ඉතිහාසයේ විශිෂ්ටතම පාපන්දු කණ්ඩායම – 1970 ලෝක ශූර බ්‍රසීලය​

ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම කණ්ඩායම් අතර 1970 ලෝක කුසලානය ජයගත් බ්‍රසීල පිළ ප්‍රමුඛ තැනක් ගන්නවා. එය ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම වන බව ඇතැම් පාපන්දු ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි.

බ්‍රසීලය 1970 පාපන්දු ලෝක කුසලානය කරා පැමිණියේ හැල හැප්පීම් සහිත මාර්ගයක් ඔස්සේ යි. 1958 සහ 1962 ලෝක කුසලානයන් ජය ගත් බ්‍රසීලය 1966 ලෝක කුසලානය සඳහා සහභාගී වූයේ විශාල බලාපොරොත්තු සහිතව යි. එහෙත් එම බලාපොරොත්තු සුන් වූයේ පළමු වටයෙන්ම ඔවුන් තරඟාවලියෙන් ඉවත් කරමින්. මෙහි දී විශේෂයෙන්ම පෘතුගාල කණ්ඩායම ඇතුළු යුරෝපියානු කණ්ඩායම්වල ක්‍රීඩා විලාශය එම පරාජයට හේතු වුණා. 1970 බ්‍රසීල කණ්ඩායමේ නායක කාර්ලෝස් ඇල්බර්ටෝ වරක් එය පැහැදිලි කළේ මේ අයුරින්.

“බ්‍රසීල පාපන්දු ක්‍රීඩා ශෛලිය ස්වාභාවයෙන්ම​ ප්‍රචණ්ඩ වූයේ නැහැ. නමුත් යුරෝපීයයන් නීතිවලට අනුකූලව නමුත් දරුණු ලෙස ක්‍රීඩා කළා. මේ හේතුව නිසා [1966න් පසුව​] අප ද අපගේ ශාරීරික යෝග්‍යතාව ගැන වැඩි අවධානයක් යොමු කළා.”

මෙසේ ශාරීරික යෝග්‍යතාව කෙරේ වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වූයේ 1970 ලෝක කුසලානය මෙක්සිකෝවේ පැවැත්වීම හේතුවෙන්. මෙක්සිකෝවේ අගනුවර වූ මෙක්සිකෝ සිටි ඇතුළු ප්‍රධාන නගර කිහිපයක්ම මුහුදු මට්ටමෙන් සැළකිය යුතු තරම් උසින් පිහිටා තිබීම හේතුවෙන් වාතයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමට ද බ්‍රසීල පිළ සූදානම් විය යුතු වුණා.

“සල්ඩඤ්ඤාගේ මෘගයෝ”

1966 පරාජය​ බ්‍රසීල පාපන්දු ක්ෂේත්‍රය අවුල් සහගත තැනකට තල්ලු කර දැමුවා. මෙම කණ්ඩායම සඳහා කළමණාකරුවකු සොයා ගැනීම ද අභියෝගයක් බවට පත් වූ අතර 1969 දී ඒ සඳහා ජොආඕ සල්ඩඤ්ඤා (João Saldanha) කැඳවනු ලැබුණා. සල්ඩඤ්ඤා ස්වභාවයෙන්ම ආක්‍රමණකාරී අයකු වූ අතර ඔහු තමන්ට අවශ්‍ය පරිදි බ්‍රසීල ජාතික කණ්ඩායම හැඩ ගැස්වූවා. මෙහි දී ඔහු සුපිරි ක්‍රීඩක පේලේ ඇතුළු කිහිප දෙනෙකුම එතරම් ක්‍රීඩා කරවූයේ නැහැ. තව ද තමන්ට එන දේශපාලන බලපෑම් ද ඔහු තඹයකට මායිම් කළේ නැහැ. මෙම දෙවන කරුණේ දී නම් ඔහු ඉතා නිර්භීත වූ බව කිව හැකියි.

බ්‍රසීලය එවක පැවතියේ හමුදා පාලනයක් යටතේ යි. ජනාධිපති එමිලියෝ මෙඩිචි තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ඇතුලත් කර ගැනීමට කළ උත්සාහය සල්ඩඤ්ඤා අවඥාවෙන් බැහැර කළා. එකල ප්‍රකට වූ එක්තරා කතාවකට අනුව පාපන්දු කණ්ඩායම තෝරාගැනීම පිළිබඳ ජනාධිපතිවරයා ඔහුට යම් යෝජනා කිහිපයක් යොමු කළ බව සල්ඩඤ්ඤා වෙත දන්වන ලද අවස්ථාවේ “ඔහුගේ ඇමතිවරුන් තෝරාගැනීම පිළිබඳවත් මට යෝජනා කිහිපයක් තිබෙනවා” යයි සල්ඩඤ්ඤා කියා සිටි බවක් කියවෙනවා.

සල්ඩඤ්ඤා විසින් නිර්මාණය කළ කණ්ඩායම ආක්‍රමණකාරීත්වය හේතුවෙන් ප්‍රකට වූ අතර එනිසාම එයට සල්ඩඤ්ඤාගේ මෘගයෝ (The beasts of Saldanha) යන නම පබැඳුනා. ඔවුන් 1970 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟ හයම ජයගත්තා. නමුත් සල්ඩඤ්ඤා සමග වැඩ කිරීම කිසිවකුටත් පහසු වූයේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ ඔහු තනතුරෙන් ඉවත් කිරීම යි.

1970 බ්‍රසීලය​

මේ අනුව බ්‍රසීල කණ්ඩායමේ කළමණාකරු ලෙස පත් කෙරුණේ මාරියෝ සගාලෝ. ඔහු 1958 සහ 1962 ලෝක ශූර බ්‍රසීලියානු පිළේ ක්‍රීඩකයකු ද වූ අයකු වුණා. ඔහු කණ්ඩායමේ යම් යම් වෙනස්කම් සිදු කර ඔහුට අවශ්‍ය පරිදි එය සකසා ගත්තා.සගාලෝට 1970 දී ලැබුණේ දක්ෂතාවයන්ගෙන් අනූන කණ්ඩායමක්. එහි නායකයා වුණේ ලොව පහළ වූ හොඳම ආරක්ෂකයකු ලෙස සැලකෙන කාර්ලෝස් ඇල්බර්ටෝ. එවරල්ඩෝ, පියැට්සා, සහ බ්‍රිටෝ ඔහු සමඟ පසුපස පෙළ ආරක්ෂා කරන්නන් වුණා. මැද පෙළ නියෝජනය කළේ රිවෙලිනෝ, ජර්සන්, සහ ක්ලොඩොවාල්ඩෝ. ඉදිරි පෙළ ටොස්ටාඕ, ජායිර්සීනියෝ, සහ පේලේගෙන් සමන්විත වුණා. මෙම ක්‍රීඩකයන් එක් ස්ථානයකට සීමා වී සිටියේ නැහැ. ප්‍රතිවාදී පිළ ඉදිරියට එන අවස්ථාවේ දී මැද පෙළ ද පසුපසට විත් ආරක්ෂක වළල්ල සවිමත් කළ අතර බ්‍රසීල පිළ ඉදිරියට යද්දී මැද පෙළ සහ ඇතැම් විට කාර්ලෝස් ඇල්බර්ටෝ ද ඉදිරියට ඇදී ගියා.

1970 ලෝක කුසලානයේ පේරු කණ්ඩායම සමඟ තරඟයට පෙර බ්‍රසීල පිළ​. වමේ සිට – කාර්ලෝස් ඇල්බර්ටෝ (නායක​), බ්‍රිටෝ, ජර්සන්, ක්ලොඩොවාල්ඩෝ, විල්සන් පියට්සා, මාර්කෝ අන්තෝනියෝ, රිවෙලීනෝ, ටොස්ටාඕ, පේලේ, ජායිර්සීනියෝ, ෆීලික්ස් (Getty Images)

ලොව පහළ වූ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැළකෙන පේලේට අමතරව ජායිර්සීනියෝ, ටොස්ටාඕ, ජර්සන්, සහ රිවෙලීනෝ ද විශිෂ්ට ක්‍රීඩකයන් වුණා. කණ්ඩායමේ ගෝල රකින්නා වූයේ ෆීලික්ස්. විශිෂ්ටයන් පස් දෙනෙකුගෙන් යුත් ඉදිරි සහ මැදි පෙළක් සහිත වූ බ්‍රසීල කණ්ඩායම කිසිදු අයුරකින් හෝ සුළුකොට තැකිය හැකි වූයේ නැහැ.

මූලික වටයේ තරඟ​

බ්‍රසීල කණ්ඩායම මෙක්සිකෝව බලා ගමන් ගත්තේ දින 21 ක් තිස්සේ උස් ප්‍රදේශයක පුහුණුවීම් සිදු කිරීමෙන් ද අනතුරුව යි. කෙසේ නමුත් ඔවුනට මූලික තරඟ සඳහා ක්‍රීඩා කිරීමට ලැබුණේ ග්වාදලහාරා නගරයේ දී වීම බ්‍රසීලියානුවන්ට වාසියක් වුණා.

මෙම මූලික වටයේදී බ්‍රසීලය තුන්වන කාණ්ඩය යටතේ තරඟ වැදුණා. එවක ලෝක ශූරයින් මෙන්ම ඒ වන විට ද ප්‍රබල කණ්ඩායමක් වූ එංගලන්ත පිළත්, එවකට යුරෝපීය ශූරයින් වූ චෙකොස්ලොවැකියාවත්, යුරෝපයෙන් මතු වූ අලුත් වීරයින් වූ රුමේනියාවත් එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වූ අතර​, බ්‍රසීල පාපන්දු ක්ෂේත්‍රයේ එවක පැවති අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් බොහෝ දෙනෙක් එම කණ්ඩායම​ පිළිබඳව විශාල බලාපොරොත්තු තබා තිබුණේ නැහැ.

1970 ජූනි 3 වනදා ග්වාදලහාරා නගරයේ දී බ්‍රසීල පිළ චෙකොස්ලොවැකියාවට එරෙහිව සිය මුල්ම තරඟයට මුහුණ දුන්නා. මෙහි එකොළොස්වන මිනිත්තුවේ දී චෙකොස්ලොවැකියාව ගෝලයක් ලබාගත් නමුත් 24 වන විනාඩියේ දී රිවෙලීනෝ විසින් ලබාගත් මනරම් නිදහස් පහරකින් ලකුණු සංඛ්‍යාව සමාන වුණා. ඉන් පසු පේලේ විසින් එක් ගෝලයක් ද ජායිර්සීනියෝ ගෝල දෙකක් ද ලබාගත්තා. ජායිර්සීනියෝගේ දෙවන ගෝලය තරඟාවලියේම හොඳම ගෝලවලින් එකක් ලෙස නම් කළ හැකියි.

මෙම තරඟයේ දී එක් අවස්ථාවක පිටියේ මැද රේඛාවෙන් තරමක් තම පාර්ශවයේ සිටි පේලේ අනෙක්පස දැල් රකින්නා වූ ඉවෝ වික්ටර් තම දැලෙන් ඉවතට විත් තරඟය නරඹනු දුටුවා. එකනෙහිම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පේලේ වික්ටර්ගේ හිසට ඉහළින් ඇදී යන ලෙස පන්දුව එල්ල කළේ ඔහුව අන්ද මන්ද කරමින්. කෙසේ නමුත් පන්දුව දැලෙන් මඳක් පිටතින් ඇදී ගියා. මෙම සිද්ධිය පේලේ කෙතරම් ඉක්මණින් තීරණ ගන්නකුදැයි මනාව පෙන්නුම් කළ අවස්ථාවක් වුණා.

ජූනි 7 වනදා එංගලන්තය සමඟ පැවැති තරඟය බ්‍රසීලය මුහුණ දුන් විශාලම අභියෝගය වුණා. බොබී මුවර්, බොබී චාර්ල්ටන් මෙන්ම ලෙව් යාෂින්ට පසුව ලොව පහළ වූ හොඳම ගෝල රකින්නා සේ සැලකෙන ගෝර්ඩන් බෑන්ක්ස් මෙම තරඟයේ දී එංගලන්ත පිළට ක්‍රීඩා කළා. දෙපිරිස අතර කරට කර සටනක් වූ මෙය චෙස් තරඟයක් මෙන් උපක්‍රමික ගැටුමක් බව මාරියෝ සගාලෝ පසු කලෙක කියා සිටියා. එමෙන්ම පාපන්දු ලෝක කුසලානයක අවසන් තරඟයකට ඔබින ආකාරයේ කරට කර සටනක් වූ මෙය තම ජාත්‍යන්තර ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩා කළ හොඳම තරඟය බව එංගලන්ත නායක බොබී මුවර් කියා සිටියා. තරඟයේ 59 වන විනාඩියේ දී ජායිර්සීනියෝ ලබාගත් එකම ගෝලයෙන් තරඟයේ ජය බ්‍රසීලයට හිමි වුණා.

මෙම තරඟයේ පළමු භාගයේ දී පේලේ විසින් ගෝලය වෙත එල්ල කළ එක් පහරක් ගෝර්ඩන් බෑන්ක්ස් විසින් වළක්වා ලූ අතර එය ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ හොඳම බේරා ගැනීම ලෙස සාමාන්‍යයෙන් සැලකෙනවා.

පේලේ සහ බොබී මුවර් තරඟයෙන් පසු (Mirrorpix)

බ්‍රසීලය සහභාගී වූ මීළඟ තරඟයේ දී ඔවුන් රුමේනියා කණ්ඩායම පරාජය කර ගෝල 3-2ක් ලෙස ජයගත්තා. මෙහි දී පේලේ ගෝල දෙකක් ද ජායිර්සීනියෝ එක ගෝලයක් ද වාර්තා කළා.

අර්ධ අවසන් පූර්ව තරඟය​

බ්‍රසීලයට අර්ධ අවසන් පූර්ව තරඟයේ දී මුහුණ දීමට සිදු වූයේ තවත් දකුණු ඇමරිකානු රටක් වන පේරු රාජ්‍යයට යි. පේරු කණ්ඩායම සිය ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ උපරිම තලයට පැමිණ සිටියේ යයි කිව හැකියි. ඉතිහාසයේ එරට නියෝජනය කළ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන තියෝෆිලෝ කුබිල්ලාස් ඔවුනගේ ප්‍රධානම ක්‍රීඩකයා වුණා. එමෙන්ම හිටපු බ්‍රසීල ක්‍රීඩක ඩීඩී එම පිළෙහි පුහුණුකරුවා ලෙස කටයුතු කළා.

කෙසේ නමුත් මෙම තරඟය ද බ්‍රසීල පිළ සිය පාලනයට නතු කරගත්තා. තරඟයේ එකොළොස්වන විනාඩියේ දී රිවෙලීනෝ පළමු ගෝලය වාර්තා කළ අතර ටොස්ටාඕ ගෝල දෙකක් සහ ජායිර්සීනියෝ එක් ගෝලයක් ලබා ගත්තා. පේරු පිළ ගෝල දෙකක් පමණක් ලබාගත් අතර ඒ අනුව 4-2ක් ලෙස තරඟය නිම වුණා.

කුසලානයේ අයිතිය​

1930 පටන් පාපන්දු ලෝක කුසලානය සඳහා භාවිතා කරන ලද්දේ ජූල්ස් රිමේ කුසලානය යි. 1966 වන විට රටවල් තුනක් මෙය දෙවතාව බැගින් දිනා තිබුණා. අන්තර්ජාතික පාපන්දු ෆෙඩරේශනය තීරණය කළේ යම් රටක් එම කුසලානය තෙවන වතාවට ජය ගතහොත් එම රටට කුසලානය ස්ථිරවම ළඟ තබා ගැනීමට ඉඩ දීමටයි.

අවසන් පූර්ව තරඟ වටය සඳහා මෙම රටවල් තුනම තේරී පත්ව තිබුණා. එනම් බ්‍රසීලය​, ඉතාලිය, සහ උරුගුවේ යන රටවල් තුන යි. මීට අමතරව බටහිර ජර්මනිය ද අවසන් පූර්ව තරඟයකට සුදුසුකම් ලැබුවා. බ්‍රසීලයට මීළඟ තරඟ දෙකේ දී මුණ ගැසුණේ උරුගුවේ සහ ඉතාලියම වීම විශේෂත්වයක් වුණා.

මැරකනාසෝ නැවතත්?

උරුගුවේ කණ්ඩායම ලතින් ඇමරිකාවේ ප්‍රබලම ආරක්ෂක කණ්ඩායම ලෙස එවක පිළි ගැනුණා. ඔවුනගෙන් ගෝල ලබා ගැනීම පහසු වූයේ නැහැ. එමෙන්ම බ්‍රසීලයට උරුගුවේ රාජ්‍යය පිළිබඳ භීතිකාවක් පැවතුණා.

මෙම භීතිකාවට හේතු වූයේ 1950 ලෝක කුසලානයේ අවසන් තරඟයේ දී බ්‍රසීලයේ රියෝ ද ජනේරෝ නගරයේ මරකානා ක්‍රීඩාංගනයෙදී සිය ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ නොසිතූ විරූ පරාජයකට මුහුණ දීමට ඔවුනට සිදු වීමයි. මෙම පරාජය මැරකනාසෝ නමින් හැඳින්වෙන අතර බ්‍රසීලයම තුෂ්නිම්භූත කිරීමට සමත් වුණා. එමෙන්ම, එය සමස්ථ ජාතික කණ්ඩායමට බලපෑ අවාසනාවක් මෙන් සළකනු ලැබුණා. මීළඟ වසර දෙකේ දී ජාතික කණ්ඩායම කිසිදු තරඟයක් ක්‍රීඩා කළේ නැහැ. එමෙන්ම ඊට පෙර බ්‍රසීලය භාවිතා කළ සුදු පැහැ ඇඳුම ඉවත් කර, වර්තමානයේ සුප්‍රකට කහ ජර්සිය සහ නිල් කොට කලිසම සිය නිල ක්‍රීඩා ඇඳුම ලෙස තෝරා ගැනීමට ද බලපෑවේ මෙම පරාජය යි.

පේලේ උරුගුවේ සමඟ තරඟයේ දී (Getty Images)

වසර විස්සකට පසු 1970 ලෝක කුසලානයේ දී මෙම දෙරට මුණ ගැසෙන අවස්ථාවේ දී ද බොහෝ දෙනා කතාබහ කළේ 1950 දී සිදු වූ මරකනාසෝ සිද්ධිය යි. බොහෝ බ්‍රසීල රසිකයන් නැවත එවැන්නක් වේද යයි ප්‍රශ්න කළ අතර එහෙයින් කණ්ඩායමට ද අමතර පීඩනයක් එල්ල වුණා.

තරඟය ආරම්භයේ දී මෙම පීඩනය දිස් වූ අතර එකොළොස්වන විනාඩියේ දී උරුගුවේ පිළ පළමු ගෝලය වාර්තා කළා. නමුත් කෙමෙන් කෙමෙන් තරඟය බ්‍රසීල පිළ තමන් අතට ගත්තා.

උරුගුවේ පිළ ප්‍රතිවාදී ක්‍රීඩකයන් ලකුණු කරමින් ඔවුනගේ ක්‍රියාශීලීත්වය පාලනය කිරීමට උත්සාහ කළා. මේ අවස්ථාවේ, ප්‍රධාන බ්‍රසීල ආක්‍රමණිකයන් පස් දෙනා යම් කිසි සීමාවකට කොටු වූ විට එම ග්‍රහණයෙන් කණ්ඩායම බේරා ගත්තේ ක්ලොඩොවාල්ඩෝ විසින්. ඔහු වෙනදාට වඩා පෙරමුණට එමින් ක්‍රීඩා කළ අතර 44 වන විනාඩියේ දී ගෝලයක් වාර්තා කළා. දෙවන භාගයේ දී ජායිර්සිනියෝ සහ රිවෙලිනෝ තවත් ගෝල දෙකක් ලබා ගත්තා.

අවසන් මහා තරඟය

මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනුවර එස්ටාඩියෝ ඇස්ටෙකා හෙවත් ඇස්ටෙකා ක්‍රීඩාංගණයේ දී 1970 පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟය පැවතුණා. ඒ, බ්‍රසීලය සහ ඉතාලිය අතර යි. මුල පටන්ම ඉතාලි ක්‍රීඩකයන් උත්සාහ කළේ බ්‍රසීල ක්‍රීඩකයන් ලකුණු කරගෙන ප්‍රහාරක පියවරයන් වළක්වාලීමට යි. නමුත් බ්‍රසීල ක්‍රීඩකයන්ගේ වේගය සමඟ කරට කර සිටීමට ඉතාලි පිළට පහසු වූයේ නැහැ.

අවසන් තරඟයේ ගෝල් වාර්තා කිරීම ආරම්භ කළේ අන් කවරකු හෝ නොව පේලේ විසින්. ඒ 18 වන විනාඩියේ දී. ඉතාලි පිළ 37 වන විනාඩියේ දී ලකුණු සම කළත් දෙවන භාගයේ දී බ්‍රසීලය සම්පූර්ණයෙන්ම තරඟය තම අතට ගත්තා.

කාර්ලෝස් ඇල්බර්ටෝගේ සුප්‍රසිද්ධ ගෝලය​ (Empics Sport)

මේ අනුව 66 වන මිනිත්තුවේ දී ජර්සන් ගෝලයක් වාර්තා කළ අතර, 71 වන විනාඩියේ දී ජාර්සීනියෝ ගෝලයක් ලබා ගත්තේ ලෝක කුසලාන තරඟාවලියක අවසන් තරඟය තෙක් සෑම තරඟයකදීම ගෝලයක් වාර්තා කළ පළමුවැන්නා බවට පත් වෙමින්. නමුත් තරඟයේ අවසානයට පෙර බ්‍රසීලය තවත් වික්‍රමයක් දැක්වූවා. කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම සාමූහික ක්‍රියාවලියකින් 86 වන විනාඩියේ දී සිව් වැනි ගෝලය තම පිළ වෙනුවෙන් වාර්තා කළේ නායක කාර්ලෝස් ඇල්බර්ටෝ විසින්. මෙම ගෝලය බොහෝ දෙනා විසින් අදටත් හඳුන්වන්නේ ඉතිහාසයේ හොඳම “කණ්ඩායම් ගෝලය​” ලෙසයි.

මේ ආකාරයෙන් 1970 ලෝක කුසලානය ජයගත් බ්‍රසීල පිළ ජූල්ස් රිමේ කුසලානය සදහටම තම රට සතු කරගත්තා. කාර්ලෝස් ඇල්බර්ටෝ මෙම පිළේ නායකයා ලෙස විශාල කීර්තියක් දිනාගත් අතර ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සලකන ලද පේලේ ඉන් ටික කලකට පසු විශ්‍රාම ගත්තා. කණ්ඩායමේ කළමණාකරු වූ මාරියෝ සගාලෝ යළි 1998 දී බ්‍රසීල පිළ අවසන් තරඟය කරා රැගෙන ආවා.

කාර්ලෝස් ඇල්බර්ටෝ ජූල්ස් රිමේ කුසලානය අතැතිව​ (Getty Images)

කෙසේ නමුත් ඇතැම් විට 2002 වන තෙක් බ්‍රසීලය වෙතින් 1970 දී දුටු කණ්ඩායමට ආසන්න දක්ෂතාවෙන් යුත් කණ්ඩායමක් බිහි වූයේ නැහැ. ඒ කෙසේ වෙතත්, ලොව එදා මෙදාතුර බිහි වූ විශිෂ්ටතම පාපන්දු කණ්ඩායම ලෙස අදටත් සැලකිය යුතු විචාරකයන් සහ ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ ගෞරවය බ්‍රසීලයේ 1970 ලෝක කුසලාන ජයග්‍රාහකයන්ට හිමි වනවා.

Cover Image: ජයග්‍රාහී බ්‍රසීල කණ්ඩායම (PESClassicStats)​

මූලාශ්‍ර​:

  1. Football’s Greatest International Teams – Brazil 1970 (Pitch International LLP)
  1. G.R.E. Phillips, Tim Oldham. “A Complete Championship Guide – World Cup 98”.

Related Articles

Exit mobile version