මේ දිනවල ජපානයේ ටෝකියෝ නුවර දී 32 වන ගිම්හාන ඔලිම්පික් උළෙල ක්‍රියාත්මක වනවා. එම ඔලිම්පික් උළෙලේ පස්වන දිනයේ තරග නිමාවට පත්වෙද්දී රන් පදක්කම් 95ක් ප්‍රදානය කර තිබුණා. ඉන් වැඩි ම රන් පදක්කම් ප්‍රමාණයක් හිමි ව තිබෙන්නේ ජපානය, චීනය සහ අමෙරිකාව යන රටවල්වලට යි. මෙවර ඔලිම්පික් උළෙලේ පෙරමුණ ගැනීම සඳහා එම රටවල් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ගෙවුණු දින තුනේ දී ඔලිම්පික් බිමෙන් අසන්නට ලැබුණු දේ යි.
තෙවන දිනයේ දී සත්කාරක රට පෙරමුණට
ජූලි 25 වැනිදා වන විට ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ හිමි කර ගෙන සිටියේ චීනය රන් පදක්කම් 6ක් ලබාගෙන සිටියා. ජපානය සහ අමෙරිකාව පිළිවෙලින් රන් පදක්කම් 5ක් සහ 4ක් ලබා ගෙන දෙවන සහ තෙවන ස්ථානවල පසු වුණා. ජූලි 26 වැනිදා චීනයට වඩාත් වාසිදායක තරග ඉසව් රැසක් පැවැත්වුණා. එනිසා බොහෝ දෙනකු අනුමාන කළේ දිනය නිමා වෙද්දී චීනය පදක්කම් සටහනේ පෙරමුණ ගනු ඇති බවයි. කිසිවකු බලාපොරොත්තු නොවුණු අයුරින් එදින චීනයට එකදු රන් පදක්කමක්වත් හිමි කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අයුරින් චීනය අසාර්ථක වෙද්දී ජපානය, අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය සහ රුසියානු ඔලිම්පික් කමිටුව (රුසියාව) රන් පදක්කම් 3 බැගින් ලබා ගත්තා. එනිසා තෙවන දිනයේ තරග නිමාව දකිද්දී සත්කාරක රට වන ජපානය පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ. පහත දක්වා තිබෙන්නේ ජූලි 26 වැනිදා එක් එක් රටවල්වලට විවිධ ක්‍රීඩාවලින් රන් පදක්කම් හිමිවුණු ආකාරය යි.
ජපානය– 3 (ස්කේට්බෝඩිං, මේස පන්දු, ජූඩෝ)
අමෙරිකාව– 3 (ඉලක්කයට වෙඩි තැබීම- 2, පිහිනුම්)
රුසියාව– 3 (ජිම්නාස්ටික්, ටයිකුන්ඩෝ, කඩුහරඹ)
මහා බ්‍රිතාන්‍යය– 3 (කිමිදුම්, පිහිනුම්, සයිකල්)
නෝර්වේ– 1 (තුන් ප්‍රයාම)
ඕස්ට්‍රේලියාව– 1 (පිහිනුම්)
කොසෝවෝ– 1 (ජූඩෝ)
ස්ලෝවේනියාව– 1 (කැනෝයිං)
කැනඩාව– 1 (පිහිනුම්)
දකුණු කොරියාව– 1 (දුනු විදීම්)
හොංකොං– 1 (කඩු හරඹ)
ක්‍රොයේෂියාව– 1 (ටයිකුන්ඩෝ)
පිලිපීනය– 1 (බර ඉසිලීම)
විශේෂ සිදුවීම්
ස්කේට්බෝඩින්ග් ක්‍රීඩාවෙන් ජපානයට රන් පදක්කමක් දිනා දුන්නේ අවුරුදු 13 දින 330 තරම් ළාබාල නිෂියා මොමිජි නම් ක්‍රීඩිකාව යි. ඇය ඔලිම්පික් උළෙලක රන් පදක්කමක් දිනා ගත් දෙවැනියට ළාබාල ම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වුණා. ගිම්හාන ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ රන් පදක්කමක් දිනා ගත් ලාබාලම ක්‍රීඩිකාව වන්නේ ගෙස්ට්‍රිං නම් අමෙරිකානු කිමිදුම් ක්‍රීඩිකාව යි. 1936 බර්ලින් ඔලිම්පික් උළෙලේ දී ඇය එම දස්කම දක්වද්දී ඇයගේ වයස අවුරුදු 13 දින 268ක් ලෙසින් සටහන් වුණා.
කාන්තා කි.ග්‍රෑ 55 බර ඉසිලීම ඉසව්වෙන් පිලිපීනයේ හිඩිලින් ඩයස් නම් ක්‍රීඩිකාව රන් පදක්කමක් දිනා ගත්තා. එය පිලිපීනය ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ දිනා ගත් මුල් ම රන් පදක්කම යි. 1924 වසරේ සිට ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වුණු පිලිපීනය ඊට පෙර පැවති ඔලිම්පික් උළෙලවල දී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 7ක් ලබාගැනීමට සමත් ව තිබුණා.
රුසියාව පිරිමි ජිම්නාස්ටික් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ 1996 වසරෙන් පසුව යි. ගෙවුණු ඔලිම්පික් උළෙල පහේ දී රුසියාවට එම ඉසව්වෙන් හිමි ව තිබුණේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් පමණක් වීම විශේෂත්වයක්
ජපානය තවදුරටත් සිය තැන රැක ගනියි
ජූලි 27 වැනිදා සිව්වන දිනටත් ඔලිම්පික් බිමේ තරග ආරම්භ වුණා. එදින ක්‍රීඩා 14ක් යටතේ රන් පදක්කම් 14ක් පිරිනැමුණා. එම රන් පදක්කම්වලින් 3 බැගින් දිනා ගැනීමට චීනය සහ රුසියාවට අවස්ථාව ලැබුණා. පෙර දිනයේ දී යම් පසුබෑමකට ලක් ව සිටි චීනය ඒ අයුරින් සටනට පිවිසියත් ඔවුන්ට නියත වශයෙන් ම ලබා ගැනීමට තිබුණු රන් පදක්කම් කිහිපයක් අහිමි වීම අවාසනාවන්ත සිදුවීමක් වුණා. චීනය එවැනි ඉරණමකට ගොදුරුවෙද්දී රන් පදක්කම් 3ක් ලබාගත් රුසියාව පදක්කම් සටහනේ සිය ස්ථානය රැකගැනීමට සමත් වුණා. අමෙරිකාව සහ ජපානය ද රන් පදක්කම් 2 බැගින් ලබා ගෙන සිය ස්ථාන ආරක්ෂා කර ගත්තා. එනිසා ජූලි 27 වැනිදා වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් ව සිටියේ සත්කාරක ජපානය යි. පහත දක්වා තිබෙන්නේ ජූලි 27 වැනිදා රටවල් අතර පදක්කම් බෙදීගිය ආකාරය යි.
චීනය- 3 (ඉලක්කයට වෙඩි තැබීම- 2, කිමිදුම්)
රුසියාව– 3 (ජිම්නාස්ටික්, ටයිකුන්ඩෝ, පිහිනුම්)
ජපානය– 2 (ජූඩෝ, සොෆ්ට්බෝල්)
අමෙරිකාව– 2 (පිහිනුම්, සර්ෆිං)
ජර්මනිය– 2 (අසුන් හැසිරවීම, කැනෝයිං)
බර්මියුඩා– 1 (තුන් ප්‍රයාම)
මහා බ්‍රිතාන්‍ය– 1 (පිහිනුම්)
ඕස්ට්‍රේලියාව– 1 (පිහිනුම්)
ස්විට්සර්ලන්තය– 1 (සයිකල්)
චීන තායිපේ– 1 (බර ඉසිලීම)
ප්‍රංශය– 1 (ජූඩෝ)
බ්‍රසීලය– 1 (සර්ෆිං)
එස්තෝනියාව– 1 (කඩු හරඹ)
කැනඩාව– 1 (බර ඉසිලීම)
සර්බියාව– 1 (ටයිකුන්ඩෝ)
විශේෂ සිදුවීම්
ඔලිම්පික් ඉතිහාසයේ දී බර්මියුඩාවට මුල් වරට රන් පදක්කමක් හිමි කර දීමට ෆ්ලෝරා ඩෆී නම් ක්‍රීඩිකාව සමත් වුණා. ඒ කාන්තා තුන් ප්‍රයාම ඉසව්වෙන්. ඊට පෙර ඔලිම්පික් උළෙලක දී බර්මියුඩාව දිනා සිටියේ එක ම එක ලෝකඩ පදක්කමක් පමණ යි. 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ දී පිරිමි හෙවිවේට් බොක්සිං ඉසව්වෙන් ක්ලැරන්ස් හිල් නම් ක්‍රීඩකයා එම පදක්කම බර්මියුඩාවට උරුම කර දුන්නා.
රුසියාව කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ 1992 ඔලිම්පික් උළෙලෙන් පසුව යි. ඒ අනුව රුසියාව ජිම්නාස්ටික් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව්වලින් එකම ඔලිම්පික් උළෙලක දී රන් පදක්කම් දිනාගත්තේ 1992 වසරෙන් පසුව යි.
ඔලිම්පික් බිමේ තුන්කොන් සටනක්
ඔලිම්පික් බිමේ පස්වන දිනයේ තරග අද පැවැත්වුණා. අද දිනයේ දී චීනය, ඕස්ට්‍රේලියාව, ජපානය, අමෙරිකාව සහ නෙදර්ලන්තය යන රටවල් ඔලිම්පික් බිමේ දී වැඩි දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ජපානය, චීනය සහ අමෙරිකාව වරින් වර පදක්කම් සටහනේ පෙරමුණ ගන්නා ආකාරය දැකගන්නට ලැබුණා. නඅද දිනයට නියමිත සියලු ම තරග ඉසව් අවසන් වෙද්දී පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමි ව තිබුණේ ජපානයට යි. පහත දක්වා තිබෙන්නේ ජූලි 28 වැනිදා එක් එක් රටවල්වලට විවිධ ක්‍රීඩාවලින් රන් පදක්කම් හිමිවුණු ආකාරය යි.
චීනය- 3 (ඔරු පැදීම, කිමිදුම්, බර ඉසිලීම)
ඕස්ට්‍රේලියාව– 3 (ඔරු පැදීම- 2, පිහිනුම්)
ජපානය– 3 (ජූඩෝ, පිහිනුම්, ජිම්නාස්ටික්)
නෙදර්ලන්තය– 2 (ඔරු පැදීම, සයිකල්)
අමෙරිකාව- 2 (පිහිනුම්, පැසිපන්දු)
ජර්මනිය– 1 (අසුන් හැසිරවීම)
හංගේරියාව– 1 (පිහිනුම්)
දකුණු කොරියාව– 1 (කඩු හරඹ)
ප්‍රංශය– 1 (ඔරු පැදීම)
ජෝර්ජියාව– 1 (ජූඩෝ)
ෆීජි– 1 (සත් සාමාජික රග්බි)
මහා බ්‍රිතාන්‍ය– 1 (පිහිනුම්)
රොමේනියාව- 1 (ඔරු පැදීම)
ස්ලෝවේනියාව- 1 (සයිකල්)
ලැට්වියාව– 1 (පැසිපන්දු)
විශේෂ සිදුවීම්
මහා බ්‍රිතාන්‍ය පිරිමි නිදහස් ආර මීටර් 200 සහාය ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තේ 1908 ඔලිම්පික් උළෙලෙන් පසුව යි. 1908 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී මුල්ම වරට හඳුන්වාදුන් එම ඉසව්වෙන් ඇමරිකාවට මෙවර කිසිදු පදක්කමක් හිමිවුණේ නැහැ. ඒ අනුව පිරිමි නිදහස් ආර මීටර් 200 සහාය ඉසව්වෙන් ඇමරිකාවට පදක්කමක් අහිමි වුණු පළමු ඔලිම්පික් උළෙල ලෙසින් මෙය ඉතිහාසගත වුණා.