බෙල්ජියානු රතු යක්ෂයින්ගේ ලෝක කුසලාන සූදානම

පාපන්දු ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය වන්නේ පාපන්දු ලෝක කුසලානය යි. මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමට මහාද්වීප 6 ක් නියෝජනය කරමින් රටවල් 210 ක් සහභාගී වූ අතර සුදුසුකම් ලබාගැනීමේ තරඟ 800 ට වැඩි ප්‍රමාණයකින් අනතුරුව කණ්ඩායම් 31 ක් (සත්කාරක රටත් සමඟින් රටවල් 32 කි) ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදී. එම කණ්ඩායම් අතුරින් මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් පිලිබඳ ලිපි මාලාවක් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇත. අද මෙම විශේෂාංගයෙන් ඔබ වෙත ගෙන එන්නේ මෙවර ලෝක කුසලානයේ තවත් එක් ප්‍රධාන බලාපොරොත්තුවක් වන බෙල්ජියම් කණ්ඩායම පිළිබඳවයි. මෙයට පෙර බ්‍රසීලය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජෙන්ටිනාව සහ පෘතුගාලය පිළිබඳ මේ ආකාරයට ලිපි ඉදිරිපත් කරන ලදී.

අතීතය

“එන්සෝ සිෆෝ” (Getty Images)

1930 දී පැවති පළමු ලෝක කුසලානයට සහභාගී වූ යුරෝපා කණ්ඩායම් 4 අතුරින් එක් කණ්ඩායමකි බෙල්ජියම් කණ්ඩායම

මේ දක්වා පවත්වා තිබෙන ලෝක කුසලාන තරඟාවලි 20 අතුරින් තරඟාවලි 12 ට බෙල්ජියම සුදුසුකම් ලබා ඇත.

1986 ලෝක කුසලානයේ දී සිව්වැනි ස්ථානයත් පසුගිය 2014 ලෝක කුසලානයේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමත් මේ දක්වා බෙල්ජියම ප්‍රදර්ශනය කර තිබෙන හොඳම දක්ෂතා ලෙසින් හැඳින්විය හැක.

ලෝක කුසලාන තරඟවල දී බෙල්ජියම වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කර තිබෙන්නේ මාර්ක් විල්මොට්ස් ය. ඒ ගෝල 5 කි.

බෙල්ජියම වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන තරඟ සංඛ්‍යාවකට සහභාගී වී තිබෙන්නේ එන්සෝ සිෆෝ ය. ඔහු ලෝක කුසලාන තරඟ 17 ට ක්‍රීඩා කර තිබේ.

බෙල්ජියමෙන් හොඳ දැල් රකින්නන් බිහිවන අතර 1986 ලෝක කුසලානයේ දී ජෝන් මරී ෆාෆ් සහ 1994 ලෝක කුසලානයේ දී මිචෙල් ප්රූඩ්හෝම් හොඳම දැල් රකින්නා වශයෙන් සම්මාන ලබා තිබේ.

එයට අමතරව 1986 ලෝක කුසලානයේ දී එන්සෝ සිෆෝ හොඳම ලාබාල ක්‍රීඩකයා වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබේ. 2002 ලෝක කුසලානයේ දී වඩාත්ම සාධාරණව ක්‍රීඩා කල කණ්ඩායම ලෙසින් ද බෙල්ජියම සම්මාන දිනා ඇත.

සුදුසුකම් ලබාගත් ආකාරය

“රොමෙලු ලුකාකු” (ulizalinks.co.ke)

මෙවර ලෝක කුසලානය සඳහා බෙල්ජියම සුදුසුකම් ලැබුවේ යුරෝපා කලාපයෙනි. එහි H කාණ්ඩයෙන් තරඟ වැදුන බෙල්ජියම H කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය. සුදුසුකම් ලැබීමේ තරඟ 10 ට මුහුණදුන් බෙල්ජියම ඉන් තරඟ 9 ක ජය හිමිකරගත් අතර එක් තරඟයක් ජය පරාජයෙන් තොරව නිම කිරීමට සමත්විය. යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරඟවල දී ගෝල 43 ක් ලබාගනිමින් වැඩිම ගෝල ලබාගත් කණ්ඩායම (ජර්මනිය හා සම) බවට පත්වූයේ ද බෙල්ජියමයි. ජර්මනියට පසුව දෙවැනි වැඩිම ගෝල පරතරයට (+37) හිමිකම් කියන කණ්ඩායම බවට පත්වූයේ ද බෙල්ජියමයි. සුදුසුකම් ලැබීමේ තරඟවල දී බෙල්ජියම වෙනුවෙන් රොමෙලු ලුකාකු ගෝල 11 ක් සහ ඊඩ්න් හසාර්ඩ් ගෝල 6 ක් ලබාගත්හ.

මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වන බෙල්ජියම් කණ්ඩායම

මෙවර පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන 23 දෙනෙකුගෙන් සමන්විත බෙල්ජියම් සංචිතය මීට දින කිහිපයකට පෙර බෙල්ජියමේ පුහුණුකරු වන රොබර්ටෝ මාර්ටිනස් විසින් නම් කරන ලදී. වෙනත් බොහෝ සංචිත වලට මෙන් මෙම බෙල්ජියම් සංචිතයට ද විවේචන වලින් අඩුවක් නොවීය. මෙවර බෙල්ජියම් සංචිතයට රෝමා කණ්ඩායමේ රාඩ්ජා නයින්ගොලෑන් ව නම් නොකිරීම හේතුවෙන් පුහුණුකරු මාර්ටිනස්ට බොහෝ විවේචන එල්ල විය. (නයින්ගොලෑන් අවසාන 28 දෙනාගේ සංචිතයටවත් නම් නොකරන ලදී.) එයට අමතරව ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ ක්‍රිස්ටියන් බෙන්ටෙකේ ද සංචිතයට නම් නොකරන ලදී.

මෙවර බෙල්ජියම් කණ්ඩායම 3-4-3 ආකාරය අනුව ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කලහැක. (ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් තිදෙනෙක්, මැදපෙළ ක්‍රීඩකයින් සිව්දෙනෙක් සහ ඉදිරිපෙළ ක්‍රීඩකයින් තිදෙනෙක් ලෙසින්) ඒ අනුව මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි කණ්ඩායම ඉහත රූප සටහනෙන් දක්වා ඇත.

ඉදිරිපෙළ

“ඊඩ්න් හසාර්ඩ්” (fourfourtwo.com)

ඉතා ශක්තිමත් ඉදිරිපෙලකින් බෙල්ජියම සමන්විතයි. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ රොමෙලු ලුකාකු හට මෙවර තරඟාවලියේ දී විශාල වගකීමක් තිබෙන අතර ගෝල ලබාගෙන කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙනයාම සඳහා ඔහු මූලිකත්වය ගත යුතුය. ලැබෙන අවස්ථා ගෝල බවට පත්කරගැනීම ලුකාකුගේ වගකීමය. ලුකාකුට අමතරව බොරූසියා ඩෝර්ට්මන්ඩ් කණ්ඩායමේ මිචී බැට්ෂුවායි ද ඉදිරිපෙළ CF (Centre Forward) ස්ථානය සඳහා සුදුසු ක්‍රීඩකයෙකි.

ඉදිරිපෙළ LW (Left Wing) ස්ථානය සඳහා චෙල්සි කණ්ඩායමේ ඊඩ්න් හසාර්ඩ්ගේ ස්ථානය ඔහුට නිතැතින්ම හිමිවනු ඇත. මෙවර බෙල්ජියමට සිටින හොඳම ක්‍රීඩකයා වන හසාර්ඩ් මෙවර බෙල්ජියම වෙනුවෙන් දස්කම් දැක්විය යුතුම ක්‍රීඩකයෙකි. RW (Right Wing) ස්ථානය සඳහා නාපොලි කණ්ඩායමේ ඩ්‍රියස් මර්ටන්ස් ක්‍රීඩා කරනු ඇත.

මැදපෙළ

“කෙවින් ඩි බෘයින” (Getty Images)

බෙල්ජියමේ ඉදිරිපෙළ මෙන්ම මැදපෙළ ද ඉතා ශක්තිමත්ය. LM (Left Midfield) ස්ථානය සඳහා ඩාලියන් යිෆෑන් (චීනයේ) කණ්ඩායමේ යනික් කරස්කෝ සහ RM (Right Midfield) ස්ථානය සඳහා PSG කණ්ඩායමේ තෝමස් මුනියර් ක්‍රීඩා කරනු ඇත. මැදපෙළ අනෙකුත් ස්ථාන දෙක වන CM ස්ථාන ද්විත්වය සඳහා ටියැන්ජින් ක්වෑන්ජියෑන් (චීනයේ) කණ්ඩායමේ ඇක්සෙල් විට්සෙල් සහ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ කෙවින් ඩි බෘයින ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කල හැක. හසාර්ඩ් මෙන්ම බෘයින ද මෙවර බෙල්ජියමට සිටින අති දක්ෂ ක්‍රීඩකයෙකි.

ආරක්ෂක පෙළ

 “වර්ටොන්ගෙන් (වමේ) සහ කම්පනි (දකුණේ)” (Getty Images)

ආරක්ෂක පෙළ CB ස්ථාන ත්‍රිත්වය සඳහා ද තරු මට්ටමේ ක්‍රීඩකයින් තිදෙනෙක් බෙල්ජියම සතුය. ටොටන්හැම් හොට්ස්පර් කණ්ඩායමේ CB ක්‍රීඩකයින් දෙපල වන ටෝබි අල්ඩර්වෙයරල්ඩ් සහ ජාන් වර්ටොන්ගෙන් ද මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ වින්සන්ට් කොම්පැනි ද ක්‍රීඩා කරනු ඇත. පසුගියදා පෘතුගාලය සමඟ පැවති පුහුණු තරඟයේ දී කම්පනි ආබාධයකට ලක්වූවත් ලෝක කුසලාන තරඟාවලියට ඔහු ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කලහැක.

බෙල්ජියම සතුව ඉතා හොඳ දැල් රකින්නෙකුද සිටින අතර ඒ චෙල්සි කණ්ඩායමේ තිබූ කෝටුවා ය.

මෙවර ලෝක කුසලානයේ බෙල්ජියමේ ගමන් මඟ

“අල්ඩර්වෙයරල්ඩ් (වමේ), කෝටුවා (මැද) සහ කම්පනි (දකුණේ)” (Getty Images)

ලෝක ශ්‍රේණිගත කිරීම් වල මේ වනවිට 3 වැනි ස්ථානයේ සිටින බෙල්ජියමට ඉදිරියෙන් සිටින්නේ ජර්මනිය සහ බ්‍රසීලය පමණි. මෙවර ලෝක කුසලානයේ දී ඒ ඒ ස්ථාන වලට සුපිරිම ක්‍රීඩකයින් බෙල්ජියමට සිටින බව ඉහත රූපසටහන දෙස බැලූ විට ඔබට පෙනී යනු ඇත. මෙවර G කාණ්ඩය යටතේ මූලික වටයේ දී තරඟ වදින බෙල්ජියම සමඟින් G කාණ්ඩයෙන් තරඟ වදින අනෙකුත් කණ්ඩායම් වන්නේ එංගලන්තය, ටියුනීසියාව සහ පැනමාවය.

බොහෝ හොඳ මට්ටමේ ක්‍රීඩකයින් බෙල්ජියම සතු වූවත් ක්‍රීඩා ලෝලියෝ බෙල්ජියම් කණ්ඩායමේ කාරණා දෙකක් පිළිබඳව සැක මතුකරති. පළමුවැනි කාරණය වන්නේ ඔවුන් කණ්ඩායමක් ලෙසින් ක්‍රීඩා නොකිරනවා යැයි ක්‍රීඩා ලෝලීන් විසින් චෝදනා කිරීමයි. 2016 යුරෝ ශූරතාවය ජයගැනීමට ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් වූවත් එහි අවසන් පූර්ව වටයට හෝ බෙල්ජියමට පැමිණීමට නොහැකි වූයේ ඔවුන් කණ්ඩායමක් ලෙසින් ක්‍රීඩා නොකරන නිසා බව ක්‍රීඩා ලෝලීන් විසින් මැසිවිලි නඟති. අනෙකුත් කාරණය වන්නේ බෙල්ජියමේ පුහුණුකරු රොබර්ටෝ මාර්ටිනස් ය. මාර්ටිනස්ගේ තීරණ පිලිබඳ බොහෝ ක්‍රීඩා ලෝලීන් සතුටු නොවන අතර එක් ක්‍රීඩා ලෝලියෙකු පැවසුවේ බෙල්ජියමට තිබෙන ලොකුම අභියෝගය අනෙකුත් කණ්ඩායම් නොව ඔවුන්ගේ පුහුණුකරු මාර්ටිනස් බවය.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ සිටම ප්‍රබල කණ්ඩායම් වලට මුහුණදීමට බෙල්ජියමට සිදුවන අතර එය ඔවුන් හමුවේ තිබෙන විශාල අභියෝගයකි. මෙය බෙල්ජියම් පාපන්දු ඉතිහාසයේ “ස්වර්ණමය යුගය” ලෙසින් විවාදයෙන් තොරවම හැඳින්විය හැකි අතර ලෝක කුසලාන තරඟාවලියක් ජයග්‍රහණය කරනවානම් මෙයට වඩා හොඳ අවස්තාවක් තව බොහෝ කාලයකට බෙල්ජියමට නොලැබෙනු ඇත.

කණ්ඩායමක් ලෙසින් ක්‍රීඩා කරමින් ලැබෙන අවස්ථා ගෝල බවට පරිවර්තනය (Finishing) කරගැනීම අනිවාර්ය සාධකයක් වන අතර ඒ අනුව ක්‍රීඩා ලෝලීන්ගේ සැක සංකා ද දුරු කිරීමට මාර්ටිනස් ඇතුළු කණ්ඩායමට හැකිවනු ඇත. මෙවර පාපන්දු ලෝක කුසලානයේ සිටින ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමට හැකි ශක්තියකින් යුතු බෙල්ජියමේ රතු යක්ෂයින් (Belgian Red Devils) මෙවර ලෝක කුසලානයේ දී විශාල යමක් සිදුකරනු ඇති බවට විශ්වාසය තැබිය හැක.

Cover – pagenews.gr

Related Articles

Exit mobile version