අමතක නොවන පැරණි සිංහයෝ 1- රවී රත්නායක

1982-1990 කාල සමය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ රවී රත්නායක, ක්‍රිකට් පිටිය තුළ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්. ටෙස්ට් ඉනිමක ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාවට පවා හිමිකම් කියන මෙම ක්‍රීඩකයා දැන් බොහෝ දෙනෙකුට අමතකව ගොසින්. එලෙස මෙම ක්‍රීඩකයාව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමතකව ගොස් ඇති නිසා ඔහු පිළිබඳව කතා කිරීමට අප තීරණය කළා. එසේ නම් මේ, රවී රත්නායක නම් ක්‍රීඩකයාගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය පිළිබඳව ආපසු හැරී බැලීමක්.

රවී රත්නායකගේ ටෙස්ට් දිවියේ මතක සටහන් 

ටෙස්ට් තරග 22ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රවී රත්නායක, ඉනිම් 38ක් තුළ ලකුණු 807ක් ලබාගෙන තිබෙනවා. එම තරග 22ක තුළ පිත්තෙන් පමණක් නොව පන්දුවෙනුත් දස්කම් දැක්වූ රවී, කඩුලු 55ක් දවාගත්තේ ඉනිමක හොඳම පන්දු යැවීම 83/8 ලෙස සටහන් කර ගනිමින්.

රවී සිය මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගී වුණේ 1982 වසරේ දී යි 

1982 ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ, කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී යි. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් 12 වැනි ක්‍රීඩකයා බවට පත් වීමට රවී රත්නායකට හැකියාව ලැබුණා.  එලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් රවී, සිය මංගල කඩුල්ල ලෙසින් රිස්වාන් උස් සමාන් නම් පිතිකරුවාව දවාගනු ලැබුවා. නමුත් සමස්ත තරගය පුරාවට එතරම් සාර්ථක නොවුණු රවී, පිත්තෙන් ලකුණු 24ක් ලබාගන්නා විට පන්දුවෙන් ලබාගත්තේ කඩුලු 1ක් පමණයි.

රවී පන්දුවෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

රවී රත්නායක සිය ටෙස්ට් දිවිය තුළ අවස්ථා 4ක දී කඩුලු 5 බැගින් දවාගෙන තිබෙනවා. එහි දී ඔහු 1986 වසරේ පාකිස්ථානයට එරෙහිව ලබාගත් කඩුලු 5 ශ්‍රී ලංකාවට දෙවන ටෙස්ට් තරග ජයග්‍රහණය ලබාගැනීම සඳහා උපකාරී වුණා.

නවසීලන්තයට එරෙහිව 42/5 දවාගත්තේ 1984 වසරේ දී යි 

1984 වසරේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ක්‍රියාත්මක වුණේ, කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 174ක් පමණයි. ඉන් අනතුරුව, සිය පළමු ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 151ක් ලබාගෙන ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රවී රත්නායක, ලකුණු 42කට කඩුලු 5ක් දවාගත්තේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 198කට සීමා කරමින්.

පාකිස්ථානයට එරෙහිව 83/8 දවාගත්තේ 1985 වසරේ දී යි 

1985 වසරේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය සියල්කොට් නුවර ජින්නා ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 157ක් ලබාගත්තා. ඉන් අනතුරුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 181ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කළා. නමුත් ඉන් නොසැලුණු රවී රත්නායක, මනරම් පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 83කට කඩුලු 8ක් ලබාගත්තේ පාකිස්ථානු පළමු ඉනිම ලකුණු 259කට සීමා කරමින්.

රවී රත්නායක කඩුල්ලක් දවාගත් අවස්ථාවක් (gettyimages)

පාකිස්ථානයට එරෙහිව 37/5 දවාගත්තේ 1986 වසරේ දී යි

1986 වසරේ පැවති ශ්‍රී ලංකා-පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ක්‍රියාත්මක වුණේ කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ දී ලකුණු 141ක් පසුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ පාකිස්ථානු කණ්ඩායම 72/2 ලෙස ස්ථාවර තත්ත්වයකට පත්ව සිටියා. නමුත් එම අවස්ථාවේ මනරම් පන්දු යැවීමක නිරත වුණු රවී රත්නායක, ලකුණු 37කට කඩුලු 5ක් දවාගනිමින් පාකිස්ථානු දෙවැනි ඉනිම ලකුණු 172කට සීමා කළා.

ඉන්දියාවට එරෙහිව 85/5 දවාගත්තේ 1987 වසරේ දී යි

1987 වසරේ කටක් නුවර බරබාටි ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණු ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 400ක් ලබාගත්තා. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු රවී රත්නායක, ලකුණු 85කට කඩුලු 5ක් දවාගත්තා.

රවී පිත්තෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

රවී රත්නායක සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් කාල සමයේ පිත්තෙන් සැලකිය යුතු දස්කම් දැක්වීමට සමත් වුණා. එසේම ඔහු, 1986/1987 ඉන්දීය සංචාරයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස ද කටයුතු කළා. එසේම ඔහු, සිය ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කළේ ද ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරමින්. රවී රත්නායක සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ වාර්තා කළ අර්ධ ශතක 5 මෙලෙස දැක්විය හැකියි.

1) ලකුණු 93- ඉන්දීය කණ්ඩායමට එරෙහිව කාන්පූර්හි දී (1986 වසරේ දී)

2) ලකුණු 54- ඉන්දීය කණ්ඩායමට එරෙහිව නාග්පූර්හි දී (1987 වසරේ දී)

3) ලකුණු 59*- එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් පිටියේ දී (1988 වසරේ දී)

4) ලකුණු 56- ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන්හි දී (1989 වසරේ දී)

5) ලකුණු 75- ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෝබාට්හි දී (1989 වසරේ දී)

රවී රත්නායක ටෙස්ට් තරගයක පන්දුවට පහරදෙන අවස්ථාවක් (gettyimages)

රවී රත්නායකගේ එක්දින දිවියේ මතක සටහන් 

එක්දින තරග 78ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රවී රත්නායක, ඉනිම් 69ක් තුළ ලකුණු 824ක් ලබාගෙන තිබෙනවා. එම තරග 78ක තුළ පිත්තෙන් පමණක් නොව පන්දුවෙනුත් දස්කම් දැක්වූ රවී, කඩුලු 86ක් දවාගත්තේ ඉනිමක හොඳම පන්දු යැවීම 23/4 ලෙස සටහන් කර ගනිමින්.

රවී සිය මංගල එක්දින තරගය සඳහා සහභාගි වුණේ 1982 වසරේ දී යි 

1982 වසරේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වුණු එක්දින තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ, කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී යි. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබාගත් 25 වැනි ක්‍රීඩකයා බවට පත් වීමට රවී රත්නායකට හැකියාව ලැබුණා. නමුත් එම තරගයේ දී එතරම් දස්කම් නොදැක්වූ රවී, සිය එක්දින දිවියේ මංගල කඩුල්ල ලෙසින් මොහොසින් ඛාන්ව දවාගනු ලැබුවා.

රවී පන්දුවෙන් දස්කම් දැක්වූ එක්දින තරග 

රවී රත්නායක සිය එක්දින දිවිය තුළ අවස්ථා 2ක දී කඩුලු 4 බැගින් දවාගෙන තිබෙනවා. එහි දී ඔහු 1988 වසරේ බංග්ලාදේශයට එරෙහිව ලබාගත් කඩුලු 4, ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වුණා. එසේම එම තරගය, ඔහු නායකයෙකු ලෙස කටයුතු කළ එකම එක්දින තරගය බවටත් පත් වුණා.

බංග්ලාදේශයට එරෙහිව 23/4 දවාගත්තේ 1988 වසරේ දී යි 

1988 ආසියානු කුසලාන තරගාවලිය යටතේ පැවැත්වුණු ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගය, රවී රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ එකම එක්දින තරගය යි. එම තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු රවී, ලකුණු 23කට කඩුලු 4ක් දවාගත්තේ බංග්ලාදේශ මුල් පෙළ පිතිකරුවන් අසරණ කරමින්.

පාකිස්ථානයට එරෙහිව 65/4 දවාගත්තේ 1990 වසරේ දී යි 

1990 වසරේ පැවැත්වුණු ඔස්ට්‍රල්-ඒෂියා ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය පැවැත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අතර යි. එම තරගයේ දී පාකිස්ථානු කණ්ඩායම 294/4 ලෙස ප්‍රබල ස්ථානයක සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රවී රත්නායක, ලකුණු 65කට කඩුලු 4ක් දවාගනිමින් පාකිස්ථානු ඉනිම අඩපණ කළා.

රවී රත්නායක (gettyimages)

රවී රත්නායක සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළේ කොදෙව් කණ්ඩායමට එරෙහිව යි 

1984/1985 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ 7 වැනි තරගය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණේ, මෙල්බර්න් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් වේග පන්දු යවන්නන් ඉදිරියේ අන්ත අසරණ වුණා. නමුත් එදා ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රවී, ඉවසීමෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 50ක් ලබාගත්තේ සිය එක්දින දිවිය තුළ ලබාගත් එකම අර්ධ ශතකය වාර්තා කරමින්.

රවී රත්නායක එක්දින තරගයක පන්දුවට පහරදෙමින් (gettyimages)

රවී රත්නායකගේ ක්‍රිකට් දිවියේ විශේෂ කරුණු 

1) රවී රත්නායක පන්දුවට පහරදුන් පළමු ටෙස්ට් ඉනිමේ දී ම ඔහුට සැඳෑ රක්ෂක පිතිකරුවෙකු ලෙසින් පිටියට පිවිසීමට සිදුවුණා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ එවැනි ඉරණමකට මුහුණදුන් මුල්ම පිතිකරුවා ඔහු යි.

2) රවී රත්නායක 1985 වසරේ පාකිස්ථානයට එරෙහිව පැවති සියල්කොට් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 83කට කඩුලු 8ක් දවාගත්තා. මෙය ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු ටෙස්ට් ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

3) රවී රත්නායක සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෝබාට් නුවර බෙලරීව් ඕවල් පිටියේ දී යි. එහි දී රවී, සිය අවසන් ඉනිමේ දී ලකුණු 75ක් ලබාගත්තේ සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වෙමින්.

4) රවී රත්නායක නායකත්වය ලබාදුන් එකම එක්දින තරගයේ දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා. එසේම එම තරගයේ දී ඔහු ලකුණු 23කට කඩුලු 4ක් දවාගත්තේ සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්.

කවරයේ ඡායාරූපය- රවී රත්නායක 1988 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී පන්දු යවමින් (gettyimages)

Related Articles

Exit mobile version