Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත – අමෙරිකා ගැටුමට මැදි වූ පාපන්දු ලෝක කුසලානයේ B කාණ්ඩයේ තතු

කටාර් රාජ්‍යයේ දී නොවැම්බර් මස 20 වැනි දා ආරම්භ වීමට නියමිත 22 වන පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ A කාණ්ඩයේ කණ්ඩායම් සම්බන්ධ ලිපිය මීට ප්‍රථමයෙන් අප රැගෙන ආවා. එංගලන්තය, ඉරානය, අමරිකාව සහ වේල්සය එකිනෙක මුණ ගැසෙනා ලෝක කුසලානයේ B කාණ්ඩයේ තරඟකාරිත්වය සම්බන්ධයෙන් මෙම ලිපියේ දී සාකච්ඡා කෙරෙනු ඇති.

1. එංගලන්තය 

වර්තමාන ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 5 වන ස්ථානයේ රැඳී සිටිනා එංගලන්තය B කාණ්ඩයේ වඩාත් ප්‍රබලත ම කණ්ඩායම ලෙස හැඳින්විය හැකි යි. යුරෝපයේ ප්‍රමුඛ පෙළේ කණ්ඩායම්වල ක්‍රීඩා කරන අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රාශියක් එංගලන්තය සතු වනවා. මේ වන විට පැවති ලෝක කුසලාන 21 න් අවස්ථා 15ක දී ම එංගලන්තය තරගාවලියට සුදුසුකම් ලැබුවා. 1994 සුදුසුකම් නොලැබීමෙන් අනතුරු ව 1998 සිට පැවති සෑම ලෝක කුසලානයක් ම ඔවුන් නියෝජනය කළා. 1966 දී ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීම එංගලන්තය දැක්වූ ඉහළත ම දක්ෂතාව යි.

B කාණ්ඩයේ වඩාත් ප්‍රබල එංගලන්ත පාපන්දු කණ්ඩායම – www.uefa.com

පසුගිය 2018 ලෝක කුසලානයේ සිව්වන ස්ථානය පවා දිනා ගැනීමට එංගලන්තයට හැකියාව ලැබුණා. නිමා වූ 2021 යුරෝ අනුශූරතාව ද හිමි වූයේ ඔවුන්ට යි. යුරෝපීය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ I කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගෙන එංගලන්තය 2022 තරගාවලි වරම් දිනා ගත්තා. මෙවර ලෝක ශූරයන් බවට පත් වීමට ද වඩාත් ඉඩ ඇති කණ්ඩායමක් බවට ඔවුන් හැඳින්වෙනවා. 52 හැවිරිදි ගැරත් සවුත්ගේට් ගේ පුහුණුකාරිත්වය යටතේ ඔවුන් මෙවර ලෝක කුසලානයට සහභාගී වනවා. 

තීරණාත්මක ක්‍රීඩකයෝ 

එංගලන්ත නායකයා මෙන් ම වත්මන් පාපන්දු පිටියේ සිටිනා ප්‍රබලත ම ප්‍රහාරක ක්‍රීඩකයෙක් වන හැරී කේන් එරට සතු හොඳ ම තුරුම්පුව වනවා. වෘත්තීයමය වශයෙන් එංගලන්තයේ ටොටන්හැම් ක්‍රීඩා සමාජයේ ද නායකත්වය දරන ඔහු එංගලන්තය වෙනුවෙන් තරග 75 ක දී ලබා සිටිනා ගෝල සංඛ්‍යාව 51ක්. ඔහු ඉතිහාසයේ දෙවැනි වන්නේ වේන් රූනි ජාතික කණ්ඩායම වෙනුවෙන් ලබා ගත් ගෝල 53 වාර්තාවට පමණ යි. පසුගිය 2018 ලෝක කුසලානයේ දී ගෝල 6ක් ලබා ගෙන වැඩි ම ගෝල ලාභියාට ලබා දෙන ගෝල්ඩන් බූට් සම්මානය දිනා ගැනීමට ද හැරී කේන් සමත් වුණා. එවැනි දස්කමක් දැක්වූ එකම ඉංග්‍රීසි ජාතිකයා ද ඔහු යි.

එංගලන්තයේ ඉදිරි පෙළ ප්‍රධාන බලාපොරොත්තුව සහ නායක හැරී කේන් – www.eveningstanderd.com

මැන්චෙස්ටර් සිටි වෙනුවෙන් ක්‍රීඩා කරනා 22 හැවිරිදි පිල් ෆෝඩෙන් යනු මෑතකාලීන ව හොඳ රිද්මයක් පවත්වාගෙන යන ක්‍රීඩකයෙක්. අනාගත එංගලන්ත කණ්ඩායම සතු විශාල බලාපොරොත්තුවක් ලෙස ද ඔහු නම් කළ හැකි යි. මැද පෙළ මෙන් ම අවශ්‍ය විටෙක වින්ගර් ක්‍රීඩකයෙක් ලෙසින් ද ෆෝඩෙන් කටයුතු කරනවා. එංගලන්තය සමඟ 2017 දී වයස අවුරුදු 17 න් පහළ ලෝක ශූරතාව දිනා ගැනීමට ද ෆෝඩෙන් සමත් වුණා. ඔහු එංගලන්ත වයස 16 න් පහළ සිට සියලු ම ජාතික කණ්ඩායම් නියෝජනය කර තිබීම ද විශේෂත්වයක්. 2020 සිට එංගලන්ත පාපන්දු කණ්ඩායම නියෝජනය කරනා පිල් ෆෝඩෙන් තරග 18 කදී ගෝල 2ක් ලබා ගෙන සිටිනවා.

පසුපෙළ ක්‍රීඩකයන් ගත් කල වසර කිහිපයක සිට දස්කම් අතර සිටින ජෝන් ස්ටෝන්ස් වඩාත් තීරණාත්මක වනවා. එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ ද ආරක්ෂක පසු පෙළ (සෙන්ටර් බැක්) ක්‍රීඩකයෙක් වන ඔහු සහ රයිට් බැක් ක්‍රීඩක කයිල් වෝකර් ආරක්ෂක ක්‍රීඩකයන් අතරේ ප්‍රධාන යි. අත්දැකීම් බහුල කයිල් වෝකර් එංගලන්තය වෙනුවෙන් තරග 70 ක් සහ ජෝන් ස්ටෝන්ස් තරග 59 ක් ක්‍රීඩා කළා. මෙම දෙදෙනා නිතර ආබාධවලට ලක්වීමේ ප්‍රශ්නය මතු නොවුණහොත් එංගලන්ත ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට හැකිවනු ඇති. 

එංගලන්තයේ මූලික වට තරග කාලසටහන 

නොවැම්බර් 21 ඉරානයට එරෙහිව 

නොවැම්බර් 26 අමරිකා එක්සත් ජනපදයට එරෙහිව 

නොවැම්බර් 30 වේල්සයට එරෙහිව 

2. ඉරානය

ආසියානු කණ්ඩායම් අතරේ ලෝක කුසලානවලට සහභාගී වීමේ සාධනීය ඉතිහාසයක් ඉරානය සතු වනවා. ඔවුන් මුලින් ම 1978 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වුණා. එතැන් පටන් ඉරානය නියෝජනය කළ ලෝක කුසලාන තරගාවලි සංඛ්‍යාව 4ක්. ඔවුන් 2014 වසරේ සිට පිට පිට තෙවරක් ම ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නට ද සමත් වුණා. වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ ප්‍රථම ස්ථානය ද ඉරානයට හිමි වනවා.

ආසියාවේ අංක 1 ලෙසින් ශ්‍රේණිගත වී සිටිනා ඉරානය – www.cnn.com

මීට ප්‍රථම සහභාගී වූ ලෝක කුසලාන තරගාවලි සියල්ලේ දී ම මූලික වටයෙන් ම ඉවත් වීමට ඉරානයට සිදු වුණා. මේ නිසා 2022 ලෝක කුසලානයේ දී හෝ මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබෙනවා. ආසියානු සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් අදියරේ A කාණ්ඩයේ ප්‍රථමයා වී ඉරානය ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා. 69 හැවිරිදි අත්දැකීම් බහුල පෘතුගාල පුහුණුකරු කාලෝස් කුඑයිරොස් යටතේ ඔවුන් ලෝක කුසලානයට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ 

ජර්මනියේ ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන බයර් ලෙවර්කුසන් සමඟ වෘත්තීයමය වශයෙන් පාපන්දු ක්‍රීඩාවේ නිරත ව සිටිනා සර්දාර් අස්මොන් ඉරාන ඉදිරි පෙළ මෙහෙයවන ක්‍රීඩකයා බවට පත් ව සිටිනවා. 27 හැවිරි දි ඔහු පසුගිය තරග වාරයේ සෙනිට් හි දැක්වූ දක්ෂතා දුටු ලෙවර්කුසන් යුරෝ මිලියන 2 ක මුදලකට සර්දාර් මිලට ගැනීමට කටයුතු කළා. 2014 වර්ෂයේ මුලින් ම ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ඔහු මේ වන විට තරග 65 කදී ලබා සිටින ගෝල සංඛ්‍යාව 41ක්.

2020 සිට පෘතුගාලයේ ප්‍රධානත ම පාපන්දු සමාජවලින් එකක් වන පෝර්ටෝ ක්‍රීඩා සමාජයට නැතිව ම බැරි ක්‍රීඩකයෙක් බවට මෙහෙදි ටරේමි පත් ව සිටිනවා. ඔහු ද ඉරානය වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් වන ටරේමි ඇතැම් විටෙක දී ආක්‍රමණශීලී මැද පෙළ ක්‍රීඩකයෙක් ලෙසටත් යොදා ගත හැකි යි. 30 හැවිරිදි මහෙදි, ඉරානය වෙනුවෙන් තරඟ 60ක් ක්‍රීඩා කරමින් ගෝල 28ක් වාර්තා කළා.

ඉරානයේ වත්මන් පාපන්දු තරුව සර්දාර් අස්මොන් – www.afc.com

සමන් ගොඩොස් යනු එංගලන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරනා ඉරාන ජාතිකයෙක්. යුරෝපයේ වඩාත් ම තරගකාරී ලීගය වන ප්‍රිමියර් ලීගයේ බ්‍රෙන්ෆෝර්ඩ් කණ්ඩායම හා එක් ව ඔහු වෘත්තීයමය පාපන්දු ක්‍රීඩා කරනවා. සමන්  මැද පෙළ ක්‍රීඩකයෙක් මෙන් ම අවශ්‍ය විටෙක වින්ගර් ක්‍රීඩකයෙක් ද වනවා. ඔහු ඉරානය හා එක් වීමට ප්‍රථම ස්වීඩනය සමඟින් තරග 2 ක් ක්‍රීඩා කොට තිබීම ද විශේෂත්වයක්. සමන් ගොඩොස් ඉරානය වෙනුවෙන් තරග 33 කදී ගෝල 2ක් වාර්තා කර ගෙන තිබෙනවා.

ඉරානයේ මූලික වට තරග කාලසටහන 

නොවැම්බර් 21 එංගලන්තයට එරෙහිව 

නොවැම්බර් 25 වේල්සයට එරෙහිව 

නොවැම්බර් 30 අමරිකා එක්සත් ජනපදයට එරෙහිව 

3. අමරිකා එක්සත් ජනපදය

2018 වර්ෂයේ දී ලෝක කුසාලාන සුදුසුකම් ලැබීමේ වටයේ දී අනපේක්ෂිත පරාජයක් ලබා ලෝක කුසාලාන නියෝජනයෙන් ඉවත් වීමට අමෙරිකාවට සිදු වුණා. එම වැරදි නිවැරදි කර ගනිමින් ඔවුන් මෙවර ලෝක කුසලානයේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගත්තා. 1930 වර්ෂයේ දී පැවති පළමු ලෝක කුසලාන තරගාවලියට පවා සහභාගී වූ ඔවුන් මේ වන විට නියෝජනය කළ සමස්ත ලෝක කුසලාන සංඛ්‍යාව 10ක්. 1930 තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීම අමෙරිකාව පාපන්දු ලෝක කුසලානයක දැක්වූ ඉහළත ම දක්ෂතාව වනවා.

උතුරු ඇමරිකානු කලාපයෙන් B කාණ්ඩයට එක් වන අමරිකා එක්සත් ජනපදය – www.marca.com

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 16 වන ස්ථානයේ රැඳී සිටිනා ඔවුන් උතුරු අමෙරිකානු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ අවසන් ලීග් වටයේ තෙවන ස්ථානය දිනා ගනිමින් 2022 තරගාවලියේ තම ස්ථානය වෙන් කර ගත්තා. යුරෝපීය ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජවල තරු රැසකගෙන් සමන්විත අමරිකානු කණ්ඩායම 49 හැවිරිදි ග්‍රේග් බර්හැට්ලර් ගේ පුහුණුකාරිත්වය යටතේ ලෝක කුසලානයට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ 

2019 වර්ෂයේ දී එංගලන්තයේ චෙල්සි ක්‍රීඩා සමාජය සමඟ එක්වූ කැප්ටන් අමෙරිකා යන සුරතල් නාමයෙන් හැඳින්වෙන ක්‍රිස්ටියන් පුලිසිච් එරට ප්‍රමුඛ පෙළේ බලාපොරොත්තුව බවට පත් ව තිබෙනවා. ඉදිරි පෙළ වින්ගර් ක්‍රීඩකයෙක් ලෙසින් ඔහු කටයුතු කරනවා. 24 හැවිරිදි පුලිසිච් 2021 CONCACAF නේෂන්ස් ලීග් තරගාවලිය ජයග්‍රහණය කළ අමෙරිකා කණ්ඩායම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. ඔහු 2016 සිට මේ දක්වා තම රට වෙනුවෙන් තරග 52 කදී ලබා සිටින ගෝල සංඛ්‍යාව 21ක්.

ඉතාලියේ යුවෙන්ටස් ක්‍රීඩා සමාජය සමඟින් ක්‍රීඩා කරනා වෙස්ටන් මැක්කෙනී යනු අමෙරිකා පාපන්දු කණ්ඩායමේ මැද පෙළ ප්‍රධාන සාධක අතුරින් එකක්. ඉහත සඳහන් කළ පරිදි ම යුරෝපයේ සුපිරි පාපන්දු ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරනා නවක තරු අතරින් ඉදිරියෙන් සිටිනා ක්‍රීඩකයෙන් ලෙසින් ඔහු හැඳින්විය හැකි යි. මැක්කෙනී මේ වන විට අමෙරිකාවට තරග 37 ක් ක්‍රීඩා කොට ගෝල 9ක් ලබා ගෙන තිබෙනවා.

කැප්ටන් අමෙරිකා යන සුරතල් නාමය හිමි එරට ජනප්‍රියත ම පාපන්දු ක්‍රීඩකයා වන ක්‍රිස්ටියන් පුලිසිච් – www.mls.com

වඩාත් ආරක්ෂාකාරී මැදපෙළ ක්‍රීඩා රටාවක් සමඟ කණ්ඩායම නියෝජනය කරනා ටයිලර් ඇඩම්ස් මෙවර පාපන්දු ලෝක කුසලානය තුළ වෙනසක් කළ හැකි නවකයන් අතුරින් අයෙක්. ජර්මනියේ රෙඩ්බුල් ලිප්සිග් ක්‍රීඩා සමාජයෙන් නික්මී ඔහු මේ වසරේ දී යුරෝ මිලියන 17 ක මුදලකට එංගලන්තයේ ලීඩ්ස් යුනයිටඩ් හා ගිවිසුම් ගත වුණා. 2017 සිට අමෙරිකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ඔහු තරග 32 ක දී එක ගෝලයක් වාර්තා කළා.

අමරිකා එක්සත් ජනපදයේ මූලික වට තරග කාල සටහන

නොවැම්බර් 22 වේල්සයට එරෙහිව 

නොවැම්බර් 26 එංගලන්තයට එරෙහිව

නොවැම්බර් 30 ඉරානයට එරෙහිව 

4. වේල්සය

1958 දී ස්වීඩනයේ පැවති පාපන්දු ලෝක කුසලානය නියෝජනය කිරීමෙන් වසර 64 ක විරාමයකින් පසුව මෙවර ලෝක කුසලානයේ දී වේල්සය දැක ගත හැකි වනවා. 1958 තරගාවලියේම අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට වේල්සයට හැකියාව ලැබුණා. එය ඔවුන් පාපන්දු ලෝක කුසලානයක දැක්වූ ඉහළත ම දක්ෂතාව යි.

 වසර 64 කට පසු ලෝක කුසලාන සුබ සිහින දකිනා වේල්සය – www.dohanews.com

යුරෝපීය සුදුසුකම් ලබා ගැනීමේ වටයේ E කාණ්ඩයෙන් 2 වන ස්ථානය ලබා ගැනීම නිසා වේල්සයට Play Offs වටය ක්‍රීඩා කිරීමට සිදු වුණා. එහි අවසන් පූර්ව වටයේ දී ඔස්ට්‍රියාව ගෝල 2-1 ක් හා අවසන් තරගයේ දී යුක්රේනය 1-0 කින් පරාජයට පත් කළ ඔවුන් ලෝක කුසලානයේ තම අසුන වෙන් කර ගත්තා. වර්තමානයේ දී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව 19 වන් තැන රැඳී සිටිනා වේල්සය රොබට් පේජ් ගේ පුහුණුකාරිත්වය යටතේ තරගාවලියට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ 

වේල්සය බිහි කළ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයා යැයි සමහරුන් හඳුන්වන ගැරත් බේල් වසර ගණනාවක පටන් ම එරට ජාතික විරුවෙක් මට්ටමින් සැලකුම් ලැබුවා. 2016 යුරෝ තරගාවලියේ දී වේල්සය අවසන් පූර්ව වටයට ගෙන ඒමට මෙන් ම වසර 64 කට පසුව ලෝක කුසලානයට රැගෙන ඒමට ඔහු දැරූ වෙහෙස අති මහත්. කලක් ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයට නැතිව ම බැරි ක්‍රීඩකයෙක් බවට පත්ව සිටි ගැරත් බේල් වර්තමානයේ දී අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සමඟ වෘත්තීයමය මට්ටමෙන් ක්‍රීඩා කරනවා. අත්දැකීම් බහුල බේල් 2006 වර්ෂයේ සිට වේල්සය නියෝජනය කිරීමට සමත් වුණා. මේ වන විට තරග 108 ක දී ඔහු ලබා සිටින ගෝල සංඛ්‍යාව 40ක්.

වේල්ස ස්වර්ණමය පාපන්දු යුගයේ පෙරගමන්කරු වූ ගැරත් බේල් – www.bbc.com

ගැරත් බේල් මෙන් ම වේල්ස පාපන්දුවේ ස්වර්ණමය යුගය වෙනුවෙන් තම දායකත්වය ලබා දුන් මැද පෙළ ක්‍රීඩක ආරොන් රැම්සි වේල්සය තුළ ගෞරවයට පාත්‍ර වූ තවත් ක්‍රීඩකයෙක්. එංගලන්තයේ ආර්සනල්, ඉතාලියේ යුවෙන්ටස් වැනි ප්‍රමුඛ පෙලේ යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජ රැසක් රැම්සි නියෝජනය කළා. වර්තමානයේ දී ඔහු ප්‍රංශයේ නයිස් වෙනුවෙන් ක්‍රීඩා කරනවා. 2008 සිට වේල්ස ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග 75 කදී ඔහු ගෝල 20ක් වාර්තා කළා.

2014 වර්ෂයේ සිට යුරෝපයේ ප්‍රධාන පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ටොටන්හැම් හා එක් ව ක්‍රීඩා කරන බෙන් ඩේවියස් වේල්ස ජාතික කණ්ඩායමේ පසු පෙළ හදවත බවට ප්‍රකාශ කිරීම නිවැරැදි යි. ඔහු ආරක්ෂක පසු පෙළ ක්‍රීඩකයෙක් ලෙසින් ටොටන්හැම් මෙන් ම වේල්ස ජාතික කණ්ඩායමට ද විශාල සේවයක් ඉටු කළ අයෙක්. වේල්සය සමඟින් 2012 දි තම මුල් ම තරගය ක්‍රීඩා කළ ඩේවියස් එතැන් පටන් තරග 74 ක් ක්‍රීඩා කොට ලැබූ ගෝල සංඛ්‍යාව 1ක්.

වේල්සයේ මූලික වට තරග කාලසටහන 

නොවැම්බර් 22 අමරිකා එක්සත් ජනපදයට එරෙහිව

නොවැම්බර් 25 ඉරානයට එරෙහිව

නොවැම්බර් 30 එංගලන්තයට එරෙහිව

කවරයේ ඡායාරූපය - වේල්සයේ ගැරත් බේල්, එංගලන්තයේ හැරී කේන්, ඇමරිකාවේ ක්‍රිස්ටියන් පුලිසිච් සහ ඉරානයේ සර්දාර් අස්මොන් - www.nbcsports.com
මූලාශ්‍ර :
www.fifa.com
www.allfootball.com
www.qatar2022.com

Related Articles