Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චමින්ද වාස්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඡායාරූප පෙළක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සාර්ථකම වේගපන්දු යවන්නන් කිහිපදෙනා අතුරින් චමින්ද වාස්ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවනවා. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් මෙම සුපිරි පන්දු යවන්නාව අදටත් ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී නැහැ. එම නිසාම පසුගිය මාසයේ ඉන්දියාවේ පැවති ක්‍රිකට් තරගාවලියක දී දස්කම් දැක්වූ වාස් ගැන නැවතත් ප්‍රේක්ෂකයන් ප්‍රශංසා මුඛයෙන් කතා කළා. එලෙස සිය ක්‍රිකට් දිවිය තුළ විශිෂ්ට දස්කම් දැක්වූ මෙම දක්ෂ පන්දු යවන්නාගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන අවස්ථාවන් රැසක් හමුවනවා. මෙම ලිපිය තුළින් ඉදිරිපත් කරන්නේ එවැනි අවස්ථාවන් කිහිපයක් පිළිබඳව යි.

තවමත් නොබිඳී පවතින එක්දින පිටියේ ලෝක වාර්තාව 

2001 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වුණු LG අබාන්ස් තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් සහභාගි වුණා. එම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් අතර ක්‍රියාත්මක වුණේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ හමුවන අමතක නොවන තරගයක් වුණු මෙම තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 38කට දැවීගියේ, එම අවදියේ යම් කණ්ඩායමක් එක්දින ඉනිමක ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණයක් වාර්තා කරමින්. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මනරම් පන්දු යැවීමක නිරත වුණු වාස්, ලකුණු 19කට කඩුලු 8ක් ලබාගත්තේ එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු හොඳම පන්දු යැවීම සිය නම ඉදිරියේ සටහන් කර ගනිමින්. එලෙස වාස් පිහිටවූ වාර්තාව අද වන තුරු බිඳ දැමීමට කිසිදු පන්දු යවන්නෙකුට හැකි වී නැහැ. එසේම, එදා වාස් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුලු ත්‍රිත්වයක් ලබාගත් මුල්ම පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වෙමින්.

 වාස් සිම්බාබ්වේ තරගයේ දී පන්දු යවමින් (gettyimages)

වාස් ලබාගත් විරල ගණයේ එක්දින කඩුලු ත්‍රිත්වය 

2003 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය යටතේ පැවැත්වුණු ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගය ක්‍රියාත්මක වුණේ, පීටර්මැරිස්බර්ග් නුවර සිටි ඕවල් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායමට එරෙහිව වාස් සුපුරුදු පරිදි පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළා. එදා වාස් ප්‍රතිවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ පළමු පන්දු තුනෙන්ම කඩුලු 3ක් ලබාගනිමින් විරල ගණයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දස්කමක් කළ පළමු සහ එකම පන්දු යවන්නා ලෙසින් ඔහු වාර්තා අතරට එක් වුණා. එසේම, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලෝක කුසලාන තරගයක දී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පළමු පන්දු යවන්නා බවට පත් වීමට වාස්ට හැකියාව ලැබුණා.

වාස් කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාව (gettyimages)

පන්දුවාරයක වැඩිම කඩුලු ලබාගනිමින් තැබූ ලෝක වාර්තාව 

2003 ලෝක කුසලාන තරගාවලියේ දී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව වාස් යැවූ පළමු පන්දුවාරයේ දී තවත් අපූරු ලෝක වාර්තාවක් තැබුවා. එම පන්දුවාරය තුළ දී ප්‍රතිවාදීන්ට ලකුණු 5ක් ලබාදුන් වාස්, කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා. එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ එක් පන්දුවාරයක දී කඩුලු 4ක් ලබාගත් මුල්ම සහ එකම පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක් වීමට මෙම සුපිරි පන්දු යවන්නා වරම් ලබාගත්තා. එසේම,  එම තරගයේ දී ලකුණු 25කට කඩුලු 6ක් දවාගත් වාස්, එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම සිදුකරනු ලැබුවා. ඔහු එදා පිහිටවූ වාර්තාව අදටත් එලෙසම සුරැකිව පවතිනවා.

 වාස් පළමු පන්දුවාරය යැවීමෙන් පසුව ලකුණු පුවරුව දිස්වුණු අයුරු (gettyimages)

කැංගරුවන්ව මට්ටු කළ වාස් 

2004 වසරේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය ක්‍රියාත්මක වුණේ රංගිරි දඹුලු පිටියේ දී යි. එදා ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 238ක් ලබා සිටියා. ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි ඇන්ඩෘ සයිමන්ඩ්ස් සහ මයිකල් බෙවන්, හොඳම එක්දින තරග අවසන් කරන්නන් යුගලයක් වුණු නිසා ජයග්‍රහණය බරව තිබුණේ කැංගරුවන් දෙසට යි. එවැනි තීරණාත්මක අවස්ථාවක අවසන් පන්දුවාරය යැවීම සඳහා වාස්ට අවස්ථාව හිමි වුණා. එදා වාස්ට එරෙහිව සයිමන්ඩ්ස් සහ බෙවන් අවශ්‍ය වුණු ලකුණු ප්‍රමාණය පහසුවෙන්ම ලබාගනු ඇතැ යි බොහෝ දෙනෙකු විශ්වාස කළා. නමුත්, සියලුදෙනාම මවිත කරවමින් වාස් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළේ මෙසේ යි. 

පළමු පන්දුව- වාස්ගෙන් සයිමන්ඩ්ස්ට ලකුණු 1යි 

දෙවන පන්දුව- වාස්ගෙන් බෙවන්ට ලකුණු 1යි 

තෙවන පන්දුව- වාස්ගෙන් සයිමන්ඩ්ස්ට ලකුණු 0යි 

සිව්වන පන්දුව- වාස්ගෙන් සයිමන්ඩ්ස්ට ලකුණු 0යි

පස්වන පන්දුව- වාස්ගෙන් සයිමන්ඩ්ස්ට ලකුණු 1යි 

හයවන පන්දුව- වාස්ගෙන් බෙවන්ට ලකුණු 3යි 

වාස් යැවූ මුල් පන්දු 5ට ඕස්ට්‍රේලියානුවන් ලකුණු 3ක් පමණක් ලබාගත් නිසා ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවෙන් ලකුණු 5ක් ලබාගැනීමට සිදුවුණා. එහි දී බෙවන් වෙත වාස් යැවූ පන්දුවට බෙවන් ලකුණු 3ක් ලබාගත්තත්, එය ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව වාස්ගේ මනරම් අවසන් පන්දුවාරය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන්ව ලකුණු 1කින් පරාජය කිරීමට සමත් වුණා.

වාස් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව (gettyimages)

වාස්ගේ මංගල ටෙස්ට් ශතකය 

1994 වසරේ දී ටෙස්ට් වරම් ලබාගත් චමින්ද වාස්ට සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීම සඳහා වසර 13ක් බලා සිටීමට  සිදුවුණා. 2007 වසරේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති තරගයේ දී වාස්, ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ටෙස්ට් ශතක සිහිනය සැබෑ කරගනු ලැබුවා. එම තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම 354/6 ලෙසින් සටහන් වුණු අවස්ථාවේ වාස් පිටියට පිවිසියා. ඉන්පසුව, ප්‍රසන්න ජයවර්ධන සමග පිටියේ එක් වුණු මෙම පිතිකරුවා නොබිඳුණු ලකුණු 223ක සබඳතාවයක් ගොඩනැගුවා. එහි දී වාස් පන්දු 169ක දී හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 100ක් ලබාගන්නා විට, ප්‍රසන්නත් සිය ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා කර ගැනීමට සමත් වුණා.

වාස් මංගල ටෙස්ට් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

වාස්ගේ ක්‍රිකට් දිවියේ නරකම දවසක් 

ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හොඳ දවස් වාගේම නරක දවස් ද තිබෙනවා. මේ කතා කරන්නට යන්නේ වාස්ගේ ක්‍රිකට් දිවියේ එක් නරක දවසක් ගැන යි. 2008 වසරේ දී ක්වීන්ස් පාක් ඕවල් පිටියේ පැවති ශ්‍රී ලංකා-කොදෙව් තරගයේ දී කොදෙව්වන්ට ලකුණු 236ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වුණා. පන්දුවාර 49.4ක් අවසන් වන විට කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 226ක් ලබා සිටියේ ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසිය හිමිකර දෙමින්. නමුත්, කිසිවෙකු නොසිතූ අයුරින් වාස් යැවූ අවසන් පන්දු දෙකට චන්ද්‍රපෝල් පිළිවෙලින් හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් කොදෙව්වන් ජයග්‍රහණය වෙත රැගෙන ගියා. එදා වාස් යැවූ අවසන් පන්දු දෙක ඔහුගේ ක්‍රිකට් දිවියේ වේදනාත්මකම පන්දු 2ක් වන්නට ඇති.

චන්ද්‍රපෝල් අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කිරීමෙන් පසුව (gettyimages)

වාස් එක්දින ක්‍රිකට් දිවියේ දී ලබාගත් 400 වැනි කඩුල්ල 

වාස් සිය එක්දින දිවියේ අවසන් තරගය සඳහා ක්‍රීඩා කළේ 2008 වසරේ දී යි. ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති එම තරගය ආරම්භ වන විට වාස් එක්දින කඩුලු 399ක් ලබාගෙන සිටියා. එදා වාස් ඉන්දීය පිතිකරු යුවරාජ් සිංව ලකුණු 0කට දවාගැනීමත් සමගම, එක්දින කඩුලු 400ක් දවාගත් ලොව සිව්වන පන්දු යවන්නා බවට පත් වුණා. එසේම, වාස්ගෙන් පසුව කිසිදු පන්දු යවන්නෙකු තවමත් එක්දින කඩුලු 400 සීමාවට පැමිණ නැහැ.  

වාස් සිය එක්දින දිවියේ 400 වැනි කඩුල්ල ලබාගත් අවස්ථාව (gettyimages)

කවරයේ ඡායාරූපය- වාස් එක්දින තරගයක කඩුල්ලක් දවාගත් අවස්ථාවක් (gettyimages)

Related Articles