Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 22කට පෙර ශ්‍රී ලංකාව ඉදිරියේ ඉන්දියානුවන් අසරණ වුණු ටෙස්ට් තරගය

1997 වසරේ මැද භාගයේ දී ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණා. කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති එම තරගාවලියේ පළමු තරගය ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ තරගයක බවට පත්වුණා. කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය සටහන් වුණු එම තරගයේ දී සනත් ජයසූරිය සහ රොෂාන් මහානාමත් වාර්තා පොත් අතර සිය නම් රන් අකුරින් සටහන් කරගත්තා. එදා බිහිවුණු ටෙස්ට් තරග වාර්තා වසර 22ක් පුරාවට බිඳ නොවැටී පවතින නිසාම එම තරගය පිළිබඳව මතකය මෙලෙසින් යළි අවදි කිරීමට සිතුවා. 

සිධූගේ ශතකය පළමු දිනයේ දී ඉන්දීය ඉනිම වර්ණවත් කරයි 

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ඉන්දීය කණ්ඩායම යි. පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලැබී තිබුණු නිසාම ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේ වැඩි ලකුණු ගණනක් ලබාගැනීමේ අරමුණෙන්. ඒ අනුව ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සිධූ සහ මොන්ගියාට වැඩි වේලාවක් එම සබඳතාවය පැවැත්වීමට හැකිවුණේ නැහැ. රවීන්ද්‍ර පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ මහේල අතට උඩපන්දුවක් ලබාදෙමින් මොන්ගියා දැවීයන විට ඉන්දීය ලකුණු පුවරුවේ සටහන් වුණේ ලකුණු 36ක් පමණ යි.

රවීන්ද්‍ර පුෂ්පකුමාර පන්දු යවමින්  (gettyimages)

මොන්ගියාගේ නික්මයාමෙන් පසුව පිටියේ එක්වුණු ඩ්‍රාවිඩ් සහ සිධූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු ගරු සරුවක් නොමැතිව පහරදීමට පටන්ගත්තා. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි ශතකය වාර්තා කළ සිධූ ලකුණු 111ක් ලබා සිටිය දී වාස්ගේ පන්දුවක් හමුවේ දැවීයන විට ඉන්දීය ලකුණු පුවරුව 183/2ක් ලෙසින් දිස්වුණා.

සිධූගේ දැවීයාමෙන් පසුව ඉතාමත් සීරුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 280ක් ලබා සිටියා.

සචීන් සහ අසාරුඩීන් ඉන්දීය කණ්ඩායම ලකුණු 537කට රැගෙන යයි

දෙවන දිනය ආරම්භයේ සිටම අසාරුඩීන් සහ ටෙන්ඩුල්කාර් ඉතාමත් හොඳින් ලකුණු රැස්කළා. ලකුණු 230 දී ආරම්භ වුණු ඔවුන් දෙදෙනාගේ සබඳතාවය බිඳ දැමීමට කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට හැකිවුණේ නැහැ. එම නිසාම ටෙන්ඩුල්කාර් සහ අසාරුඩීන් දෙදෙනාම ශතක ලබාගනිමින් ඉන්දීය ලකුණු පුවරුව 451/3 බවට පත්කළා. ඔවුන් දෙදෙනා එලෙස 4 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 221ක සබඳතාවය ටෙන්ඩුල්කාර් ලකුණු 143කට මුරලිගේ පන්දුවක් හමුවේ දැවීයාමත් සමගම අවසන් වුණා. ටෙන්ඩුල්කාර්ගේ දැවීයාමෙන් පසුව අසාරුඩීන්ගේ කඩුල්ලත් ලකුණු 126කට දවාගත් මුරලි ඉන්දීය ඉනිම 537/8 ලෙසින් අත්හිටුවීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන්නා. 

ටෙන්ඩුල්කාර්ගේ ඉනිමේ අවස්ථාවක්(outlookindia.com)

දෙවන දිනයේ සවස් භාගයේ දී සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 1ක් දැවී ලබා සිටි ලකුණු ප්‍රමාණය 39ක්. එහිදී ටෙස්ට් දිවියේ යැවූ පළමු පන්දුවෙන්ම අතපත්තුගේ කඩුල්ල දවාගැනීමට නිලේෂ් කුල්කර්ණී සමත් වුණා.

කුල්කර්ණිගේ පන්දුවක් හමුවේ අතපත්තු දැවීගිය අවස්ථාව (sportstar 1997 august 23)

ජයසූරිය සහ මහානාම දිනය පුරාම කඩුල්ලේ රැඳී සිටියි 

තෙවන දිනයේ උදෑසනින්ම පිටියේ එකතු වුණු මහානාම සහ ජයසූරිය සීරුවෙන් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමුවේය. ඉන්දීය නායක ටෙන්ඩුල්කාර් සිය පන්දු යවන්නන් උපයෝගී කරගෙන එම සබඳතාවය බිඳ දැමීමට උත්සහ කළත් දිනය නිමාවන තුරුම ඔහුට එය කිරීමට හැකිවුණේ නැහැ. ඒ අනුව තරගයේ තෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 322/1ක් ලෙසින් දිස්වුණා. එහිදී ජයසූරිය නොදැවී ලකුණු 175ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් මහානාම ලකුණු 115ක් ලබා සිටියා.

මහානාම සහ ජයසූරිය ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි 

තරගයේ සිව්වන දිනය ආරම්භ වන විට 322/1 ලෙසින් සටහන් වී තිබුණු ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ඉදිරියට රැගෙන යාමට ජයසූරිය සහ මහානාම සමත් වුණා. එම කාල සමය වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමක වාර්තා වී තිබුණු හොඳම ඉනිමේ හිමිකරු වුණේ අරවින්ද යි. ඔහු 1991 වසරේ දී නවසීලන්තයට එරෙහිව වාර්තා කර තිබුණු එම ලකුණු 267 වාර්තාව බිඳ දැමූ ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් ලබාගත් පළමු පිතිකරුවා බවට පත්වුණා.

ජයසූරිය පන්දුවට පහරදෙමින් (espncricinfo)

ජයසූරිය එලෙස පිත්තෙන් දස්කම් දක්වන විට ඔහුට අනගි සහයක් ලබාදුන් මහානාම දිනය අවසන් වන විට 2 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 548ක සබඳතාවය පවත්වා තිබුණා. එහිදී ජයසූරිය නොදැවී ලකුණු 326ක් ලබාගන්නා විට මහානාම නොදැවී ලකුණු 211ක් ලබා සිටියා. එම අවධිය වන විට ටෙස්ට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වී තිබුණු ඉහළම සබඳතාවය මාටින් ක්‍රෝ සහ ඇන්ඩෘ ජෝන්ස් ශ්‍රී ලංකාවට එරෙහිව 1991 වසරේ පිහිටුවා තිබුණු ලකුණු 467ක සබඳතාවය යි. එදා මේ පිතිකරුවන් දෙදෙනා එම වාර්තාව ඔවුන්ගේ නම් ඉදිරියේ සටහන් කරගත්තේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියමින්.

මහානාම සහ ජයසූරිය වාර්තාව බිඳ දමමින් (sportstar 1997 august 23)

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාවෙන් 

එම කාල සමයේ ටෙස්ට් ඉනිමක පිතිකරුවෙකු ලබාගෙන සිටි වැඩිම ලකුණු ප්‍රමාණය බ්‍රයන් ලාරා 1994 වසරේ දී එංගලන්තය හමුවේ ලබා සිටි ලකුණු 375 යි. එදා සනත් ජයසූරිය එම වාර්තාව අභිබවා යනු ඇතැ යි බොහෝ දෙනෙකු විශ්වාස කළා. නමුත් පස්වන දිනයේ උදෑසනින්ම ලකුණු 576ක සබඳතාවය නිමාකරමින් මහානාම ලකුණු 225කට දැවීයාමත් සමගම ජයසූරියත් ලකුණු 340කට දැවීගියේ ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ගේ නෙතට කඳුලක් එක් කරමින්.

ජයසූරිය දැවීගිය අවස්ථාව (sportstar 1997 august 23)

ජයසූරිය සහ මහානාම දැවීයාමෙන් පසුව වේගයෙන් පන්දුවට පහරදුන් අරවින්ද ලකුණු 126ක් ලබාගත්තේ අර්ජුණ සහ මහේලගෙන් ලැබුණු සහායත් සමගින්.

අරවින්දගේ ඉනිමේ අවස්ථාවක් (sportstar 1997 august 23)

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂ පිතිහරඹය නිසා තරගය ජය පැරදුමෙන් තොරව නිමාවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 952/6 ලෙසින් දිස්වුණා. එම කාල සමය වන විට ටෙස්ට් ඉනිමක කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වුණේ 1938 වසරේ දී ඕස්ට්‍රේලියාව හමුවේ එංගලන්තය ලබාගත් ලකුණු 903යි. එදා ශ්‍රී ලංකා කණ්ඩායමට බිඳ දැමූ එම වාර්තාව අදටත් එලෙසින්ම සුරැකිව පවතිනවා.

එදා ලකුණු පුවරුව දිස්වුණු අයුරු (espncricinfo)

කෙටි ලකුණු පුවරුව 

ඉන්දීය පළමු ඉනිම – 537/8 (167.3)

සචින් ටෙන්ඩුල්කාර් – 143 (247)

මොහොමඩ් අසාරුඩීන් – 126 (199)

නව්ජෝට් සිධූ – 111 (200)

සනත් ජයසූරිය – 45/3 (18)

රවීන්ද්‍ර පුෂ්පකුමාර – 97/2 (19.3)

මුත්තයියා මුරලිදරන් – 174/2 (65)

ශ්‍රී ලංකා පළමු ඉනිම – 952/6 (271)

සනත් ජයසූරිය – 340 (578)

රොෂාන් මහානාම – 225 (561)

අරවින්ද ද සිල්වා – 126 (211)

සව්රව් ගංගුලී – 53/2 (9)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා 

තරගයේ වීරයා – සනත් ජයසූරිය 

කවරයේ ඡායාරූපය - ජයසූරිය දැවීගිය අවස්ථාව  (gettyimages)

Related Articles