Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2014 පාපන්දු ලෝක කුසලානයේ දී දුටු කොස්ටා රිකා මැජික්!

2014 පාපන්දු ලෝක කුසලානය යනු මෑත කාලීන ව මතක රැසක් ඉතිරි කළ ලෝක කුසලානයක් ලෙස පැවසීම වඩාත් නිවැරදි යි. ඒ අතරට එක් වන සුවිශේෂී ම මතකයක් වන්නේ කොස්ටා රිකා කණ්ඩායම 2014 ලෝක කුසලානය තුළ සිදු කළ සිහින චාරිකාව යි. ඔවුන් 2014 දී ක්‍රීඩා කළ ආකාරය අදටත් ලෝක කුසලාන ඉතිහාසයේ කුඩා කණ්ඩායමක් දැක් වූ හොඳ ම දක්ෂතාවලින් එකක් ලෙසට සැලකෙනවා.

තරඟාවලිය සඳහා සහභාගී වුණ කොස්ටා රිකා කණ්ඩායම
තරඟාවලිය සඳහා සහභාගී වුණ කොස්ටා රිකා කණ්ඩායම – www.thecostaricanews.com

Group Of Death (මරණයේ කාණ්ඩය)

කොස්ටා රිකාව 2014 පාපන්දු ලෝක කුසලානයේ D කාණ්ඩයට අයත් වුණා. එම කාණ්ඩය හැඳින්වුණේ මරණයේ කාණ්ඩය ලෙසට යි. එයට ප්‍රධානත ම හේතුව  අතිශය තරගකාරී කණ්ඩායම් කිහිපයක් ම එම කාණ්ඩයට ඇතුළත් වීම යි. 1930 සහ 1950 පාපන්දු ලෝක ශූරයන් වූ උරුගුවේ, 1934, 1938, 1982 සහ 2006 ලෝක ශූරයන් වූ ඉතාලිය, 1966 ලෝක ශූරයන් වූ එංගලන්තය සහ කොස්ටා රිකාව මෙම කාණ්ඩයට ඇතුළත් වුණා.

තරගාවලිය අරඹන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව උරුගුවේට 7 වන තැනත්, ඉතාලියට 9 වන තැනත් එංගලන්තයට 10 වන තැනත් හිමි ව තිබුණා. කොස්ටා රිකාව ඒ වන විට පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් හි 28 වන ස්ථානයේ රැඳී සිටියා. තරගාවලියට පෙර සිට ම කොස්ටා රිකාවට භයානක ඉරණමක් අත්වනු ඇති බවට විචාරකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් ද මත පළ කළා.

මූලික වටය ඇරඹෙයි

මූලික වටයේ තමන් මුහුණ දුන් පළමු තරගයේ කොස්ටා රිකා කණ්ඩායමට හමුවුණේ ප්‍රබල උරුගුවේ රාජ්‍යය යි. තරගය ආරම්භ වී ගතවන 24 වන විනාඩියෙදී ම ලැබුණ දඬුවම් පහරක් සාර්ථක කර ගත් එඩින්සන් කැවානි උරුගුවේ වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා. පළමු අර්ධය 1-0 ක් ලෙසින් නිමාව දුටුවා.

නමුත් කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයෙන් දෙවන අර්ධයේ දී තරගයට අවතීර්ණ වූ කොස්ටා රිකානුවන් 54 වන විනාඩියේ දී ගෝලයක් රැස් කළේ තරගය 1-1 ක් ලෙසින් සම කරමින්. ගෝලයේ හිමිකරු වූයේ ජොයෙල් කැම්බෙල්. ඉන් විනාඩි 3ක් ඉක්ම යද්දී ඔස්කාර් ඩුවාර්ටේ කොස්ටා රිකා දෙවන ගෝලය ද වාර්තා කළේ උරුගුවේ ක්‍රීඩකයන් සම්පූර්ණයෙන් ම විමතියට පත් කරමින් කිවහොත් නිවැරදි යි.

උරුගුවේ පරාජයට පත් කිරීමේ ප්‍රීතිය
උරුගුවේ පරාජයට පත් කිරීමේ ප්‍රීතිය- www.bleacherreportfootball.com

ඉන් අනතුරුව තරගය නිමා වීමට තවත් විනාඩි 6ක් ඉතිරි ව තිබියදී මාර්කෝ යුරේනා කොස්ටා රිකා තෙවන ගෝලය ද වාර්තා කළා. ලෝක කුසලාන ඉතිහාසයේ දැවැන්ත වෙනසක් සිදු කළ තරගයක් බවට පත් වෙමින් කොස්ටා රිකා – උරුගුවේ තරගය නිමාව දුටුවේ 3-1 ක ජයග්‍රහණයක් කොස්ටා රිකාවට තහවුරු කර දෙමින්.

මූලික වටයේ දෙවන තරගයේ දී ඉතාලිය සමඟින් තරග වැදීමට ඔවුන්ට සිදු වුණා. තම පළමු තරගයේ දී ගෝල 2-1 ක් ලෙසින් එංගලන්තය පරාජය කළ ඉතාලියානුවන් ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතු ව තරඟයට පිවිසියා. තරගයේ 44 වන විනාඩියේ දී තමන් උරුගුවේ සමඟ ලබා ගත් ජයග්‍රහණය අහම්බයක් නොවන බවට පෙන්වූ කොස්ටා රිකා නායක බ්‍රයන් රුයිස් මුල් ම ගෝලය වාර්තා කළා.

ඉන් අනතුරු ව දිගින් දිගට ම ඉතාලි ආක්‍රමණය හමුවේ නොසැලී සිටි කොස්ටා රිකා පසුපෙළ හා දැල් රකින්නා වූ කෙයිලෝර් නවාස් ඔවුන් ජයග්‍රහණය වෙතට රැගෙන ගියේ මූලික වටයේ තවත් තරගයක් ඉතිරි ව තිබියදී ම අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගනිමින්. ඒ වන විට එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවත් වී තිබුණ අතර ම උරුගුවේ සහ ඉතාලිය දෙවන වටයට යාමට දැඩි තරගයක නිරත වී සිටියා. තරගාවලිය ආරම්භයේ මූලික වටයෙන් ඉවත් ව යනු ඇතැයි බලාපොරොත්තු වූ කොස්ටා රිකාව තම දෙවන වටයේ ස්ථානය තහවුරු කර ගෙන තිබුණා.

නායක බ්‍රයන් රුයිස් විසින් ඉතාලියට එරෙහිව ගෝලය වාර්තා කළ අවස්ථාව
නායක බ්‍රයන් රුයිස් විසින් ඉතාලියට එරෙහිව ගෝලය වාර්තා කළ අවස්ථාව – www.eurosports.com

අවසන් 16 දෙනාගේ වටයට පෙර

අවසන් 16 දෙනාගේ වටයට පෙර කොස්ටා රිකාව සහ එංගලන්තය කාණ්ඩ වටයේ අවසන් තරගයට එක් වුණා. ඒ වන විටත් එංගලන්තය ලෝක කුසලාන ගමන නිමා කොට තිබුණ අතර කොස්ටා රිකාව තමන්ගේ ස්ථානය තහවුරු කරගෙන තිබුණා. තරගය 0-0 ක් ලෙසින් සම වී අවසන් වුණේ කොස්ටා රිකාව මූලික වටය අපරාජිත ව නිමා කර ගනිමින්.

අනෙක් අන්තයෙන් ගෝල 1-0 ක් ලෙස ඉතාලිය පරාජයට පත් කළ උරුගුවේ රාජ්‍යය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. එංගලන්තය සහ ඉතාලිය මූලික වටය අවසන් වෙද්දී ම ලෝක කුසලානයෙන් ඉවත් වුණේ පාපන්දු ලෝකය ම මවිතයට පත් කරමින්. එය එංගලන්ත සුපිරි පාපන්දු ක්‍රීඩකයන් වූ වෙයින් රූනි, ස්ටීවන් ජෙරාඩ් ආදී විශිෂ්ටයන් ක්‍රීඩා කළ අවසන් ලෝක කුසලානය ද වුණා.

මූලික වටයේදී විශිෂ්ට දස්කම් දැක්වූ ආරක්ෂක ක්‍රීඩක ඔස්කාර් ඩුවාර්ටේ, ජොයෙල් කැම්බෙල් මෙන්ම දැල් රකින ක්‍රීඩක කෙයිලෝර් නවාස් ද ලෝක කුසලානයේ තරු බවට පත් ව තිබුණා. ඔවුන් සාර්ථකව මෙහෙයවමින් ජයග්‍රහණය තෙක් ගමන් කෙරවූ නායක බ්‍රයන් රුයිස් සහ පුහුණුකරු ලුවිස් පින්ටෝ ද පාපන්දුවේ කතාබහට ලක් වන මාතෘකා ඇති කළා. ඒ වන විට 2014 ලෝක කුසලානයේ කොස්ටා රිකාව වඩාත් ම අවධානය දිනා ගත් කණ්ඩායමක් බවට පත් ව තිබුණා.

කොස්ටා රිකා සුරදූතයා - කෙයිලෝර් නවාස්
කොස්ටා රිකා සුරදූතයා – කෙයිලෝර් නවාස් – www.eurosports.com

ග්‍රීක අභියෝගය හමුවේ අවසන් 16 දෙනාගේ වටයට

2014 වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 12 වන ස්ථානයේ පසු වන ග්‍රීසිය කොස්ටා රිකාවේ මීළඟ අභියෝගය වුණා. මේ කණ්ඩායම් දෙක ම අනපේක්ෂිත දස්කම් දක්වන කණ්ඩායම් දෙකක් වීම නිසා පෙර අනාවැකි පළ වුණේ ඉතාමත් ම අඩු වශයෙන්. තරගාවලිය මෙතැන් පටන් පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වීම නිසා නැවත දෙවන අවස්ථාවක් ලැබීම සිදු වුණේ නෑ.

ග්‍රීක කොස්ටා රිකා තරඟගයේ පළමු අර්ධය නිමාව දුටුවේ 0-0 ක් ලෙසින් සම මට්ටමේ පසුවෙමින්. නැවත වතාවක් තම දෙවන අර්ධයේ ශක්තිය පෙන්වූ කොස්ටා රිකා නායක බ්‍රයන් රුයිස් 52 වන විනාඩියේ දී පළමු ගෝලය වාර්තා කළා. තරගයේ 60 වන විනාඩියේ දී කොස්ටා රිකා පසු පෙළ ක්‍රීඩක ඔස්කාර් ඩුවාර්ටේට රතු කාඩ්පත හිමි වීම නිසා එතැන් පටන් ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදු වුණා.

ග්‍රීසිය හමුවේ නැවත සාර්ථක වුණ නායක බ්‍රයන් රුයිස්
ග්‍රීසිය හමුවේ නැවත සාර්ථක වුණ නායක බ්‍රයන් රුයිස් – www.nytimes.com

ගිලිහී යමින් තිබූ ග්‍රීක බලාපොරොත්තු මල්ඵල ගන්වමින් තරගයේ නිමා වීමට පෙර ලැබෙන අතිරේක මිනිත්තු කිහිපයේ දී ක්‍රියාත්මක වුණ සොක්‍රටීස් පැපස්තතොපලස් ග්‍රීසියට අවශ්‍ය ම ගෝලය ලබා දුන්නා. ඒ අනුව ගෝල 1-1 ක් ලෙසින් සම මට්ටමින් තරගය නිමාව දුටුවා. ඉන් අනතුරුව විනාඩි 30 ක අතිරේක කාලයක් කරා ගමන් කිරීමට තීරණය වුණා.

මේ අතිරේක කාලයේ දී ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් ක්‍රීඩා කළ කොස්ටා රිකා අඩුපාඩුව මනාව අවබෝධ කර ගත් ග්‍රීසිය දිගින් දිගට ම ප්‍රහාරය එල්ල කරමින් සිටියා.  දැල් රකින ක්‍රීඩක කෙයිලෝර් නවාස් පෙන්වූ විශිෂ්ට දක්ෂතා නිසා තරගයේ නියමිත විනාඩි 120 ම නිමාව දුටුවේ 1-1 ලෙස සම තත්ත්වයේ පසු වෙමින්.

අනතුරුව ජයග්‍රාහකයා සොයා යෑමට දඬුවම් පහර වටයකට යාමට විනිසුරු තීරණය කළා. එම දඬුවම් පහර වටයේ දී ෆැනිස් ගීකාස් එල්ල කළ දඬුවම් පහර විශිෂ්ට ලෙස වැලැක්වූ කෙයිලෝර් නවාස් 5-3 ක් ලෙස කොස්ටා රිකා ජයග්‍රහණය තහවුරු කළා. ඒ අනුව ඉතිහාසය නැවත ලියූ කොස්ටා රිකානුවන් මුල් ම වතාවට පාපන්දු ලෝක කුසලානයක අවසන් 8 දෙනාගේ නාම ලේඛනයට තම නම ද ඇතුළත් කර ගත්තා.

ග්‍රීසිය හමුවේ ලබාගත් ජයග්‍රහණය සමරමින්
ග්‍රීසිය හමුවේ ලබාගත් ජයග්‍රහණය සමරමින් – www.besoccer.com

අර්ධ අවසන් පූර්ව වටයට

2014 ලෝක කුසලානයේ පෙරළිකාරයන් බවට පත් ව සිටි කොස්ටා රිකාවේ මීළඟ ප්‍රතිවාදීන් වී සිටියේ නෙදර්ලන්තය යි. 2010 පාපන්දු ලෝක අනුශූරතාව දිනා ගත් මෙන් ද ඒ වන විට ලෝක කුසලානයේ විශිෂ්ට දස්කම් දක්වමින් සිටි නෙදර්ලන්තය සැබැවින් ම අභියෝගයක් වී තිබුණා. නෙදර්ලන්තය මෙම තරගයට ප්‍රථම ස්පාඤ්ඤයට එරෙහි ව 5-1, ඕස්ට්‍රේලියාවට එරෙහි ව 3-2, චිලීයට එරෙහි ව 2-0 සහ මෙක්සිකෝවට එරෙහි ව 2-1 ක් වශයෙන් ජයග්‍රහණ වාර්තා කර ගත්තා.

නෙදර්ලන්තය සහ කොස්ටා රිකාව අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී දිගින් දිගට ම නෙදර්ලන්තය තරගයේ පාලනය ඔවුන් සතු කර ගෙන සිටියා. නෙදර්ලන්තය ගෝලයක් ලබා ගැනීමට ආසන්න වූ සෑම අවස්ථාවක ම පාහේ කෙයිලෝර් නවාස් ගේ අත් ආවරණ එම ගෝල ලබා ගැනීම් ව්‍යර්ථ කළා. මේ නිසා තරගයේ නියමිත විනාඩි 90 නිමාව දුටුවේ 0-0 ලෙසිනු යි.

නැවත වතාවක් අතිරේක කාලය දක්වා තරගය ගමන් කළ අතර ම එහිදී ද ප්‍රතිඵලයේ වෙනසක් සිදු වුණේ නෑ. තරගය අනිවාර්යයෙන් ම දඬුවම් පහර දක්වා ගමන් කරන බව දුටු නෙදර්ලන්ත පුහුණුකරු ලුවිස් වෑන් ගාල් තම අවසන් ක්‍රීඩක හුවමාරුව ලෙසින් එතෙක් දැල් රකින්නා ලෙස කටයුතු කළ ජැස්පර් සිලිසන් ඉවත් කරමින් නව දැල් රකින්නෙක් ලෙස ටිම් කෘල් ආදේශ කිරීමට කටයුතු කළා. එම ආදේශය තරගය සම්පූර්ණයෙන් ම වෙනස් කිරීමට සමත් වුණා.

නෙදර්ලන්තය තරඟය ජයග්‍රහණය කළ මොහොත
නෙදර්ලන්තය තරඟය ජයග්‍රහණය කළ මොහොත- www.chinadaily.com

ඒ ටිම් කෘල් දඬුවම් පහර වටයේදී බ්‍රයන් රුයිස් සහ මයිකල් උමානා එල්ල කළ දඬුවම් පහර දෙක ම වලක්වා දමමින්. මෙවර තරගය සම්පූර්ණයෙන්ම අවසන් මොහොත දක්වා තම කර මතින් රැගෙන ආව ද දඬුවම් පහර වටයේ දී සාර්ථක වීමට නවාස්ට නොහැකි වුණා. මේ නිසා අවසානයේ දී දඬුවම් පහර 4-2 ක පරාජයක් සමග තම සිහින චාරිකාව අවසන් කිරීමට කොස්ටා රිකාවට සිදු වුණා. අර්ධ අවසන් පූර්ව වටය පරාජයට පත් වුවත් තරගය පුරාවට දැක්වූ සුපිරි දස්කම් නිස තරඟයේ වීරයා බවට කෙයිලෝර් නවාස් නම් කළා.

ජාතික විරුවන් බවට පත් වූ ක්‍රීඩකයෝ

අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වූව ද තරගාවලියේ දැක්වූ දක්ෂතා නිසා කොස්ටා රිකා ක්‍රීඩකයන් එරට ජාතික විරුවන් බවට පත් ව සිටියා. ඔවුන් පිළි ගැනීම සඳහා එරට ජනතාව විශේෂ උත්සව රාශියක් ම සූදානම් කර තිබුණේ රට වෙනුවෙන් ක්‍රීඩා කොට ලබා දුන් ගෞරවය නිසාවෙන්.

දහස් ගණනක් වූ ජනතාව තම පාපන්දු විරුවන් පිළි ගැනීමට රැස්ව සිටි ආකාරය
දහස් ගණනක් වූ ජනතාව තම පාපන්දු විරුවන් පිළි ගැනීමට රැස්ව සිටි ආකාරය – www.ticotimes.com

තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ දැල් රකින ක්‍රීඩක කෙයිලෝර් නවාස්ට ස්පාඤ්ඤයේ සුපිරි රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයේ දොරගුළු විවර වූ අතර ම ඔහු එතැන් පටන් වසර ගණනාවක් ලොව අංක 1 දැල් රකින ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කළා. 2022 පාපන්දු ලෝක කුසලානයට ද තම සහභාගීත්වය සටහන් කිරීමට කොස්ටා රිකාව සමත් ව තිබෙන අතර ම ඔවුන් මෙවර E කාණ්ඩයෙන් තරග වදිනවා. ස්පාඤ්ඤය, ජර්මනිය හා ජපානය සමඟින් 2022 පාපන්දු ලෝක කුසලානයේ දී කොස්ටා රිකාව තරග වදිනු ඇති.

කවරයේ ඡායාරූපය - www.costarica.org
 මූලාශ්‍ර:

www.fifa.com

www.theguardian.com

www.bleacherreportfootball.com

Related Articles