Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණය

මේ දිනවල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා යි. මීට හරියටම වසර 27කට පෙරත් එනම්, 1993 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ එංගලන්ත කණ්ඩායම එදා ක්‍රීඩා කළේ එක් ටෙස්ට් තරගයක් පමණ යි. එලෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජයග්‍රහණය කළේ එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරමින්. 

එංගලන්තය කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදෙයි 

සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඇලෙක්, මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. එහි දී ස්ටුවර්ට්ගේ අරමුණ වුණේ පළමු ඉනිම වෙනුවෙන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට යම් පීඩනයක් එල්ල කිරීම යි. එසේම එංගලන්ත දඟ පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිව්වන ඉනිමේ දී ලකුණු හඹායාටම සිදුවීමත් යම් අභියෝගයක් වුණා. 

එංගලන්තය පළමු දිනය අවසන් වන විට ප්‍රබල තත්ත්වයක 

එංගලන්ත ඉනිම ආරම්භ කරමින් පිටියට අවතීර්ණ වුණු මයික් ඇතර්ටන් සහ රොබින් ස්මිත්, ආරම්භයේ සිටම සීරුවෙන් පන්දුවට පහරදුන්නේ එංගලන්ත කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදීම සඳහා යි. නමුත්, එම බලාපොරොත්තු සුන් කරමින් එංගලන්ත ලකුණු පුවරුවට ලකුණු 40ක් එකතු වන විට ඇතර්ටන් ලකුණු 13කට දැවීගියේ රාමනායක එවූ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන්. ඇතර්ටන්ගේ නික්ම යාමෙන් පසුව පිටියට පිවිසි ගැටිං, ආරම්භක පිතිකරු ස්මිත් සමග එක්ව ඉනිම ගොඩනැගීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණේ ගැටිං ලකුණු 29කට දැවීයාමත් සමග යි. එලෙස එංගලන්ත ලකුණු පුවරුව 82/2 ලෙසින් දිස්වුණු අවස්ථාවේ ස්මිත් සහ හික් ගොඩනැගූ සබඳතාවය නිසා එංගලන්ත ලකුණු පුවරුව 194/2 දක්වා ඉහළ ගියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින්. නමුත්, තේ පානයෙන් පසුව මුරලිදරන් ලකුණු 68ක් ලබා සිටි හික්ව දවාගනු ලැබුවත්, දිනය පුරාවටම ස්මිත්ව දවාගැනීමට කිසිදු පන්දු යවන්නෙකුට හැකියාව ලැබුණේ නැහැ. එම නිසාම දිනය නිමා වන විට එංගලන්ත ඉනිම 245/3 ලෙසින් දිස් වුණේ ස්මිත් නොදැවී ලබා සිටි ලකුණු 91 නිසා යි.

 රොබින් ස්මිත් (gettyimages)

මුරලි සහ වර්ණවීර හමුවේ එංගලන්තය අසරණ වෙයි 

තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 245ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම දෙවන දිනයේ දී තරගය ආරම්භ කළේ විශාල ලකුණු ප්‍රමාණයක් පළමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමේ අරමුණ ඇතිව යි. එහි දී එංගලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවූ ස්මිත් සහ ස්ටුවර්ට් ලකුණු පුවරුව 316/3 දක්වා ඉදිරියට රැගෙන යාමට සමත් වුණා. ඒ වන විට නොදැවී ලකුණු 128ක් ලබා සිටි රොබින් ස්මිත්, සිය රටෙන් පිටත දී මුල්මවරට ටෙස්ට් ශතකයක් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එලෙස එංගලන්ත පිතිකරුවන් ස්ථාවර වෙමින් සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු මුරලිදරන් සහ වර්ණවීර ඔවුන්ගේ අවසන් කඩුලු 7ම ලකුණු 64ක් තුළ දවාගනු ලැබුවා. එහි දී ඔවුන් යුගලය කඩුලු 4 බැගින් දවාගෙන දැක්වූ සුවිශේෂී දස්කම නිසා එංගලන්තයට පළමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකි වුණේ ලකුණු 380ක් පමණ යි. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 1ක් දැවී ලකුණු 140ක් ලබා සිටියේ මහානාම සහ හතුරුසිංහ ලබාගත් අගනා අර්ධ ශතක නිසා යි. 

මුරලිදරන් සහ වර්ණවීර (gettyimages)

කණ්ඩායම් දෙකම කරට කර සටනක 

තරගයේ තෙවන දිනයේ දිවා ආහාරයට පෙර හතුරුසිංහ සහ ගුරුසිංහ දැවී ගිය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 203/3 ලෙසින් සටහන් වුණා. නමුත්, එම අවස්ථාවේ දී පිටියේ එක් වුණු අර්ජුණ සහ අරවින්ද ලකුණු 127ක අගනා සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයකට පත් කරමින්. එදා ශ්‍රී ලංකා පිතිකරුවන් මනරම් අන්දමින් ලකුණු රැස් කරමින් සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු එංගලන්ත පන්දු යවන්නන් ලකුණු 46කට ලබාගත් කඩුලු 5 නිසා තරගය දෙපිලටම විවෘත වුණා. ඒ අනුව දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 408/8 ලෙසින් දිස්වුණේ හෂාන් නොදැවී ලබාගත් සටන්කාමී ලකුණු 51 නිසා යි.

ගුරුසිංහ දැවී ගිය අවස්ථාව (gettyimages)

ශ්‍රී ලංකා දඟ පන්දුව හමුවේ එංගලන්ත පිතිකරුවන් යළි අසාර්ථක වෙයි 

තරගයේ සිව්වන දිනය ආරම්භ සිටම සටන්කාමී පිතිහරඹයක් දියත් කළ හෂාන්, අනිත් අන්තයේ සිටි මුරලිවත් ආරක්ෂා කරගෙන ලකුණු 83ක සබඳතාවයක් ගොඩනැගුවේ ලකුණු පුවරුව 459/8 බවට පත් කරමින්. එම අවස්ථාවේ දී පන්දු 72කින් ලකුණු 19ක් ලබාගෙන සිටි මුරලිදරන් ලුවිස්ගේ පන්දුවක් හමුවේ දැවීයාමෙන් පසුව පිටියට වර්ණවීරත් ඉක්මනින්ම දැවී ගියේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 469කට සීමා කරමින්. එහි දී සිදුවුණු අවාසනාවන්ත සිදුවීම බවට පත් වුණේ පන්දු 208ක් තුළ නොදැවී ලකුණු 93ක් ලබා සිටි හෂාන්ට සිය මංගල ටෙස්ට් ශතකය අහිමි වීම යි. පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 89ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තය එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 83ක් ලබා සිටියා. නමුත්, එම අවස්ථාවේ දී වර්ණවීර ප්‍රමුඛ දඟ පන්දු ඇණිය විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා දිනය අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව දිස්වුණේ 226/9 ලෙසින්. එහි දී නොදැවී ලකුණු 57ක් ලබා සිටි එම්බියුරි හැරුණු විට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථක වුණු එකම පිතිකරුවා වුණේ පන්දු 51කින් වේගවත් ලකුණු 45ක් ලබාගත් ක්‍රිස් ලුවිස් පමණ යි.

වර්ණවීර පන්දු යවමින් (gettyimages)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගයේ අවසන් දිනය ආරම්භ වන විට 226/9 ලෙසින් සටහන් වුණු එංගලන්ත ඉනිම ලකුණු 228 දී නිමාව දුටුවේ ගුරුසිංහ එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී එම්බියුරි ලකුණු 59කට දැවීයාමත් සමග යි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය හමුවේ මුල්මවරට ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා එල්ල වුණේ ලකුණු 140ක පහසු ඉලක්කයක්. නමුත්, ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට අකමැති වුණු එංගලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 61ක් තුළ දවාගත්තේ යම් අනතුරු ඇඟවීමක් කරමින්. එලෙස තරගය දෙපිලටම විවෘත වුණු අවස්ථාවක ඉතාමත් වගකීමෙන් පන්දුවට පහරදුන් අර්ජුණ සහ හෂාන් ලකුණු 75ක වටිනා සබඳතාවයක් ගොඩනැගුවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත ජයග්‍රහණයක් අබියස සිටිය දී නායක අර්ජුණ ලකුණු 35කට දැවීගියත් නව පිතිකරු ලෙස පිටියට පිවිසි ජයසූරිය හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රහණය තහවුරු කළා.

එංගලන්ත ක්‍රීඩකයන් තරගයේ තියුණු අවස්ථාවක (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම- 380/10, (ස්මිත්- 128, හික්- 68, ස්ටුවර්ට්- 63, වර්ණවීර- 90/4, මුරලිදරන්- 118/4)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 469/10, (හෂාන්- 93*, අරවින්ද- 80, මහානාම- 64, අර්ජුණ- 64, ලුවිස්- 66/4)

එංගලන්ත දෙවන ඉනිම- 228/10, (එම්බියුරි- 59, ලුවිස්- 45, වර්ණවීර- 98/4, ගුරුසිංහ- 7/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 142/5, (හෂාන්- 36*, අර්ජුණ- 35, ටෆ්නල්- 34/2, එම්බියුරි- 48/2)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්. 

තරගයේ වීරයා- හෂාන් තිලකරත්න

කවරයේ ඡායාරූපය- හෂාන් පන්දුවට පහරදෙමින් (gettyimages)

Related Articles