Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තම අවසන් ලෝක කුසලානය ක්‍රීඩා කරන පාපන්දු පිටියේ දැවැන්තයෝ 7 දෙනෙක්

22 වැනි වතාවට පවත්වන මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කණ්ඩායම් 32 ක් කටාර් රාජ්‍යයේ කඳවුරු බැඳ ගත්තා. මෙම සියලු ම රටවල් එකම අරමුණක් වෙනුවෙන් සටන් වදිද්දී තමන්ගේ අවසන් ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට පාපන්දු පිටියේ ආධිපත්‍යය පතුරුවා ගෙන සිටින දැවැන්තයන් කිහිප දෙනෙක්ම සූදානමින් පසු වනවා.

මේ සටහන ඉන් 7 දෙනෙක් ගැන යි.

1. ලියොනල් මෙසී (ආජන්ටිනාව)

ලියොනල් මෙසී – www.newyorktimes.com

වසර සිය ගණනකට උරුමකම් කියන පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටත ම ක්‍රීඩකයා ලියොනල් මෙසී බවට බොහෝ දෙනා තර්ක කරන කරුණක්. ඔහු වසර ගණනාවක් පුරා පාපන්දු පිටිය තුළ රඳවා ගත් කීර්තිනාමය එයට හේතු වනවා. තවමත් පාපන්දු ලෝක ශූරතාවක පහස ලැබීමට තරම් වාසනාවන්ත නොවූ ඔහු මෙවර තම 5 වන ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා.

1987 ජුනි මස 24 වැනි දා ආජන්ටිනාවේ රොසාරියෝ හී දි උපත ලැබූ ඔහු කුඩා කාලයේ දී ම ස්පාඤ්ඤයට සංක්‍රමණය වුණා. එයට හේතුව වූයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට එක් වීමට මෙසීට අවස්ථාව ලැබීම යි. ඉන් අනතුරු ව බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ඉහළට ම ගමන් කරමින් ඔහු වසර 17 ක් ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා කළා. එම වසර 17 දී මෙසී නමින් වාර්තා ගණනාවක් ම ලියැවුණා.

චැම්පියන්ස් ලීග් ශූරතා 4ක්, ස්පාඤ්ඤ ලාලිගා ශූරතා 10 ක් වශයෙන් කණ්ඩායම් ශූරතා ගණනාවක් ම ඔහු දිනා ගත්තා. බාසිලෝනා වෙනුවෙන් ගෝල 672 ක් ලබා ගත් මෙසී ගේ එම වාර්තාව සටහන් වන්නේ තනි ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩි ම ගෝල සංඛ්‍යාව ලෙසට යි. වසරේ දක්ෂතම ක්‍රීඩකයා වෙත ලබා දෙන බැලොන් ඩොර් සම්මානය 7 වතාවක් සහ යුරෝපයේ ක්‍රීඩා සමාජ තුළ වැඩි ම ගෝල ලාභියාට ලබා දෙන ගෝල්ඩන් බූට් සම්මානය 6 වතාවක් ඔහු ජයග්‍රහණය කළා. එම සම්මාන දෙකේ ම වැඩිම වතාවක් දිනා ගැනීමේ වාර්තාව ද එය වීම විශේෂත්වයක්.

2021 කොපා අමෙරිකා ශූරතාව දිනා ගැනීමට ද මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව සමත් වුණා – www.remezcla.com

ක්‍රීඩා සමාජ දිවියේ තවත් ජයග්‍රහණ රැසක් හිමි ඔහු ආජන්ටිනාව වෙනුවෙන් 2005 වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතාව, 2008 ඔලිම්පික් රන් පදක්කම, 2021 කොපා අමෙරිකා ශූරතාව සහ 2022 ෆිනාලිස්සිමා ශූරතාව ජයග්‍රහණය කොට තිබෙනවා. ඉහත ශූරතා 4 දී ම හොඳ ම ක්‍රීඩකයා සම්මානය ද ලියොනල් මෙසී දිනා ගත්තා. 2014 පාපන්දු ලෝක කුසලානයේ අනුශූරතාව ආජන්ටිනාවට හිමි වද්දී තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා ලෙසින් ද මෙසී නම් වුණා. මේ ආකාරයෙන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලි 6 ක දක්ෂත ම ක්‍රීඩකයා වීමට ඔහු සමත් ව තිබෙන අතර එවැනි දස්කමක් දැක්වූ එකම ක්‍රීඩකයා වන්නේ ද ඔහු යි.

ආජන්ටිනා ඉතිහාසයේ මෙන් ම දකුණු අමෙරිකා පාපන්දු ඉතිහාසයේ ද වැඩි ම ජාත්‍යන්තර ගෝල ලාභියා වන මෙසී, තරග 169 ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 94 ක්. මෙවැනි වාර්තා සිය ගණනකට හිමිකම් කියන විශිෂ්ට පාපන්දු තරුව අවසන් වතාවට ලෝක කුසලාන සිහිනය හඹා යෑම උදෙසායි කටාර් රාජ්‍යයේ දී තරග බිමට පිවිස සිටින්නේ. එය ඔහුගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති.

2 ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (පෘතුගාලය)

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ – www.thehindu.com

ලියොනල් මෙසී ගේ වසර ගණනාවක සිට ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් වීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණා. රොනාල්ඩෝ ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා කරන සමයේ දී ඔවුන් දෙපළ අතර නිර්මාණය වී තිබුණු ගැටුම සමස්ත ලෝකයේ ම අවධානයට පාත්‍ර වූවා. එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයෙන් ලොව ප්‍රචලිත වූ රොනාල්ඩෝ ඉන් අනතුරු ව ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් සමඟ ක්‍රීඩා කළා.

රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල 450 ක් ලබා ගත් ඔහු එම ක්‍රීඩා සමාජ ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියා ද වනවා. පාපන්දු පිටියේ බිහි වූ සුපිරි ම ගෝල රැස් කරන්නන් අතරේ වඩාත් ප්‍රකට නාමයක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු ගෝල මැෂිමක් බව නම් කිරීම වරදක් නොවේ. ඔහු ඉතිහාසයේ ගෝල 800 සීමාවට ළඟා වූ එක ම පාපන්දු ක්‍රීඩකයා ද වනවා. චැම්පියන්ස් ලීග් ශූරතා 5 ක් දිනා ඇති රොනාල්ඩෝ, එය 2016, 2017 සහ 2018 වසරවල දී පිට පිට ම තුන් වතාවක් ජයග්‍රහණය කළා.

රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයෙන් නික්ම ගොස් ඉතාලියේ යුවෙන්ටස් හා ක්‍රීඩා කළ ඔහු වර්තමානයේ දී එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟ ක්‍රීඩා කරනවා. වසරේ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයාට ලබා දෙන බැලොන් ඩොර් සම්මානය 5 වතාවක් මෙන් ම යුරෝපා පාපන්දු ක්‍රීඩා සමාජවලට ලබාදෙන වැඩි ම ගෝල ලාභියාට හිමි ගෝල්ඩන් බූට් සම්මානය 4 වතාවක් ජයග්‍රහණය කළා.

ක්‍රීඩා සමාජ පාපන්දුවේ දී මෙන් ම ජාත්‍යන්තර පාපන්දුවේදී ද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු ගෝල මැෂිමක්. පෘතුගාලය වෙනුවෙන් තරග 195 ක දී ඔහු ගෝල 118 ක් ලබා ගැනීමට සමත් වුණා. එය අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවේ වැඩි ම ගෝල ලැබූ ක්‍රීඩකයා යන වාර්තාව ද වනවා. ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩි ම තරග ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා යන වාර්තාව ද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සතු යි.

රොනාල්ඩෝ 2016 යුරෝ කුසලානය සමඟ – www.thesun.com

2016 වසරේ යුරෝ ශූරතාව සහ 2019 වසරේ යුරෝපීය නේෂන්ස් ලීග් ශූරතාව පෘතුගාලය සමඟින් ඔහු ජයග්‍රහණය කළා. මීට අමතර ව නිමා වූ 2021 යුරෝ පාපන්දු කුසලානයේ වැඩි ම ගෝල ලාභියාට හිමි ගෝල්ඩන් බූට් සම්මානය ද රොනාල්ඩෝ දිනා ගත්තා. 2018 ලෝක කුසලානයේ දී ද ගෝල 4 ක් ලබා ගත් 37 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන්ගේ 5 වන සහ අවසන් ලෝක කුසලානයට එක් වනවා. තවමත් ලෝක කුසලානයක ජයග්‍රාහී පහස නොලැබූ ඔහු සහ සමස්ත පෘතුගාලයේ ම බලාපොරොත්තුව මෙවර තරගාවලියේ ජයග්‍රහණය යි.

3. නෙයිමාර් (බ්‍රසීලය)

බ්‍රසීල පාපන්දුවේ සුපිරි තරුවක් වන නෙයිමාර් තවමත් 30 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩකයෙක්. පසුගිය දා ප්‍රකාශයක් කළ ඔහු කියා සිටියේ මෙය තමන් ක්‍රීඩා කරන අවසන් පාපන්දු ලෝක කුසලානය වීමට විශාල ඉඩකඩක් ඇති බව යි. ලියොනල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යන තරු ද්විත්වය මෙන් ම මෑත ඉතිහාසයේ දී නෙයිමාර් යන නාමයත් ලෝක පාපන්දු පිටියේ බොහෝ ප්‍රචලිත වුණා. එයට ප්‍රධානත ම හේතුව වූයේ ඔහු ක්‍රීඩා කරන අලංකාර ක්‍රීඩා රටාව යි.

සාමාන්‍ය පාපන්දු ක්‍රීඩකයන්ගෙන් වෙනස් වන ක්‍රීඩා රටාවක් හිමි නෙයිමාර් සෑම විටෙක ම පාහේ අලංකාර ගෝල රැස් කිරීමට සමත්කම් දක්වනවා. තමන්ගේ පාපන්දු දිවියේ ජයග්‍රහණ ගොන්නක් අත්කර ගෙන සිටිය ද තවමත් බැලොන් ඩොර් සම්මානයක් ජයග්‍රහණය කිරීමට ඔහුට හැකියාව ලැබී නෑ. මේ නිසා ම මෙවර ලෝක කුසලානයේ දී දස්කම් දක්වමින් බ්‍රසීලයට වසර 20 කට පසුව ලෝක කුසලාන පහස ලබා දීමට හැකියාව ලැබේ නම් එය බැලොන් ඩොර් සම්මානයක් දිනා ගැනීමට නෙයිමාර්ට ලැබෙන හොඳ ම අවස්ථාව විය හැකි යි.

තම අවසන් ලෝක කුසලානය වෙනුවෙන් සටන් වදින නෙයිමාර් – www.cnn.com

බ්‍රසීලය වෙනුවෙන් තරග 123 ක් ක්‍රීඩා කොට ගෝල 76 ක් වාර්තා කිරීමට නෙයිමාර් සමත් වුණා. බ්‍රසීලය වෙනුවෙන් වැඩි ම ජාත්‍යන්තර ගෝල ගණනක් ලබා ගෙන ඇති වාර්තාව පේලේ සතු යි. ඔහු ලබා තිබෙන ගෝල සංඛ්‍යාව 77 ක්. මේ නිසා ම මෙවර ලෝක කුසලානයේ දී නෙයිමාර් පේලේ ගේ වාර්තාව අභිබවා යනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වනවා.

ලොව වටිනා ම ක්‍රීඩකයා බවට පත් වෙමින් 2017 දි යුරෝ මිලියන 220 කට අධික මුදලක් යටතේ බාසිලෝනා සිට ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් හෙවත් පී.එස්.ජී. දක්වා හුවමාරු වූ ඔහු තවමත් එම කණ්ඩායමේ ම ක්‍රීඩා කරනවා. මෙවර ලෝක කුසලානයේ දී සුපිරි තරු රැසකගෙන් සමන්විත ව සිටිනා බ්‍රසීලය සමඟ තම සිහිනය වෙතට ගමන් කිරීමේ අරමුණින් යුතුව නෙයිමාර් පාපන්දු පිටියට පිවිසෙන ආකාරය දැකගන්නට පුළුවන්.

කෙසේ නමුදු මේ ලිපිය පළ වන මොහොත වන විට බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර පැවති අර්ධ අවසන් පුර්ව තරගයේදී දඞුවම් පහර හතරට දෙකක් ලෙස ජයග්‍රහණය ලබාගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත්වීමත් සමඟ බ්‍රසීල කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි ව තරගාවලියෙන් ඉවතට විසි ව ගියා.

4. ලුකා මොඩ්රිච් (ක්‍රොඒෂියාව)

2018 පාපන්දු ලෝක කුසලානයේ දී අනපේක්ෂිත දස්කම් දක්වමින් අවසන් මහා තරගය තෙක් පැමිණීමට ක්‍රොඒෂියාව සමත් වුණා. එකී ගමනේදී ක්‍රොඒෂියා නෞකාව මෙහෙයවූ කපිතාන් වී ලුකා මොඩ්රිච් කටයුතු කළා. මේ නිසාවෙන් ම ඔහු 2018 පාපන්දු ලෝක කුසලානයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ද දිනා ගත්තා. හුරුබුහුටි ක්‍රීඩකයෙක් වූ මොඩ්රිච් හට සමස්ථ ලෝකයේම ගෞරවය ට පාත්‍ර වීමටත් අවස්ථාව උදා වුණා.

මොඩ්රිච් 2018 ලෝක කුසලානයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සමග – www.therealchamps.com

ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් සමග තවමත් සුපිරි දස්කම් දක්වන 37 හැවිරිදි ඔහු වයස යනු හුදු ඉලක්කමක් පමණක් බව පෙන්වා දෙන ක්‍රීඩකයෙක්. තමන්ගේ අත්දැකීම් සහ දක්ෂතා භාවිතා කරමින් මෙවර ලෝක කුසලානයේදී ද මොඩ්රිච් පෙරළිකාර දස්කම් දක්වනු ඇතැයි එරට වැසියන් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔහු ක්‍රොඒෂියාව වෙනුවෙන් තරග 155 කදී ලබා සිටින ගෝල සංඛ්‍යාව 23 ක්.

මේ වනවිට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ක්‍රොඒෂියාව සමත් ව සිටිනවා.

5. ලුයිස් සුආරෙස් සහ එඩින්සන් කැවානි

සුආරෙස් සහ කැවානි යන දෙපළ කලෙක පටන් ම උරුගුවේ ජාතික පාපන්දු කණ්ඩායමේ ගහට පොත්ත මෙන් බැඳී සිටිනවා. ඔවුන් දෙපළ ගේ දක්ෂතා මත ජයග්‍රහණ රැසක් ම දිනා ගැනීමට උරුගුවේ සමත් වුණා. එංගලන්තයේ ලිවර්පූල්, ස්පාඤ්ඤයේ බාසිලෝනා වැනි දැවැන්ත ක්‍රීඩා සමාජ රැසක සුආරෙස් වැජඹෙද්දී, ඉතාලියේ නපොලි, ප්‍රංශයේ පී.එස්.ජී. වැනි ක්‍රීඩා සමාජයන්ට එඩින්සන් කැවානි නැතිව ම බැරි ක්‍රීඩකයෙක් වුණා.

ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යන දෙපළ තමන්ගේ ක්‍රීඩා දිවියේ හොඳ ම රිද්මයක සිටින සමයේ දී ඔවුන් දෙදෙනා ම අභිබවා යමින් යුරෝපීය ගෝල්ඩන් බූට් සම්මානය දෙවරක් දිනා දීමට ලුවිස් සුආරෙස් සමත් වුණා. 35 හැවිරිදි වියේ පසුවන සුආරෙස් 2010 සිට මේ දක්වා පැවති සෑම ලෝක කුසලානයක දී ම ගෝල වාර්තා කිරීම ද විශේෂත්වයක්. ඔහු උරුගුවේ වෙනුවෙන් තරග 134 ක දී ගෝල 68 ක් ලබා සිටිනවා. 2011 කොපා අමෙරිකා තරගාවලියේ ශූරතාව උරුගුවේට හිමි වෙද්දී දක්ෂත ම ක්‍රීඩකයා සම්මානයෙන් ලුයිස් සුආරෙස් පිදුම් ලැබුවා.

සුආරෙස් සහ කැවානි – www.thescore.com

ස්පාඤ්ඤයේ වැලෙන්සියා කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන එඩින්සන් කැවානි ද තම අවසන් ලෝක කුසලානය ක්‍රීඩා කිරීම වෙනුවෙන් කටාර් වෙතට පැමිණියා. ඔහු ද 2008 වසරේ සිට උරුගුවේ නියෝජනය කරනවා. උරුගුවේ වෙනුවෙන් තරග 133 කදී ගෝල 58 ක් වාර්තා කරගෙන සිටින කැවානි 2011 කොපා අමෙරිකා ශූරතාව දිනා ගත් කණ්ඩායමේ ද සාමාජිකයෙක් වුණා. මෙවර තරගාවලියේ අවාසනාවන්ත ලෙස මූලික වටයේ දී ම ලබා ගත් පරාජය නිසා 2022 ලෝක කුසලානයෙන් අනතුරු ව නැවතත් සුආරෙස් කැවානි සුසංයෝගය ලෝක කුසලානයක දී දකින්නට නොලැබෙනු ඇති.

6. ගැරත් බේල් (වේල්සය)

1958 වසරෙන් පසු ව තමන්ගේ ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගත් වේල්ස නායකත්වය දරමින් ගැරත් බේල් පාපන්දු පිටියට එක් වනවා. 35 හැවිරිදි බේල් ක්‍රීඩා කරන පළමු සහ අවසන් පාපන්දු ලෝක කුසලානය මෙය වීම ද විශේෂත්වයක්. කලක් රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයට නැතිව ම බැරි තරුවක් ව සිටි ඔහු මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කරනවා.

1958 වසරට පසු වේල්ස ලෝක කුසලාන සිහිනය සැබෑ කල බේල් – www.marca.com

වේල්ස පාපන්දු ඉතිහාසය ස්වර්ණමය යුගයක් කරා මෙහෙය වූ ගැරත් බේල් 2016 යුරෝ කුසලාන අවසන් පූර්ව වටය දක්වා වේල්සය රැගෙන ඒමට ද සමත් වුණා. ඔහුගේ අවසන් බලාපොරොත්තුව බවට පත් ව තිබූ ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුව ද මේ වන විට ඉටුවී අවසන්. වේල්ස ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග 111 ක් ක්‍රීඩා කළ ගැරත් බේල් ගෝල 41 ක් වාර්තා කළා.

7. රොබට් ලෙවන්ඩොස්කි (පෝලන්තය)

පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටත ම ප්‍රහාරක ක්‍රීඩකයන් අතරින් එක් අයෙක් වන පෝලන්ත ජාතික රොබට් ලෙවන්ඩොස්කි යනු මෑත ඉතිහාසයේ වාර්තා ගොන්නක් ම තැබූ ක්‍රීඩකයෙක්. යුරෝපීය ගෝල්ඩන් බූට් සම්මානය මෙන් ම FIFA වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා. බයන් මියුනිච් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් සිටි ඔහු වර්තමානයේ දී ස්පාඤ්ඤයේ බාසිලෝනා සමඟ ක්‍රීඩා කරනවා.

‍රොබට් ලෙවන්ඩොස්කි – www.bavarianfootballworks.com

පෝලන්තය බිහි කළ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙවන්ඩොස්කි බවට බොහෝ දෙනෙක් ගෙනෙන තර්කයක්. මේ වන විට 34 හැවිරිදි වියේ පසු වූවත් ඔහු සුපුරුදු රිද්මයෙන් ම ක්‍රීඩා කරනවා. පෝලන්ත ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියා ද වන ලෙවන්ඩොස්කි තරග 138 ක් ක්‍රීඩා කරමින් ලබා සිටින ගෝල සංඛ්‍යාව 78 ක්.

තවත් තරු රැසක්

ඉහත නම් සඳහන් කළ ක්‍රීඩකයන්ට අමතරව තවත් පාපන්දු පිටියේ ජනප්‍රිය තරු කිහිපයක් ම තම අවසන් ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කරනවා. 2010 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ස්පාඤ්ඤ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ සර්ජියෝ බුස්කෙට්ස් මෙන් ම 2014 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයන් වූ තෝමස් මුලර් සහ මැනුවෙල් නෝයර් යන දෙපළ ද ඒ අතරට අයත්.

තියාගෝ සිල්වා සහ ඩැනි අල්වෙස් – www.sportsillustrated.com

ස්පාඤ්ඤයේ ජෝර්දි ඇල්බා, පෘතුගාලයේ පෙපේ, බ්‍රසීලයේ තියාගෝ සිල්වා සහ ඩැනි අල්වෙස්, ආජන්ටිනාවේ ඈන්හෙල් ඩි මරියා සහ නිකොලස් ඔටමෙන්ඩි, ප්‍රංශයේ හියුගෝ ලොරිස් සහ ඔලිවර් ජිරූඩ්, ඩෙන්මාර්කයේ කැස්පර් ශ්ෂෙස්මයිකල්, කොස්ටා රිකාවේ කෙයිලොර් නවාස් යන ක්‍රීඩකයන් ද තමන්ගේ අවසන් ලෝක කුසලානය වෙනුවෙන් තරග වදිනවා.

කවරයේ ඡායාරූපය - 22 වැනි වතාවට පවත්වන මෙවර පාපන්දු ලෝක කුසලානය - www.gettyimages.com
මූලාශ්‍ර:
www.fifa.com
www.allfootball.com
www.bleacherreportfootball.com
www.transfermarkt.com

Related Articles