Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කලෙක ලෝක පිහිනුම් ශූරයන්ට අභියෝගයක් වුණු ජපන් පිහිනුම් ශූරයා

පිහිනුම් ක්‍රීඩාව යනු ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ක්‍රීඩාවක් වන්නේ එහි ඇති උද්වේගකර බව නිසාම යි. එලෙස ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනා ඇති පිහිනුම් ක්‍රීඩාව තුළින් කලින් කලට පිහිනුම් ශූරයන් බිහිවෙනවා. එලෙස බිහිවුණු ප්‍රසිද්ධ පිහිනුම් ශූරයන් අතුරින් 70 දශකයේ කැපී පෙනෙන තරුවක් වුණු ඇමරිකානු පිහිනුම් ශූර මාක් ස්පිට්ස් මෙන්ම මෑත යුගයේ කැපී පෙනුනු පිහිනුම් තරුවක් වුණු මයිකල් පෙල්ප්ස් විශාල ප්‍රේක්ෂක අකර්ෂණයක් ලබාගත් ක්‍රීඩකයන් බවට පත්වුණා. එහිදී ඔවුන් දෙදෙනාම නිදහස් ආර සහ සමනල ආර ඉසව්වලින් ලෝක පූජිත වුවත් අද අපගේ කතා නායකයා ලෝක පිහිනුම් පිටිය ජයගත්තේ මීටර් 100 සහ 200 ළය ආර ඉසව්වලින්. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ කොසුකි කිටජිමා නම් එම ජපන් පිහිනුම් ශූරයා 2001-2008 අතරේ මීටර් 100 සහ 200 ළය ආර ඉසව්වලින් ලෝක පිහිනුම් ශූරයන්ට අභියෝගයක් වුණු ආකාරය පිළිබඳව තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට යි.

2000 සිඩ්නි  ඔලිම්පික් තරගාවලියේ දී කිටජිමා අසාර්ථක වෙයි

2000 වසරේ සිඩ්නි නුවර පැවති ඔලිම්පික් උලෙළේ දී මුල්ම වරට ජපානය නියෝජනය කරමින් මීටර් 100 සහ 200 ළය ආර ඉසව්වලට ඉදිරිපත් වුණු කිටජිමාට කිසිදු පදක්කමක් දිනාගැනීමට අවස්ථාවක් හිමිවූයේ නැහැ. එහිදී මීටර් 200 ළය ආර ඉසව්වේ දී මූලික වටයෙන්ම ඉවතට විසිවුණු කිටජිමා මීටර් 100 ළය ආර ඉසව්වෙන් අවසන් තරගය සඳහා පිවිසුණත් එහිදී ඔහුට හිමිවූයේ 4වන ස්ථානය යි.

මීටර්100 ළය ආර ඉසව්වේ අවසන් තරගයේදී (gettyimages)

2001 ලෝක පිහිනුම් ශූරතා තරගාවලියේ කිටජිමාට ලෝකඩ පදක්කමක්

2001 වසරේ දී මුල්ම වරට ලෝක පිහිනුම් ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වුණු එවකට 19 හැවිරිදි වියේ පසුවූ කිටජිමා, මීටර් 200 ළය ආර ඉසව්වෙන් එවකට ලෝකයේ සිටි ප්‍රබල පිහිනුම් ශූරයන් සමග ගැටුනා. ඔහු එයින් ලෝකඩ පදක්කම් දිනාගත්තේ ඔහුගේ පිහිනුම් දිවියේ ලබාගත් මුල්ම ලෝක මට්ටමේ පදක්කම් ජයග්‍රහණය ලෙස යි.

මීටර් 200 ළය ආර අවසන් පූර්ව තරගයේ දී කිටජිමා තරග වැදුණු අවස්ථාව (gettyimages)

2002 වසරේ දී කිටජිමාට ජයග්‍රහණ රැසක් හිමිවෙයි

2002 වසරේ දී ජපානයේ යොකොහාමා නුවර පැවති පෑන් පැසිෆික් පිහිනුම් තරගාවලියේ දී ඇමරිකානු පිහිනුම් ශූරයෙකු වුණු බ්‍රෙන්ඩන් හැන්සන්ව පරාජයට පත් කරමින් මීටර් 100 ළය ආර ඉසව්වේ රන් පදක්කම දිනන්නට කිටජිමා සමත් වුණා. අනතුරුව ඔහු කොරියාවේ බූසාන් නුවර පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 සහ 200 ළය ආර ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්තේ ඔහුගේ පිහිනුම් ක්‍රීඩා දිවියේ ස්වර්ණමය යුගය අරඹමින්. ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 ළය ආර ඉසව්වෙන් තරගාවලි වාර්තාවක් පිහිටවූ ඔහු මීටර් 200 ළය ආර ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටවූයේ, 1955 වසරේ මසරු ෆුරුකාවා නම් ජපන් පිහිනුම් ශූරයා මෙම ඉසව්වේ ලෝක වාර්තාවේ හිමිකරු බවට පත්වීමෙන් පසු එම වාර්තාවට උරුමකම් කියූ එකම ජපන් පිහිනුම් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

2002 පෑන් පැසිෆික් පිහිනුම් තරගාවලියේ මීටර් 100 ළය ආර අවසන් තරගයේ දී (gettyimages)
2002 ආසියානු තරගාවලියේදී මීටර් 200 ළය ආර ඉසව්වෙන් ලෝක වාර්තාව පිහිටවූ අවස්ථාව (gettyimages)

කිටජිමාගේ පිහිනුම් දිවියේ ස්වර්ණමය යුගය

2002 වසර අවසන් වනවිට සිය පිහිනුම් දිවියේ ජයග්‍රහණ රැසක් ලබාගත් කොසුකි කිටජිමාගේ පිහිනුම් දිවියේ අමතකම නොවන තරගාවලියක් බවට 2003 වසරේ දී ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවති ලෝක පිහිනුම් ක්‍රීඩා තරගාවලිය යි. ඒ, එහිදී මීටර් 100 සහ 200 ළය ආර ඉසව්වලින් ලෝක පිහිනුම් ශූරයන්ව අභිබවා යමින් නව ලෝක වාර්තා 2ක් පිහිටුවමින් රන් පදක්කම් දිනාගැනීමට කිටජිමාට හැකිවූ නිසා යි. එලෙස ඉතාමත් ඉක්මනින් එම ඉසව් දෙකේම ලෝක ශූරයා බවට පත්වුණු කිටජිමා අනතුරුව 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙල සඳහා තරග වදින විට එම වාර්තා යුගලයම ඔහුගෙන් ගිලිහී තිබුණා. නමුත් ඔහු නැවතත් මීටර් 100 සහ 200 ළය ආර ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්තේ එම ඉසව් ද්විත්වයේම නව ලෝක වාර්තාවල හිමිකරු වුණු ඇමරිකාවේ බ්‍රෙන්ඩන් හැන්සන් අභිබවා යමින්.

2003 ලෝක පිහිනුම් ශූරතාවලියේදී මීටර් 100 ළය ආර ඉසව්වෙන් ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගත් අවස්ථාව (gettyimages)
2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේ දී මීටර් 200 ළය ආර ඉසව්වෙන් කිටජිමාට රන් පදක්කම හිමිවූ මොහොත (gettyimages)

ඇමරිකාවේ බ්‍රෙන්ඩන් හැන්සන් කිටජිමාව අභිබවා යයි

2003 වසරේදී කිටජිමා විසින් ලෝක ශූරතා පිහිනුම් තරගාවලියේ දී පිහිටවූ ලෝක වාර්තා ද්විත්වයම 2004 වසරේ ජූලි මාසයේ දී බිඳ වැටුණේ ඇමරිකානු පිහිනුම් ශූරයෙකු වුණු බ්‍රෙන්ඩන් හැන්සන් අතින්. හැන්සන් එලෙස ලෝක වාර්තා ද්විත්වයම ඔහු සතු කරගත්තත් 2004 වසරේ ඇතන්ස් නුවර දී පැවති ඔලිම්පික් තරගාවලියේ දී එම ඉසව් දෙකෙන් ලබාගත්තේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් වීම විශේෂත්වයක්. නමුත් ඔලිම්පික් උළෙලේදී එලෙස පසුබෑමකට ලක්වුණු හැන්සන් අනතුරුව 2005 වසරේ කැනඩාවේ දී පැවති ලෝක පිහිනුම් ශූරතා තරගාවලියේ දී මීටර් 100 සහ 200 ඉසව් ද්විත්වයෙන්ම රන් පදක්කම් දිනාගන්නා විට කිටජිමාට දිනාගැනීමට හැකිවුණේ මීටර් 100 ළය ආර ඉසව්වේ රිදී පදක්කම පමණකි. අනතුරුව 2006 වසරේ දී කැනඩාවේම පැවති පෑන් ෆැසිපික් පිහිනුම් තරගාවලියේ දී නැවතත් මීටර් 100 සහ 200 ළය ආර ඉසව් ද්විත්වයෙන්ම හැන්සන් රන් පදක්කම් දිනාගන්නා විට කිටජිමාට හිමිවූයේ එම ඉසව්වලින් පිළිවෙලින් ලෝකඩ සහ රිදී පදක්කම් ය.

2005 ලෝක පිහිනුම් ශූරතාවලියේ මීටර් 100 ළය ආර අවසන් තරගයේ දී (gettyimages)

නැවතත් කිටජිමා විශිෂ්ඨයෙකු බවට පත්වෙයි

ඇමරිකානු පිහිනුම් ශූරයෙකු වුණු බ්‍රෙන්ඩන් හැන්සන් හමුවේ තරගාවලි කිහිපයකදීම පරාජය ලද කිටජිමා, 2007 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති පිහිනුම් ලෝක ශූරතා තරගාවලියේ මීටර් 200 සහ 100 ළය ආර ඉසව්වලින් පිළිවෙලින් රන් හා රිදී පදක්කම් දිනාගත්තා. නමුත් ඔහු නැවතත් මීටර් 100 ළය ආර අවසන් තරගයේ දී හැන්සන් හමුවේ පරාජයට පත්වීම සුවිශේෂී කරුණක්. හැන්සන් සතුව තිබුණු මීටර් 200 ළය ආර ඉසව්වේ ලෝක වාර්තාව නැවතත් 2008 වසරේ ජූනි මාසයේ දී බිඳහෙලූ කිටජිමා 2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී නැවතත් රන් පදක්කම් 2ක් දිනාගත්තේ මීටර් 100 ළය ආර ඉසව්වේ ද ලෝක වාර්තාව ඔහු සතු කරගනිමින්.

2008 බීජිංඔලිම්පික් උළෙලේදී මීටර් 100 ළය ආර ඉසව්ව ජයගැනීමේ සතුට සමරමින් (gettyimages)
2008 බීජිංඔලිම්පික් උළෙලේදී මීටර් 200 ළය ආර ඉසව්වේ රන් පදක්කම දිනාගත් අවස්ථාව(gettyimages)

කිටජිමා දස්කම් අතුරින් ගිලිහීම ඇරඹෙයි

එලෙස නැවතත් දස්කම් අතරට පිවිසි කිටජිමා 2010 වසරේ දී ඇමරිකාවේ පැවති පෑන් ෆැසිපික් පිහිනුම් තරගාවලියේ දී නැවතත් මීටර් 100 සහ 200 ළය ආර ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්තේ ඔහු සුපිරි දස්කම් දැක්වූ අවසන් තරගාවලිය ලෙස සටහන් කරමින්. එම තරගාවලියේ එලෙස සුපිරි දස්කම් දැක්වූ කිටජිමා අනතුරුව 2011 වසරේ චීනයේ පැවති ලෝක පිහිනුම් ශූරතා තරගාවලියේ දී මීටර් 200 ළය ආර ඉසව්වෙන්  රිදී පදක්කම දිනාගන්නා විට මීටර් 100 ළය ආර ඉසව්වෙන් ඔහුට හිමිවූයේ සිව්වන ස්ථානය යි. එම අසාර්ථක තරගාවලියෙන් අනතුරුව 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වුණු කිටජිමා එහිදී කිසිදු පදක්කම් දිනාගැනීමට අපොහොසත් වූයේ ඔහුගේ සුපිරි පිහිනුම් දිවියේ නිමාව සටහන් කරමින්

ලෝක පිහිනුම් ශූරයන්ට ඔහු සැබවින්ම අභියෝගයක් වුණා

කිටජිමා 2000 වසරේ සිට 2012 වසර දක්වා ඔලිම්පික් තරගාවලි 4කට, ලෝක ශූරතා පිහිනුම් තරගාවලි 5කට සහ පෑන් ෆැසිපික් පිහිනුම් තරගාවලි 3කට සහභාගි වුණා. ඔහු එම තරගාවලිවල දී රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 4ක්, සහ ලෝකඩ පදක්කම් 2ක් ලබාගත්තේ මීටර් 100 සහ 200 ළය ආර ඉසව්වල දී ලෝක පිහිනුම් ශූරයන්ට සැබවින්ම අභියෝගයක් වෙමින්.

කවරයේ ඡායාරූපය-2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ දී මීටර් 200 ළය ආර රන් පදක්කම සමඟින් (gettyimages)

Related Articles