Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැංගරු බිමේ වැඩ පෙන්වූ ලාංකීය පිතිකරුවා

1989 වසරේ දෙසැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියානු බිමේ දී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග 2ක් පැවැත්වුණා. එම ටෙස්ට් තරගාවලිය ඕස්ට්‍රේලියානුවන් 1-0ක් ලෙසින් ජයග්‍රහණය කළත් එක්තරා ලාංකීය පිතිකරුවෙකුගෙන් ඔවුන්ට හොඳටම බැටකන්නට සිදුවුණා. ඕස්ට්‍රේලියානුවන්ට පහර පිට පහර එල්ල කළ අරවින්ද නම් සුපිරි පිතිකරුවා තරගාවලිය පුරාවට ලකුණු 314ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වුණා. 

ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබුණු බ්‍රිස්බේන් ටෙස්ට් තරගය නැරඹීමට පර්සි අබේසේකර නම් ලාංකීය ක්‍රීඩා ලෝලියා බ්‍රිස්බේන් නුවර බලා ගියා. තරගයට පෙර දින තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට ගිය පර්සිට දැකගන්නට ලැබුණු දෙයින් ඔහු හොඳටම කෝපයට පත්වුණා. 

පර්සි කෝපයට පත්වීමට හේතු වුණු සිදුවීම 

බ්‍රිස්බේන් ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර එය නැරැඹීම සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට ගිය පර්සිට දක්නට ලැබුණේ දින 5ක ක්‍රිකට් තරගය සඳහා දින 4කට පමණක් ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර තිබුණු බවයි. එසේම රිචී බෙනෝ, ටෝනි ග්‍රේග්, ඉයන් චැපල් වැනි විස්තර විචාරකයන් ද ඊළඟ ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව තිබුණු ටැස්මේනියාවේ හෝබාර්ට් නුවර බලා සිව්ව්න දිනයේ රාත්‍රියේ දීම පිටව යෑමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරගෙන තිබුණා. එලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා කණ්ඩායම හෑල්ලුවට පත්කර තිබෙන ආකාරය දුටු පර්සි ගියේ ශ්‍රී ලංකා නායක අර්ජුණ රණතුංග හමුවීමට යි.

පර්සි අබේසේකර (Twitter)

අර්ජුණ මුල්ම වරට ටෙස්ට් කණ්ඩායම මෙහෙයවයි   

රංජන් මඩුගල්ලේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු මුල්ම ටෙස්ට් තරගය මෙය යි. එනිසා බ්‍රිස්බේන් ටෙස්ට් තරගය අර්ජුණ රණතුංග ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන පළමු ටෙස්ට් තරගය වීමට නියමිතව තිබුණා. නමුත් තරගය ආරම්භ වීමට දින කිහිපයකට පෙර අර්ජුණගේ අතෙහි ආබාධයක් මතු වුණා. එම ආබාධය සඳහා ප්‍රතිකාර කළ ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන් පවසා තිබුණේ සති තුනක් යනතුරු ක්‍රිකට් පිත්තක් ඇල්ලීමෙන් වලකින ලෙස යි. නමුත් අර්ජුණ තුළ තිබුණු ධෛර්යවන්ත ගතිය නිසාම වෛද්‍යවරුන් දැමූ ප්ලාස්ටර් ගලවා දමා ලංකාවෙන් රැගෙන ගිය තෙල් වර්ගයක පිහිටෙන් අත සුවපත් කරගත්තා. ඒ හේතුවෙන් අර්ජුණ බ්‍රිස්බේන් ටෙස්ට් තරගයට සහභාගි වීම සඳහා යහපත් මානසිකත්වයකින් පසු වුණා. 

අර්ජුණ රණතුංග (gettyimages)

පර්සි නායක අර්ජුණගෙන් කළ ඉල්ලීම 

අර්ජුණ ඕස්ට්‍රේලියානුවන් මට්ටු කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින අතරතුර පර්සි ඔහු හමුවට පැමිණියා. ඔහු නායක අර්ජුණට පවසා සිටියේ ටෙස්ට් තරගය සඳහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට ගිය අවස්ථාවේ දී දුටු දේ පිළිබඳව යි. මේ ක්‍රිකට්ලෝලියා නායක අර්ජුණගෙන් ඉල්ලා සිටියේ ඕස්ට්‍රේලියානුවන් දින තුනකින් හෝ හතරකින් තරගය නිමා කිරීමට සූදානමින් සිටින නිසා කෙසේ හෝ තරගය 5 වැනි දිනය දක්වා රැගෙන යන ලෙස යි. අර්ජුණට උපදෙස් දීමෙන් නොනැවතුණු පර්සි, අරවින්ද ද සිල්වා ඇතුළු සෙසු ක්‍රීඩකයන්ව දිරිමත් කරමින් පවසා සිටියේ ලාංකිකයන්ගේ තරම ලෝකයට පෙන්වීමට හොඳම අවස්ථාවක් උදා වී ඇති බව යි. මේ ලාංකික ක්‍රිකට්ලෝලියා කළ දිරිමත් කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බ්‍රිස්බේන් ටෙස්ට් තරගයට අවතීර්ණ වුණේ කැංගරුවන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමේ අදිටනින්.

බ්‍රිස්බේන් ටෙස්ට් තරගය ආරම්භ වෙයි 

1989 දෙසැම්බර් 8 වැනිදා ගැබා පිටියේ දී ආරම්භ වුණු මෙම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් අර්ජුණ මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව කැංගරුවන්ට ලබාදුන්නා. කැංගරු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ඩේවිඩ් බූන්ට සහ මාක් ටේලර්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එනිසා එක් අවස්ථාවක ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 27/2 ලෙසින් දිස්වුණා. නමුත් ඉන් පසුව පිටියේ එක්වුණු නායක ඇලන් බෝඩර් සහ ටොම් මූඩි පළමු දිනය අවසන් වෙද්දී ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 178/2 දක්වා ඉහළ දමා තිබුණා. මූඩි නොදැවී ලකුණු 101ක් ලබාගෙන සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා.

ටොම් මූඩි (gettyimages)

පළමු ඉනිම ලකුණු 367කට සීමාවෙයි 

තරගයේ දෙවන දිනයේ දී ලංකාවේ ග්‍රැහැම් ලැබ්‍රෝයි ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු සුන් කරමින් ප්‍රබල පන්දු යැවීමක නිරත වුණා. එනිසා ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 210/5 දක්වා පල්ලම් බැස්සා. නමුත් එම අවස්ථාවේ දී වගකීමෙන් පන්දුවට පහරදෙමින් ස්ටීව් වෝ ලබාගත් ලකුණු 60 නිසා ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 367දී නිමාව දුටුවා. එදා ඕස්ට්‍රේලියානු ඉනිම බිඳ දමමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ග්‍රැහැම් ලැබ්‍රෝයි ලකුණු 133කට කඩුලු 5ක් දවාගනිද්දී ඔහුට අනගි සහායක් ලබාදුන් අසංක ගුරුසිංහ සහ චම්පක රාමනායක කඩුලු 2 බැගින් ලබාගත්තා.

ග්‍රැහැම් ලැබ්‍රෝයි (gettyimages)

බ්‍රිස්බේන් පිටියේ ගිණිකෙළි සංදර්ශනයක් 

ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණිය හමුවේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවන් අධිෂ්ඨානශීලීව පන්දුවට පහරදුන්නා. එනිසා එක් අවස්ථාවක ශ්‍රී ලංකා ලකුණු පුවරුව 114/2 ලෙසින් දිස්වුණා. ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර වෙමින් පැවති මොහොතක අගනා ලකුණු 43ක් ලබා සිටි ගුරුසිංහ, කාල් රැකමන්ගේ පන්දුවකට ඉයන් හීලි අතට උඩපන්දුවක් ලබාදී දැවීගියා. ඒ සමගම අරවින්ද ද සිල්වා පිටියට පිවිසියා. ඔහු පිටියට පිවිස සුළු මොහොතකින් මර්ව් හියුස් යැවූ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් ලබාදුන්නා. නමුත් හියුස්ට එය රැකගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

ඉන් පසුව බ්‍රිස්බේන් පිටියම සිය අණසකට නතු කරගත් අරවින්ද ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට කිසිදා අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළා. එහි දී ඔහු එල්ල කළ පුල් සහ හුක් පහරවල් අතිශයින්ම දැකුම්කළු වුණා. අරවින්ද නොබියව පන්දුවට පහරදෙද්දී අනිත් අන්තයෙන් කඩුලු බිඳ වැටුණු නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 238/6 බවට පත්වුණා. නමුත් ඒ මොහොතේ දී රවී සහ අරවින්ද අතර ගොඩනැගුණු ලකුණු 144ක අගනා සබඳතාවය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 418ක් ලබාගත්තා.

එදා සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ අරවින්ද ජෙෆ් ලෝසන්, ටෙරී අල්ඩර්මාන්, මර්ව් හියුස් සහ කාල් රැකමන් වැනි වේගපන්දු යවන්නන් හමුවේ හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමගින් අගනා ලකුණු 167ක් ලබාගත්තා. එහි දී ඔහුට අනගි සහායක් ලබාදුන් රවීගේ පිත්තෙන් ලකුණු 56ක් වාර්තා වුණා. ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 418 ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානු බිමේ දී ඔවුන්ට එරෙහිව පළමු ඉනිමේ දී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත් එකම අවස්ථාව ලෙසින් සටහන් වනවා.

5) අරවින්ද ද සිල්වා (gettyimages)

තරගය ජය පරාජයෙන් තොරව නිමාව දකියි 

තරගයේ සිව්වන දිනයේ තේ පානයෙන් පසුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ජය පරාජයෙන් තොරව තරගය නිමාව දකිද්දී කඩුලු 6ක් දැවී ලකුණු 375ක් ලබා සිටියා. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු මාක් ටේලර් ලකුණු 164ක් ලබාගත්තා. එසේම නැවතත් පිත්තෙන් දස්කම් දැක්වූ ස්ටීව් වෝ ලකුණු 57ක් ලබාගත්තා. එදා පර්සිගේ බලාපොරොත්තු ඉටුකරමින් ඕස්ට්‍රේලියානුවන්ට පාඩමක් උගන්වමින් අගනා ලකුණු 167ක් ලබාගෙන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් අරවින්දට තරගයේ වීරයා සම්මානය හිමිවුණා.

මාක් ටේලර් දෙවන ඉනිමේ දී පන්දුවට පහරදෙමින්  (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 367/10, (මූඩි- 106, ස්ටීව් වෝ- 60, බෝඩර්- 54, ලැබ්‍රෝයි- 133/5)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 418/10, (අරවින්ද- 167, රවී- 56, අල්ඩර්මාන්- 81/3, රැකමන්- 88/3)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 375/6, (ටේලර්- 164, ස්ටීව් වෝ- 57, ගුරුසිංහ- 31/2)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා 

තරගයේ වීරයා- අරවින්ද ද සිල්වා 

හෝබාර්ට් ටෙස්ට් තරගය ආරම්භ වෙයි 

තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 16 වැනිදා හෝබාර්ට් නුවර බෙලරීව් ඕවල් පිටියේ දී ආරම්භ වුණා. එය බෙලරීව් ඕවල් පිටියේ පැවති මංගල ටෙස්ට් තරගය ලෙසින් ඉතිහාසගත වුණා. ඒ අනුව එම ක්‍රීඩා පිටිය ටෙස්ට් වරම් ලැබුණු 62 වන ක්‍රීඩා පිටිය ලෙසින් වාර්තා අතරට එක්වුණා. එදා වේගපන්දු යවන්නන්ට උචිත අයුරින් තණතීරුව සකසා තිබුණු නිසා කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා ප්‍රතිවාදීන්ට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළා.

රුමේෂ්ගෙන් අගනා පන්දු යැවීමක් 

සිය පළමු ඉනිම සඳහා විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමේ බලාපොරොත්තුව සහිතව පිටියට පිවිසි මාක් ටේලර් සහ ඩේවිඩ් බූන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක් එකතු කළා. ඕස්ට්‍රේලියානුවන් මෙසේ ලකුණු අතරට පිවිසෙමින් සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු රුමේෂ් රත්නායක ඉක්මනින්ම කඩුලු කිහිපයක් දවාගෙන ඔවුන්ගේ ලකුණු පුවරුව 89/4 බවට පත්කළා. කඩා වැටුණු ඕස්ට්‍රේලියානු ඉනිම යළි ගොඩනැගීමට කිසිදු පිතිකරුවෙකුට හැකියාව ලැබුණේ නැහැ. එනිසා ඕස්ට්‍රේලියානුවන්ට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකිවුණේ ලකුණු 224ක් පමණ යි. එහි දී සුපිරි පන්දු යැවීමක නිරත වුණු රුමේෂ් රත්නායක ලකුණු 66කට කඩුලු 6ක් දවාගත්තා. එය ලාංකීය පන්දු යවන්නෙකු ඕස්ට්‍රේලියානු බිමේ දී ටෙස්ට් ඉනිමක වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

රුමේෂ් රත්නායක (gettyimages)

ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක

පළමු දිනයේ හවස් යාමයේ සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හමුවේ හිස එසවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එනිසා ඔවුන්ගේ මුල් කඩුලු 3ම ලකුණු 18ක් තුළ දැවීගියා. ඒ අනුව පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 27/3 ලෙසින් දිස්වුණා. 

දෙවන දිනයේ උදෑසන පිටියේ එක්වුණු අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම ලකුණු 128ක අගනා සබඳතාවයක් ගොඩනැගුවා. එහි දී වේගවත් ඉනිමක් දියත් කළ අරවින්ද පන්දු 130කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 75ක් ලබාගත්තා. එදා ලකුණු 75ක් ලබා සිටි අරවින්ද දැවීයාමෙන් පසුව මහානාම සහ අර්ජුණ ලකුණු 42ක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 188/4 දක්වා ඔසවා තැබුවා. එනිසා එම අවස්ථාව වන විට තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබුණා.

ඕස්ට්‍රේලියානුවන් තරගය කණපිට හරවයි 

එලෙස 188/4 ලෙසින් ප්‍රබල ස්ථානයක පසුවුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 6ම ලකුණු 28ක් තුළ දැවී ගියා. එහි දී මර්ව් හියුස් සහ පීටර් ස්ලීප් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 216කට සීමා වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට පළමු ඉනිමේ දී ලකුණු 8ක වාසියක් හිමිව තිබුණා. ඉන්පසු සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානුවන් තරගයේ දෙවන දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 25ක් ලබා සිටියා.

හෝබාට් තණතීරුව පළමු දින දෙක තුළ පන්දු යවන්නන්ට විශාල සහායක් ලබාදුන්නා. එනිසා එම දින දෙක තුළ කඩුලු 22ක් බිඳ වැටුණා. නමුත් කිසිවෙකු බලාපොරොත්තු නොවුණු අයුරින් තෙවන දිනයේ තණතීරුව පිතිකරුවන්ට වඩාත් වාසිදායක වුණා. ඉන් උපරිම ප්‍රයෝජනගත් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 387ක් ලබා සිටියා. මාක් ටේලර් ලකුණු 108ක් ලබාගනිද්දී ඇලන් බෝඩර්, ඩීන් ජෝන්ස් සහ ස්ටීව් වෝ අර්ධ ශතක ලබාගත්තා.

ශ්‍රී ලංකාවට ලකුණු 522ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් 

තරගයේ සිව්වන දිනයේ දී වේගයෙන් ලකුණු රැස්කළ ස්ටීව් වෝ සහ ඩීන් ජෝන්ස් නොදැවී ලබාගත් ශතක නිසා ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 513/5 බවට පත්වුණා. වෝ හතරේ පහර 14ක් සමගින් නොදැවී ලකුණු 134ක් ලබාගන්නා විට ජෝන්ස් හතරේ පහර 6ක් සමගින් ලකුණු 118ක් ලබාගත්තා. එලෙස සිය දෙවන ඉනිම සඳහා විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගත් ඕස්ට්‍රේලියානුවන් ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 522ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් ලබාදුන්නා.

තරගයේ සිව්වන දිනයේ දිවා ආහාරයෙන් පැයකට පමණ පසුව ජයග්‍රාහී ඉලක්කය හඹා යාම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 94ක් තුළ දැවීගියා. නමුත් එම අවස්ථාවේ දී පිටියේ එක්වුණු අර්ජුණ සහ අරවින්ද සිව්වන දිනය නිමාවන තුරු පන්දුවට පහරදුන්නා. එම කාල සමය තුළ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 72ක් එකතු කර තිබුණා. ඒ අනුව තරගයේ සිව්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 166ක් ලබාගෙන සිටියා. 

ස්ටීව් වෝ (gettyimages)

ප්‍රබල සටනකින් පසුව තරගය පරාජයට පත්වෙයි 

අවසන් දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 356ක් අවශ්‍යව තිබුණා. එම ලකුණු ප්‍රමාණය ලබාගැනීම සඳහා ඔවුන් සතුව කඩුලු 7ක් තිබුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ අවසන් දිනයේ උදෑසනම ලකුණු 72ක් ලබා සිටි අරවින්ද දැවීගියා. ඉන් පසුව අර්ජුණ සහ හෂාන් ඉක්මනින්ම දැවීයාම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්ත්වය 208/6 ලෙස සටහන් වුණා. ඒ වන විට තරගයේ පාලනය ඕස්ට්‍රේලියානුවන් සතුව තිබුණා.

එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා යමින් සිටි අවස්ථාවේ ප්‍රබල සටනක නිරත වුණු රවී රත්නායක සහ අශෝක ද සිල්වා ලෙහෙසියෙන් පරාජය භාරගැනීමට සූදානම් වුණේ නැහැ. එදා ඔවුන් යුගලය වගකීමෙන් පන්දුවට පහරදෙමින් ගොඩනැගූ ශතක සබඳතාවය නිසා අවසන් දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 324/6 ලෙසින් දිස්වුණා. ඒ වන විට රවී සහ අශෝක අතරේ ලකුණු 116ක වටිනා සබඳතාවයක් ගොඩනැගී තිබුණා. එම විශිෂ්ට සබඳතාවය නිසා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ද යම් පීඩනයකට හසුව තිබුණා. 

ශ්‍රී ලංකා පිතිකරුවන් තරගය පරාජයෙන් බේරාගැනීම සඳහා ප්‍රබල උත්සාහයක නිරත වුණා. නමුත් තේ පානයෙන් පසුව ක්‍රියාත්මක වුණු ග්‍රේග් කැම්බල් සහ මර්ව් හියුස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 4ම ලකුණු 25ක් තුළ දවාගත්තා. දක්ෂ පිති හරඹයක නිරතවුණු රවී ලකුණු 75ක් ද අශෝක ලකුණු 50ක් ද ලබාගෙන තිබුණා. එසේම මර්ව් හියුස් ලකුණු 88කට කඩුලු 5ක් දවාගත්තා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 173ක පරාජයක් ලැබුවත් තරගයේ වීරයා සම්මානය අරවින්දට හිමිවුණා. 

රවී රත්නායක (gettyimages)

තරගාවලියේ වීරයා අරවින්ද 

ටෙස්ට් තරගාවලිය තුළ ඉනිම් 3ක් ක්‍රීඩාකළ අරවින්ද ලකුණු 314ක් ද, එහිදී ශතකයක් සහ අර්ධ ශතක 2ක් ද ලබාගත්තා. එම ලකුණු ප්‍රමාණය ලබාගැනීමේ දී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 104.67ක් ලෙසින් සටහන් වුණා. එසේම ටෙස්ට් තරග 2 දීම තරගයේ වීරයා සම්මානය දිනාගත් අරවින්ද තරගාවලියේ වීරයා සම්මානය ද හිමිකර ගත්තා. 

අරවින්ද ද සිල්වා (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 224/10, (ස්ලීප්- 47, රුමේෂ්- 66)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 216/10, (මහානාම- 85, අරවින්ද- 75, ස්ලීප්- 26/3, හියුස්- 68/3)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 513/5, (ස්ටීව් වෝ- 134*, ජෝන්ස්- 118*, ටේලර්- 108, බෝඩර්- 85)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 348/10, (රවී- 75, අරවින්ද- 72, අශෝක- 50, හියුස්- 88/5, කැම්බල්- 102/3)

ඕස්ට්‍රේලියාවට ලකුණු 173ක ජයක් 

තරගයේ වීරයා- අරවින්ද ද සිල්වා 

තරගාවලියේ වීරයා- අරවින්ද ද සිල්වා 

කවරයේ ඡායාරූපය- අරවින්ද ද සිල්වා 

මූලාශ්‍රයයන්- ලොව දිනූ ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග- සම්පත් බණ්ඩාර

Related Articles