එංගලන්ත-ඇෆ්ගනිස්ථාන් තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගය මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවැත්වෙන්නේ එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර යි. මෙවර තරගාවලියේ සත්කාරක රට ලෙසින් කටයුතු කරන එංගලන්තය ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින රටක්. නමුත් ඔවුන්ගේ එම පැතුම ඉටු කරගැනීමට නම්  මුලින්ම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත යුතු යි. එම නිසාම මෙම තරගය ඉහළින්ම ජයග්‍රහණය කර දළ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරගැනීමට එංගලන්තය උත්සහ කරනු ඇති.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්ත-ඇෆ්ගනිස්ථාන් ගැටුම්

එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියක දී උරෙනුර ගැටී ඇත්තේ 2015 තරගාවලියේ දී පමණයි. සිඩ්නි පිටියේ දී පැවති එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම යි. එදා අත්දැකීම් රහිත කණ්ඩායමක් වුණු ඇෆ්ගනිස්ථානය එංගලන්ත පන්දු යවන්නන් හමුවේ අසරණ වුණු නිසාම ඔවුන්ගේ මුල් කඩුලු 4ම ලකුණු 34ක් තුළ දැවී ගියා. නමුත් එම අවස්ථාවේ ඇෆ්ගනිස්ථානු මැද පෙළ පිතිකරුවන් ඉතාමත් ඉවසීමෙන් පන්දුවට පහරදෙමින් ඉනිම ගොඩනැගීම ආරම්භ කළා. එලෙස ගොඩනැගූ ඇෆ්ගනිස්ථානු ඉනිම පන්දුවාර 36.2ක් තුළ 111/7ක් ලෙසින් සටහන් වන විට ඇද හැලුණු වර්ෂාව නිසා තරගය නතර කෙරුණා. ඉන්පසුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව එංගලන්තයට පන්දුවාර 25ක දී ලැබුණු ඉලක්කය ලකුණු 101ක්. එහිදී ඉයන් බෙල් නොදැවී ලබාගත් ලකුණු 52 නිසා එංගලන්ත කණ්ඩායමට කඩුලු 9ක පහසු ජයක් උරුම වුණා.

ඇෆ්ගනිස්ථානය – 111/7 (36.2)

ෂෆියුල්ලා – 30 (64)

නසිර් ජමාල් – 17 (52)

ක්‍රිස් ජෝඩ්න්- 13/2 (6.2)

රවී බෝපරා – 31/2 (8)

එංගලන්තය – 101/1 (18.1)

ඉයන් බෙල් – 52 (56) නොදැවී

ඇලෙක්ස් හේල්ස් – 37 (33)

හමීඩ් හසන් – 17/1 (5)

එංගලන්තයට කඩුලු 9ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

තරගයේ වීරයා – ක්‍රිස් ජෝඩ්න්

එංගලන්ත-ඇෆ්ගනිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටිය පිළිබඳව දත්තයන්

මෙම තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී යි. එම තරගය සඳහා ලබා දී තිබුණු තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය එකක් වුණු නිසාම ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 336ක් ලබාගත්තේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. අද පැවැත්වෙන තරගය සඳහා ප්‍රබල පිතිකරුවන් රැසක් සිටින සත්කාරක එංගලන්ත කණ්ඩායම සහභාගි වන නිසා තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය එකක් වීමට ඇති ඉඩ වැඩියි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 6 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන එංගලන්ත-ඇෆ්ගනිස්ථාන් තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති අවසන් දිවා තරග 5 දී කාසියේ වාසිය දිනූ කණ්ඩායම අවස්ථාවන් 3ක දී මුලින්ම පන්දු රැකීමට  තෝරාගෙන තිබෙනවා. නමුත් මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග හතරෙන් 3ක් ජයග්‍රහණය කළේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. බොහෝවිට පිතිකරුවන්ට වඩාත්  යෝග්‍ය තණතීරුවක් ලැබුණොත් කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීමට තෝරාගැනීමට ඇති ඉඩ වැඩියි.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී ඇෆ්ගනිස්ථානය සහභාගි වන පළමු එක්දින තරගය මෙය යි. එංගලන්ත තණතීරු එතරම් හුරුපුරුදු නැති ඇෆ්ගනිස්ථානුවන්ට ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි ක්‍රීඩා කිරීම සැබවින්ම අභියෝගයක්. එංගලන්තය පසුගිය වසර 10 තුළ මෙම පිටියේ දී දිවා තරග 5ක් ක්‍රීඩා කළා. ඉන් තරග 3ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණු එංගලන්තය පරාජය වුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති තරග 2ක් පමණ යි.

එංගලන්ත කණ්ඩායම ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී තරග කරමින් (gettyimages)

අද පැවැත්වෙන එංගලන්ත-පාකිස්ථාන් තරගය පිළිබඳව

මෙම කණ්ඩායම් දෙක හමුවුණු එකම එක්දින තරගය පැවැත්වුණේ 2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ යි. එම තරගය ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමට මෙවර ඇෆ්ගනිස්ථානය හමුවන්නේ තම මව්බිම තුළ දී ම යි.මේ වනවිට එක්දින පිටියේ ඉතාම ප්‍රබල කණ්ඩායමක් බවට පත්වී සිටින එංගලන්තයට මෙම තරගය ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles

Exit mobile version