Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1991 නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ අපූරු මතක සටහන්

තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා පිල 1991 වසරේ මුල භාගයේ දී නවසීලන්තය බලා සංචාරය කළා. එම කාල සමය වන විට ඔවුන්ගේ බිමේ දී ඉතාමත් ම ප්‍රබල කණ්ඩායමක් වූ කිවියන් 1979 වසරෙන් පසුව ඔවුන්ගේ බිමේ දී ටෙස්ට් තරගාවලියක් පරාජය වී තිබුණේ නැහැ. එම නිසා ම ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලිය අභියෝගයක් වුවත්, 80 දශකය පුරා ම ශ්‍රී ලංකා පිලට හිසරදයක් වූ නවසීලන්ත සුපිරි  වේගපන්දු යවන්නා වූ රිචඩ් හැඩ්ලි, මෙම වකවානුව වන විට ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටීම ශ්‍රී ලංකා පිලට අස්වැසිල්ලක් වුණා. එම නිසා ම තරගාවලිය පුරාවට ම ශ්‍රී ලංකා පිලෙන් සුපිරි දස්කම් දක්නට ලැබුණු අතර, ඔවුන් අවසානයේ දී ගෞරවාන්විත ව තරගාවලිය අවසන් කළ ආකාරය පිළිබඳ ව අපි මෙම ලිපිය තුළින් කතා කරමු.

වාර්තා රැසක් මැද වෙලිංටන් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමවෙයි

මෙම තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත පිල රුමේෂ් සහ ලැබ්‍රෝයි කඩුලු 4 බැඟින් ලබා ගනිමින් සිදුකළ දක්ෂ පන්දුයැවීම ඉදිරියේ ලකුණු 174කට සීමා වුණා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල අරවින්ද ද සිල්වා හතරේ පහර 40ක් සමගින් ලබාගත් යෝධ ලකුණු 267ත් ඔහුට අනගි සහායක් ලබාදුන් ගුරුසිංහ සහ අර්ජුන පිළිවෙලින් ලබාගත් ලකුණු 70 සහ 50ත් නිසා සියලුදෙනා ම දැවී ලකුණු 497ක් ලබාගත්තා. එහි දී අරවින්ද ලැබූ ලකුණු 267 එම අවධියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමක ලැබූ ඉහළම ලකුණු ප්‍රමාණය වූ අතර, ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 497 ද ශ්‍රී ලංකා පිලක් එම අවධියේ ටෙස්ට් ඉනිමක ලැබූ ඉහළම ලකුණු ප්‍රමාණය වුණා. ශ්‍රී ලංකා පිතිකරුවන් එසේ පිත්තෙන් දස්කම් දක්වන විට නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ඩැනී මොරිසන් කඩුලු 5ක් සහ විලී වොට්සන් කඩුලු 4ක් ලබාගත්තා. ඉන් අනතුරුව ලකුණු 323ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ඇරඹූ නවසීලන්ත පිල වෙනුවෙන් නායක මාටින් ක්‍රෝ සහ ඇන්ඩෘ ජෝන්ස් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 467ක සබඳතාවයක් පැවැත්වූයේ එම අවධියේ ටෙස්ට් ඉනිමක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාවය ගොඩනඟමිනුයි. එහි දී ඇන්ඩෘ ජෝන්ස් ලකුණු 186ක් ලබාගෙන සිටිය දී එම සබඳතාවය නිමා වුණත් තවදුරටත් පන්දුවට පහර එල්ල කළ මාටින් ක්‍රෝ ඉතාමත් අවසනාවන්ත ඉරණමකට ගොදුරු වෙමින් ලකුණු 299කට දැවී ගියා. එදා ක්‍රෝ දැවී යන විට නවසීලන්ත  දෙවන ඉනිම 671/4 ලෙස දිස්වූ අතර, අවසානයේ දී ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවුණේ දෙපිලේ ම පිතිකරු දස්කම් නිසා යි.

ග්‍රැහැම් ලැබ්‍රෝයි (gettyimages)
අරවින්ද ද සිල්වා (gettyimages)
ඩැනී මොරිසන් (gettyimages)
මාටින් ක්‍රෝගේ ඉනිමේ අවස්ථාවක් (DailyNews)

හැමිල්ටන් ටෙස්ට් තරගයත් ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය හැමිල්ටන් හි සෙඩොන් පාක් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණේ එම පිටියේ පැවති මංගල ටෙස්ට් තරගය ලෙසිනුයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන, මුලින්ම පන්දුවට පහරදීමට නවසීලන්ත පිලට ඇරයුම් කළ ද ඇන්ඩෘ ජෝන්ස් ලබාගත් ලකුණු 122 හැරුණුකොට සෙසු පිතිකරුවන්ගෙන් අපේක්ෂිත දස්කම් දක්නට ලැබුණේ නැහැ. එහි දී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් රුමේෂ් රත්නායක දක්ෂ පන්දු යැවීමක නියලෙමින් ලකුණු 77කට කඩුලු 5ක් දවාගැනීම නිසා කිවි පළමු ඉනිම ලකුණු 296කට සීමා වුණා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට ද නවසීලන්ත වේගපන්දු යවන්නන් හමුවේ පහසුවෙන් ලකුණු ලබා ගැනීමට නොහැකි වූ නිසා එක් අවස්ථාවක 83/4 ලෙස අසීරු අඩියක පසුවුවත්  ගුරුසිංහ සහ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ජයසූරිය එක්ව ගොඩනැඟූ වටිනා ලකුණු 83ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර තත්ත්වයකට පත්වුණා. නමුත් ජයසූරිය ලකුණු 35කට දැවී යාමෙන් අනතුරුව එම සබඳතාවය බිඳවැටුණත් ඉන් අනතුරුව ගුරුසිංහ වටිනා ලකුණු 119ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල ලකුණු 253ක් දක්වා රැගෙන ගියා. එම ශතකයට අමතර ව ශ්‍රී ලංකා පළමු ඉනිමේ දක්නට ලැබුණු අනිකුත් සුවිශේෂී කාරණය වූයේ නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩක ඉයන් ස්මිත් උඩපන්දු 7ක් රැකගෙන 1979 වසරේ පකිස්තානු කඩුලු රකින්නෙකු වූ වසීම් බාරි, සහ 1980 වසරේ එංගලන්ත කඩුලු රකින්නෙකු වූ බොබ් ටේලර් තබා තිබූ වාර්තාව සම කිරීම යි. අනතුරුව ලකුණු 43ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹූ නවසීලන්ත ඉනිම, ජෝන් රයිට් සහ ට්‍රෙවෝ ෆ්රෑන්ක්ලීන් පළමු කඩුල්ල සඳහා ගොඩනැඟූ  ලකුණු 161ක දැවැන්ත සබඳතාවය සහ 5 වන කඩුල්ල වෙනුවෙන් ඇන්ඩෘ ජෝන්ස් සහ ශේන් තොම්සන් ගොඩනැඟූ ලකුණු 105ක සබඳතාවය නිසා අලංකාර වූ අතර, ඔවුන් 374/6 ලෙස තිබිය දී අත්හිටවූයේ ශ්‍රී ලංකා පිලට ලකුණු 418ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමින්. එහි දී නවසීලන්ත දෙවන ඉනිම එතරම් ලකුණු ප්‍රමාණයක් කරා යාමට සහාය වූ ජෝන් රයිට් ලකුණු 101ක්, ඇන්ඩෘ ජෝන්ස් නොදැවී ලකුණු 100ක්, ෆ්රෑන්ක්ලීන් ලකුණු 69ක් සහ තොම්සන් ලකුණු 55ක් ලෙසින් ලකුණු ලබාගත්තා. ඉන් අනතුරුව ලකුණු 418ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ චන්දික හතුරුසිංහ සහ චරිත් සේනානායක විශිෂ්ට ආරම්භයක් ලබාදුන්නා. එහි දී චරිත් හතරේ පහර 10ක් සමගින් පන්දු 81ක දී ලබාගත් වේගවත් ලකුණු 64 නිසා අලංකාර වූ එම ආරම්භක සබඳතාවය, ලකුණු 95 දී නිමාවූයේ චරිත් දැවී යාමත් සමග යි. චරිත්ගේ දැවී යාමෙන් පසු සැදෑ රක්ෂක පිතිකරු ලෙස පැමිණි චම්පක සමග දිනය නිමාවන තුරු කඩුල්ලේ රැඳී සිටිමට හතුරුසිංහ සමත් වූ නිසා ශ්‍රී ලංකා පිල ඒ වන විට 109/1 ලෙස ලකුණු ලබා සිටියා. අවසන් දිනයේ දී ශ්‍රී ලංකා පිලට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 309ක් අවශ්‍ය වූ අතර, එම කාර්යය කිරීමට කඩුලු 9ක් ද ඔවුන් සතු වුණා. එම නිසා ම අවසන් දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහරදීමේ ප්‍රතිඵලයක් ලෙස හතුරුසිංහ සහ ගුරුසිංහ තෙවන කඩුල්ලට අගනා ලකුණු 117ක සබඳතාවයක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 238/2 වැනි ප්‍රබල තත්ත්වයකට ගෙන ආවේ නවසීලන්ත පිලට පෙර සිට ම අනතුරු ඇඟවීමක් කරමිනුයි. නමුත් එම අවස්ථාවේ හතුරුසිංහ ලකුණු 81කට දැවී යාමත් සමග ම එක් වූ අරා-ගුරා සුසංයෝගය පළමු ටෙස්ට් තරගයේ දී මෙන්ම කිවියන් අසරණ කරනු ඇතැ යි එදා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ  බලාපොරොත්තුව වුණා. යම් හෙයකින් එදා අරවින්ද ක්‍රියාත්මක වූයේ නම් ටෙස්ට් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිලට අත්වීමට බොහෝදුරට ඉඩ තිබුණා. නමුත් එදා අරවින්ද ලකුණු 6කට දැවී යාමෙන් අනතුරුව අරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කළ ශ්‍රී ලංකා පිල, අවසානයේ දී 344/6 ලෙස ලබා සිටිය දී තරගය ජය පැරදුමෙන් තොරව නිමාවුණත්, ගුරුසිංහ දෙවන ඉනිමේ දීත් ලකුණු 102ක් ලබා ගනිමින් දුලිප් මෙන්ඩිස්ට පසුව ඉනිම් දෙකේ දී ම ශතක ලැබූ ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වුණා..

ඇන්ඩෘ ජෝන්ස් (gettyimages)
රුමේෂ් රත්නායක (gettyimages)
ඉයන් ස්මිත් (gettyimages)
ගුරුසිංහ (gettyimages)

ඕක්ලන්ඩ් ටෙස්ට් තරගයේ දී නැවතත් අරවින්දගෙන් සුපිරි දස්කම්

ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාක් පිටියේ දී පැවති මෙම ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල 380ක් වැනි සෑහීමකට පත් විය හැකි ලකුණු ප්‍රමාණයක් ලබාගත්තේ අරවින්ද ද සිල්වා සහ ග්‍රැහැම් ලැබ්‍රෝයි ක්‍රීඩා කළ වටිනා ඉනිම් 2ක නිසා යි. එහි දී අරවින්ද පන්දු 141කින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 96ක් ලබාගන්නා විට ලැබ්‍රෝයි පන්දු 80ක් තුළ හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 70ක් ලබාගත්තා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ජෝන් රයිට් ලකුණු 84ක් සහ මාක් ග්‍රේට්බැච් ලකුණු 65ක් ලබා ගනිමින් දක්ෂ පිති හරඹයක නියැලුණ ද, නවසීලන්ත පළමු ඉනිම ලකුණු 317කට සීමා වූයේ ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 63ක් පිටුපසින් සිටිමිනුයි. ලකුණු 63ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තෙවන කඩුල්ල සඳහා අරවින්ද සහ හතුරුසිංහ ගොඩනැඟූ අගනා ලකුණු 145ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා පිල 201/2 ලෙස ප්‍රබල තත්ත්වයකට පත්වුණා. නමුත් එම අවස්ථාවේ හතුරුසිංහ ලකුණු 74කට දැවී ගියත්  ඉන් නොසැලුණු අරවින්ද හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමගින් පන්දු 193කින් ලකුණු 123ක් රැස් කළේ ශ්‍රී ලංකා පිල ජය මාවතට යොමු කරමින්. එදා ක්‍රිස් කෙයාන්ස් ලකුණු 75/5කට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකා අවසන් කඩුලු 7 ම ලකුණු 43ක් තුළ දවා ගැනීමට දායකත්වය ලබාදුන් නිසා ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 319කට සීමා වී නවසීලන්තයට ලකුණු 383ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණා. ඉන් අනතුරුව ලකුණු 383ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කිවියන් දිනය නිමාවන විට 18/0 ලෙසින් පසුවුණා. කිවියන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 365ක් අවශ්‍ය ව තිබිය දී ආරම්භ වූ 5 වන දිනයේ දී ක්‍රියාත්මක වූ ග්‍රැහැම් ලැබ්‍රෝයි ඉක්මනින් ම කඩුලු 3ක් දවා ගැනීම නිසා නවසීලන්ත ලකුණු පුවරුව 117/4ක් බවට පත්වුවත්, ඇන්ඩෘ ජෝන්ස් ලබාගත් ලකුණු 73 සහ ෂේන් තොම්සන් ලබාගත් ලකුණු 80 නිසා පරාජයෙන් බේරුණු කිවියන් තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 261ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම්

1983 වසරේ නවසීලන්ත සංචාරයේ දී ටෙස්ට් තරගාවලිය 2-0 ලෙසින් පරාජය වීමෙන් පසුව නැවතත් නවසීලන්තයේ සංචාරය කළ මෙම තරගාවලියේ දී, තරගාවලිය 0-0 ලෙස අවසන් වීම ශ්‍රී ලංකා පිලට විශාල අස්වැසිල්ලක් වූ අතර, එහි දී ශ්‍රී ලංකා පිල තරගාවලියේ වැඩි ගෞරවයක් හිමිකර ගැනීම කැපී පෙනෙන කරුණක් වුණා.

කවරයේ ඡායාරූපය: අරවින්ද (gettyimages)

මූලාශ්‍රය:

ESPNcricinfo

Related Articles