බංග්ලාදේශ-ඉන්දියා තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 40 වැනි තරගය බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර යි. අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ප්‍රබල සටනක නිරතවෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායමට මෙම තරගය පරාජය වුණොත් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනවා. බංග්ලාදේශ කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳි සිටීමට නම් 2007 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ කළ වික්‍රමය මෙවරත් කළ යුතුම යි. නමුත් ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ බංගලාදේශ කණ්ඩායමට එය විශාල අභියෝගයක්. එම නිසාම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කුතුහලයෙන් බලා සිටින ඉන්දු-බංගලාදේශ තරගය පිළිබඳව පෙර විමසුම මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දු-බංග්ලාදේශ ගැටුම්

මුල්ම වරට මෙම කණ්ඩායම් දෙක හමුවුණේ 2007 ලෝක කුසලාන තරගාවලියේ දී යි. එදා මොර්ටාසා සහ රෆීක් පිළිවෙලින් 38/4ක් සහ 35/3ක් ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම හමුවේ ඉන්දීය ඉනිම ලකුණු 191කට සීමාවුණා. ඉන්පසුව ලකුණු 192ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටමීම්, ශකීබ්, සහ මුෂ්ෆිකර් ලබාගත් අර්ධ ශතක නිසා ඉන්දියාවට උරුම වුණේ කඩුලු 5ක පරාජයක්.

ඉන්දියාව – 191 (49.3)

බංග්ලාදේශය – 192/5 (48.3)

බංග්ලාදේශයට කඩුලු 5ක ජයක් 

2007 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-බංග්ලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ දී මෙම කණ්ඩායම් දෙක නැවතත් තරග වැදුණා. එහිදී ඉන්දියාව වෙනුවෙන් ෂෙවාග් ලබාගත් ලකුණු 175 සහ කෝලි ලබාගත් ලකුණු 100 නිසා ඉන්දියාවට ලකුණු 87ක ජයක් උරුම වුණා.

ඉන්දියාව – 370/4 (50)

බංග්ලාදේශය – 283/9 (50)

ඉන්දියාවට ලකුණු 87ක ජයක් 

2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-බංග්ලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඉන්දියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම තරග වැදුණා. එහිදී රෝහිත් ෂර්මා ලබාගත් ලකුණු 137 සහ සුරේෂ් රයිනා ලබාගත් ලකුණු 65 නිසා ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 302ක් ලබාගැනීමට හැකිවුණා. ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45ක් තුළ සියලුදෙනාම දැවී ලකුණු 193ක් ලබාගත්තේ ඉන්දීය කණ්ඩායමට ලකුණු 109ක ජයක් උරුමකර දෙමින් 

ඉන්දියාව – 370/4 (50)

බංග්ලාදේශය – 283/9 (50)

ඉන්දියාවට ලකුණු 87ක ජයක් 

2015 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-බංග්ලාදේශ  තරගයේ අවස්ථාවක් (gettyimages)

බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය වසර 5 තුළ මෙම පිටියේ දී දිවා තරග 8ක් පැවැත්වුණා. එහිදී පිතිකරුවන්ට පන්දුවට පහරදීමට එතරම් ගැටලුවක් නොවුණු මෙම තණතීරුවේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය වුණේ ලකුණු 263ක්.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද? 

එජ්බැස්ටන් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 8 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා එජ්බැස්ටන් පිටියේ පැවැත්වෙන ඉන්දු-බංග්ලාදේශ තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 8 දී කාසියේ වාසිය දිනාගත් නායකයන් අවස්ථාවන් 5ක දී ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමට ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් කාසියේ වාසිය දිනාගන්නා නායකයේ තීරණය එය වීමට ඇති ඉඩ වැඩි යි. නමුත් අවසන් වරට මෙම පිටියේ දී පැවති ඉන්දු-එංගලන්ත තරගය සඳහා ලබා දී තිබුණු තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය එකක් වුණු නිසා කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

එජ්බැස්ටන්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

ඉන්දීය කණ්ඩායම අවසන් වසර 6 තුළ මෙම පිටියේ දී තරග කළ තරග 6ම ජයග්‍රහණය කළා. එහිදී ඔවුන් එංගලන්තය හමුවේ තරග 3ක් ජයග්‍රහණය කළේ 2013 ශූරයන්ගේ තරගාවලියේ අවසන් තරගයේ දී ලබාගත් ජයග්‍රහණයත් සමගිනුයි. නමුත් බංග්ලාදේශ කණ්ඩායම අවසන් වසර 6 තුළ මෙම පිටියේ දී සහභාගි වුණු තරග 2ම පරාජය වුණා. එහිදී 2017 වසරේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය යටතේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජයට පත්වුණේත් මෙම පිටියේදී යි. ඒ අනුව එජ්බැස්ටන් පිටිය ඉන්දීය කණ්ඩායමට ඉතාමත් වාසනාවන්ත එකක් බව ඉහත දත්ත අනුව පෙනීයන කරුණක්.

ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ එජ්බැස්ටන් පිටියේ දී තරග වදිමින් (gettyimages)

අද පැවැත්වෙන ඉන්දු-බංග්ලාදේශ තරගය පිළිබඳව

මෙම කණ්ඩායම් දෙක අවසන් වසර 3 තුළ එක්දින තරග 3ක දී හමුවී තිබෙනවා. එහිදී එම තරග 3ම ජයග්‍රහණය කර තිබෙන්නේ ඉන්දීය කණ්ඩායම යි. එම තරග 3දී ලකුණු 254ක් ලබාගත් රෝහිට් ෂර්මා එහිදී රඳවාගත් පිතිකරණ සාමාන්‍ය 254ක්. එම නිසාම මෙම තරගයේ දී රෝහිට් ෂර්මා සාර්ථක වීමට ඉඩ වැඩියි. එසේම මෙවර තරගාවලිය තුළ බංග්ලාදේශ කණ්ඩායමත් ප්‍රබල දස්කම් දක්වමින් ඉදිරියට පැමිණියත් මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැඩි අවස්ථාවක් තිබෙන්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles

Exit mobile version