Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

70 දශකයේ විම්බල්ඩන් පිටිය වර්ණවත් කළ විශිෂ්ටයා

පසුගිය කාල සමයේ විම්බල්ඩන් ටෙනිස් පිටියේ බිහි වුණු සුපිරිම ක්‍රීඩකයා වුණේ, ස්විට්සර්ලන්තය නියෝජනය කළ රොජර් ෆෙඩරර්. 2003-2007 කාල සමය තුළ අඛණ්ඩව විම්බල්ඩන් කිරුළ දිනාගත් ෆෙඩරර්, 1968 වසරේ දී තරගාවලිය විවෘත එකක් කිරීමෙන් පසුව එවැනි දස්කමක් කළ දෙවන ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණා. ඔහුට පෙර මුලින්ම එම දස්කම දැක්වූයේ 70 දශකයේ ලෝක ටෙනිස් පිටිය වර්ණවත් කළ බියොන් බෝර්ග් නම් ස්වීඩන් ක්‍රීඩකයා යි. එසේ නම් මෙම ලිපිය වෙන් වන්නේ එදා බෝර්ග් විම්බල්ඩන් පිටියේ දී දැක්වූ සුපිරි දස්කම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

අවුරුදු 17 දී මුල්ම වරට විම්බල්ඩන් තරගාවලිය සඳහා එක් වෙයි 

1973 වසරේ දී බියොන් බර්ග් මුල්ම වරට විම්බල්ඩන් තරගාවලිය සඳහා එක් වුණා. එහි දී 5 වැනි කාණ්ඩයේ පළමු ස්ථානය ලබාගත් බෝර්ග්, පහසුවෙන්ම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා. අර්ධ අවසන් පූර්ව වටයේ දී බෝර්ග්ට තරග වැදීමට සිදුවුණේ රොජර් ටේලර් නම් බ්‍රිතාන්‍ය ක්‍රීඩකයා සමග යි. එම තරගයේ තරග වට 3ක් අවසන් වන විට බෝර්ග් 2-1ක් ලෙස ඉදිරියෙන් සිටියත්, අවසන් තරග වට 2ම ඔහු පරාජයට පත් වුණා. එම නිසාම අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉදිරියට යාමට බෝර්ග්ට හැකියාවක් ලැබුණේ නැහැ.

බෝර්ග් 1973 විම්බල්ඩන් තරගාවලියේ දී (gettyimages)

1974 සහ 1975 විම්බල්ඩන් තරගාවලිවල දී බෝර්ග් පරාජය ලබයි 

1974 වසරේ පැවති විම්බල්ඩන් තරගාවලියේ දී යළි තරගබිමට පිවිසි බෝර්ග්ට තෙවන වටයේ දී හමුවුණේ ෂාෆි නම් ඊජිප්තු ක්‍රීඩකයා යි. එහි දී ෂාෆි හමුවේ තරග වට 3-0ක පරාජයක් ලැබූ බෝර්ග් තරගාවලියෙන් ඉවත් වුණා. එලෙස දෙවන වරටත් විම්බල්ඩන් බිමේ අසාර්ථක වුණු බෝර්ග්, 1975 විම්බල්ඩන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ කිසිදු අපහසුවකින් තොරව යි. නමුත්, ඔහුට අර්ධ අවසන් පූර්ව වටයේ දී හමුවුණේ ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන කිහිපයක් ජයග්‍රහණය කර සිටි ආතර් ඈෂ් නම් ඇමරිකානු ටෙනිස් ක්‍රීඩකයා යි. එම තරගයේ පළමු වටය බෝර්ග් ජයග්‍රහණය කළත්, ඊළඟ වට 3ම ඈෂ් ජයග්‍රහණය කළ නිසා නැවතත් බෝර්ග්ගේ විම්බල්ඩන් ගමන නිමා වුණා.

1976 විම්බල්ඩන් ශූරතාවය බෝර්ග් හිමි කර ගනියි

1976 විම්බල්ඩන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ බෝර්ග්, එහි දී පරාජයට පත් කළේ විලාස් නම් ආජන්ටිනා ක්‍රීඩකයා යි. එම ජයග්‍රහණය ලබාගැනීමෙන් අනතුරුව අවසන් පූර්ව තරගයේ දී ටැනර් නම් ඇමරිකානු ක්‍රීඩකයා පරාජය කිරීමට බෝර්ග්ට හැකියාව ලැබුණා. එලෙස විම්බල්ඩන් අවසන් සටනට පිවිසි බෝර්ග්ට අවසන් තරගයේ දී හමුවුණේ කලක් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් වැජඹුණු ලිලී නැස්ටේස් නම් රුමේනියානු ක්‍රීඩකයා යි. එදා නැස්ටේස්ව තරග වට 3-0කින් පරාජය කළ බෝර්ග් මුල්ම වරට විම්බල්ඩන් ශූරතාවය දිනාගත්තා.

බෝර්ග් මුල්ම වරට විම්බල්ඩන් ශූරතාවය දිනාගත් අවස්ථාව (gettyimages)

බෝර්ග් පිට පිටම තෙවන වරටත් විම්බල්ඩන් ශූරයා බවට පත් වෙයි

1977 වසරේ විම්බල්ඩන් තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබූ බෝර්ග්ට එහි දී තරග වැදීමට සිදුවුණේ විටාස් නම් ඇමරිකානු ක්‍රීඩකයා සමග යි. එම තරගයේ තරග වට 4ක් අවසන් වන විට දෙදෙනාම තරග වට 2ක බැගින් ජයග්‍රහණය කර තිබුණා. ඉන් අනතුරුව පැවති තීරණාත්මක අවසන් වටය 8-6ක් ලෙස ජයග්‍රහණය කළ බෝර්ග් නැවතත් විම්බල්ඩන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. එලෙස අසීරුවෙන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ බෝර්ග්ට, එම තරගය ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන කිහිපයක් ජයග්‍රහණය කරමින් අවස්ථාවන් කිහිපයක දී ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙසින් වැජඹුණු ජිමී කෝනර්ස් සමග පැවති එම තරගය අපේක්ෂා කළ පරිදි ම කරට කර සටනක් වුණා. එහි දී 5 වැනි වටය දක්වා ගිය තරගය අවසානයේ දී තරග වට 3-2ක් ලෙස බෝර්ග් ජයග්‍රහණය කළේ දෙවන වරටත් විම්බල්ඩන් කිරුළ හිමිකර ගනිමින්.

1977 විම්බල්ඩන් අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

ඉන් අනතුරුව පැවැත්වුණු 1978 විම්බල්ඩන් තරගාවලියේ අවසන් තරගයේ දී නැවතත් හමුවුණේ බෝර්ග් සහ කෝනර්ස් යන සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා යි. එදා කෝනර්ස්ව තරග වට 3-0ක් ලෙස පහසුවෙන්ම පරාජය කළ බෝර්ග්, තරගාවලියේ විවෘත අවදියේ දී පිට පිටම තෙවරක් ශූරතාවය දිනාගත් මුල්ම ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණා.

බෝර්ග් විම්බල්ඩන් ඉතිහාසයේ වීරයෙකු වෙයි 

එලෙස පිට පිටම තෙවරක් විම්බල්ඩන් ශූරතාවය දිනාගත් බෝර්ග්ට 1979 විම්බල්ඩන් අවසන් පූර්ව තරගයේ දී නැවතත් ජිමී කෝනර්ස්ව හමුවනවා. එහි දී කෝනර්ස්ව පහසුවෙන්ම පරාජය කළ බෝර්ග් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. එදා රොස්කෝ ටැනර් සමග පැවති අවසන් තරගයේ පළමු වට තුන අවසන් වන විට තරග වට 2-1ක් ලෙසින් පෙරමුණ ගැනීමට ටැනර් සමත් වුණා. නමුත්, එම අවස්ථාවේ දී සිය අත්දැකීම් උපයෝගී කරගත් බෝර්ග් අවසන් තරග වට 2ම ජයග්‍රහණය කළේ පිට පිටම සිව්වන වරටත් විම්බල්ඩන් ශූරයා වෙමින්.

බෝර්ග් 1979  විම්බල්ඩන් ශූරතාවය දිනාගත් අවස්ථාව (gettyimages)

1980 විම්බල්ඩන් අවසන් තරගය සඳහා අපහසුවකින් තොරව සුදුසුකම් ලැබූ බෝර්ග්ට එහි දී තරග වැදීමට සිදුවුණේ ජෝන් මැකින්රෝ නම් ඇමරිකානු ක්‍රීඩකයා සමග යි. ලෝක ටෙනිස් ඉතිහාසයේ දක්නට ලැබුණු හොඳම තරග අතුරින් එකක් වුණු එම අවසන් තරගය බෝර්ග් ජයග්‍රහණය කළේ තරගවට 3-2ක් ලෙසින්. එදා බෝර්ග් සහ මැකින්රෝ අතර තරගය ගැන පසුකලෙක චිත්‍රපටයක් පවා නිර්මාණය වුණා. එම ශූරතාවයත් සමගින් විවෘත අවධියේ දී පිට පිටම 5 වැනි වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනූ පළමු ක්‍රීඩකයා බවට පත් වීමේ වාසනාව බෝර්ග්ට හිමි වුණා.

රෝයි එමර්සන්ගේ වාර්තාව සම කිරීමට තිබුණු අවස්ථාව ගිලිහී යයි 

1981 වසරේ දී පිට පිටම 6 වැනි වරටත් විම්බල්ඩන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට බෝර්ග්ට හැකියාව ලැබුණා. එම අවධිය වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි 12ක් ජයග්‍රහණය කර තිබුණු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රෝයි එමර්සන්, වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි ප්‍රමාණයක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා ලෙසින් වාර්තාවක් පිහිටුවා තිබුණා. එදා එමර්සන්ගේ වාර්තාව අසලට පැමිණ සිටි බෝර්ග් විම්බල්ඩන්, අවසන් තරගයට සුදුසුකම් ලබන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 11ක් හිමි කරගෙන තිබුණා. එම නිසාම 1981 විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරමින් එමර්සන්ගේ වාර්තාව සම කිරීම බෝර්ගේ එකම අරමුණ වුණා. නමුත්, බෝර්ගේ එම සිහිනය බොඳ කළ ජෝන් මැකින්රෝ, බෝර්ග්ව තරග වට 3-1ක් ලෙස පරාජය කරනු ලැබුවා. 

1981 විම්බල්ඩන් අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

එදා බියොන් බෝර්ග් නම් සුපිරි ක්‍රීඩකයා විම්බල්ඩන් පිටිය තුළ දැක්වූ දස්කම් නිසාම මෙතෙක් ලොව බිහි වුණු හොඳම ටෙනිස් ක්‍රීඩකයන් කිහිපදෙනා ගැන සඳහන් කරන විට ඔහුගේ නමත් කියවෙනවා. එදා බෝර්ග් විම්බල්ඩන් පිටිය තුළ තැබූ වාර්තාව පසුකලෙක රොජර් ෆෙඩරර් විසින් සමකරනු ලැබුවත්, අදටත් එය බිඳහෙලීමට කිසිවෙකුට හැකි වී නැහැ. එම නිසාම බියෝන් බෝර්ග් නාමය ඉදිරියේ දීත් විම්බල්ඩන් පිටියේ නොනැසී පවතිනු ඇති. 

කවරයේ ඡායාරූපය- බියෝන් බර්ග් විම්බල්ඩන් පිටියේ දී (gettyimages) 

Related Articles