පූනේ කණ්ඩායම අවසාන මහා තරඟය දක්වා රැගෙන ඒමට සුන්දර් විශාල දායකත්වයක් දක්වන ලදී.

  1. ග්ලේන් මැක්ස්වෙල්

2013 වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වූ ඕස්ට්‍රේලියාවේ ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් මේ වන විට IPL හි තරඟ 57 කදී ලකුණු 1228 ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වන්නේ 164.39ක් වැනි විශාල අගයකි. පසුගිය වසරේ දී කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම නායකත්වය දැරූ මැක්ස්වෙල් එහිදී තරඟ 14 ක් තුලදී ලකුණු 310 රැස් කිරීමට සමත් වූ අතර කඩුලු 7ක් බිඳහෙලීමට ද සමත් විය.

  1. මනීෂ් පාන්ඩේ

BCCI

ඉන්දීය ප්‍රිමියර් ලීගයෙහි ඉන්දීය ක්‍රීඩකයෙකු විසින් වාර්තා කල පළමු ශතකයට හිමිකම් කියන 28 හැවිරිදි මනීෂ් පාන්ඩේ පසුගිය වසර කිහිපයේ දී නියෝජනය කළේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි. IPL තරඟ 103 කදී ලකුණු 2215 ක් ලබාගැනීමට පාන්ඩේ සමත්ව ඇති අතර මේ වනවිට ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායම්වල නිත්‍ය සාමාජිකයෙකු බවට පත්වෙමින් පවතී.

  1. මිචෙල් ස්ටාර්ක්

Cricket Australia

ඕස්ට්‍රේලියාවේ නිත්‍ය ආරම්භක පන්දු යවන්නා වන මිචෙල් ස්ටාර්ක් මේ දක්වා ක්‍රීඩා කර තිබෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් දෙකක් සඳහා පමණි. ඒ 2014 සහ 2015 වසර වලදී ය. එම වසර දෙකේදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ස්ටාර්ක් තරඟ 27 ක් තුළ කඩුලු 34 ක් ලබාගෙන ඇත. ඔහුගේ පන්දුවාරයට ලබාදී තිබෙන දළ ලකුණු ප්‍රමාණය වන්නේ 7.16 ක් වන අතර එය වේග පන්දු යවන්නෙකුට ඉතාමත් හිතකර අගයකි.

  1. කෘනාල් පාන්ඩියා

තවමත් ඉන්දීය ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් හිමිකරගෙන නොමැති තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩියා 2016 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරයි. හර්දික් පාන්ඩියාගේ වැඩිමහල් සොහොයුරා වන කෘනාල් මේ දක්වා IPL තරඟ 25 කදී ලකුණු 480 ක් රැස් කරගෙන ඇති අතර කඩුලු 16 ක් දවාගෙන ඇත. මුම්බායි කණ්ඩායම ශූරතාවය හිමිකරගත් පසුගිය වසරේ IPL තරඟාවලියේ අවසාන මහා තරඟයේ වීරයා සම්මානයෙන් ද පුදනු ලැබූ කෘනාල් මෙවර වෙන්දේසියේදී විශාල මුදලකට වෙන්දේසි වනු ඇත.

  1. ශිකර් ධවාන්

2013 වසරේ සිට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන ධවාන් 2014 වසරේ පැවති වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් නොකිරීමට සන්රයිසස් බලධාරීන් කටයුතු කරන ලදී. මේ වන විට ඉන්දීය ජාතික කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවෙකු වී සිටින 32 හැවිරිදි ධවාන් පසුගිය වසර ද්විත්වයේ දීම IPL හි විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් විය. සන්රයිසස් කණ්ඩායම ශූරතාවය හිමිකරගත් 2016 වසරේ දී තරඟ 16 ක් තුළ ලකුණු 501 ක් ද සන්රයිසස් කණ්ඩායම අවසාන කණ්ඩායම් 4 අතරට පැමිණි පසුගිය වසරේ දී තරඟ 17 ක් තුළ ලකුණු 479 ක් ද ලබාගැනීමට ධවාන් සමත් විය.

  1. එවින් ලුවිස්

මෙවර ක්‍රීඩක වෙන්දේසිය 26 හැවිරිදි බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු එවින් ලුවිස්ගේ ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක් වනවාට කිසිඳු සැකයක් නැත. මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යාන්තර තරඟ 14 කදී ශතක 2ක් රැස් කිරීමට ලුවිස් සමත්ව තිබේ. පසුගිය වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ලුවිස් වෙන්දේසි නොවූ ක්‍රීඩක ලැයිස්තුවට එකතු වූ නමුත් මිනිසෙකුගේ දෛවය වසරක් තුළදී කෙතරම් නම් වෙනස් වන්නට හැකිදැයි මෙවර ලුවිස් විසින් ලොවට පෙන්වනු ඇත. සියලුම කණ්ඩායම් වල ප්‍රධානම ඉලක්කයක්ව පවතින ලුවිස් ඉතා ඉහල මුදලකට මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී අළෙවි වනු ඇත.

  1. නිතිෂ් රානා

PTI

පසුගිය දෙවර්ශයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ 24 හැවිරිදි නිතිෂ් රානා ඉතාමත් විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර දෙන්නෙක් ලෙස නම් කළ හැක. පසුගිය වසරේ දී මුම්බායි කණ්ඩායමේ මුල් පෙළ සහ මැද පෙළ පීඩනය සිය කර මතට ගත් මෙම ලාබාළ ක්‍රීඩකයා එහිදී තරඟ 13 ක් තුළ ලකුණු 333 ක් රැස් කිරීමට සමත් විය. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම රානා පිලිබඳ උනන්දුවකින් පසුවන අතර මෙවර වෙන්දේසියේ දී රානා වෙනුවෙන් හොඳ සටනක් අපේක්ෂා කල හැක.

  1. රවිචන්ද්‍රන් අශ්වින්

2009 වසරේ සිට චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක අශ්වින් පසුගිය දෙවර්ෂයේ දී නියෝජනය කරන ලද්දේ පූනේ කණ්ඩායමයි. මේ වනවිට IPL තරඟ 111 කදී කඩුලු 100ක් ලබාගෙන ඇති අශ්වින් 2010 සහ 2011 වසරවල IPL ශූරයින් වූ චෙන්නායි කණ්ඩායම් වල ප්‍රබල සාමාජිකයෙක් විය. 2011 වසරේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවති අවසාන මහා තරඟයේදී ක්‍රිස් ගේල්ගේ වටිනා කඩුල්ලත් සමඟින් ලකුණු 16 ට කඩුලු 3 ක් බිඳ හෙලීමට අශ්වින්ට හැකිවිය. 2014 වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් අශ්වින් ඉදිරිපත් නොකළ අතර මෙවර වෙන්දේසියේදී ඉහලම මුදලකට අශ්වින් වෙන්දේසි වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැක. චෙන්නායි කණ්ඩායම අශ්වින් සිය කණ්ඩායම එකතුකරගැනීමට අදහස් කරගෙන සිටී.

  1. කුල්දීප් යාදව්

BCCI

23 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් පසුගිය දෙවර්ෂයේ දී කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. තවමත් IPL හි වැඩි අවස්තාවක් නොලද යාදව් මේ වන විට තරඟ 15 කදී කඩුලු 18 ක් බිඳහෙලා ඇත. දේශීය තරඟවලදී ඉතා හොඳින් පන්දු යවන යාදව් මේ වන විට සීමිත පන්දුවාර තරඟවලදී ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නෙක් ලෙස කටයුතු කරයි. යාදව් ඉතාමත් හොඳ මුදලකට වෙන්දේසි වනු ඇත.

  1. ඩේවිඩ් මිලර්

2012 වසරේ සිට පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරන 28 හැවිරිදි මිලර් 2014 වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොකළේය. ජාත්‍යාන්තර විස්සයි විස්ස තරඟයකදී වාර්තා වූ වේගවත්ම (සම) ශතකය පසුගිය වර්ෂයේ දී බංගලාදේශයට එරෙහිව රැස් කිරීමට ද මෙම ප්‍රහාරාත්මක පිතිකරුවාට හැකිවිය. පසුගිය වසර දෙකේදී IPL තරඟමාලාවේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට මිලර් අපොහොසත් වූවත් මිලර් ව තමන්ගේ කණ්ඩායමට එකතු කරගැනීම සඳහා බොහෝ කණ්ඩායම් සටන් වදිනු ඇත. මේ දක්වා IPL තරඟ 66 කදී ලකුණු 1563 ක් ලබාගැනීමට මිලර් සමත්ව ඇති අතර එහි සාමාන්‍යය 35.52 ක් සහ ප්‍රහාරාත්මක වේගය 141.44 ක විශාල අගයක තබා ගැනීමට මෙම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා සමත්ව ඇත.

  1. යුස්වේන්ද්‍ර චහාල්

2011 වසරේ සිට 2013 වසර දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු යවන ක්‍රීඩක චහාල් ට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කිරීමට අවස්තාව දුන්නේ එක් තරඟයකට පමණි. ඉන්පසු 2014 වසරේ සිට බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන චහාල් 2015 සහ 2016 යන වසරවල බැංගලෝර් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූයේ ය. මේ වනවිට සීමිත පන්දුවාර තරඟවල ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දු යවන්නා බවට පත්ව සිටින චහාල් මේ දක්වා IPL තරඟ 56 කදී කඩුලු 70 ක් බිඳහෙළා ඇත. ක්‍රීඩකයින් තමන්ගේ කණ්ඩායමේ තබාගැනීමට ලද වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත් බැංගලෝර් කණ්ඩායම චහාල් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙන අතර වෙන්දේසියේ දී ඔවුන්ට ඒ පිළිබඳව පසුතැවීමට සිදුවීම අනිවාර්යය දෙයක් බවට පත්වනු ඇත.

  1. ජොස් බට්ලර්

එංගලන්තයේ කඩුලු රකින ක්‍රීඩක ජෝස් බට්ලර් මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී සියලුම කණ්ඩායම් වල ප්‍රධාන ඉලක්කයක් වනවාට කිසිඳු සැකයක් නැත. පසුගිය වසරේදී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ බට්ලර් එහිදී තරඟ 10 ක් තුළ ලකුණු 272 ක් ලබාගැනීමට සමත් විය. මේ දිනවල හොඳ රිද්මයෙන් සිටින බට්ලර් බිග් බෑෂ් ලීගයේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් සහ එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ඉතා හොඳින් දක්ෂතා දක්වමින් සිටී. 27 හැවිරිදි බට්ලර් 20-20 තරග සඳහා විශේෂඥ ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැක.

  1. කයිරන් පොලාර්ඩ්

BCCI

2010 වසරේ පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් (ෂේන් බොන්ඩ් හා සම මුදලකට) එක් ක්‍රීඩකයෙක් වන 30 හැවිරිදි පොලාර්ඩ් මෑත කාලයේ දී ක්‍රිකට් පිටිය වර්ණවත් කළ, විශාල පහරවල් එල්ල කිරීමට හැකි ක්‍රීඩකයින් කිහිප දෙනාගෙන් එක් ක්‍රීඩකයෙකි. බොහෝ දෙනෙක් මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී පොලාර්ඩ් විශාල මුදලකට වෙන්දේසි නොවේ යැයි අනුමාන කරන නමුත් පොලාර්ඩ් යනු විස්සයි විස්ස ක්‍රීඩාවේ දී ඉතාමත් වටිනා ක්‍රීඩකයෙකි. 2013 වසරේ සිට තමන්ගේ පිතිකරණ රටාව යම් මට්ටමකින් වෙනස් කළ පොලාර්ඩ් එතැන් පටන් මදක් වගකීම් සහිත ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළේය. 2013 වසරේ IPL අවසාන මහා තරඟයේදී තරඟයේ වීරයා වෙමින් මුම්බායි කණ්ඩායමට ප්‍රථම IPL ශූරතාවය දිනා දීමට ද පොලාර්ඩ් මූලිකත්වය ගන්නා ලදී. මැදපෙළ ක්‍රීඩා කරන පොලාර්ඩ් පසුගිය වසරේ දී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් තරඟ 17 කදී ලකුණු 385 ක් ලබාගෙන තිබේ. තරඟ කිහිපයකදීම මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට පොලාර්ඩ්ට හැකිවිය. මැදපෙළ ක්‍රීඩකයෙකුගෙන් මෙයට වඩා කුමක් බලාපොරොත්තු විය හැකිදැයි අසන්නට පැනයක් ඉතිරි වේ. මේ වනවිට IPL තරඟ 123 කදී ලකුණු 2324 ක් ලබාගෙන ඇති පොලාර්ඩ්ගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වන්නේ 146.52 ක් වශයෙනි. පොලාර්ඩ් තරඟ දිනවන්නෙකි. පොලාර්ඩ් ඕනෑම තැනක පන්දු රැකිය හැකි විශ්වාසනීය පන්දු රකින්නෙකි. පොලාර්ඩ් කණ්ඩායමේ උද්‍යෝගය ඉහළ අයුරින් තබාගත හැකි ක්‍රීඩකයෙකි. පොලාර්ඩ් ඉහළම මුදලකට වෙන්දේසි වනු ඇත.

  1. කොලින් මන්රෝ

නවසීලන්තයේ ප්‍රහාරාත්මක පිතිකරු කොලින් මන්රෝ මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී බොහෝ ඉල්ලුමක් පවතින ක්‍රීඩකයෙක් වන බැව් නොඅනුමානයි. මේ වනවිට උපරිම දක්ෂතා අතර සිටින මන්රෝගේ නමින් ජාත්‍යාන්තර විස්සයි විස්ස ශතක 3 ක් ඇති අතර ජාත්‍යාන්තර මට්ටමින් වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකු විස්සයි විස්ස ශතක දෙකකට වඩා රැස් කර නැත. මේ වනවිට 30 හැවිරිදි වියෙහි පසුවන මන්රෝ මේ දක්වා ක්‍රීඩා කර IPL තරඟ 4 ක් පමණක් වූවත් ඉදිරියේ දී ඔහු IPL හි ප්‍රධාන භූමිකාවක් උසුලනු ඇත.

  1. රෂීඩ් ඛාන්

BCCI

පසුගියවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඇෆ්ගනිස්තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට පැවති ඉල්ලුම දැක බොහෝ ක්‍රීඩා ලෝලීන් මවිතයට පත් වූයේ ය. නමුත් ඔහුව මිළදී ගත් සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් සිය උපරිමය ලබාදුන් රෂීඩ් ඛාන් එහිදී තරඟ 14 ක් තුළදී කඩුලු 17 ක් ලබාගැනීමට සමත්විය. මේ දිනවල පැවැත්වෙන බිග් බෑෂ් ලීගයේ දී ඇඩිලේඩ් කණ්ඩායම නියෝජනය කරන මේ 19 හැවිරිදි ක්‍රීඩකයා මේ දක්වා තරඟ 9 කදී කඩුලු 14 ක් බිඳහෙලා ඇත. කෙසේ නමුත් මෙවර සමස්ථ ක්‍රීඩා ලොවම බලාපොරොත්තු වන පරිදි රෂීඩ් ඛාන් ඉහලම මුදලකට අලෙවි වේ දැයි සැකයක් පවතී. එයට හේතුව වන්නේ මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් කොටස් 8 කට වෙන් කර වෙන්දේසි කිරීමට සූදානම් කර තිබෙන අතර රෂීඩ් සිටින්නේ ඉන් 7 වන කාණ්ඩයේ ය. එවිට ඔහුව වෙන්දේසියට සඳහා ඉදිරිපත් කරන්නේ 27 වැනිදා සවස් කාලයේ වන අතර ඒ වන විට සියලුම කණ්ඩායම් පාහේ සිය මුදල් වැඩි වශයෙන් වියදම් කර තිබෙනු ඇත. ඒ කෙසේ වෙතත් රෂීඩ් ඛාන්ගේ වටිනාකම සියලුම කණ්ඩායම් හොඳින් දන්නා බැවින් රෂීඩ් සිය කණ්ඩායම සතු කරගැනීමට සියලුම කණ්ඩායම් උත්සාහ කරනු ඇත.

  1. ක්‍රිස් ගේල්

ක්‍රිස් ගේල් පිළිබඳව අටුවා ටීකා අවශ්‍ය නැත. කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක ක්‍රීඩකයා 2011 වසරේ සිට බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරයි. ගේල් ඊට පෙර නියෝජනය කරන ලද්දේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි. 2011, 2012 යන වසර දෙකේදීම තරඟාවලියේ වැඩිම ලකුණු ලැබූ ගේල් මේ වනවිට IPL තරඟ 101 කදී ලකුණු 3626 ක් රැස් කරගෙන සිටී. ගේල්ගේ ප්‍රහාරාත්මක වේගය දැක්වෙන්නේ 151.20 ක් වශයෙනි. IPL ඉතිහාසයේ ශතක 5ක් හිමි එකම පිතිකරුවා වන්නේත් ගේල් ය. පසුගිය වසර දෙක තුළදී IPL හි වැඩියමක් කිරීමට ගේල් අපොහොසත් වූවද ඕනෑම අවස්තාවක ශතකයක්, අර්ධ ශතකයක් වාර්තා කරමින් තරඟයක් ජයග්‍රහණය කරා ගෙනයෑමට හැකි වර්තමානයේ සිටින ක්‍රීඩකයින් අතොලොස්සකින් එක් ක්‍රීඩකයෙකු වන්නේ ගේල් ය.

  1. ලෝකේශ් රාහුල්

BCCI

2014 වසරේ සිට බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන රාහුල් මේ වනවිට 25 වැනි වියෙහි පසුවෙයි. 2016 වසරේ දී බැංගලෝර් කණ්ඩායමට අවසාන මහා තරඟය කරා යාමට විශාල දායකත්වයක් සැපයූ රාහුල් එම තරඟාවලියේදී තරඟ 14 කදී ලකුණු 397 ක් ලබා ගැනීමට සමත් වූයේ ප්‍රහාරාත්මක වේගය 146.49ක් වශයෙන් සටහන් කරමිනි. මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවෙකු වශයෙන් කටයුතු කරන රාහුල්ගේ නමින් ජාත්‍යාන්තර විස්සයි විස්ස ශතකයක් ද තිබේ. ක්‍රීඩකයින් සිය කණ්ඩායමේ රඳවා ගැනීමට තිබූ අවස්තාව නැවතත් මගහැරී බැංගලෝර් කණ්ඩායමට මෙවර රාහුල් අහිමි වීමට ඉඩ තිබේ.  එසේත් නොමැතිනම් ඔහු වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට සිදුවනු ඇත. මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට වෙන්දේසි වන ක්‍රීඩකයින් 5 දෙනා අතර රාහුල් සිටීමට බොහෝ ඉඩකඩක් ඇති අතර ඉන්දීය රුපියල් කෝටි 10 කට වැඩි මුදලක් නම් රාහුල් වෙනුවෙන් සියලුම කණ්ඩායම වියදම් කිරීමට සැදී පැහැදී සිටින බවනම් පැහැදිලිය.

  1. බෙන් ස්ටෝක්ස්

පසුගියවර ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට වෙන්දේසි වූ ක්‍රීඩකයා වූ ස්ටෝක්ස් වෙනුවෙන් පූනේ කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 14.5 ක ඇති විශාල මුදලක් ගෙවනු ලැබීය. එය සටහන් වන්නේ IPL ඕනෑම ක්‍රීඩක වෙන්දේසියකදී විදේශීය ක්‍රීඩකයෙකු වෙන්දේසි වූ වැඩිම මුදල වශයෙනි. එම මුදලට 100% ක සාධාරණත්වයක් ඉටු කළ ස්ටෝක්ස් පසුගිය වසරේ දී තරඟ 12 කදී ලකුණු 316 ක් කඩුලු 12 ක් ලබාගෙන එම තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්විය. කෙසේවෙතත් පහරදීමක් සම්බන්ධයෙන් ස්ටෝක්ස්ට එරෙහිව එංගලන්තයේ නඩුවක් විභාග වන අතර එම සිද්ධිය නිසා සහ එංගලන්ත කණ්ඩායමට නවසීලන්ත තරඟ සංචාරය සහ පකිස්තානය සමඟ තරඟාවලියක් තිබෙන නිසා ස්ටෝක්ස්ට මෙවර IPL හි තරඟ කිහිපයක් අහිමිවීමේ අවධානමක් ඇති බැවින් ක්‍රීඩක වෙන්දේසියේදී එය ඔහුට බලපාවිදැයි සැකයක් පවතී. නමුත් තවදුරටත් ස්ටෝක්ස් යනු ඉතා වටිනා ක්‍රීඩකයෙකු බැව් සියලුම කණ්ඩායම් අවධාරණය කරගෙන ඇති අතර ඉදිරියේදී ඔහුගෙන් තිබෙන ප්‍රයෝජන සලකා බලා හෝ විශාල මුදලක් සියලුම කණ්ඩායම් ස්ටෝක්ස් වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව අනුමාන කලහැක.

  1. ක්‍රිස් ලින්

වර්තමානයේ සිටින අතිශයින්ම ප්‍රවේගකාරී පිතිකරුවා ලෙසින් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස් ලින් නම් කල හැකි අතර ලෝකයේ පැවැත්වෙන සියලුම විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිවලට පාහේ ක්‍රීඩා කර බොහෝ අත්දැකීම් ලබා තිබෙන ක්‍රීඩකයෙකි. ආබාධ හේතුවෙන් පසුගිය කාලයේ දී ක්‍රීඩා කිරීමට වැඩි අවස්තාවක් නොලද ලින් පසුගිය වර කල්කටා කණ්ඩායම වෙනුවෙන් තරඟ 7 කදී ලකුණු 295ක් රැස් කරනු ලැබුවේ ප්‍රහාරාත්මක වේගය 180.98 අගයක රඳවා ගනිමිනි. වරින්වර මතුවන ආබාධ මෙවර වෙන්දේසියේදී ලීන්ගේ අවාසියට බලපාවිදැයි කිව නොහැකි නමුත් ක්‍රිස් ලින් සිය කණ්ඩායම්වලට එකතු කරගැනීමට සියලුම කණ්ඩායම් පාහේ විශාල කැමැත්තකින් පසුවන බවනම් පැහැදිලි ය. අවම වශයෙන් ලින් ඉන්දීය රුපියල් කෝටි 10 කට වෙන්දේසි වනු ඇත.

මෙම ක්‍රීඩකයින්ට අමතරව දකුණු අප්‍රිකාවේ ක්වීන්ටන් ඩි කොක්, නවසීලන්තයේ මිචෙල් මැක්ලෙනහන්, ඕස්ට්‍රේලියාවේ ඇන්ඩෲ ටයි, පැට් කමින්ස්, ජෝෆ්රා ආචර්, ඉන්දියාවේ මොහොමඩ් ශාමි සහ කරුන් නායර් ද මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයින් ලෙසින් අනුමාන කළහැක.

COVER – IPLT20

Related Articles