Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොදෙව්වන්ට එරෙහිව සිංහයන් ලැබූ මංගල එක්දින ජය

1975 සහ 1979 එක්දින ලෝක කුසලාන තරගාවලි 2ම පිට පිටම ජයග්‍රහණය කරමින් 1983 එක්දින ලෝක කුසලාන තරගාවලියේදීත් අවසන් තරගයට පිවිසෙමින් එක්දින පිටියේ අද්විතීය කණ්ඩායම බවට පත්ව සිටි ක්ලයිව් ලොයිඩ් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, එම අවදියේ එක්දින තරගයක දී පරාජය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් වුණේ නැහැ. එම නිසාම ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් තරග වැදුණු කොදෙව් පිල එක්දින තරගයක දී පරාජය කිරීම ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකට එම අවදියේ දී සිහිනයක් බවට පත්වුණත්, ලොයිඩ් නායකත්වයෙන් නික්ම යාමෙන් පසු කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුක්කානම හිමිවුණු විවියන් රිචඩ්ස්ට ලොයිඩ් පෑ පෙළහැර පෑමට නොහැකි වුණා. නමුත් රිචඩ්ස් කොදෙව් පිලට නායකත්වය දුන් එම අවදියේත් කොදෙව් පිල එක්දින පිටියේ සිටි අභියෝගාත්මක කණ්ඩායමක් බවට පත්ව සිටියත්, එම අවදියේ ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් කල් පෙරුම් පුරමින් සිටි පැතුමක් කොදෙව්වන්ට එරෙහිව සපුරා ගැනීමට සමත් වුණා. ඒ, 1989 වසරේ ඉන්දියාවේ පැවති නේරු කුසලාන තරගාවලියේ දී මුල්ම වරට එක්දින තරගයක දී කොදෙව්වන්ව පරාජය කිරීමට සමත් වීමෙන්. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ එදා රාජ්කොට් නුවර දී පැවති එම අපූරු එක්දින තරගයේ තොරතුරු ඔබවෙත ඉදිරිපත් කිරීමට යි.

කොදෙව්වන් හමුවේ එක්දින තරග 9ක් පරාජය වී සිටි සිංහයන්

1989 වසරේ ඔක්තෝබර් 19 වන දින නේරු කුසලානය සඳහා ඉන්දියාවේ රාජ්කොට්හි දී ශ්‍රී ලංකා-කොදෙව් එක්දින තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර එක්දින තරග 10ක් පවත්වා තිබුණා. ඉන් තරග 9ක්ම කොදෙව්වන් ජයග්‍රහණය කරන විට ඉතිරි තරගය වැස්සට සේදී ගොස් තිබුණා. ඊට අමතරව කොදෙව්වන් එම අවදියේ එක්දින තරගයක කණ්ඩායමක් වාර්තා කර තිබුණු ඉහළම ලකුණු ප්‍රමාණය වුණු 360/4 ශ්‍රී ලංකාව හමුවේ 1987 ලෝක කුසලාන තරගාවලියේ දී වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය කෙළෙසමින්.

මුල්මවරට කොදෙව්වන් සිංහයන් ඉදිරියේ දණ නවයි

කණ්ඩායම් 6ක සහභාගීත්වය යටතේ ඉන්දියාවේදී පැවති නේරු කුසලාන එක්දින තරගාවලියේ 3වන තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන මුලින්ම පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

කොදෙව් ආරම්භය අසාර්ථකයි

ශ්‍රී ලංකා නායක අර්ජුනගේ ආරාධනය අනුව පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරු යුගලය වුණු සිමන්ස් සහ හේන්ස්ට නව පන්දුවෙන් මනා තර්ජනයක් එල්ල කළ රවී රත්නායක ඔව්න් දෙදෙනාට රිසි සේ ලකුණු ලබාගැනීමට අවකාශය දුන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙසින් කොදෙව් ලකුණු පුවරුවේ ලකුණු 20 සටහන් වන විට පීල් සීමන්ස් හා රිචී රිචඩ්සන් යන ප්‍රබලම පිතිකරුවන් දෙදෙනාවම පිළිවෙලින් ලකුණු 7කට හා 5කට ක්‍රීඩාගාරයට යැවීමට ඔහුට හැකිවුණේ කොදෙව්වන්ගේ ආරම්භය අසාර්ථක කරමින්.

රවී රත්නායක (gettyimages)

හේන්ස් සහ රිචඩ්ස් එක්ව  කොදෙව් ඉනිම ගොඩනගයි

ලකුණු 20කට කඩුලු 2ක් දැවීගොස් කොදෙව් කණ්ඩායම අසීරු අඩියක වැටීසිටි අවස්ථාවේ කොදෙව්වන් සතුවුණු  අත්දැකීම් බහුලම පිතිකරු යුගලය වූ විවියන් රිචඩ්ස් හා ඩෙස්මන් හේන්ස් පිටියේ එකතු වුණා. ඉතාමත් කල්පනාකාරීව පිති හැසිරවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔව්න් දෙදෙනා ගොඩනැගූ අගනා ලකුණු 63ක සබඳතාවය නිසා ප්‍රාණවත් වුණු කොදෙව් ඉනිම 83/2 ලෙස ස්ථාවර තත්ත්වයකට පත්වුණේ තරගයේ පාලනය ඔව්න් අතට ගනිමින්.

ඩෙස්මන්ඩ් හේන්ස් (gettyimages)

කොදෙව් කණ්ඩායමේ කඩුලු පෙරහැර ඇරඹෙයි

එලෙස හේන්ස් සහ නායක රිචඩ්ස් අතර ගොඩනැගෙමින් තිබුණු සබඳතාවය එම අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් වුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔව්න් දෙපලට එරෙහිව ආක්‍රමණශීලී ආකාරයෙන් පන්දු යැවූ නිසාම කපිල විජේගුණවර්ධනගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් කොදෙව් නායක රිචඩ්ස් ලකුණු 24කට දැවීගියා. එයින් 83/3 ලෙස පසුබෑමකට ලක්වුණු කොදෙව්වන්ට ඊට සුලු මොහොතකට පසුව දැරිය නොහැකි පාඩුවක් වුණේ එතෙක් වෙලා ඉතා හොදින් පිත්ත හසුරවමින් සිටි ආරම්භක පිතිකරු හේන්ස් ලකුණු 42ක් ලබා සිටිය දී දවා ගැනීමට අරවින්ද ද සිල්වා සමත් වීමෙන්. එලෙස නොසිතූ මොහොතක සිදුවුණු හේන්ස්ගේ නික්ම යාම නිසා 86/4 ලෙස දිස්වුණු කොදෙව් ඉනිම ගොඩනැගීමට ඉන්පසුව බෙස්ට් හා ලොගී පිටියේ එක්වුණත් ඒ මොහොත වන විට ශ්‍රීලංකා දඟ පන්දු යවන්නන් වුණු අශෝක ද සිල්වා හා අරවින්ද ද සිල්වා කොදෙව්වන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැව්වා. එහි ප්‍රතිඵලයක් ලෙස බෙස්ට්ව ලකුණු 6කටත් ඉන්පසු පිටියට පැමිණි ඩූජෝන්ව ලකුණු 4කටත් දවාගැනීමට අශෝක ද සිල්වා සමත් වූයේ කොදෙව් ලකුණු පුවරුව 108/6ක් බවට පත්කරමින්.

අසෝක ද සිල්වා (gettyimages)

ලොගීගෙන් හුදෙකලා සටනක්

කොදෙව් ඉනිම අසීරු අඩියකට වැටී තිබුණු අවස්ථාවේ ඉතාමත් වගකීමෙන් ක්‍රීඩා කළ ලොගී, නවක පිතිකරු වින්ස්ටන් බෙන්ජමින්ව එක් අන්තයක තබාගෙන කොදෙව් ලකුණු පුවරුව 141 දක්වා ඉහළ නැංවූවා. ශ්‍රී ලංකා නායක අර්ජුන නැවත කපිල විජේගුණවර්ධනව පන්දු යැවීමට කැදවූයේ මෙම සබඳතාව කෙසේ හෝ බිද දමන පරමාර්ථය ඇතිවයි. එහිදී සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටුකළ කපිල, බෙන්ජමින්ව ලකුණු 7කට දවාගන්නා විට කොදෙව් ලකුණු පුවරුව 141/7 බවට පත්වුණා. අනතුරුව ඇම්බ්‍රෝස් ලකුණු 2කට අරවින්ද එවූ පන්දුවකට දැවී යන විට බිෂොප් ලකුණු 3කට දුවද්දී දැවීගියේ කොදෙව් ලකුණු පුවරුව 157/9ක් බවට පත්කරමින්. එලෙස නැවතත් කොදෙව් ඉනිම ඉක්මන් කඩා වැටීමකට ලක්වුවත් අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි වොල්ෂ් පන්දු 5ක දී ලකුණු 13ක් ලබාගන්නා අතරතුර ලොගී තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේ පන්දු 73කින් නොදැවී ලකුණු 54ක් ලබා ගනිමින්. එහිදී ලොගී දියත් කළ එම සටන්කාමී ඉනිම නිසාම අවසානයේ කොදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 176ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 177ක ඉලක්කයක් ලබාදෙමින්.

ගස් ලොගී (gettyimages)

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්  අසාර්ථක වෙයි

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි  ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට බෙන්ජමින් සහ බිෂොප් තර්ජනාත්මක අයුරින් පන්දු යැවූ නිසාම ශ්‍රීලංකා මුල් පෙළ පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවලට දැවීගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 45/3ක් බවට පත්කරමින්. එහිදී මහානාම ලකුණු 12කටත්, අරවින්ද 1ක් ලකුණකටත් බෙන්ජමින්ගේ පන්දුවලට ගොදුරු වන විට බ්‍රෙන්ඩන් කුරුප්පු 1ක් ලකුණකට බිෂොප්ට ගොදුරු වුණේ කොදෙව්වන් නැවතත් තරගයට අවතීර්ණ කරමින්. එලෙස ලකුණු 45කට කඩුලු 3ක් දැවීගොස් තිබුණු අවස්ථාවේ පිටියේ එක්වුණු රවී රත්නායක හා අසංක ගුරුසිංහ ලකුණු 35ක සබදතාවක් ගොඩ නගමින් ශ්‍රීලංකා පිලට යම් ජීවයක් ලබා දුන්න ද කොදෙව් නායක රිචඩ්ස් විසින් රවීව ලකුණු 18කට දවා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් අවදානම් අඩියකට දමමින්.

වින්ස්ටන් බෙන්ජමින් (gettyimages)

ගුරුසිංහ සහ අර්ජුගෙන් සැනසිලිදායක සබදතාවක්

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 80/4ක් ලෙසින් සටහන්ව තිබුණු එම අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරා යාමට නම් හොඳ සබඳතාවයක අවශ්‍යතාව තදින්ම දැනුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම වුණු එම සබඳතාවය ගොඩනැගූ ගුරුසිංහ සහ අර්ජුන ලකුණු 66ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ මනසේ ජයග්‍රහණයක් පිළිබඳව සිතුවමක් අදිමින්.

කොදෙව්වන් නැවතත් සටනට පිවිසෙයි

ඉතා විශිෂ්ට අයුරින් ගොඩනැගුණු  එම ලකුණු 66ක සබදතාවය පන්දු 78කින් ලකුණු 34ක් ලබා සිටි අර්ජුනගේ දැවීයමත් සමග නිමාවුව ද ඉන් සෑහීමකට පත් නොවුණු කොදෙව්වන් එතෙක් වෙලා ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටු කරමින් සිටි අසංක ගුරුසිංහ ලකුණු 66කට දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 156/6 බවට පත් කරමින්.

අසංක ගුරුසිංහ (gettyimages)

ශ්‍රී ලංකා  කණ්ඩායමට කඩුලු 4ක ජයක්

ජයග්‍රහණය අබියසටම ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගිය ගුරුසිංහගේ නික්ම යාමෙන් නොසැලුණු හෂාන් තිලකරත්න සහ  අතුල සමරසේකර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.1ක දී ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය ජයග්‍රහණයක් උරුමකර දෙමින්. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අභීත ඉනිමක් ක්‍රීඩාකළ අසංක ගුරුසිංහ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ අතර මෙය ශ්‍රී ලංකා පිල කොදෙව්වන්ට එරෙහිව ලැබූ මුල්ම එක්දින තරග ජය නිසා එම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණා.

කවරයේ ඡායාරූපය-අසංක ගුරුසිංහ (Twitter)

Related Articles