Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු IPL තරග බිමේ පෑ හපන්කම්

2022 IPL තරගාවලිය මුම්බායි නුවර වන්කඩේ පිටියේ දී පසුගිය මාර්තු 26 වැනිදා ආරම්භ වුණා. එම තරගාවලියේ මුල් තරග 11 නිමාව දකින විට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. මෙවර IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක් එකතු වුණා. ඔවුන් අතුරින් වනිඳු හසරංග, භානුක රාජපක්ෂ සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් තිදෙනාට මෙවර IPL තරගාවලියේ දී දස්කම් දැක්වීමට අවස්ථාව ලැබුණා.

එහි දී වනිඳු සහ භානුක පෑ දස්කම් පිළිබඳ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමේ තොරතුරුයි මේ.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු වනිඳු හසරංග – probatsman.com

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් IPL පිටිය වර්ණවත් කරයි 

2022 IPL තරගාවලියේ 6 වන තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතර පැවැත්වුණා. DY පටිල් පිටියේ දී පැවති එම තරගයෙන් කඩුලු 3ක ජයක් හිමි කර ගැනීමට බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. එහි දී විශිෂ්ට දඟපන්දු යැවීමක නිරත වුණු වනිඳු හසරංග ලකුණු 20කට කඩුලු 4ක් බිඳ දැමුවා. ඒ අයුරින් දැක්වූ සුපිරි දස්කම් නිසා ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් 2019 වසරෙන් පසුව IPL තරගයක දී දිනාගත් එක ම තරගයේ වීරයා සම්මානය බවට පත්වුණා. 

අවසන් වරට IPL තරගයක තරගයේ වීරයා සම්මානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වුණේ ලසිත් මාලිංග යි. ඔහු 2019 IPL තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 31කට කඩුලු 4ක් බිඳ දමමින් එම සම්මානය දිනා ගත්තා. 

මාලිංග 2019 IPL තරගාවලියේ දී – crichighlightsvidz.com

 

මෙවර IPL තරගාවලියේ දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ නිමා වුණු සතියේ පැවති IPL තරගයක දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව යි. එම ඉනිමේ දී  භානුක  හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින් පන්දු 9 කදී වේගවත් ලකුණු 31ක් ලබා ගත්තා.

එහි දී ඔහු සිවම් මාවිට එරෙහි වහයේ පහර 3ක්  පිට පිට ම එල්ල කිරීම අමතක නොවන සිදුවීමක් වුණා.

භානුකගේ ඉනිමේ අවස්ථාවක් – thesportsrush.com

 

පසුගිය කාලයේ 20/20 පිටියේ දස්කම් දැක්වූ දුෂ්මන්ත චමීර මෙවර IPL තරගාවලියේ දී ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරනවා. පසුගිය සතියේ දී ලක්නව් සුපර්ජයන්ට්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් අතර පැවති තරගයේ දී චමීර සිය මංගල IPL තරගය සඳහා සහභාගි වුණා.

එම තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු චමීර පන්දුවාර 3ක් යවමින් ලකුණු 22ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 2ක් බිඳ දැමුවා. එහි දී චමීරගේ පන්දු හමුවේ ශුබ්මන් ගිල් සහ විජේ ශංකර් යන පිතිකරුවන් දැවී ගියා. 

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන චමීර – sportscafe.com

 

IPL තරග බිමෙන් වාර්තා වුණු විශේෂ පුවත් 

2022 IPL තරගාවලියේ 7 වන තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ ලක්නව් සුපර්ජයන්ට්ස් යන කණ්ඩායම් අතර ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී චෙන්නායි ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ  IPL තරග ඉතිහාසයේ වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙසින් නව වාර්තාවක් බිහි කළා.

ඒ තරග 153කට සහභාගි වී කඩුලු 171ක් බිඳ දමමින්. එම වාර්තාවේ පෙර හිමිකරුවා වුණු  ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග තරග 122කට සහභාගි වී කඩුලු 170ක් බිඳ දමා තිබුණා.

බ්‍රාවෝ වාර්තාව බිඳ දැමූ අවස්ථාව – hindustannewshub.com

 

ගෙවුණු සතියේ පැවති IPL තරගවල දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ජෝස් බට්ලර් අගනා ශතකයක් වාර්තා කළා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව යි. එම ඉනිමේ දී ඔහු හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් පන්දු 63කින් ලකුණු 100ක් ලබා ගත්තා.

එය ඔහුගේ දෙවන IPL ශතකය ලෙසින් සටහන් වුණා. 

බට්ලර් ශතකය වාර්තා කළ මොහොත – crictracker.com

 

2022 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක ශූරතාව ඕස්ට්‍රේලියාවට 

2022 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගය එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රයිස්චර්ච් හි දී  ඊයේ දිනයේ පැවැත්වුණා. එම තරගයෙන් ලකුණු 71ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත් ඕස්ට්‍රේලියාව අපරාජිතව මෙවර කාන්තා එක්දින ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කළා. යම් රටක් අවසන් වරට අපරාජිත ව කාන්තා එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළේ 2000 වසරේ දී යි.

එදා එම දස්කම දැක්වීමට සමත් වුණේත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. මෙවර දිනා ගත් ශූරතාවත් සමඟින් ඕස්ට්‍රේලියාව හත් වරක් කාන්තා එක්දින ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගෙන තිබීම විශේෂත්වයක්. ඔවුන් එම දස්කම දැක්වීමට සමත් වුණේ 1978, 1982, 1988, 1997, 2005, 2013 සහ 2022 යන වසරවල දී යි. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ඕස්ට්‍රේලියාව- 356/5 (50), (හීලි- 170, හේන්ස්- 68, මූනි- 62, ෂ්‍රබ්සෝල්- 46/3)

එංගලන්තය- 285/10 (43.4), (සිවර්- 148*, ජොනසන්- 57/3, කිං- 64/3, ෂට්- 42/2)

ඕස්ට්‍රේලියාවට ලකුණු 71ක ජයක් 

තරගයේ වීරයා- ඇලීසා හීලි 

තරගාවලියේ වීරයා- ඇලීසා හීලි 

2022 කාන්තා එක්දින ශූරතාවය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම – dailysabah.com

 

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ඇලීසා හීලි තරග 9ක් තුළ ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 509ක් ලබා ගත්තා.

එහි දී ඇය අවසන් සහ අවසන් පූර්ව තරගවල දී ශතක වාර්තා කිරීම විශේෂ සිදුවීමක් වුණා. කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩිකාව ලෙසින් ඇය ඉතිහාසගත වුණා. 

ඇලීසා හීලි අවසන් තරගයේ දී දස්කම් දක්වමින් – trixabia.com

 

ඒ වාගේ ම ඇය අවසන් තරගයේ දී ලබා ගත් ලකුණු 170 කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් තරගයක දී වාර්තා වුණු ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. ඊට පෙර එම වාර්තාව හිමි ව තිබුණේ 1973 ලෝක කුසලාන අවසන් තරගයේ දී ලකුණු 118ක් ලබා ගත් එංගලන්ත ක්‍රීඩිකා එනිඩ් බේක්වෙල්ට යි.

ඇලීසා හීලි මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ලබා ගත් ලකුණු 509 එදා මෙදාතුර පැවති කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිවල දී යම් ක්‍රීඩිකාවක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. ඊට පෙර එම වාර්තාව හිමි කර ගෙන සිටි නවසීලන්තයේ ඩෙබී හෝක්ලි 1997 ලෝක කුසලාන තරගාවලියේ දී ලකුණු 456ක් ලබා ගත්තා. 

ඩෙබී හෝක්ලි – thecricketmonthly.com

 

2022 පාපන්දු ලෝක කුසලානයේ රටවල් කාණ්ඩ ප්‍රකාශයට 

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් හිදී එළඹෙන නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත යි. ඒ සඳහා සහභාගි වන රටවල් 32 කාණ්ඩවලට බෙදෙන ආකාරය පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එක් එක් කාණ්ඩයට අයත් වන රටවල්  පහතින් දක්වා තිබෙනවා. 

1) A කාණ්ඩය- නෙදර්ලන්තය, සෙනගාලය, ඉක්වදෝරය, කටාර් 

2) B කාණ්ඩය- එංගලන්තය, අමෙරිකාව, ඉරානය, UEFA Path A Winners 

3) C කාණ්ඩය- ආජන්ටිනාව, මෙක්සිකෝව, පෝලන්තය, සෞදි අරාබිය 

4) D කාණ්ඩය- ප්‍රංශය, ඩෙන්මාර්කය, ටියුනීසියාව, AFC-CONMEBOL Winner 

5) E කාණ්ඩය- ස්පාඤ්ඤය, ජර්මනිය, ජපානය, CONCACAF-OFC Winner 

6) F කාණ්ඩය- බෙල්ජියම, ක්‍රොයේෂියාව, කැනඩාව, මොරොක්කෝව

7) G කාණ්ඩය- බ්‍රසීලය, සර්බියාව, ස්විට්සර්ලන්තය, කැමරූන් 

8) H කාණ්ඩය- පෘතුගාලය, උරුගුවේ, ඝානාව, දකුණු කොරියාව 

2022 පාපන්දු ලෝක කුසලානයේ රටවල කාණ්ඩ – twitter.com/FIFAWorldCup

 

පාකිස්තාන – ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය නිමා වෙයි 

තරග 3කින් සමන්විත වුණු පාකිස්තාන-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය ලාහෝර් නුවර ගඩාෆි පිටියේ දී පසුගිය සෙනසුරාදා නිමාවට පත් වුණා. එම තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ සත්කාරක පාකිස්තාන කණ්ඩායම යි.

තරගාවලිය පුරාවට සුපිරි දස්කම් දැක්වූ පාකිස්තාන නායක බාබර් අසාම් ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 276ක් වාර්තා කරමින් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා.

අසාම් දෙවන එක්දින තරගයේ දී ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

 

ඒ අයුරින් නිමාවට පත්වුණු එක්දින තරගාවලියේ තරගවල ප්‍රතිඵල සටහන් වුණේ පහත දක්වා තිබෙන ආකාරයට යි. 

1) පළමු එක්දින තරගය- ඕස්ට්‍රේලියාවට ලකුණු 88ක ජයක් 

ඕස්ට්‍රේලියාව- 313/7 (50)

පාකිස්තානය- 225/10 (45.2)

තරගයේ වීරයා- ට්‍රැවිස් හෙඩ් (ඕස්ට්‍රේලියාව)- 101 (72) සහ 35/2 

2) දෙවන එක්දින තරගය- පාකිස්තානයට කඩුලු 6ක ජයක් 

ඕස්ට්‍රේලියාව- 348/8 (50)

පාකිස්තානය- 349/4 (49)

තරගයේ වීරයා- බාබර් අසාම් (පාකිස්තානය)- 114 (83)

3) තෙවන එක්දින තරගය- පාකිස්තානයට කඩුලු 9ක ජයක් 

ඕස්ට්‍රේලියාව- 210/10 (41.5) 

පාකිස්තානය- 214/1 (37.5) 

තරගයේ වීරයා- බාබර් අසාම් (පාකිස්තානය)- 105* (115)

ජයග්‍රාහී පාකිස්තානු කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය- වනිඳු හසරංග IPL තරගාවලියේ දී දස්කම් දක්වමින් (thesportsrush.com)

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

FIFA.com

Related Articles