2022 ආසියා කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (27) ආරම්භ වෙනවා. 20/20 තරග රටාව යටතේ පැවැත්වෙන එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං යන රටවල් සහභාගි වෙනවා. තරගාවලිය ආරම්භ කරමින් අද රාත්‍රී 7.30ට තරග බිමට පිවිසෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් යුගළය යි.
1984 වසරේ අප්‍රේල් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර දී ආසියාවේ ක්‍රිකට් බලවතුන් මුල් ම වරට උරෙනුර ගැටුණා. එහි දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අභිබවා ගිය ප්‍රබල ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. එය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භය ලෙසින් සටහන් වුණා. එදා සිට අඛණ්ඩ ව පැවති මෙම ක්‍රිකට් තරගාවලිය මේ වන විට 14 වතාවක් පවත්වා තිබෙනවා. එලෙස පැවති ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිවල දී සුපිරි දස්කම් දැක්වූ පිතිකරුවන් රැසක් අපට හමු වෙනවා. ඒ අතුරින් තරගාවලි ඉතිහාසයේ වැඩි ම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවන් පස් දෙනා පිළිබඳයි මේ ලිපිය.
5). රෝහිත් ශර්මා (ඉන්දියාව)- ලකුණු 883 (ඉනිම්- 26)
වර්තමානයේ දී ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය දරන රෝහිත් ශර්මා මුල් ම වරට ආසියානු කුසලාන තරගාවලියක් නියෝජනය කළේ 2008 වසරේ දී යි. පාකිස්තානයේ පැවති එවර තරගාවලියේ දී මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ රෝහිත්ට ලකුණු අතරට පිවිසීමට හැකිවුණේ නැහැ. එහි දී ඔහුට ඉනිම් 6ක දී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 116ක් පමණ යි.
2010 දී ශ්‍රී ලංකාවේ පැවති ආසියා කුසලාන තරගාවලියේ දී අංක 4 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ රෝහිත්ට කැපී පෙනෙන දස්කම් දැක්වීමට හැකි වුණේ නැහැ. එහි දී ඉනිම් 4ක් තුළ ලකුණු 132ක් ලබා ගත් රෝහිත් ශ්‍රී ලංකාවට එරෙහි ව පැවති තරගයේ දී ලකුණු 69ක් ලබා ගත්තා.
2012 වසරේ බංගලිදේශයේ දී පැවති ආසියා කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ නැහැ. එවර තරගාවලියේ දී යළි අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ රෝහිත් ඉනිම් 2කදී ලකුණු 72ක් රැස් කළා. එහි දී ඔහු පාකිස්තානයට එරෙහිව ලකුණු 68ක් ලබා ගත්තා.
2014 ආසියා කුසලානය ආරම්භ වුණු යුගය වන විට රෝහිත් ආරම්භක පිතිකරුවෙක් ලෙස ඉහළ දස්කම් දක්වමින් සිටියා. 2014 ආසියා කුසලාන තරගාවලියේ දී නම් ඔහු ගෙන් එම දස්කම් මතු වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඉනිම් 4කදී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 108ක් පමණ යි.
ඊට වසර 2කට පසුව එනම් 2016 දී ආසියා කුසලානය 20/20 තරග රටාවට අනුව පැවැත්වුණා. එම තරගාවලියේ දී එතරම් දස්කම් නොපෙන්වූ රෝහිත් ඉනිම් 5කදී ලබා ගත්තේ ලකුණු 138ක් පමණ යි. එහි දී ඔහු බංග්ලාදේශ කණ්ඩායම් හමුවේ ලබා ගත් ලකුණු 83 කාගේත් කතාබහට ලක් වුණු ඉනිමක් බවට පත් වුණා.
රෝහිත්ගේ ආසියා කුසලාන තරග දිවියේ අමතක නොවන තරගාවලිය බවට පත්වුණේ 2018 තරගාවලිය යි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති එම තරගාවලියේ දී ඉනිම් 5ක දී ලකුණු 317ක් රැස් කළ රෝහිත් ශතකයක් සහ අර්ධ ශතක 2ක් ලබා ගත්තා.
එහි දී පාකිස්තානයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 111 ඔහු ආසියා කුසලාන තරගයක දී ලබා ගත් එක ම ශතකය ලෙසින් සටහන් වුණා. මේ රෝහිත් ආසියා කුසලාන ඉතිහාසය තුළ දැක්වූ දස්කම් පිළිබඳ දත්ත යි.
ඉනිම්- 26
නොදැවීම්- 5
ලකුණු- 883
වැඩි ම ලකුණු- 111* පාකිස්තානයට එරෙහි ව
ශතක- 1
අර්ධ ශතක- 7
පිතිකරණ සාමාන්‍ය- 42.04
ප්‍රහාරාත්මක වේගය- 90.01
4). ෂොයිබ් මලික් (පාකිස්තානය)- ලකුණු 907 (ඉනිම්- 19)
ෂොයිබ් මලික් නම් පාකිස්තාන ක්‍රීඩකයා 2000-2018 අතර පැවති ආසියා කුසලාන තරගාවලි 6කට සහභාගි වුණා. 2000 ආසියා කුසලාන තරගාවලිය මලික්ගේ මංගල ආසියා කුසලාන තරගාවලිය බවට පත් වුණ ද, ඔහුට පන්දුවට මුලින් ම පහර දීමට වරම් ලැබුණේ 2004 ආසියා කුසලාන තරගාවලියේ දී යි.
එම කාල වකවානුව වන විට පාකිස්තාන කණ්ඩායමේ අංක 3 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ මලික් 2004 ආසියා කුසලානයේ දී පිත්තෙන් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ ඉනිම් 5කදී ලකුණු 316ක් ලබා ගනිමින්. එහි දී ඔහු ඉන්දියාව සහ හොංකොං කණ්ඩායම් හමුවේ පිළිවෙළින් ලකුණු 143ක් සහ 118ක් රැස් කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අයුරින් පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ මලික් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා ලෙසින් වාර්තා අතරට එක් වුණා.
2008 දී පාකිස්තානයේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ දී යළි සැලකිය යුතු තරම් දස්කම් දැක්වූ මලික් ඉනිම් 4කදී ලකුණු 224ක් ලබා ගත්තා. එහි දී සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වුණු ඉන්දියාව හමුවේ සුපිරි දස්කම් යළි දැක්වූ මලික් නොදැවී ලකුණු 125ක් ලබා ගත්තා.
එම තරගාවලියේ දී ඔහු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීම ද අමතක නොවන සිදුවීමක් වුණා.
සිය මුල් ම ආසියා කුසලාන තරගාවලි ද්විත්වයේ දී ලකුණු අතරට පිවිසි මලික්ට 2010 ආසියා කුසලාන තරගාවලියේ දී සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට හැකි වුණේ නැහැ. එහි දී ඔහු ඉනිම් 2කදී ලබා ගත්තේ ලකුණු 47ක් පමණ යි. එම තරගාවලියෙන් පසුව 2012 සහ 2014 වසරවල දී පැවති ආසියා තරගාවලි සඳහා මලික් සහභාගි වුණේ නැහැ.
2016 දී බංගලිදේශයේ පැවති ආසියා කුසලාන තරගාවලියේ දී ආසියානු කුසලාන වරම් යළි ලද මලික් එම තරගාවලිය තුළ තරග 4ක දී ලබා ගත්තේ ලකුණු 121ක් පමණ යි. ඉන් වසර 2කට පසුව එනම් 2018 දී පැවති ආසියා කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු මලික් ඉනිම් 5කදී ලකුණු 211ක් ලබා ගත්තා. එහි දී ඉන්දියාව හමුවේ නැවත වරක් දස්කම් දැක්වූ මලික් අගනා ලකුණු 78ක් ලබා ගත්තා.
ෂොයිබ් මලික්ගේ ආසියා කුසලාන තරග දිවිය ගැන කතා කරද්දී ඔහු ඉන්දියාවට එරෙහි ව දැක්වූ සුපිරි දස්කම් අමතක කරන්නට බැහැ. එහි දී එක්දින තරග රටාව යටතේ පැවති ආසියා කුසලානවල දී ඉන්දියාව හමුවේ ඉනිම් 5ක් ක්‍රීඩා කළ මලික් ශතක 2ක් සමඟ ලකුණු 428ක් ලබා ගත්තේ 107.00ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින්. මේ ආසියා කුසලාන තරගාවලි ඉතිහාසයේ මලික් දැක්වූ දස්කම් පිළිබඳව දත්ත යි.
ඉනිම්- 19
නොදැවීම්- 5
ලකුණු- 907
වැඩි ම ලකුණු- 143 ඉන්දියාවට එරෙහිව
ශතක- 3
අර්ධ ශතක- 4
පිතිකරණ සාමාන්‍ය- 64.78
ප්‍රහාරාත්මක වේගය- 93.02
3). සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව)- ලකුණු 971 (ඉනිම්- 21)
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම ලකුණු ලාභියා ලෙසින් වැජඹෙන ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් ආසියා කුසලාන කුසලානය සඳහා මුලින් ම සහභාගි වුණේ 1990 වසරේ දී යි. එවර තරගාවලියේ ඉනිම් 2ක දී ලකුණු 57ක් ලබා ගත් ටෙන්ඩුල්කාර්, ශ්‍රී ලංකාවට එරෙහි ව පැවති අවසන් තරගයේ දී ලකුණු 53ක් රැස් කළා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන් වසර 4කට පසුව එනම් 1995 දී පැවති ආසියා කුසලානයේ දී පිත්තෙන් දස්කම් දැක්වූ ටෙන්ඩුල්කාර් ඉනිම් 4ක දී ලකුණු 205ක් ලබා ගෙන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණා. එහි දී ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 112 කාගේත් අවධානය දිනා ගත් ඉනිමක් වුණා.
1997 ආසියා කුසලාන තරගාවලියේ දී ටෙන්ඩුල්කාර්ට බලාපොරොත්තු වුණු තරම් දස්කම් දැක්වීමට හැකි වුණේ නැහැ. එහි දී ඔහු ඉනිම් 3කදී ලකුණු 102ක් ලබා ගත්තා. ඒ අතරට අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව ලබාගත් ලකුණු 53 ද ඇතුළත් වුණා.
2000 දී බංග්ලාදේශයේ පැවති ආසියා කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමට අවසන් තරගයට පිවිසීමට හැකි වුණේ නැහැ. එවර තරගාවලියේ දී ඉනිම් 3ක දී පන්දුවට පහර දුන් ටෙන්ඩුල්කාර් ලකුණු 154ක් ලබා ගත්තා. එහි දී ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගත් ලකුණු 93 අමතක කරන්නට බැහැ.
සචින් ටෙන්ඩුල්කාර් ආසියා කුසලාන තරගාවලියක දී ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය වාර්තා වුණේ 2004 දී යි. එවර තරගාවලියේ දී ඔහු ඉනිම් 6කදී ලකුණු 281ක් රැස් කළා.
එම තරගාවලියේ අවසන් තරගයේ දී ටෙන්ඩුල්කාර්ගේ පිත්තෙන් අගනා ලකුණු 74ක් වාර්තා වුණත් එය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රමාණවත් වුණේ නෑ.
මෙම විශිෂ්ට පිතිකරුවා අවසන් වරට ආසියා කුසලානයක් ක්‍රීඩා කළේ 2012 වසරේ දී යි. එවර තරගාවලියේ දී ඉනිම් 3ක දී ලකුණු 172ක් ලබා ගත් ටෙන්ඩුල්කාර්, බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 114ක් ලබා ගත්තා.
එහි දී පාකිස්තානය සමඟ පැවති තරගය ටෙන්ඩුල්කාර් ක්‍රීඩා කළ අවසන් එක්දින තරගය ලෙසින් ඉතිහාසගත වුණා. එම තරගයේ දී ඔහු ලකුණු 52ක් ලබා ගත්තා. මේ ටෙන්ඩුල්කාර් ආසියානු කුසලාන ඉතිහාසයේ දැක්වූ සමස්ත දස්කම් පිළිබඳ දත්ත යි.
ඉනිම්- 21
නොදැවීම්- 2
ලකුණු- 971
වැඩිම ලකුණු- 114 බංග්ලාදේශයට එරෙහිව
ශතක- 2
අර්ධ ශතක- 7
පිතිකරණ සාමාන්‍ය- 64.78
ප්‍රහාරාත්මක වේගය- 85.47
2). කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)- ලකුණු 1075 (ඉනිම්- 23)
කුමාර් සංගක්කාර ආසියා කුසලාන තරගාවලියක් සඳහා මුල් ම වරට සහභාගි වුණේ 2004 දී යි. එවර තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අසමත් වුණු සංගක්කාර ඉනිම් 5කදී ලබා ගත්තේ ලකුණු 156ක් පමණ යි.
එහි දී ඉන්දියාවට එරෙහිව පැවති අවසන් තරගයේ දී, පන්දුවට පහර දීමට අපහසු තණතීරුවක සංගක්කාර රැස් කළ ලකුණු 53 අමතක නොවන ඉනිමක් බවට පත් වුණා.
2008 දී පාකිස්තානයේ පැවති ආසියා කුසලාන තරගාවලියේ දී සංගක්කාර කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ ශතක 3ක් සමඟින් ඉනිම් 6ක දී ලකුණු 345ක් ලබා ගනිමින්.
එහි දී බංග්ලාදේශය හමුවේ 121 සහ 101 ලෙසින් ශතක 2ක් ලබා ගත් සංගක්කාර පාකිස්තානය හමුවේ ලකුණු 112ක් රැස් කළා. ඒ අයුරින් ඔහු ලබා ගත් ශතක ත්‍රිත්වය තනි ආසියානු කුසලානයක දී යම් පිතිකරුවෙක් ලබාගත් වැඩිම ශතක ප්‍රමාණය ලෙස අදටත් වාර්තා අතර රැඳී තිබෙනවා.
2010 සහ 2012 වසරවල පැවති ආසියා කුසලාන තරගාවලිවල දී ශ්‍රී ලංකාවට ශූරතාව දිනා ගැනීමට හැකි වුණේ නැහැ. එම තරගාවලිවල දී සංගක්කාර සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට සමත් වුණා.
එහි දී 2010 තරගාවලියේ ඉනිම් 4කදී ලකුණු 188ක් ලබා ගත් සංගක්කාර 2012 තරගාවලියේ දී ඉනිම් 3කදී ලකුණු 142ක් රැස් කළා. එම තරගාවලි ද්විත්වයේ දීම ඔහු අර්ධ ශතක 2 බැගින් වාර්තා කිරීම විශේෂත්වයක් වුණා.
සංගක්කාර ආසියා කුසලානයක දී අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2014 දී යි. එවර තරගාවලියේ දී පිත්තෙන් යළි දස්කම් දැක්වූ සංගක්කාර ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ඉනිම් 5ක දී ලකුණු 238ක් ලබා ගත්තා.
එහි දී ඔහු ඉන්දියාවට එරෙහි ව ලබා ගත් සටන්කාමී ලකුණු 103 ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැදුණු ඉනිමක් බවට පත් වුණා. මේ සංගක්කාර ආසියානු කුසලාන තරගවල දී දැක්වූ දස්කම් පිළිබඳ දත්ත යි.
ඉනිම්- 23
නොදැවීම්- 1
ලකුණු- 1075
වැඩිම ලකුණු- 121 බංග්ලාදේශයට එරෙහිව
ශතක- 4
අර්ධ ශතක- 8
පිතිකරණ සාමාන්‍ය- 48.86
ප්‍රහාරාත්මක වේගය- 84.51
1). සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)- ලකුණු 1220 (ඉනිම්- 24)
ආසියා කුසලාන ඉතිහාසය ගැන කතා කරන විට සනත් ජයසූරිය නම් සුපිරි පිතිකරුවා අමතක කරන්නට බැහැ. ඒ ආසියා කුසලාන තරගවල දී ඔහු පිත්තෙන් දැක්වූ දස්කම් නිසා යි. ජයසූරිය ආසියානු කුසලාන තරගාවලියක් සඳහා මුල් වරට ක්‍රීඩා කළේ 1990 වසරේ දී යි.
එම තරගාවලියේ දී ඔහුට ඉනිම් 2කදී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 28ක් පමණ යි. ඊට වසර 4කට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කළ ජයසූරිය ඉනිම් 4කදී ලකුණු 134ක් ලබා ගත්තා. එහි දී ඔහු බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 51ක් රැස් කළා.
1997 දී ආසියා කුසලාන තරගාවලිය ආරම්භ වෙද්දී ජයසූරිය ඉතාමත් හොඳින් ලකුණු අතර සිටියා. එනිසා එවර ආසියා කුසලාන තරගාවලියේ දී සුපුරුදු රිද්මය පවත්වා ගත් ජයසූරිය ඉනිම් 4කදී ලකුණු 204ක් රැස් කළා. ඒ සඳහා බංග්ලාදේශයට එරෙහි ව පන්දු 83කින් ලබා ගත් ලකුණු 108ත්, ඉන්දියාවට එරෙහි ව අවසන් තරගයේ දී පන්දු 53කින් ලබා ගත් ලකුණු 62ත් ඇතුළත් වුණා.
2000 වසරේ දී බංග්ලාදේශයේ පැවැත්වුණු ආසියා කුසලාන තරගාවලියේ දී ජයසූරිය ඉනිම් 4කදී ලකුණු 183ක් රැස් කළා. එහි දී ඔහු ඉන්දියාවට එරෙහි ව ලකුණු 105ක් ලබා ගැනීම කැපී පෙනුණු සිදුවීමක් වුණා.
2004 ආසියා කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණා. එහි ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එම ජයග්‍රහණය සඳහා පිත්තෙන් සිය උපරිම දායකත්වය ලබා දුන් ජයසූරිය ශතක 2ක් සමඟින් ඉනිම් 5කදී ලකුණු 293ක් ලබා ගත්තා.
එහි දී ඔහු ඉන්දියාව හමුවේ ලකුණු 130ක් සහ බංග්ලාදේශය හමුවේ නොදැවී ලකුණු 107ක් ලබා ගත්තා. ඒ අයුරින් පිත්තෙන් දැක්වූ සුපිරි දස්කම් නිසා ජයසූරියට තරගාවලියේ වීරයා සම්මානය ද හිමි වුණා.
සනත් ජයසූරියගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ආසියා කුසලාන තරගාවලිය බවට පත්වුණේ 2008 ආසියානු කුසලානය යි. එවකට 39 හැවිරිදි වියේ පසු වුණු ජයසූරිය ප්‍රතිවාදී පන්දු යවන්නන් අන්ත අසරණ තත්ත්වයකට පත්කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වුණා.
එනිසා ඔහුට එවර තරගාවලියේ ඉනිම් 5කදී ශතක 2ක් සමඟින් ලකුණු 378ක් ලබා ගැනීමට හැකි වුණා. එහි දී ජයසූරිය මූලික වටයේ තරගයක දී බංග්ලාදේශය හමුවේ පන්දු 88කින් ලකුණු 130ක් ලබා ගත්තා. එම ශතකය ඔහුගේ 39 වැනි උපන්දිනය දවසේ ලබා ගැනීම අමතක නොවන සිදුවීමක් වුණා.
තරගාවලිය පුරාවට සිය සුපුරුදු රිද්මය පවත්වා ගත් ජයසූරිය අවසන් තරගයේ දී ඉන්දියාවට එරෙහිව පන්දු 114කින් වේගවත් ලකුණු 125ක් ලබා ගත්තා. එම ඉනිම නොවන්නට එදා ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය අත්වන්නට පවා ඉඩ තිබුණා.
එසේ 2008 ආසියා කුසලානයේ දී ජයසූරිය ලබා ගත් ලකුණු 378 තනි ආසියා කුසලාන තරගාවලියක දී යම් පිතිකරුවෙක් ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙස තවමත් වාර්තා අතර රැඳී පවතිනවා. මේ, ජයසූරිය ආසියා කුසලාන ඉතිහාසය තුළ පිත්තෙන් පෑ දස්කම්වල දත්ත යි.
ඉනිම්- 24
නොදැවීම්- 1
ලකුණු- 1220
වැඩිම ලකුණු- 130 ඉන්දියාවට එරෙහිව
ශතක- 6
අර්ධ ශතක- 3
පිතිකරණ සාමාන්‍ය- 53.04
ප්‍රහාරාත්මක වේගය- 102.52