ඇෆ්ගනිස්ථාන්-බටහිර ඉන්දීය කොදෙව් තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 41 වැනි තරගය ලීඩ්ස් නුවර හෙඩිංලි පිටියේ දී පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර යි. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන දෙකේ පසුවන ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවන මෙම තරගය කණ්ඩායම් දෙකේ ම ගෞරවය බේරාගැනීම වෙනුවෙන් කරන සටනක්. එම නිසාම සිය කණ්ඩායමේ අභිමානය රැක ගැනීම වෙනුවෙන් සටන් කරන මෙම තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඇෆ්ගනිස්ථාන්-කොදෙව් ගැටුම්

2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා පමණක් ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලෝක කුසලාන තරගයක දී තවමත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තරග වැදී නැහැ. එම නිසාම මෙම කණ්ඩායම් දෙක හමුවන මේ තරගය කණ්ඩායම් දෙකටම සුවිශේෂී තරගයක් බවට පත්වනවා ඇති.

2015 ලෝක කුසලාන තරගාවලියේ දී තරග වැදුණු ඇෆ්ගනිස්ථානු කණ්ඩායම (gettyimages)

ලීඩ්ස් නුවර හෙඩිංලි පිටිය පිළිබඳව දත්තයන් 

පසුගිය වසර 8 තුළ හෙඩිංලි තණතීරුව වඩාත් යෝග්‍ය වුණේ පිතිකරුවන්ට යි. ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු දිවා තරග 5 හි මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 302ක්. නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ පැවති තරග ද්විත්වයේ දී ම පිතිකරුවන්ට එතරම් දස්කම් පෙන්වීමට නොහැකි වුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද? 

හෙඩිංලි පිටියේ දී පැවති, තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 7 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා හෙඩිංලි පිටියේ පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන්-කොදෙව් තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති, තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 7න් 4ක් ජයග්‍රහණය කර තිබෙන්නේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසාම මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගන්නා නායකයා මුලින්ම පන්දුවට පහරදීම තෝරාගැනීමට ඇති ඉඩ වැඩි යි. 

හෙඩිංලි පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 1983 වසරෙන් පසුව හෙඩිංලි පිටියේ දී එක්දින තරගයක් ජයග්‍රහණය කර නැහැ. එම කාල සීමාව තුළ ඔවුන් මෙම පිටියේ දී එක්දින තරග 2ක් පරාජයට පත්වුණේ එංගලන්ත කණ්ඩායම හමුවේ යි. මෙම ලෝක කුසලාන තරගාවලිය යටතේ හෙඩිංලි පිටියේ දී පාකිස්ථානයට එරෙහිව  ඇෆ්ගනිස්ථානු කණ්ඩායම තරග වැදුණත්, එම තරගය පරාජයට පත්වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හෙඩිංලි පිටියේ දී තරග වදිමින් (gettyimages)

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වුණු එක්දින තරග

මෙම කණ්ඩායම් අතර මේ දක්වා එක්දින තරග 5ක් පවත්වා තිබෙනවා. එහි දී ඇෆ්ගනිස්ථානය තරග 3ක් ජයග්‍රහණය කරන විට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකිවුණේ එක් තරගයක් පමණ යි. එම තරගවල දී සිදුවුණු අමතක නොවන සිදුවීම වුණේ රෂීඩ් ඛාන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 18කට කඩුලු 7ක් ලබාගැනීම යි. 

රෂීඩ් ඛාන් කොදෙව්වන්ට එරෙහිව පන්දු යවමින් (gettyimages)

අද පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන්-කොදෙව් තරගය පිළිබඳව

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එක්දින තරගයක දී හමුවුණේ 2018 වසරේ දී යි. 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගවල දී ඇෆ්ගනිස්ථානය තරග 2ක දී කොදෙව්වන් සමග උරෙනුර ගැටුණා. එහි දී එම තරග 2ම ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම යි. නමුත්, 2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කළ තරග 8ම පරාජය වුණා. එම නිසාම ඔවුන් මෙම තරගය ජයග්‍රහණය කිරීමට උපරිම ශක්තිය යොදවනු ඇති. 

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles

Exit mobile version